Sunday 4 October 2020

පිටගම්කාරයෝ - විසිවෙනි කොටස නැරඹීමෙන් අනතුරුව...

පිටගම්කාරයෝ - විසිවෙනි කොටස නැරඹීමෙන් අනතුරුව...

අද ගම්‍ය වූ ගැඹුරු දේශපාලන අර්ථය අබේසේරයන් ඉතා හොඳින් නාට්‍යය තුලට කාවද්දා තිබූ බවට සැක නැත.


 

අප රට පළමු අගමැති ගේ අභාවය සැල වේ. පන්සලේ හාමුදුරුවෝ, දහම් පාසැල විසුරුවා හරිනුයේ ශෝක කාලයක් ප්‍රකාශ කරමිනි. විජේරාමයේ තිබූ ගුවන් හමුදා කඳවුරේ මුරකරු හා සයිමොං ගේ පුත් ජයසේන අතර වූ පහත දෙබසෙ ඇති වෙන ඔවුන් නැවත ගෙදර යන අතරය:

සිල්වා මහත්තයා:  අද ඉරිදා ඉස්කෝලේ නිවාඩු දුන්නා ද ?

ජයසේන: ඔව් මහත්තය. අද ඩී. ඇස්. සේනානායක මහත්තය මැරිලානේ.

සිල්වා මහත්තයා: මිනිය බලන්න යන්නේ නැද්ද?

ජයසේන: තාත්තලානං යන එකක් නැහැ

සිල්වා මහත්තයා: ඇයි ?

ජයසේන:  අපේ තාත්තා සමසමාජනේ. ඩී. ඇස්. සේනානායක මහත්තය යූ. ඇන්. පීලු නේද?

සිල්ව මහත්තයට තනියම සිනායයි. මුං පැහිලා තියන තරමක්.

 ජයසේන: අපේ කළුබෝවිල ආච්චිලනං යූ. ඇන්. පී. ඒගොල්ල යයි බලන්න

( 31-32 පිටු : පිටගම්කාරයෝ - ප්‍රබන්ධ කතාවේ ද්වීතිය භාගය)


දෙවෙනි ජවනිකාව / නවකතාවෙන් උපුටනය, ළමෝ රංචුව ලැවනිස් අයියාගේ කඩය ළඟට පැමිණෙන විට රැස්ව සිටින පිරිස අතර, උස් හඬින් කෙරෙන කතාබහ සේනානායකගේ මරණය ගැන ය:  

"අපි ඌ. ඇම්. පී. නෙමෙයි බං.
ඒ වුණාට  සේනානායක උන්නැහේ අපේ රටේ නායකයා. අපේ රජ්ජුරුවෝ"

එක් පණ්ඩිතයකු කියද්දි තවෙකෙක් එය උස් හඬින් අනුමත කරයි.

"ඒක හරි. ඒ මනුස්සයගේ මරණෙට කම්පාවුණයි කියලා අපි ඌ. ඇම්. පී.වෙනවයැ"
 
(35 පිටුව) 

 මිසිනෝනා ගේ අයියා සමඟ දින කිහිපයකට පුතුන් දෙදෙන කොළඹ යවනුයේ, ජයසේන කොළඹැ පාසැලකට යැවීමට ප්‍රථමවය. පුතුන් නැති පාළුව හේතුවෙන් සයිමොං, මිසිනෝනා හා දොඩමළු වෙද්දී දිගැරුණු සල්ලාපය"

මිසිනෝනා: අපේ පාළුවයි තනිකමයි කියල බැහැ. දරුවන්ගේ අනාගතේ ගැන කල්පනා කරන්න ඕන.

 සයිමොං: ඇයි මොහො ඉගෙනගත්තු එවුංට අහවල් දෙයක් වෙලාද? ආං ජාකෝලිස් වෙදමහත්තාගේ පුතා හෙට අනිද්දා ගුරු විභාගය පාස් වෙනවලු.

මිසිනෝනා:ඒ වුණාට මට ඕන ලොකු ළමයට ඉංග්‍රීසි උගන්නල ආණ්ඩුවේ ක්ලාර්ක් මහත්තයෙක්වත් කරන්ඩ, අඩු තරමින්.

මිසිනෝනා කියන්නේ කුමක්දැයි සයිමොංට වැටහෙයි. එහෙත් ඇය කල්පනා කරන මට්ටමින් හිතන්නට ඔහුට බැරිය. ගොයිතැන් බත් කරමින් මහ පොළොවටත් ස්වභාව ධර්මයාටත් සමීපව හැමදා ජීවත් වූ සයිමොංගේ සිතුම් පැතුම් ගමේ හතර මායිමෙන් එහාට විහිදෙන්නෙ නැත....

සයිමොං:  බොලාගේ කැමැත්තක්. හැබැයි ඔය සිදාදියේ ගොහිං කොලුව නරක් වුණොත් මං වගකියන්නේ නැහැ ඕං.

මිසිනෝනා: නරක් වෙනවනං නරක් වෙන්නේ මෙහෙ හිටියොත්. ඔහේට මේව තේරෙන්නෙ නැහැ. මං මේ හැම දුකක්ම විඳින්නේ ඔය දරුවෝ දෙන්නා ලොකු මහත් කරගන්ඩ

(40-41 පිටු )

මෙහි මට මතු කරලීමට උවමනා වූයේ, කළුබෝවිල නෑයන් යූ.ඇන්.පී. වීමත්, ඔවුන්ගෙන් අයෙකු වන මිසිනෝනා ගේ අයියා වන, 'කොළඹ මියුනිසිපල්' එකේ වැඩ කරන ඇඩ්මන් ලවා ජයසේන  ව කොළඹ පාසැලකට ඇතුලත් කරලීමට යත්න දැරීමත්, මිසි නෝනා ට ද, තම පුතාව "ගමෙන් පිට කර", "අප්පල කුඩප්පල වාගේ වෙලටම" යෑමේ ප්‍රවණතාව නැති කරලිමටත් ය.

අනෙක් අත ට කඩේ දී කතා වූවා සේ, සේනානායක උන්නැහේ ගේ මරණෙට කම්පා උනා කියා, "ඌ. ඇම්. පී" නොවෙන බවක් කීමෙන්, ධනවාදී යූ.ඇන්. පිය කෙරෙහි නිධන් ගත අකමැත්තක් පිළිඹිබු වේ. සයිමොං ද 'සමසමාජ" බව, ජයසේන පවසයි. සයිමොං ට ද ගමේ හතර මායිමෙන් පිට ජීවිතයක් නැත්තාක් මෙන්ම සිදාදීයේ දි "තනියක් දැනෙන" වගක් පවසයි. 

සමාජ දේශපාලන කාරණා ගැන පැසුණු බුද්ධියක් තිබූ තිස්ස අබේසේකර, මෙම දේශපාලන බෙදීම සමඟ සිතුවිලි වල බෙදීම, ගම හා නගරය අතර බෙදීම පමණක් නොව, 1940 දශකයේ විසූ කාන්තාවක් ලෙස, මිසිනෝනා, තිර අදිටනින්, තමන් ලත් ඉරණම බාරගනිමින් ( එනම් ගොවියෙකු වූ ත්, රේස් කොළයට පුරුදු වූත් සයිමොං හා වෙසෙමින් ), තම දරුවන් "මෙම නරකාදියෙන්, ගොඩගන්න" වෙහෙසන දිරිය මාතාවන් වන අප කාන්තා පරපුර ද අපූරුවට නිරූපනය කර ඇත.

 


 


No comments:

Post a Comment