Friday 2 October 2020

ආකෘතියක් අනුව නවකතාව යන කලා කෘතිය වර්ග කරලීම ගැන අදහස් කිහිපයක්

 නවකතාවක් "කෙසේ" විය යුතු ද ?

"මෙය නවකතාවකි", "මෙය එසේ නොවන්නකි" යි කිව හැකි ද ?




මෙහි එන ඡායා රූප වල පෙන්වා ඇත්තේ 2019 වසර මෑන් බුකර් සම්මානය සඳහා අවසන් වටයට තේරුණු ලූසි එල්මෙන් ( Lucy Ellmann ) ගේ Ducks, Newberryport ගේ පිටු 1000 ට වැඩි නවකතාවේ ළඟ ළඟ පිටු දෙකකි. මා මේ පොත කියවන්න පටන්ගෙන දවස් දෙකක්වත් නැත. එහි නවකතාවේ ඇදෙන්නේ නොනැනවතෙන තම සිතුවිලි ධාරාවක් ලෙසිනි. මෙහි නැවතීමේ ලකුණු, ඡේද,  පරිච්ඡේද, නැත. ඇත්තේ කොමාවල් වලින් වෙන්වුණු ඇගේ සිතුවිලි, තම සිතට නැගෙන හිස් වචන ආදියයි. ඇත්තෙන් ම මෙහි එන හැම වචනයක් ම පාඨකයකු ලෙස වටහා ගැනීම ද වැඩගත් නොවන්නට පුලුවන. කිම ද වරෙක, ඈ වෙළඳපොලේ රාක්ක වල ඇති භාණ්ඩ වර්ග විමසමින් ඉදිරියට ඇදෙන්නීය. එහෙත් වරෙක එම සිතුවිලි වල තම දරුවන් ගැන, තම සැමියා ගැන, දරුවන්ගෙන් ඇයට ගෙදර වැඩට කිසිදු සහනයක් නොනැගෙන අයුරු, සමියා තම වැඩට යොදා ගැනීමට ඇති අකමැත්ත, Little House on the Prairie හි චරිත හා තම දිවිය සැසඳීම ආදි වශයෙන් පෙළ ගැසේ. පාඨකයකු ලෙස පොත කියවීම නවතා, නැවත ඇරඹිය යුත්තේ ද කොමාවකිනි. එම ධාරාව තුල ම වැදගත් අදහස් කිම ද, ඇගේ සිතට එන හිස් වචන කිම ද යන්න ත් කියවන්නිය උගනමින් ම ඉදිරියට ඇදෙන්නීය. බොහෝ සම්මාන වලට නිර්දේශ වූ මෙම නවකතාව, නවකතාවේ විප්ලවයක් ලෙස පිළිගැනිනි. එලෙසෙ ම, ඇය ලිවීම නොදත්තියක් ලෙස ද ගැරහුම් නොලබන්නේ නොවේ.




2017 වසරේ මෑන් බුකර් සම්මානයෙන් පිදුම් ලත් ජෝර්ජ් සොන්ඩර්ස් ( George Saunders ) ගේ Lincoln in the Bardo කෘතිය වෙත යොමු වෙමි. එහි ආඛ්‍යායනය සිදු කරනුයේ තමුන් මිය ගිය බව තවම "පිළිගන්න අකමැති", සුසානභූමියේ සිටිනා අවතාර කිහිපයක් විසිනි. ජනපති ලින්කන් මෙහි එන පණැ'ති චරිත කිහිප දෙනාගෙන් කෙනෙකි. පරිච්ඡේදයක් හැර පරිච්ඡේදයක් පමණ ඇත්තේ එකල පුවත්පත් වලින් ලින්කන් ගේ පාලන කාලය හා බැඳි පුවත් කොටස් උදෘතයන් ය. කෙටිකතාවට වැඩි කාලයක් මිඩංගු කර ඇති සොන්ඩර්ස් ගේ පළමු නවකතාව Lincoln in the Bardo ය.

නැසී ගිය තිස්ස අබේසේකරයන්, තම පිටගම්කාරයෝ නමින් වූ කොටස් දෙකකින් යුත් කෘති දෙක නම් කොට ඇත්තේ ම "තිර පිටපතක් ආකාරයෙන් ලියූ නවකතාවක්" ලෙසි නි. එය ඔහු හඳුන්වා දී ඇත්තේ රූපවාහිනියේ පෙන්වූ පිටගම්කාරයෝ ටෙලි නාට්‍යයේ තිර පිටපතක් වශයෙන් නොවේ ය. මේ දින වල එම ටෙලි නාට්‍යය නැවත පෙන්වන මුත්, මගේ මතකයේ හැටියට ටෙලි නාට්‍යය සහ පොත් දෙක අතර යම් යම් වෙනස්කම් තිබූ බවකි, දැන් හැඟෙන්නේ. ස්ථිර ලෙස යමක් කීමට පොත් දෙක නැවත කියවිය යුතුය. නුමුත් නාට්‍යයේ එන අවතාර පෙනීම් ඔය පමණින් පොතේ තිබූ බවට මට මතක නැත ( මගේ මතකය වැරදි විය හැකිය ).

මා කීමට තැත් කරන්නේ, මගේ අදහස නම් නවකතාවක් "මෙසේ විය යුතුය", එය "මෙවන් ආකෘතියක් ගත යුතුය" යන්න, එතරම් සාර්ථක තර්කයක් නොවෙන බවත්,   සහ, ලෝක සාහිත්‍යයේ ද ඔවුන් ද නවාකතාවේ  පරීක්ෂා කෙරෙන නව ආකෘතින් වලට අනුබල දෙන බවත් ය. නුමුත් නවකතාවක් රසවත් නැත, එහි කතා වස්තුව කෘතීමය, ස්වභාවික නැත, බලෙන් ඔබ්බවු සෙයකි ආදිය තර්කයන් ලෙස පිළිගත හැක ; කිමද, ඒවා පුද්ගල නිශ්‍රිත නිරීක්ෂණයන් හෙයිනි. කවිය වේවා, කෙටිකතාව වේවා, නවකතාව වේවා ආකෘතියක් හේතුවෙන් යමක් නවකතාවක් ද, නැති ද, යන්න තීරණය කල හැකි ද ?   මට මේ ලිපිය ලිවීමට සිතුනේ,  විවිධ ආරේ නවකතා කියවීමට අප සිංහල පාඨකයන් තුල ඇති සාපේක්ෂ අකමැත්තක් පිළිබඳ හැඟුණු හෙයිනි.පුද්ගලික කැමැත්ත - අකමැත්ත තේරුම් ගත හැක. එහෙත්, යම් කලාකෘති ආරක ප්‍රගමනය උදෙසා, අලුත් මාදිලි සොයා බැලීම, පරීක්ෂා කිරීම වැදගත් ය. සිංහල සරල ගීතය තුල "යම් හිරවීමක්" හේතුවෙන්, වර්තමානයේ සිංහල සංගීතය විවිධ අලුත් ආර, සං‍යෝජන හා පරීක්ෂා කෙරේ.  වර්තමානයේ එහි යම් අභියෝග වලට මුහුණ දෙන බැව් සැබවි. එහෙත් යම් දිනෙක ඔවුන් ඉදිරියට යාමට යම් සූත්‍රයක් සොයා ගනු ඇත. සිංහල නවකතාවේ ද, වැව් ගම් කතා, කුල මල කතා යා හැකි උපරිම දුරක් ගොස් ඇත්තා සේය. එහෙයිනි, කෞෂල්‍ය කුමාරසිංහ ( මේ රහස් කවුළුවෙන් එබෙන්න ), කපිල කුමාර කාලිංග ( අදිසි නදිය, පියැසි කවුළුව  ), ශමෙල් ජයකොඩි ( ප්‍රංශ පෙම්වතා, කුමර කොබෙයි ), එරික් ඉලයප්ආරච්චි ( පරදේසි, ලලිත සමය ), මංජුල වෙඩිවර්ධන ( පැරිස් වලාකුළු, ඒ අහඹු අතීත හැන්දෑව ), ආදින් ගේ  ව්‍යායාමයන් සිංහල නවකතාවේ ප්‍රගමනයට හේතු වන්නේ. එලෙස ම ආකෘතිමය වශයෙන් කෙරෙන යම් නව ප්‍රවනතා ද සිංහල නවාකතාවේ ප්‍රගමයට හේතු වේ. වෙඩිවර්ධනගේ "මගේ ආදරණීය යක්ෂණී", සේන තෝරදෙනියගේ "සදත් විල මහා සුභද්‍රාවෝ" මේ අංශයෙන් මතකයට නැගේ. මෙවර ස්වර්ණ පුස්තක සම්මානය සහ විද්‍යෝදය සම්මානය  දිනූ එරික් ඉලයප්ආරච්චිගේ පේත තුල ද යම් පරිච්ඡේද නාට්‍යයක් ආරක දෙබසින් යුක්ත වීම, සමහර පාඨකයින් මේ පොත ගැන ව්‍යාකූලත්වයක් ගොඩනගා ගැනීමට හේතු වී තිබිය හැක.

No comments:

Post a Comment