Saturday 10 October 2020

දං පඳුරට ආ රැහැයියා - අමාලි අනූපමා මල්ලවආරච්චි

 මෙම කෘතිය 2019 වසරේ ගොඩගේ අත්පිටපත් තරඟයේ,  විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය ලෙස තේරී පත් විය. මෙය මා කියවීමට පටන් ගන්නේ ම, 2019 ප්‍රකාශ වූ තවත් කෙටි සංග්‍රහයන් අටක් කියවා ඇවෑමෙන් ද, ඒ අතරතුර ඉතා සාර්ථක සංග්‍රහයන් කිහිපයක් ම රස විඳීමෙන් ද අනතුරුවය. 

මෙහි එන පළමු කෙටිකතාව "භින්න" නමි. නමෙන් ඇගවෙන්නාක් මෙන්ම භින්නෝන්මාදය මුල් වූ අපූරු ගෙත්තමක් ලේඛිකාව මවනුයේ පාඨකයා ව අතරමං කරනාකාරයේ ප්‍රයෝග භාවිතාවෙනි. වරෙක, කුමක් සත්‍යයක් ද, කුමක් මානසික අපගමනයක් ද යන්න අතරමං වාන් තරම් කතුවරිය ප්‍රයෝගකාරීය. 2019 වසරේ කෙටිකතා අතරේ කියවාපු අපූරුම නිර්මාණයකි.

මෙහි එන දෙවෙනි කෙටි කතාව, තරමක් විකාර රූපී ආඛ්‍යායනයක් මත උපහාසයක් ගම්‍ය කරවන්නකි.  "ඤාව්වාගේ කතාව" නම් වූ එය ව්‍යාජ-කවිකම, සියල්ලන්ටම පොදු යැයි බල කෙරෙන ආචාරධාර්මික පදනම් සහ කුහකකම, මේ නිර්මාණය තුලට ඔබ්බවා තිබෙන අයුරු අපූරුය.

මනෝවිද්‍යාව, අප කතුවරියගේ ප්‍රියතම මාතෘකාවක් සේ ය. පළමු කෙටි කතාව මෙන්ම, තෙවැන්න වන "ස්මරණ" ද,  ඊට ආසන්න මාතාවකි. මෙහි, බිරිඳකගේ ප්‍රේමය සහ බලාපොරොත්තුව යන කාරණා ඉස්මතුවීම මගින්,  අවසාන "punchline" හෙවත් මුළු කෙටිකතාව ම අර්ථ දැක්වෙන නිර්මාණය නිමා කරන කොටස සමඟ, එය ඉතා රසවත් එකක් බවට පත් වෙයි. 

මිනිසෙකුට හෝ ගැහැණියෙකුට තමන් ට විශ්වාසක කල හැකි, දෙයක් කියන්නට හැකි අයෙක් සිටිය යුතුය. කවුරුත්ම නැතිනම් පඹයෙක් හෝ "තමන්ගේ" කියා සිටිය යුතුය. (ලොකු අක්කා සහ පඹයා )

කෙළෙසුනු කෙල්ලක "අළු පිස දා නැගිට", තම වාතාවරණය මත්තේ සිට තම දිවියට අරුතක් දීම, යථාර්තවාදී සීමාවෙන් ඔබ්බට ගොස්, රූපක් භාවිතයෙන් පිළිඹිබු කරලීමට දැරූ ප්‍රයත්නයක් ලෙස, "අරුන්දති" දිටිමි.

"Oh Jessie, you always do this, everytime I get back on my feet.

Oh Jessie, paint your pictures, 'bout how it's gonna be.
By now I should know better, your dreams are never free.
But tell me all about, our little trailer by the sea.
Oh Jessie, you can always sell any dream to me"

 මේ ගීතය 1990 දශකයේ මැද මහත් ජනප්‍රියත්වයට පත් වූ පොප් ගීතයකි. "ආල්‍යා" කෙටි කතාව කියවූ සඳ මෙම ගිතය අවුරුදු 25 ක පමණ මතකයන් ඔස්සේ නැගී ආවේය.

"මං බයයි මාව මැරුණම පෙට්ටියක දාලා වළලනවට. ඒ ගැන හිතනකොට මගෙ පපුව හිරවෙන්න වගේ එනවා. කෙල්ලෙ, උඹ මට එක පොරොන්දුවක් වෙන්න ඕනෙ,...

මාව මැරුණම මගෙ මිනිය පුච්චන්න... ඒක වළලන්න දෙන්න එපා" (113 පිටුව )

තේනුවර මේ ඉල්ලීම කරන්නේ ඔහුගේ බිරිඳගෙන් නොවේ. බිරිඳ ඉටු නොකරාවි යැයි සිතෙන්න ඔහු තම පෙම්වතියගෙන් අයදියි. පෙම්වතිය එය ඉටු කර අපූරුව කියවෙන කතාවයි, "මෘත". 

උපාධියේ අවසන් වසරේ පැවරුමක් සඳහා ලංකාවට පැමිණෙන "මිතෙලා" හා පෙමින් බැඳෙන අකීලීස, ඈ රට හැර ගිය පසු ඈ සිහිවන නිරුවත් නාරී  පින්තාරුවකුත්, දම් පඳුරට එන රැහැයියෙකුත් සමඟ තනි වෙයි. තරමක් දිගු කෙටි කතාවක් වන මෙහි විදේශික කාන්තාවන් හමුවේ අප රට පිරිමින්ගේ හැසිරීම් කියා පාන මෙම නිර්මාණය තරමක් අනවකාශ ( busy ) රීතියකින් නිර්මාණය වී ඇත. තරුණ පරපුර, ඔවුන්ගේ හැල්මේ දිවෙන මතින් 'තොර නොවූ' දිවිපෙවෙත ආදිය හොඳින් නිරූපනය වී ඇත.  පර්‍යටන කලාව යන වචනය හා ඉන් කියවෙන දේ තෙරුම් ගත්තේ ද මෙම නිර්මාණයෙනි. 

මෙය ඇත්තෙන් ම 2019 ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහයන් අතර මා කියවූ අපූරු නිර්මාණ එකතුවකි. ගොඩගෙ අත්පිටපත් තරඟය ජයග්‍රහණය ට ඇත්තෙන් ම සුදුසය. මහත් රසවිඳි නිර්මාණ රැසක් ම මෙහි මට හමු විය. අයෙකුට කියවිමට නිර්දේශ කරලීමට පසු බට නොවෙමි.

****
2019 ප්‍රකාශ වූ කෙටිකතා කියවීම - 9
ගොඩගේ ප්‍රකාශනයක්



No comments:

Post a Comment