Saturday 24 October 2020

නිෂ්ක්‍රාන්තිය - සුනේත්‍රා රාජකරුණානායක

සම්මාන නිර්දේශ වල හොඳ පැති ඇත.  



ලංකාවේ ප්‍රවීණතම කතුවරියක වුව ත්, ඇගේ නවකතා ම දහයක් කියවා ඇතත්, අප තරමක් විශ්වාස කරනා පාඨක ප්‍රජාවගේ අදහස් අනුව, මෑතක කතුවරිය ලියූ ජයන්, ශ්‍රී කාන්ත්, සෞම්‍යාලෝකනය සහ මියුරු හඬ යන කෘතීන් කියවීම අතහැරියෙමි. එහෙත් දැන් නිෂ්ක්‍රාන්තිය ගොඩගේ සම්මානය දිනා, සහ ස්වර්ණ පුස්තක අවසන් වටයට පැමිණ ඇත. මෙම ජයග්‍රහණයන් මෙම කෘතිය කියවන්නැයි අප ට බල කර බව ය සත්‍යම කරුණ ( නැතිනම් මා මුලින් කියවීමට තෝරාගත්  2019 ප්‍රකාශ වූ නවකතා 15 හි, මෙම කෘතිය නොතිබිණි - මෙයත් සමඟ එය 16ක් බවට පත් විය). ඒ පසුබිම මතය, මා නවකතාව කියවීම ට යොමු වූයේ - නැතිතිනම් පාඨකයින් මේ කෘතිය  ගැන මිශ්‍ර අදහස් ය පළ කර ඇත්තේ.

ඉතින් එසේ කියවීමට පෙළඹුන පොත කොහොමද ?

මෑතක මා කියවූ හොඳම ආරම්භයක් තිබූ නවකතාව නිසැක වශයෙන් ම මෙය විය යුතුය. පිටු 40ට වැඩි පළමු පරිච්ඡේදය ආයාසයකින් තොරව කියෙව්වේ, මතකය පමණක් නොව තමන් කවුරුන්දැයි ද යන්න අමතක වූවකු ගේ  ගැටළුපිරි මානසිකත්වය පිළිඹිබු වන අයුරෙන් ලියැවී ඇති නිසා ය . මේ නම් අපූරුම පොතකැයි සිතමින්, මා ඉදිරියට කියවාගෙන ගියෙමි.  වඩා කෙටි දෙවෙනි, තෙවෙනි පරිච්ඡේද වල ආඛ්‍යායන හසුරුවන්නේ, අර පෙර කී මතකය අහිමි වූ කත ගේ උදව්වට පැමිණි ග්ලෝරි නම් තරමක් වියපත් කතයි. පාසැල් ගිය කාලය මතක් කරමින් ඇදෙනා මෙම කොටස් වල ඊට ම  ආවෙණික රිද්මයක් ගෙනෙන්නේ එම විශ්‍රාම සුවයෙන් වෙසෙන කතුන්ගේ දිවි පෙවෙතට ගැලපෙන අයුරිනි; ඒ අතර මතකය අහිමි ඇය, කවුරුන්ද, යන ගැටළුව සියළු දෙන අතර පවති. කෙමෙන් කෙමෙන් එම මතකය අහිමි වූ කත ගේ මතකය නැවත ලැබීමත් සමඟ නවකතාවේ ආඛ්‍යායනය මහනුවරට මාරු වෙයි. මෙතෙක් වේලා පාඨකයා අඳුරේ තැබූ ඇගේ කතාව කෙමෙන් කෙමෙන් පිටු පුරා ඇදෙන්නේ jig-saw ( ජිග්සෝවක් ) හැදෙන්නාක් මෙනි. ඊට තැනින් තැන වර්ණයක් ගැනෙන්නේ මෙවන් අදහසකිනි:

"ලංසි මිනිස්සු රිටායර් වෙලා ඒ පතිවලට ගියා. පෙන්ෂනර්ස් පරඩයිස් කියලා නුගේගොඩට කිව්වේ. නාවල ඇලේ වතුර ඔහොම නරක්වෙලා නෑ. මිනිස්සු මාළු අල්ලන හින් දිය පහර." (128 පිටුව)

මෙහි සෙවනැලි 1980 දශකය සහ 1990 දශකයේ මුල දක්වා තිබූ බව මතක් කරන්නේ, කළුබෝවිල ඇන්ඩර්සන් පාරේ ඒ වන විට ද සැලකිය යුතු බර්ගර් ප්‍රජාවක් වාසය කල බවත් අප කොලු වියේ එම කොලුවන් සමඟ කෙළිදෙලෙන්, රස්තියාදුවෙන් කල් ගෙවූ බවත් මතක හෙයිනි. නව යොවුන් වියට පා තබමින් සිටිය දී, 88-89 සමයේ රටේ භීෂණය එම තීව්‍රතාවෙන් ම අපට නොදැනුනේ, ඒ බර්ගර් ආශ්‍රය නිසා යැයි අද ආපසු හැරි බලනා කල අපට හැඟේ.

මෙහි එන ජයමංගලා ගේ තරමක් නිදහස් දිවිපෙවෙත ගැන කියවෙන කොටස ද රසවත් ය. මවක් වශයෙන් ඈ ව තුලනමය ඇගයීමකට ලක් කිරීම,  මෙම නවකතාවට වටිනාකමක් ගෙනදෙන්නීය. තැනෙක ඇගේ දියණිය ජයමංගලා කතාවක දී මෙවන් අදහසක් ප්‍රකාශ කරය: 

"මානව සමාජ සංවිධානගත වෙනකොට නීති හදා ගත්තාට ආගම්වලින් නීති පැනෙව්වට මනුස්ස ප්‍රාණීයෝ හැම වෙලාවෙම යටි හිතෙන් ඉන්නේ ඒ හිරගෙවල්වලින් පිටත වෙන්නැති." ( 186 පිටුව )

එම මවගේ සහ දියණියගේ සම්බන්ධය ගැන, අන් තැනෙක, දුව වරෙක මෙසේ ද කියයි"

"අනේ ඔයා බැංගලෝර් යනකල් ධර්ම කතා තිබුණේ නැහැනෙ. මාව හදුවෙ දහම් පාසලකටවත් යවන්නේ නැතුවනේ" ( 301 පිටුව)

එසේ වුවද, ජීවත් වෙමින් එම ජීවිතය ඉගෙන ගත් එම මව ( අන් මගක් ඊට වෙත් ද?), මෙම ආත්ම විශ්වාසය තම දියණියට ලබා දෙන්නේ ඇය විවා ගිවිස ගද්දීය:

"ඔයාගෙ සත්‍යයන් අසත්‍යයන් වුණොත් එහෙම නැත්තං ඔයා තෝරාගත්තු මාර්ගයේ අතරමං වෙන්න ගත්තොත් එහෙම ඕනම වෙලාවක හරිලා එන්න බයවෙන්න එපා. ආයෙමත් පටන් ගන්න එක දුකක හරි වරදක හරි හිරවෙලා ඉන්නවට වඩා හොඳයි" ( 200 පිටුව )

ඉතින් එක් මනසකට විඳිය හැකි තරමකට වඩා ප්‍රශ්ණ ඇතිවීමට පෙර යුගයේ,  ඔවුන් දෙපළගේ ජීවිත එලෙස ය.  එහි අසම්මතයේ යම් ඡායාවක් තිබුන ද , අවංකතවයෙන් පරිපූර්ණය. ජීවිතය විඳින්නෝය. නවකතාව ඉන්දියාවේ චෙන්නායි නුවරත්, පසුව ජයමංගලා දීර්ඝ කලක් වෙසෙන හිමාචල් ප්‍රදේශයේ ටිබැට්  ක්ෂේම භූමයක් වෙතටත් යොමු වන්නේ, පිළිවෙලින්, අප කතා නායිකාවගේ ඉතිහාස කතාවත්, ජයමංගලා ගේ දිවිසැරියේ දිශාවත සමඟය. මාධ්‍යවේදීන් දඩයම, දේශපාලඥ්ඥයින්ගේ මනදොළ වෙනුවෙන් ඕනෑම දෙයකට යොමු වීමට ඇති නොපසුබෑම ආඛ්‍යායනය මතු කර ඇත්තේ චෙන්නායි, ශ්‍රී ලංකාව යැයි වෙනසක් නැති බවක් ඒත්තු ගැන්වෙන අයුරිනි. කතුවරිය ඉඟි කරනුයේ, මුහුණ දෙන අසාධාරණකම් අතින් එතරම් වෙනසක් නොවූවත්, ඉන්දියානු මහජනතාව පාරට බැහීමට ලාංකිකයාට වඩා සූදානම් බවකි. කතුවරිය ඍජුව පවසා නොසිටියා ද, දිවියට "නියමිත රේල්ලුවෙන්" නොපිට පැන සීරුවට ජීවත් වන්නන්ට වඩා, තම දිවිය සිත්සේ විඳින්නන්ට මුණ ගැහෙන අපූරු චරිත හේතුවෙන් ජීවිතයේ රස උත්තේජනය වැඩි වන්නා සේ ම, විඳින්නට වෙන කම්පනයන් ද එලෙසම ය. නවකතාවේ මැද කොටස වැඩි පමණක් මේ නිදහස් ජීවිතය ගෙනෙනා අලංකාරයත්, වර්තමාන කලාපීය දේශපාලන වටපිටාව ගෙනෙන අස්ථාවරත්වයත් අපුරුවට ගෙනහැර දක්වා ඇතැයි සිතුනි.  බොහෝ චරිත නවකතාව තුලට පැමිණීම, කෙටි කලකින් ම  ඉවත් ව යෑම තුලත්, හිමාචල් ටිබැට් මෙහෙණිනියන් ගේ ජීවන රටාව ආදියත්, ඉවසිලිවන්ත නොවෙන කියවන්නියක් වික්ෂිප්ත කිරීමට ඉඩ ඇත - එය පාඨකයකු සෙමින් කියවා රස විඳිය යුතුය.   මේ කෘතියේ ඇති එක් ධනාත්මක ලක්ෂණයක් නම්, කියවීමට අලසකමක් ඇතිකරනා බවකින් තොර වීමය. හිමාචල් විස්තර වරෙක වැඩි යැයි නොසිතුනා ද නොවේ. ජයමංගලාගේ ආඛ්‍යායනයක් ලෙස දිගැරෙන හිමාචල් විස්තරය, කෘතියේ දිගම පරිච්ඡේදය වන්නේ ය.

එහෙත්, නවකතාව අවසන් කර ඇති ආකාරය පිළිබඳ අයෙකුට සතුටු නොවන්නේ නම්, එය එතරම් අහේතුක ද නොවේ. නවකතාව ට උක්ත යුගය අනුව, එම සිදුවීම භාවිතාකිරීම නුසුදුසු යැයි කිව නොහැක. එහෙත් පිටු පසු කවරයේ කියවෙන පරිදි,

"මරාගෙන මැරෙන ආගමික වියරුව මැද මිනිසුන් ද, නීතිය ද, නිෂ්ක්‍රාන්තියට පත්වන්නට ඉඩ දිය නොහැකි ය",

යන්න නවකතාව ට පසුව පැමිණි සටන් පාඨයක් මෙනි; පසුකල්පනාවක් මෙනි; නවාකතාවේ අවසන ලියාගෙන එද්දී අප රටේ සිදු වූ එම අවාසනාවන්ත සිද්ධිය, මුළු පොත ගැන සාරාංශ වාක්‍යයක් ලෙස ඉදිරිපත් කරලීම පිළිබඳ, එතරම් පැහැදීමක් මා තුල් ඇති නොවිණි. එය නවකතාවේ පරිපූර්ණත්වයට යම් පළුද්දක් ඇති කරයි.  මාධයවේදීන් සහ නිදහස් මිනිසුන් හට දේශපාලන හස්ථයන් මගින් සිදු වූ අඩත්තේට්ටම් දීර්ඝ ලෙස නවකතාවට එක්කොට තබා, අවසන් මොහොතේ දරුණු ආගමික අන්තවාදී සිදුවීමක කම්පනය හේතුවෙන්, නවාකතාවේ ගලායෑම ට වැරෙන් පහරක් එල්ල වූ ලෙසය මට හැගුණේ. සමහර දෙබස් වලින් පවා, ජන කොට්ඨාශයක් ඒකාකෘතිකරණයකට ලක්වන්නේ දො යි සැක සිතේ.

"ඒගොල්ලො මං මුළාවෙලා වුණාට අපි එහෙම වෙන්න හොඳ නැහැ. එතකොට ඒගොල්ලන්ගෙයි අපෙයි වෙනසක් නෑ" ( 341 පිටුව )

නවාකතාවේ චරිතයක දෙබසක් ලෙස මෙය සාධාරණ යැයි අයෙකු ට විග්‍රහ කල හැකි වුවත්, කතුවරිය පවා යම් කම්පනයක් තුල හිඳිමින් ම නවකතාව අවසන් කලාදෝ කියා සිතුණි. මෙම අසහනකාරී කාලයේ මෙවන් අදහස් මතුවීම  අස්වාභාවික නොවැතැයි, කෙනෙකුට කිව හැක. එහෙත් මෙම සිද්ධිය වඩා සවිස්තර ලෙස නවකතාව තුලට ගෙනැවිත් නැති විටෙක, එය නවකතාව සමාප්තයට පමණක් භාවිත වන හෙයින්, ඉන් නවකතාවට එතරම් සේවයක් නොවේ. කිමද, එකොලොස් වැනි පරිච්ඡේදය වන තෙක් ම තුබූ සිදුවීම් බහුල නිසා, ස්වභාවික සමාප්තියකට ඕනැ තරම් මෙහි අවකාශ තිබුණි. ඇරත්, උක්ත ආගමික අන්තවාදය, අන් දවසක වඩා සවිස්තර රචනයකට මාතෘකාවකට හසු කරගැනීමට තරම්  හැකියාවක් කතුවරිය සතු බව අප සියළු දෙන දනිති.

ඒ සියළු සිද්ධීන් මධ්‍යයේ වුව, සමස්ත වශයෙන් මා බොහෝ රස විඳි නවකතාවකි. අවසන් පිටු දහයේ හදිසිය සමස්ත නවකතාවේ රසාස්වාදයට කෙරෙන හානිය නොසැලකිය හැකි තරම් යැයි අයෙක් පැවසුවහොත්, මා ඊට ද විරුද්ධ නොවනු ඇත. මෙම කෘතියට ලැබුණු සම්මාන සහ නිර්දේශ සාධාරණ බව හැඟේ.

****
2019 ප්‍රකාශ වූ නවකතා කියවීම - 8
සරසවි ප්‍රකාශනයකි






No comments:

Post a Comment