Thursday, 28 September 2023

තාප පටලය සහ වෙනත් කෙටිකථා - මදුරසිංහ ගුණතිලක

 1980 වසරේ රාජ්‍ය සම්මානලාභී කෙටිකතා සංග්‍රහය දිනා ගත් මදුරසිංහ ගුණතිලකගේ 'තාප පටලය සහ වෙනත් කෙටි කතා' කෘතිය කියවූවෙමි. විචිත්‍රත්වයෙන් යුත් මැයන්  පදනම් කොට ගෙන ලියැවී ඇති මෙහි එන කෙටිකතා දහයේ රස විඳිය හැකි අවස්ථාවන් බොහෝය. යම් දුර්වලතා යැයි හැඟෙන අවස්ථා ඇතත්, ලේඛකයා ගේ කතා ගෙතීමේ හැකියාවත්, භාවිත භාෂාව පමණක් නොව, ඔහු ගේ නිර්මාණය තුල පවතින ගම්‍යතාවක් වන් යමක් හේතුවෙන්, එම දුර්වලතා පාඨකයාගේ කියවීමෙ රුචිය සහ වින්දනය පෙළන්නේ නැත.

මා මෙහි වඩාත් සාර්ථක කෙටිකතාවක් ලෙස නිවුණු තේ කෝප්පය දකිමි. අප රට ඉතා සුලභ ලෙස, විවාහයෙන් දරු මල්ලන් ලැබීමෙන් පසුව අඹු සැමි ඇසුරේ ගුණාත්මක බව, සහ සුලභ බව, ආදිය ඉතා ඉක්මනින් නැතිවීම යන කාරණාව මුල්කොට ගෙන ලියැවුන්නකි. කාන්තාව තුල පෙර තිබූ සුන්දරත්වය බොහෝ සෙයින් තිබුන ද, ඈ නිවුණු තේ කෝප්පයක් සේ, ළමුන් ගැන ම සිතීම, ආගමට දහමට ලැදිවීම ත්, පුරුෂයා නම්, තම පවුලේ උන්නතිය වෙනුවෙන් වැඩි අවදානයක් යොමු කිරීම ආදි හේතූන් නිසා මෙම තත්වය ඇති වන අයුරුත්, සමස්තයක් ලෙස විවාහයෙන් කෙටිකලකට පසුව වඩා නිවුණු ස්වරූපයක් සංස්කෘතියෙන් ම බලාපොරොත්තු වීමත් අප කතුවරයා දක්ෂ ලෙස තම කෙටිකතාවක් නතු කර ගනී.

උරුම කරුමය සාර්ථක කෙටිකතාවක් වන්නේ, ඊට අප නොහිතන ලෙස එක්තරා සත්ව කොට්ඨාශයක දෙදෙනෙකුගේ පිළීසඳරක් මුල් වීමත්, ඔවුන් ගෙන් මිනිසුන් බලාපොරොත්තු වන කරදරකාරි හැසිරීමක යෙදෙමින් ම, එම පිළිසඳරේ යෙදීමත්, එම සතුන්ගේ දෘෂ්ඨිකෝණයෙන් ම ලියැවී තිබීමත් හේතුවෙනි. මෙම කෙටිකතා සංග්‍රහයේ මා දකිනා ප්‍රධානම දුර්වලතාව වන, දෙබස් තුලින් පමණක් ම කෙටිකතාව ගොඩ නැගී තිබීම මෙහි දක්නට ලැබේ. එවන් රචනයක් යම් ආකාරයෙන් නාට්‍ය දෙබසක ස්වරූපයක් අපට මතක් කර දෙයි.

කඳු වළල්ලෙන් එහා
කෙටිකතාව ද මෙලෙස නාට්‍යමය ස්වරූපයක් අප ට හඟින්නේ, පෙර කී කෙටිකතාව සේ දෙදෙනෙකු අතර දෙබසින් ම මුළු කෙටිකතාව ම පෝෂණය වී තිබීම හේතුවෙනි. එහෙත් කතුවරයා දක්ෂ ලෙස දේශපාලන දර්ශනයක් භාවිත කිරීම හේතුවෙන් පාලක සහ පාලිත පැලැන්ති වල ස්වරූපය පෙන්වයි.  එක්තරා අන්දමකට "ගෝඩො එනකං" නාට්‍යය මතකයට නැංවීමටත් මෙම කෙටිකතාව සමත් ය.

පෙර කී කෙටිකතාවන් දෙක දෙදෙනෙකු අතර දෙබසට සීමා වුව ද, මෙහි එන මැක්කෝ කෙටිකතාව, රැස්ව සිටින
කිහිප දෙනෙකු එතන නැති අයෙකුගේ ජීවිත කතාව, ඔවුන්ගේ දෙබස් තුලින් අන් අයට හෙළි කරයි. මේ අවස්ථාවේ ද කතුකරයා රසවත් කතාවක් ගෙතීමට සමත් වුවද, පාඨකයාට ඒ ඒ අවස්තාවේ කවුරුන් කතා කරන්නේ ද යන්න පවා අපැහැදිය. කතුවරයා ඉන් අඟවන්නේ මෙහි ඔවුන් කතාකරනා අසංග ගැන විස්තරයම වැදගත් වන අතර, ආකෘතිය එතරම් වැදගත් නැති බවකි.  එහෙත් 1980 වන විට දී ද, සිංහල පාඨකයා ගුණදාස අමරසේකර, සයිමන් නවගත්තේගම ආදි කතුවරුන්ගේ ඉහළම ගණයේ කෙටිකතා රස විඳි තිබි හෙයින්, ආකෘතිය ගැන මීට තරමක් වෙහෙසීමට අවකාශ තිබූ බවකි, අපගේ අදහස.

ප්‍රථිපල ලේඛනය ද රසවත් නිර්මාණයක් වන්නේ නොසිතූ ලෙස මෙහි එන උත්කර්ෂා නැමැත්තිය, ඇගේ වරදින්ම ඈ කෙරෙහි අදහස් ඇති කර්ග්ත් දුර්ග නම් වූ තරුණයා එම අදහසින් වෙනස් කරගැනීමට යොමු කර ඇති ආකාරයත්, ඈ එසේ කරනා බවක් ආකර්ශාට කිසිදු අවස්ථාවක නොසිටීමත් නිසාය.

මෙහි යම් තරමක් ඔවදනාත්මක කෙටිකතා ද තිබේ. ප්‍රධාන කෙටිකතාව වූ, තාප පටලය ද එවැන්නකි. තමන් කෙරෙහි වූ අධිමානයත්, අන් අය ගැන නොසිතීමත්, තමන් ට සමාජයේ යම් ස්ථානයක් තිබේ නම්, එය මොනයම් අයුරෙන් හෝ ආරක්ෂා කර ගැනීමේ අදිටනත් පෙන්නුම කරනා, තරමක ඔවදනාත්මක කෙටිකතාවකි.

කතුවරයා එවකට නව්‍ය යැයි සිතිය හැකි ලේඛන ආර සමඟ ද යම් නිර්මාණ පරීක්ෂණ සිදු කොට ඇත. නෘත්‍යාගාරය එවන් කෙටිකතාවකි. සැබෑ ලොවත්, නාට්‍යයත් අතර අපූරු සැසඳීමක් මගින්, අප සියළු දෙන එක්තරා අන්දමකින් සැබෑ ජීවිතයේ ද නළු නිලියන් බවත්, මුළු ලොව රඟමඬලක් ය යන අදහස මතුවෙනාකාරයෙනුත් ලියැවුන්නකි.

පටුතිරය, වැලිතලප, සහ රතු මැණික වැනි කෙටිකතා මෙහි එතරම් සාර්ථක ලෙස මතු නොවුනත්, ඒවායේද පාඨකයා ට යම් වින්දනයක් ගෙන හැකි, ඒ වන විට සිංහල පාඨකයට අලුත් යැයි සිතිය හැකි නිර්මාණ ආරක අවස්ථා දැකිය හැක.

විශ්ව විද්‍යාල වල ශාස්ත්‍රවේදී උපාධියට ද නිර්දිෂ්ට කෘතියක් වන මෙය, එදා මෙදා තුර අප රට ඉතා සාර්ථක කෙටිකතා රචකයින් රැසක් බිහි ව, කෙටිකතාව වඩා විචිත්‍රවත් ගොඩනැඟි ඇති මුත්, අදට ත පාඨකයා ට රස වින්දනයට ගෙන ඒමට සමත් කෙටිකතා එකතුවක් ලෙස නම් කල හැක. දැනටමත් සිංහල කෙටිකතා රසිකයන් බොහෝ දෙනෙක් සතු කෘතියක් යැයි සිතිය හැකි මෙය, එසේ මෙතෙක් මිලදී ගැනීමට නොහැකි වූ අය පවා මිලදි ගැනීමට සැලකිය යුත්තක් ලෙස දකිමි. මා සතුව ඇත්තේ 2016 ප්‍රකාශ වූ සවැනි මුද්‍රණය වුව, ඊට පසු මුද්‍රණයන්  අද දවසේ ද ගොඩගේ හි තිබෙන බව සහතික විය හැක.

ශ්‍රේණිය: ****
ශානරය: කෙටිකතා

Thursday, 21 September 2023

කළු උස මනුස්සයෙක් - ප්‍රින්ස් සේනාධීර

ප්‍රින්ස් සේනාධීර යන නම මගේ නෙත පැහැරගත්තේ පසුගිය වසරේ සම්මාන කිහිපයකට ම නිර්දේශ වූ නිසාය. ඔහුගේ "පුස්තකාල පූසා" ව, එහි නම නිසාම වරක් දෙකක් නෙත ගැටී තිබුනද, එය අතට ගෙන බැලීමට හෝ යොමු නොවූ බවත්, ඒ අර්ථයෙන් කුමන අඩුපාඩු මැද වුව, සාහිත්‍ය සම්මාන, අප වන් ලාංකිය කලා සමාජයේ කිසිවකු නොඅඳුනන, කුඩා කියවීම් සමාජයක් තුල පමණක් දැන ඇදුනුම්කම් පවත්වාගෙන යන, වෘත්තිය දිවියට දවසේ වැඩි වෙලාවක් ගත කිරීමට සිදුවන්නන් හට,  ඇසට පුරුදු කරගත් නමක් නැති අයෙකුගේ පොතක් අතට ගැනීමට පොළඹවන ප්‍රධාන සාධකය බවය, තිත්ත ඇත්ත! ඒ නිසාය, සම්මාන ජය කාට හිමි වුවද, අප රට ප්‍රධාන සම්මාන හතර හරහා කෙරෙන නිර්දේශයන් ම වැදගත් වන්නේ. මෙම කෘතිය එකම සම්මානයක් හෝ ජයග්‍රහණය නොකලද, සම්මාන හතරට ම නිර්දේශ වූ එකම කෙටිකතා සංග්‍රහය මෙය බව පිරීක්සන විට පෙනී යයි.   කළු උස මනුස්සයෙක් I සහ II යන කෙටිකතා කියවිමෙන් අනතුරුව, හදිසියෙන් කලේ ගොඩගේ එකට දිව ගොස් පුස්තකාල පූසා ව ගෙදර එන ඒමය. ඒ, එම කෙටිකතා දෙකෙන් ම, ප්‍රින්ස් ගේ කෙටිකතා කියවිය යුතුයි, යන හැඟීම මා තුල ස්ථාපිත වූ නිසාය. ඉතින් ඒ කෙටිකතා කෙසේද ?

කළු උස මනුස්සයෙක්, සහ කළු උස මනුස්සයෙක් II: මෑතක කිය වූ ඉතා ම රසවත් නිර්මාණ දෙකකි. සේතන්, ඔහු ට ජීවත් වීමට තිබූ සියළු බලාපොරොත්තු නැති වූ මැදිවිය ඉක්ම වූ පියෙකි. යුද්ධයේදී අතුරුදන් ව ගිය සිය පුතුගේ මෘත දේහය හෝ බලා ගැනීමට නොහැකි වූ සොව, ඔහු ජීවත් වන තෙක් ඔහු සිත පාරවයි. එලෙස ජීවත් වද්දී ය, නාඳුනන මල මිනියක් දිය නාන්නට ගිය විට ඇස ගැටෙන්නෙ. ඔහු ට තියෙන සැකය, මේ මිය ගිය මනුස්සයා ට කවුරුත් ම හෝ නැති ද යන්න ? සිය මිය ගිය පුතුගේ වයස පමණ වූ එම මිය ගිය තැනැත්තා ගේ නැති වීම මේ රටේ කාටවත් ම දැනෙන්නැ ද ? එම මෘත දේහය ආණ්ඩුව ගානේ, අවම වියදමකින් සහ ගරුසරුවකින් මිහිදන් කිරීම ද, මේ කාට හෝ නෑ කම් කී පුද්ගලයා ගේ දෛවය ? ඔහු ගේ පුතුගේ අතුරුදන් වීමෙන් පසු, මෙසේ අයිතිකාරයෙක් නැති මල මිනියක් යනු, සේතන් ට තේරුම් ගත නොහැකි දෙයකි. ඔහු වසර ගණනාවක් තම අතුරුදන් වු පුතු ගැන සොයා හති වැටී, බලාපොරොත්තු සුන්ව තම අවසන් කාලය ගෙවෙන්න ට ඉඩ හැර සිටින්නෙකි - නැතොත්, මැරෙන්න බැරි නිසා ජීවත් වන්නාක් සෙයකි. ඉදින් ඔහු කෙසේ ඔහුගේ දෛවයේ, අනෙක් පැත්ත තේරුම් ගන්න ද? නිර්මාණකරු, සේතන් ගේ මානසික ආතතිය, මේ විමතිය තේරුම් ගැනීමට නොහැකි ව, මෝචරියේ එම මල මිනිය වටේ කැරකැවීම, පොලිසියේ රස්තියාදු වීම මගින්, විශිෂ්ඨ ලෙස, තමන් ට උරුම වූ ඒ වටිනා වස්තුවක් නැති වීම, මෘත දේහයක් හෝ බලාගැනීමට නොහැකි වීමේ ජීවිතයේ පතුලේ ම ඇති බලාපොරොත්තු සුන් බව ගෙන හැර දක්වයි. මේ කෙටිකතාව සුවිශේෂි වන්නේ ඒ නිසාය.

අප්පුහාමි කුඩාවෙකු කල සිට කුඹුර ට, කමත ට, නියර ට පෙම් කල ඇත්තෙකි. සිය වැඩිමල් සොයුරු උසස් අධ්‍යපනයේ හිනි පෙත්තට යද්දි, "උපන් මෝඩයෙකු" ලෙස, සම්මත ආකාරයෙන් නම්, මගහැරී ගිය ජීවිතයක් වන අප්පුහාමි, පියඹකට මෙන් තම කුඹුර ට පෙම් කරයි. කතුවරයා මනස්කාන්ත ලෙස එම කුඹුරේ බලාපොරොත්තු, පියඹගේ හැඟුම් හා බලාපොරොත්තු තේරුම්ගත් ප්‍රියාදර පෙම්බරයකු ලෙස, අප්පුහාමිට වැටහෙන අයුරු, අප ඉදිරියේ මවා පායි. මෙම කෙටිකතාව එතරම් රසවත් වන්නේ ඒ නිසාය. අප්පුහාමි ට තම කුඹුර, පෙම්බරියක ලබා දෙන ජීවන රසය, ජීවිත බලාපොරොත්තුව, ලබා දෙන්නේ නම්, එම සංඥ්ඥා, එම පරිසරය හා බැඳි ගැඹුරු දැක්ම නොවැටහෙන අපි ට, ඔහු උපන් ගෙයි මෝඩයෙකු ලෙස තීරණයට ඇති අයිතිය කිම ? එසේ ජීවත් වූ අප්පුහාමි ට තම කුඹුර අහිමි වූ විට, ඔහු ට ජීවත් වීමට කුමන බලාපොරොත්තුවක් ඉතිරිකරාවි ද?

පෙම් සුව නොලබන්නියකු ට හෝ නොලබන්නෙකුට හෝ, තමන ට අහිමිව ගිය තාවකාලික පෙම් සුව ද බොහෝ සේ වටින්නේය. ඔවුන් ව ජීවත් කරවීමට එම මතකය  ම ප්‍රමාණවත් ය. චන්ද්‍රලතාටත් තිරස් දර්ශනයක් හි, තම වහලෙහි සිදුර අපූරු මතකයක් (සිරස් දර්ශන) රැගෙන එන අතර, වසර ගණනාවකට පසුව, අන් සතු වූ පසු ව හෝ, සිට පෙම්වතාගේ සිත් තුල පැරණි පෙමක මතකයක් ගෙන  ඒමට සමත් වීම (තිරස් දර්ශනය)  වුව ඇයට ප්‍රමාණවත් ය. මා වඩාත් රසවිඳි කෙටිකතාවකි.

පෙර කී ප්‍රේමයේ මතකය, එය කෙතෙරම් සුළු වුව කෙනෙකු නිරෝගී ව තැබීමට තරම් විය හැක. ලියුම් මාත්‍රාව නම් කෙටිකතාවේ එන රත්නපාල හා කල්‍යාණිගේ ප්‍රේමය ලියුම් ගණුදෙණු වලට සීමාවූවකි. එහෙත් ඔවුන්ගේ පුංචි ලෝක වලදී එම දිනකට වරක් විනාඩි කිහිපයක හමුව දෙදෙනාව ම ජීවත් කරවීමට පමණක් නොව, මැදිවියේ රෝග, වෙහෙස ට එරෙහිව මාත්‍රාවක් වන අයුරු ආකාරාය ඇත්තෙන්ම අපූරුය.

මෙහි එන වඩාත් දේශපාලනික (සාමාන්‍ය අර්ථයෙන්), අනෙක් සපත්තුව යි.දේශපාලන අධිකාරියේ පිම්බීම උදෙසා පෞද්ගලික බැඳීම් නොසලකා හැරීම අප වන් රට වල සාමාන්‍ය දෙයක් පමණක් නොව, බහුතරයක් ප්‍රශ්ණ කිරීමකින් තොරව බාර ගන්නා තත්තවයක් වීම, අප රට සාමාන්‍ය මිනිසුන්ට අභිමානයෙන් ජීවත් වීම දවසින් දවස පසුපසට යවනා තත්වයකි.

ඉහත කෙටිකතා පහ මෙහි එන සාර්ථකම කෙටිකතා හතර වේ. එම හතර පමණක් වුව මෙය විශිෂ්ඨ කෙටිකතා සංග්‍රහයක් බවට පත්කිරීමට සමත්‍ ය. ඒ නිර්මාණ හතර තුලින් මිනිස් සිත, එහි බලාපොරොත්තු, ඒවා රහිත වූ විට ඔවුන්ගේ ජීවිත වල බිඳවැටීම්, බලාපොරොත්තුවම අයෙකු ජීවත්කරලීමට සමත් වන අයුරු පෙන්වා දෙන්නේ, ප්‍රින්ස් කෙතෙරම් අපූරුවට මිනිසෙකුගේ ගැහැනියෙකුගේ සියුම් හැඟීම් හඳුනන්නේ ද යන්න බවට සාක්ෂි දෙන අතරය.

මෙහි එන අසූනවයට පස්සේ කෙටිකතාව ලාංකිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමහර ගුරුවරුන්, නවයොවුන් සිසුහුගේ සිතිම් රටාව තේරුම් නොගැනීම විදහා දක්වන ආරේ කෙටිකතාවකි. ඉන් දිගුවක් ලෙස අප රට විචාරවත් නොවන වැඩිහිටි සමාජයකට එවන් ගුරුවරුන් ද වගකිවයුතු බවක් ඇඟවේ.

මුදු මොළොක් කළුගල් කෙටිකතාව, කතාවක් ලෙස ඉතා රසවත් මුත්, බොහෝ සෙයින් භාවිතයට ගෙන ඇති, කුලපීඩනය, 89 භීෂණය ආදිය පදනම් කරගෙන ලියැවුන්නකි. එහි විලියම් මාමාගෙන් කියවෙන සමහර කියුම් හි එන දාර්ශනික පැතිකඩයන් කතාවේ රසවත් තැන් වැඩි කරයි.

මෙහි එන යම් තරමකින් හෝ සාමාන්‍ය ලෙස ගිණිය හැකි කෙටිතාව සී.සී.ටී.වි. යැයි සිතමි. මිතුරාගේ ප්‍රශ්ණය හා තම දරුවාගෙන් එන පීඩනය අතර දෝලනය වන ගුණපාල, අවසන තම මිතුරාට වෙන කල හැකි දෙයක් නැති බව තේරුම් ගෙන, නීතියේ සීමාවෙන් ඔබ්බට නැවත ක්‍රියාත්මක වන්නේ තමන්ට එරෙහිව එන සියළු දඬුවම් වලට මුහුණ දීමට තෝරාගනිමිනි.

ඉතින්, සිංහල කෙටිකතාව ට ආදරය කරන්නියක් නම්, කිසිදු පැකිලිමකින් තොරව, අනිවාර්‍යයෙන් ම කියවිය යුතු කෙටිකතා සංග්‍රහයක් බව පැවසිය හැකි කෘතියකි.

ශ්‍රේණිය: ****1/2
2021 ප්‍රකාශ වූ කෙටිකතා කියවීම: 5
ප්‍රකාශනය: විදර්ශන


 

Wednesday, 30 August 2023

වැසිකිලි සෝදන්නාගේ දුව වීම නිසා - මහින්ද රත්නායක

 ලේඛකයා නවකතා හයකුත් , කෙටිකතා සංග්‍රහයන්, මේ වෙද්දි එකොළහකුත්  (මෙය දහවැන්න විය ), ලියා පළ කොට තිබුන ද, මා මීට පෙර කියවා තිබුනේ එක් නවකතාවක් (නන්දිරාග)  පමණි. මෙම කෙටිකතා සංග්‍රහය මේ වෙලාවේ කියවීමට ආසන්නම හේතුව 2021 වසරේ ප්‍රකාශ වූ තෝරා ගත් කෙටිකතා සංග්‍රහයන් කිහිපයක් කියවා, මගේ සීමිත කියවීම අනුව යම් ඇගයීමකට පාත්‍ර කිරීමයි.

කතුවරයා කෙටිකතා වලට ප්‍රථමව, නොනිල පෙරවදනක පවසන්නේ, මෙහි එන 'ඇතැම් අවස්ථා' කුණුහරුප' ලෙස විග්‍රහ නොකරන බවයි. කෙටිකතා අට කියවාගෙන යාමේදී මට නම් පැහැදිලි වූයේ, කතුවරයා ඒවා කුණුහරුප ලෙස නොව, ඔහු ගේ අදහස්, විශ්වාස, සමාජ විග්‍රහයන් වෙනුවෙන් භාවිතයට ගන්නා සිදුවීම් ලෙසය. මෙම කෙටිකතා සංග්‍රහයයේ සාර්ථකත්වයත්, දුර්වලතාවත් ඇත්තේ මෙතැනය. කතුවරයා යම් යම් අදහස් දරන්නේය. තම නිර්මාණ තුලින්, එම අදහස් හි සාධාරණ බව, සත්‍යතාව තහවුරු කරලීම, තම පරම උවමනාව ලෙස සලකන බවකි අප ට හැඟෙන්නෙ. එසේ තම නිර්මාණ තුලින් යම් අදහසක් වෙනුවෙන් පෙනී සිටීම කරනා කතුවරු දුර්ලභ නැත. එහි සාර්ථක-අසාර්ථක බව අපට පසක් වන්නේ, නිර්මාණය තුලට එම අදහස් ගිල්වා, තනුක කොට, සුපරික්ෂාකාරී කියවන්නියකුට ගෝචර වන අයුරෙන් හා, නිර්මාණයට අනවශ්‍ය බරක් ලෙස  ඉදිරිපත් නොකිරීමේ හුරුබුහුටි බවේ ඇති සාර්ථකත්වය මතයි. 

ගැහැණියක් ඇත්තටම පිරිමියෙකුට ආදරය කරන්නේ ඇයට ඔහුගේ සුවිශේෂි යැයි සිතෙන හේතුවක් නිසාය. සමාජ සම්මතය අනුව -ස්ථාවර රැකියාව, මිල මුදල්, උගත්කම, පරම්පරාව, සත්‍ය වශයෙන් එම වසඟවීමට කෘතීමව සමාජ පීඩනය මගින් එක්කල කොටස්‍ ය. අපතයා කෙටිකතාව මගින් මේ තත්වය නිර්මාණාකාරයට ගෙනහැර දැක්වීමට වෑයම් කරත්, කතුවරයාගේ නිර්මාණ සැකැස්මේ ඇති යම් ආකෘතික භාවිතය, පෞද්ගලිකව රසාස්වාදය උපරිම තලයට ගෙන ඒමට බාධාකලේය.

අතරමංවූවෝ
කෙටිකතාව, නූතන, වෙසෙසින් බටහිර අදහස් ඔස්සේ යම් විවේචනයකට ද පාත්‍ර විය හැක. මෙහි එන ගැහැනිය පළමුව පිරිමියා ඇයව රවට්ටා ගැනීම, නම්මවා ගැනීම ගැන ප්‍රවේශම්කාරී වෙයි - එසේ නොකරනා කල තම ගැහැනුකම ගැන, ඔහුගේ පුරුෂභාවය ගෑන අවිශ්වාස කරයි - සිතින් පුරුෂයාට බැණ වදියි. එහි ස්ත්‍රිය කෙරෙහි යම් ඒකාකෘතික බවක් ආරෝපනයට ආසන්න අවස්ථාවක් නැත්තේ නොවේ; එහෙත් එවන් අවස්ථා මත පිහිටා සිටීම සාහිත්‍ය සේවනයට බාධාවක් බවයි අපගේ අදහස - එ නිසා එය නොසලකා යුත්තකි.  පෙර කී  පළමු අවස්ථාවෙන්, එනෙක් අවස්ථාවට ගැහැනු මනසේ ආගමනය කෙටිකතාවේ මුඛ්‍ය මාතෘකාවයි ( පුරුෂයා කුමන අවස්ථාවේ හෝ ගැහැනිය තම කැමැත්තට නම්මවා ගැනීම තම එකම අභිප්‍රාය යන ආස්ථානයේ සිටය එම ගැහැනු මනස ක්‍රියාත්මක වන්නේ - එය එසේ නොවන බව කීමට තැත් නොකරමි). එනුමුදු මෙම ගැහැනු මනසේ සැකය සහ වෙනස්වීම යන කාරණාව පෙන්වීම උදෙසා කතුවරයා එතරම් විශ්වාසදායක කතාකෝවක් නිර්මාණය කරන්නේ ද යන්න ගැන අයෙකු ට ප්‍රශ්ණ කල හැක.

ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ  සිදුවන මදි පුංචිකම්, නොසලාහැරීම්, ආදිය ගැන, සාහිත්‍ය පිළිබඳ උනන්දු අයෙකුට අසන්න නොලැබෙන දවසක් නැති තරම් ය. මහාචාර්‍යවරයාගේ විචාරය ද එවන් අවස්ථාවක් ගැන කියවෙන නිර්මාණයකි. කිසිදා නොලියවෙන විචාරයක් පිපාසාවෙන් මෙහි එන ලේඛකයා මේ කියනා මහාචාර්‍යවරයාට තම පොතෙන් පිටපතක් යවන්නේ විටක බර වියදමක් ද දරමිනි. මෙය කතුවරයා ගේ පෞද්ගලික අත්දැකීමක් වීමට ඉඩ නැත්තේ නොවේ.

පෙර ද කීවා සේ, මෙම කෙටි කතා සංග්‍රහයයේ එන කතුවරයා ට සමහර දෑ ගැන තමන් ට විශ්වාසී අදහස් තිබේ. ඔහු එම අදහස් වෙනුවෙන් තරයේ පෙනී සිටී. තම කෙටිකතා නිර්මාණ එම අදහස් ද ක්ෂාත්ක්ෂාත් කරලීමට භාවිතා කරනවා යැයි සිතේ. දක්ෂ නිර්මාණකරුවෙකු ලෙස එවන් අවස්ථා සාර්ථක වන අවස්ථා ඇතත්, පාඨකයා ට කතුවරයා ගේ අරමුණ ම කුමක් දැයි වැටෙහෙන අවස්ථා වලදී නිර්මාණයේ සාර්ථකත්වයට යම් පලුද්දක් එකතු වේ. වැල එවන් නිර්මාණයකි. අද වන අධ්‍යාපන කටයුතු වලට නොහැකි ම බැරි උපාංගයක් වන පරිඝණකයක්, මෙහි එන කතා නායකයාගේ පවුලේ, ඔහු ඇරෙන්න අන් සියළු දෙනාම තම කාම අස්වැසිල්ලට අපරික්ෂාකාරී ලෙස භාවිත කිරීම යනු, අපට නම් හැඟෙන්නේ කතුවර අරමුණ වෙනුවෙන් ම සේවය කරනා උපක්‍රමයක් ලෙසට ය.

අප රටේ, සමාජ ස්ථරය අනුව යම් පුද්ගයලන් තමන් වෙත කෙරෙන ඕනෑම දෙයක් ඉවසීම අද වන විටත් සිදුවනා දුක්ඛිත තත්වයකි. "වැසිකිළි සෝදන්නාගේ දුව වීම නිසා", ඇය ද ඒ සියල්ල ඉවසීම, හෝ ඊට එරෙහි වීමේ ශක්තියක්, හෝ මානසිකත්වත් නොතිබීම, මෙම තත්වයන් අද වන විටත් එලෙසම පැවැත්මට හේතු වන බව පැහැදිලිය.

කතුවරයාගේ නිර්මාණ වල තනිකම සහ ලිංගිකත්වය විෂයෙහි, වඩා සාධාරණ ආස්ථානයක් වෙනුවෙන් පෙනී සිටීම, මා සිත් ගත් කාරණාවකි. ලිංගික සූරාකෑමෙහි අජූව පෙන්වා දෙන අතර, ලිංගිකත්වය විඳිය යුත්තක් වශයෙන් ද, දෙදෙනෙකුගේ කැමැත්ත ඇත්තේ නම්, එය අනෙකාගේ වැඩක් නොවේය යන ආස්ථනායත්, එකට විසිය නොහැකි නම්, වෙන්වීමේ වරදක් නැති බවත් පෙන්වීම, එහි දිගුවකි. තුන් දොහේ දීගේ කෙටිකතාව, පුළුල් ලෙස මෙවන් අදහස් කෙටිකතාව තුලින් නිරූපනය කෙරෙමින් දිගැදෙන අතර, මෙහි එන ඉස්කෝල මහතා, කුසුමා ගේ ආරාධනය ප්‍රතික්ෂේප කල ද, ඉස්කෝලේ මහතා එතැනින් පිටත් වෙද්දී, කුසුමා තවම ජීවිතය විඳීමට කැමති කාන්තාවක් බව පෙන්වන ආකාරය සුවිශේෂිය.

"ඉසකෙයා කෙන්දක තරම්වත්, සීරීල්ලක්, පැලීමක් නැති, බත් අහුරක් දමාගෙන කෑ හැකි තරම් පිරිසිඳු ඔහුගේ දෙපා - යටිපතුල් දොරකඩ ගලවා තිබූ රබර් සෙරෙප්පු දෙක දමා ගන්නා විට ඇගේ ඇඟ සලිත වනවා - ඇඟ පුරා දිවූ හිරිය ඇය දෙනෙත පියා සපා ගන්නවා ඔහු දුටුවේ නැත." (92 පිටුව)

 විශ්වවිද්‍යාල දේශපාලනය මුවාවෙන්, සහ එහි ආකෘතික ජීවිතයට විරුද්ධ ජීවිතයක් වෙනුවෙන් වන්දි ගෙවූ ෂර්මිලා, තම දිවිය පුරා තමන් තෝරා ගත් අයුරකින් සමාජයට සේවයක් සපයෛ. කෙටිකතාවේ නම 'වේසි!' වුව, ඇය මුදලට විකිණෙන ඇත්තියක් නොවේ. ඈ සැම දා තම සිරුර පරිත්‍යාග කලේ, අන් අයගේ ව්‍යාකූලත්වයක් වෙනුවෙනි. මුල දී ඈ භාවිත වුව ද, පසුව ඈ කැමැත්තෙන්ම පාහේ තම දිවිය උරුම කර දුන් තත්වයෙන් තව මිනිසෙකුගේ යම් ආකාර ගැටළුවකට අස්වැසුමක් ලබා දෙයි. 

"'ආදරය' කියන්නේ ඒකට තමා!" යන්න ලිංගිකත්වය සහ ආදරය යන්නෙහි වඩා නූතන අදහස් වෙනුවෙන් පෙනී සිටියි. වර්තමාන සමාජයේ සමරිසි - හා එසේ නොවන යන විභේදනයේ දෙකින් එකක් තුල ගොණු නොවන අය ගේ වැඩිවීමක් දැකිය හැක. එය දේශපාලන සටන් පාඨයක් නොකරගෙන, කෙටිකතාවක් තුල, සාර්ථක ලෙස අලලා ගත් අවස්ථාවකි, මෙම නිර්මාණය. අයෙකු යම් අවස්ථාවක සම ඇසුරකුත්, තවත් විටෙක තමනට පෙර රිසි වූ පුද්ගලයා ගේ ඇසුර පසු කොට ජීවිතයේ තවත් අඩවියකට පා තිබෙනවා වන්නට ත් පුලුවන. 

"ඉතිං මං කිව්වනෙ මට එහෙම දෙයක් ඕනෙ නෑ. එදා ඒ දේ ඕනෙ උනේ අපි දෙන්නට දෙන්නා ඒ තරං සමීප හින්දා. ඒ මොහොතෙ ඒ ආදරේ ප්‍රකාශ වෙන්න තියන හැම ඉඩක්ම හෙව්ව හින්දා. නැතුව මට එහෙම දෙයක් ඕනැ උන හින්දා නෙමෙයි." (128 පිටුව)

මෙම සංග්‍රහයේ එන සාර්ථකම, හෙවත් කතුවරයා පෙනී සිටින අදහස් වඩා සුමට ලෙස කෙටිකතාවක් තුල ගොණු කල අවස්ථාවක් මෙය වේයැයි සිතේ.

සාරාංශ ලෙස, නූතන අදහස්  හා සබැඳි කතුවර අදහස් වෙනුවෙන් පෙනී සිටින කෙටිකතා ගොන්නක් ලෙසත්, සාර්ථක පාර්ශවයට වඩා ආනත මුත්, එහෙත් කතුවර අදහස් වෙනුවෙන් සේවය කිරීමට යාමෙන් කතා රසය මෙන්ම විශ්වාසයත් විටෙක අභියෝග කෙරෙන අවස්ථා ද දැකිය හැකි කෙටිකතා අටකින් සපිරි සංග්‍රහයකි. මෙම සංග්‍රහයේ, 2022 වසරෙ, 2021 වසරේ ප්‍රකාශිත හොඳම කෙටිකතා සංග්‍රහය සඳහා වූ සම්මානයට, රජත, විද්‍යෝදය, සහ ගොඩගේ යන තුන් පාර්ශවයෙන්ම නිර්දේශ විය. මෙහි එන නූතන අදහස් ඊට බොහෝ සේ හේතූ වුවා විය හැකිය.

ශ්‍රේණිය: ***1/2
ප්‍රකාශනය: සරසවි
ශානරය: කෙටිකතා
2021 ප්‍රකාශිත තෝරා ගත් කෙටිකතා සංග්‍රහයන් කියවීම: 3

 


Sunday, 6 August 2023

අඳුරට එළියක් - කරුණා පෙරේරා

රාජ්‍ය සාහිත්‍ය සම්මාන - හොඳම කෙටිකතා සංග්‍රහය - 1971

මීට පනස්දෙවසරකට පෙර රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලත් මෙම කෙටිකතා සංග්‍රහය  මට මෑතක ගොඩගේ පොත් සාප්පුවේ අන් ප්‍රකාශකයින්ගේ කෙටිකතා රැගත් රාක්කයක පහළම තට්ටුවක තිබී හමුවිය. ඒ මා සම්මාන දිනූ නවකතා/ කෙටිකතා එක්කාසු කිරීමේ ව්‍යායාමයක යෙදිසිටිනා අතරය. මේ එහි තෙවෙනි මුද්‍රණයයි (2011) - ඒ ද කර්තෘ ප්‍රකාශනයකි ( එහි මුල් මුද්‍රණය හංස ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශ වී ඇත.). එහි පසු පිටකවරයෙහි කතුවරිය ට ආචාර දැක්වීම් දෙකකි; "ඇය අපේ ප්‍රථම නිර්ධන පංතික ලේඛිකාවයි" ( ගාමිණි හත්තොටුවේගම); "මම ඇයගේ පෙරළිකාර හඬට ආචාර කරමි..." (රෙජී සිරිවර්ධන). පෙරවදනේ ද ලේඛිකාව පොත ප්‍රකාශ වූ එම යුගය ගැන මෙසේ කියයි."'අඳුරට එළියක්' පාඨක ඔබ අතට ආවේ 1971 දී ය. ඒ තරුණ නැගිටීමක උණුසුම පැවති කාලයයි. සමාජයේ පවත්නා පංතීන් ගේ වෙනස හඳුනාගන්නට තැත් දැරූ නිර්ධනීන් ගේ පීඩිත ජීවිත ගැන හැඟීමක් තිබූ තරුණ ලේ උණුසුම්ව නැඟී සිටි අවධියකි ඒ"


ඉතින් මෙහි එන කෙටිකතා දහයේම මෙම පීඩිත පංතියේ අත්දැකීම්, ඔවුනට ඇති අභියෝග, ඔවුන් ඒවාට ක්‍රියාත්මක වන ආකාරය ගෙනහැර දක්වා ඇත. පංති වෙනස නිසා විඳිනා පීඩාවන් ට ගතානුගතික ලෙස කර්මයට ලඝු කරලිමේ සාම්ප්‍රදායික දැක්ම (එලොවින් බිඳක් ගේන්න ඇත්නම්), කුමන බලපෑම ඇති වුවද දේශපාලන වශයෙන් ධනවාදී කඳවුරට නොනැමීම ( නොසැලෙන කඳුළු), පවුල් බරේ අභියෝග හමුවේ නීතියේ සීමාවෙන් ඔබ්බට ක්‍රියා කිරිමට සිදුවීම, සම්ප්‍රදායෙන් පිටයෑමට, නැතිනම් අයථා යැයි හැඳින්වෙනා සබඳතාවන් වලට යොමුවීම ( වැස්ස වහිනවා, අඳුරට එළියක්), මේ ආර්ථික සමාජ පීඩනය තුල අධ්‍යාපනයෙන් විසඳුමක් තිබේද, විසඳුමක් තිබුන ද එතෙක් කෙසේ මේ ගමන යන්නේ ද යන අභියෝගය ( කවුදෝ කෙනෙක් වැරැද්දක් කරලා, ශිෂ්‍ය නායිකාව), එසේ අධ්‍යාපනය හරහා අභියෝග ජයගත්ත ද, එම ජයග්‍රහණයන් තාවකාලිකය -තවෙකෙක් එම පිඩනයේ ම තවම විඳවන්නේය යන සිතුවිල්ල (ඊයේ දවසද අද දවස එක්කම එකට සිටියි....), මෙහි එන සමාජ ගටළු වෙත පිවිසෙනාකාර කිහිපයකි. තැනෙක දෙකක රුවන් වැකි මෙන් කොටස් ද හමු වේ:

"ඉගෙන ගත්තහම කුලී වැඩක්වත් කරන්න ලැජ්ජා හිතෙනවා මිස්. ඒකයි...." (කවුදෝ කෙනෙක් වැරැද්දක් කරලා)

එනුමුදු, මෙම සංග්‍රහයේ අද වන විට වටිනාකම ඇත්තේ මෙම කෘතියේ ඓතිහාසික බව නිසා යැයි සිතමි. එ දවස තිබූ සමාජ පීඩාව පිළිඹුවේ වැදගත් සාහිත්‍ය සටහනකි මෙය. අද වන විට සාහිත්‍යමය අතින් මෙහි යම් ඒකාකාරි මාතෘකා ගොන්නක හිර වී ඇතුවා දැකගත හැකි පමණක් නොව, මෙහි එන ආර්ථික සමාජ ගැටළු පංති අතර වෙනසක ට වඩා පුළුල් ලෙස සාකච්ඡා වන වටපිටාවක් බිහි වී ඇතැයි සිතේ. එදාට වඩා අද  පීඩිතයාට සාපේක්ෂ වශයෙන් අවස්ථාවන් පුළුල් ය. මුළු ලෝකය ම "එකිනෙකා ට ආසන්න වී" ඇති යුගයක, අද එම පාංතික ගැටුමට වඩා එහා ගිය දේශපාලන බල හස්තයේ මර්දනය නිර්ධන පාංතිකයා ද, මධ්‍යම පාංතිකයා ද විඳී. වෙනත් වචන වලින් කිවහොත්, මෙම කෙටිකතා වල එන සමාජයේ ස්ථරයක් සතු ගැටළු සියල්ලට වලට විසඳුම් ලැබී නැත; එහෙත් එහි ස්වරූප වෙනස් ව ඇත - තවමත් කෙනෙක් දුක් විඳ කෙසේ හෝ "ඔළුව උස්සා" ගනී. තවකෙක් දේශපාලනයේ මෙවලමක් ව සමාජයට භීතිය ගෙන එයි, නැති නම් සමාජයට හානිකර දෑ බෙදාහැරීමට උඩු ගෙඩි දෙමින් ආර්ථික ශක්තියක් ලබා ගෙන ඇත - මෙහි තනි වරදකරුවකු නැතත් (අප රට නම් දේශපාලඥ්ඥයා නියත වශයෙන් වගකිව යුතු වුවද - ඔහු තනි වරදකරු නොවේ) , එය අර කියනා පංති අතර වෙනස කියනා කාරණය ට ලඝු කරන්නේ කෙසේද යන්න මට නම් අපැහැදිලිය.

1971 අප මුහුණු දුන් ගැටළු, එම සමාජ වටපිටාවත්,  අද අප රටක් ලෙස සමස්ත වශයෙන් මුහුණ දෙන ගැටළුත් හමුවේ, තමතමන්ට යමක් සිතීමට ඉතිරි කරනා කෙටිකතා එකතුවක් ලෙසය මා මෙය දකිනුයේ.

ශානරය: කෙටිකතා (1971)
ශ්‍රේණිය: ***

Saturday, 5 August 2023

Selected Short Stories - Rabindranath Tagore


 Till I read this collection, my reading of Tagore's work was limited to Chintha Lakshmi Sinharaachchi's translation of his novel Gora in Sinhalese. The book impressed me only so much, as I found it to be a little propagative of the ideals that Tagore held - despite  the ideals being quite commendable. However at least one trust worthy book worm friend swears that Tagore to her is special on account of his novel Chokerbali, and his poems in Gitanjali. I came across this Penguin edition of "Selected Short Stories" from a bargain stall for SL Rs. 100, and I've been having this copy for the better part of ten years, if not more. I must admit that I have some nagging doubt about Tagore's suitability for the Nobel award in literature, which am sure is mostly due to my relative ignorance of his work. What best way to reduce it than explore more of his work - explore his work, I did, with Selected short stories.

So what did I find ? Thirty short stories, mostly written in the fertile periods in the 1890s, coupled with an introduction by William Radice, a scholar in Bengali poetry, which he had read for his D.Phil. at Oxford. I read the short stories first, and then the detailed, interesting, and impartial introduction by Radice, followed by the various letters included.

Of the thirty short stories, most hold up as engaging, and intriguing creations, if dated by a period of no less than 124 years. In a couple Tagore write about attraction, attachment, if not out right love, and I found these to be among the best in this collection, while the fetters of caste, status, etc. remain formidable obstacles ( 'The Postmaster', 'A Single Night', 'Skeleton'). 'False Hope' to me was one of the highlights in this collection, and it possibly held a direction similar to Gora, but in a more convincing and natural plot.

"Why didn't I know that the Brahminism that stole away my heart was nothing but custom and superstition? I thought it was dharma, unending and eternal. How else could I- after being so shamefully rejected when I offered on that moonlit night my freshly bloomed body and heart and soul, trembling with devotion, after leaving my father's house for the first time at the age of sixteen - how else could I have silently accepted the insult as a kind of initiation by a guru, and meekly dedicated myself to him with redoubled devotion ? Alas, Brahmin, you exchanged one set of habits for another, but I gave my life and youth, and how can I get them back again?"

Another interesting revelation was how a Bengali saw "a Hindusthani", at a time when India was not strictly a political unit, in the eyes of a Bengali. While the admiration of a fine language is apparent, it hinted of an awe a local Bengali had of a not too distant foreigner.

'Wealth Surrendered' (which brought to mind a parsimony as found in the Matta-kundali Jathaka of Buddhist tradition) , "Punishment" ( which was the most elaborate instance of how a wife was considered a subservient position - many other examples are present in this collection - 'the gift of sight', 'profit and loss',  being others ), the love of a parent as found in "Kabuliwalah", "The Editor", "Little Master's Return", are some other highlights.

To turn to Radice's introduction; Radice shows that the primary reason why Tagore, primarily a lyrical poet wrote so many short stories, was he had to - given he was associated with so many periodicals> He shows how story after story has tragic ends in this kali-yuga, 'in which the gods have grown old.' Radice quotes at length from the letters, and interviews that Tagore has given, in which Tagore has argued that he was a realist, and he wanted present only the natural life of the typical Bengal. But the reason I like Radice's introduction is his objective summarization of Tagore, in few words:

"Tagore's art is a vulnerable art. Nearly all his writings are vulnerable to criticism, philistinism or contempt, because of his willingness to wear his heart on his sleeve, to take on themes that other writers would find grandiose, sentimental or embarrassing, and his refusal to cloak his utterances in cleverness, urbanity or double-talk."

To conclude, these short stories shed so much light of a recent time, in which age old tradition decided how one should live, and to challenge it was impossible, and even considered more respectful to succumb that object. As for reading Tagore himself, it is clear that immersed in a time in which change was still a distant reality, he had ideals for a more just society, as apparent in poetry like the below (which incidentally come across translated in a Sinhala song, by one of the best lyricists of his time ).

"Where the mind is without fear and the head is held high
Where knowledge is free
Where the world has not been broken up into fragments
By narrow domestic walls
Where words come out from the depth of truth
Where tireless striving stretches its arms towards perfection
Where the clear stream of reason has not lost its way
Into the dreary desert sand of dead habit
Where the mind is led forward by thee
Into ever-widening thought and action
Into that heaven of freedom, my Father, let my country awake."


Rating: ****

 


 

Saturday, 10 June 2023

2020 වසරේ ප්‍රකාශ වූ, මා කියවීමට තෝරා ගත් සිංහල නවකතා පිළිබඳ සාරාංශය, සහ පෙළ ගැස්ම

 සැම අවුරුද්දකම පළ වන නවකතා අතුරෙන් තෝරා ගත් ගොන්නක් කියවා, මා ගේ කියවීමේ ප්‍රමාණය අනුව ඒවා පෙළ ගැස්වීම කලක සිට කෙරගෙන යන මාගේ අතුරු විනෝදාංශයකි. 2012 වසරින් පසුව මෙය අවම වශයෙන් පොත් දහයක් අලලා කරගෙන ගොස් ඇති අතර පොත් 13, 15, 16 කියවූ වසර ද ඇත.
( https://me-and-err.blogspot.com/2020/05/novelsummary.html )



2020 වසරේ මා කියවීමට තෝරාගත්තේ පොත් දහයකි. මුලින් අටක් පමණ කියවීමට ඉටා උන්න ද කරුණු පෙළ ගැසෙන සැටියෙන් පොත් දහයක් දක්වා එය ඉහළ ගියේය.
- ඒ පොත් දහය අතර ට, ස්වර්ණ පුස්තක අවසන් වටයට පැමිණි පොත් පහෙන්, ජයග්‍රාහි පොත ද ඇතුළුව, නවකතා හතරක් ඇතුලත් ය.
- ගොඩගේ නිර්දේශ දිගු ලයිස්තුවට තේරුණු පොත් දොළහෙන් ජයග්‍රාහි කෘතිය ද ඇතුළුව හයක් ඇතුලත් ය.
- රාජ්‍ය සාහිත්‍ය සම්මාන අවසන් වටයට නිර්දේශ වූ කෘති හතරෙන් ජයග්‍රාහි නවකතාවද ඇතුළුව පොත් දෙකක් ඇතුලත් ය.
- කිසිදු නිර්දේශයකට අයත් නොවුන ද, ඔවුන්ගේ පෙර නිර්මාණ වල ඇති සාර්ථකත්වය නිසා තෝරා ගත් නවකතා දෙකක් ඇතුලත් ය.

ඉතින් ඒ පෙළගැස්මත්, ඊට හේතුකාරණා සැකෙවෙනුත්, ඒ ඒ පොත පිළිබඳ ලියූ සවිස්තරාත්මක සටහනට යොමුවත් පහළ පෙළ ගස්වමි.

1 - ජීවිතයේ ඔයිල් පැල්ලම - තරිඳු ශ්‍රී ලොකුගමගේ *****
https://me-and-err.blogspot.com/2022/11/tslogugmg-2020.html
අප රට සුවිශේෂි උපසංස්කෘතියක් පමණක් නොව, එය අප රටේ වර්තමාන ප්‍රධාන සංස්කෘතියේ ම එක් කොටසක් නිරූපනය වන බව පෙන්වා දෙමින්, ඊට ම ආවේණික භාෂා ව්‍යවහාරයක් තුලින් ලියැවුණු අපූරු නවකතාවකි. නූතන සිංහල නවකතාවේ, නිම්නාගේ ඉතිහාසය, බත්තලංගුණ්ඩුව, මහාසාමි, බගන්දරා, බණ්ඩර මැරූ උන්, අටවක පුත්තු, ආරේ වෙසෙස් ලකුණක් ඇති කල නවකතාවකි. ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශිතයි.

2- පින් මඳ මහ වබිසව් - පී.බී. ජයසේකර *****
https://me-and-err.blogspot.com/2023/06/pbjayasekara2020.html
ජීවිතයේ ඔයිල් පැල්ලම මේ වසරේ පළ නොවුනා නම්, අනිවාර්‍යයෙන් ම වසරේ හොඳම නවාකතාව විමට හැකියාව ඇති නවාකතාවකි. ඉහළ කෘතිය සුවිශේෂී ලෙස නූතන සමාජයට ඇති අදාළත්වය, වෙනස් එහෙත් නවකතාවේ පර්ස්තූතය ට සුදුස් බස් වහරක් භාවිතාව, පින් මඳ බිසව් හි එන රසවත් ඓතිහාසික පෙළගැස්වීම, ලංකා රාජ්‍ය ඉතිහාසයේ එන සුවිශේෂි කාන්තාවකගේ ඉරණම, සහ කතුවරයා මතුකරන ආකාරයට එසේ ඇයට පින් මඳ විමට හේතු වූ අන් කෙනෙකුගේ බල ලෝභී බව, ඉතා කෙටි සීමවකින් අතික්‍රමණය කොට ජයගත්තා යැයි කිව හැක. වසරේ කිසිදු සම්මාන නිර්දේශයකට පත් නොවූ නවකතාවකි - එය නම් මට තවමත අදහා ගත නොහැකි තත්වයකි.

3- බූමාටු - රෝහිත බ්‍රහ්මචාරී ****
මෑතක කිය වූ "පිටු පෙරළීමට" පොළඹවන" ආරේ ඉතා රසවත් නවකතාවකි. සයිමන් නවගත්තේගම ට අනන්‍ය වූ පරිසරයක් ලෙස අයෙකු දැකිය හැකි දෙමළ වන්නිය ආශ්‍රිතව මීට වසර හතලිහකට පමණ (අනුමාන වශයෙන්)  පෙර යුගයක් අලලා ලියැවුණු, යථාර්තවාදී රීතිය ඉක්මවූ, එහෙත් එක් පාදයක් ඉතා ස්ථිර ලෙස යථාර්තවාදයේ පිහිටා ලියැවුණු,  අප ජන සංස්කෘතියේ එන යක්ෂ-දේව-භූත ආදී අද්භූත අයවලුන් අලලා ලියැවුණු නවකතාවකි. එහි අවසන දෛවය සහ කල දේ පළ දීම ගැන යම් ඉඟියක් වූවද, නවකතාවේ සමස්තය එවන් ඉරණම ම උලුප්පන්නක් බව කීම අසාධාරණ වන්නේ, ලේඛකයා අතිසාර්ථක ලෙසත්, සංඝත ලෙසත් තම ආඛ්‍යායනය සම්පූර්ණ කොට ඇති නිසාය. ලේඛකයාගේ ශූරත්වය සහ පාඨකයා ඇඳ බැඳ තබා ගැනීමේ හැකියාවත්, ත්‍රාසය, සහ වරෙක භීතිය රැගත් ආඛ්‍යායනය හේතුවෙන් ඉතා කෙටි කලකින් කියවා හමාර කල නවකතාවකි.

3- ආරමදාස - ආරියවංශ අබේසේකර ****
https://me-and-err.blogspot.com/2021/11/aaabeysekara-2020.html
ඉහළ කෘති දෙකම වසරේ සුවිශේෂි කෘති පමණක් නොව, නූතන සිංහල නවකතාවේ සුවිශේෂි නිර්මාණ දෙකකි. එහෙත් මේ වසරේ සිංහල නවකතාවේ සුවිශේෂියත්වය එතැනින් අහවරය. අපට හමුවන්නේ, "තවත්" රසවත්, සාර්ථක යැයි කිව හැකි ආරේ නවකතාය. ආරාමදාස නවකතාව ඇවැසි පමණක යථාර්තයේ සීමාව අතික්‍රමණය කොට ඒ ඔස්සේ ඉතිහාසයේත් අද දවසේත් දේශපාලන තත්වයන් මතුකරලීමත්, ආනුලුන්දාව හෙවත් ආනෛඋලුන්දන් නම් ගම නිදසුනක් ලෙස ගෙන දමිළ ජනතාව මුහුණ දුන් ගැටළුත් මතුකරලින් අපූරු වියමනක් නිර්මාණය කොට ඇත. ස්වර්ණ පුස්තක අවසන වටයට තේරුණු නවකතාවකි.


4- මුක්ති - සෝමරත්න බාලසූරිය ****
https://me-and-err.blogspot.com/2022/10/sbalasuriya-2020.html
කැමූ ගේ සාන්දෘඨිකවාදයත්, පිටස්තරයා පොතෙනුත් යම් ආභාෂයක් ලබා ඇති මුත්, එය ලාංකීය දේශපාලන වටපිටාවකට ගලපා ලියූ රසවත් නවකතාවකි. ස්වර්ණ පුස්තක අවසන් වටයට ද, ගොඩගේ නිර්දේශ දිගු ලයිස්තුවට ද තේරුණු නවකතාවකි.

5- මැස්සා - එරික් ඉලයප්ආරච්චි ****
https://me-and-err.blogspot.com/2022/08/eilayappaarachchi-2020novel.html
නූතන්තවය, නවීන විද්‍යාව, ප්‍රතික්ෂේප කොට පසුගාමී යැයි සිතිය හැකි ආස්ථානයකට යමෙකුට යෑමට හේතු වන්නේ කුමන හේතූන් ද? කතුවරයා ට ලාංකීය සමාජයේ සුවිශේෂි චරිතයක් මෙම ප්‍රශ්ණ කිරීමට හේතු වූයේ ද? තරමක් අපහසු යැයි සිතෙන ගැලපීම් ඔස්සේ නිර්මාණය කොට ඇති මෙම නිර්මාණය කතුවරයාගේ දෘෂ්ටිකෝණය වටහාගැනීම තුලින් යම් රස වින්දයක් ලබා දෙන්නේ වුව, සැමදෙන කියවා රස විඳි යැයි සිතිය හැකි නවකතාවක් නොවේ. එනුමුදු රාජ්‍ය සාහිත්‍ය සම්මානය ජයගැනීමටත්, ස්වර්ණ පුස්තක සහ ගොඩගේ සම්මාන සඳහා දිගු ලයිස්තු ගත වීමටත් සමත් වූ කෘතියකි.

6- භේරුන්ඩ කැදැල්ල - රූපා ශ්‍රියානි ඒකනායක ***1/2
https://me-and-err.blogspot.com/2022/10/rsekanayake-2020.html
බිඳී විසිරුණු පවුල් සංස්ථාවන් ආදිය ගැන උපේක්ෂක නෙතින් බැලීමේ ගුණාංගයෙන් මෙම නවකතාව සපිරි මුත්, ඇගේ ප්‍රධාන කතා වස්තුවට ඇය ගන්නා එක් උපකල්පනයක අවිශ්වාසනීයත්වය මේ නවකතාව මා කෙරෙන් දුරස් කරලීය. ස්වර්ණ පුස්තක සම්මානය ජයග්‍රහණය කල කෘතියයි. රාජ්‍ය සාහිත්‍ය සම්මාන කෙටි ලයිස්තුවට ද, ගොඩගේ දිගු ලයිස්තුවට ඒමටද සමත් විය.

7- කෝමල මානවක - ***1/2
https://me-and-err.blogspot.com/2021/07/sjayakody-2020.html
ප්‍රංශ පෙම්වතා සිට කතුවරිය ප්‍රකාශ කල නවකතා පහක් පමණ කැමැත්තෙන් කියවා රසවිඳිමුත්, කෝමල මානවක නිර්මාණයේ යම් විශ්වාස කරලීමට අපහසු සිද්ධීන් ඔස්සේ ඇදි ඇදී යන ආරේ නවකතාවක් ලෙස දිටිමි. ගොඩගේ සහ ස්වර්ණ පුස්තක නිර්දේශ දිගු ලයිස්තු වලට තේරිණි.

8- ඩොල්කි - ජයතිලක කම්මැල්ලවීර - ***
https://me-and-err.blogspot.com/2022/07/dolki.html
කතුවරයා මාගේඑ ප්‍රියතම කෙටිකතා කරුවෙකි. නවකතාවෙහි ඔහු ඒ දක්ෂතවයම පෙන්වා ඇද්දයි යන්න විමසිය යුත්තක් මුත්, චක්‍ර ආදී සාර්ථක නිර්මාණ ද හමු වේ. එනමුදු, උත්ප්‍රාසය, දරුවන් වෙනුවෙන් දිවි කැප කරලීම මගින් දෙමව්පියන් ජීවිතය විඳීමෙන් ඈත් වීම, දරුවන් තම දිවිය විඳීම වෙනුවෙන් දෙමව්පියන් අභියෝගයට ලක් කරන තීරණ ගැනීමට නොපකිලීම අදී මැයන් අලලා නිර්මාණය කොට මෙම නවකතාව කිසිදු සම්මානයකට නිර්දේශ නොවීය.

9 - මඩරන් - සේන තෝරදෙනිය - ***
https://me-and-err.blogspot.com/2023/04/sthoradeniya-2020.html
මුඩු ඉඩම් පනත, කෝපි වගාව, මඩ බද්ද ආදිය හේතුවෙන් උඩරැටියන් වෙසෙසින් පෙළුනු හැටි විමර්ශනාත්මකව, කරුණු සහිතව, පෙළ ගස්වා ඇති නිර්මාණය, එම විමර්ශනයන් ගේ බර නිසාම නවකතාවක් ලෙස සාර්ථක නොවේ. එනමුදු ගොඩගෙ සම්මානය ජයග්‍රහයණයට සමත් විය.

10 - කඳඅරණි - නිශ්ශංක විජේමාන්න - ***
https://me-and-err.blogspot.com/2021/05/nwijemanne-2020.html
වැදි සංස්කෘතිය, එහි ඓතිහාසික අතුරු කතා, ප්‍රධාන සමාජයෙන් ඔවුන්ට වූ අසාධාරණයන් ආදිය අලලා ලියැවී ඇති, මහත් බලාපොරොත්තු ඇතිව කියවිමට ගත් මෙම නවකතාව, මෙම අතුරු කතා අතර පෑස්සීම්, ප්‍රධන කතා ධාරාවේ ඇති තරමක් සුලභ උපක්‍රම භාවිතාව නිසා එතරම් සිත් ගත්තේ නැත. ස්වර්ණ පුස්තක සහ ගොඩගේ නිර්දේශ දිගු ලයිස්තු අතරට පැමිණි කෘතියකි.


පින් මඳ මහ බිසව් - පී.බී. ජයසේකර

 දෝන කතිරිනා කුසුමාසන දේවිය (ක්‍රි. ව. 1581-1613)


ලේඛකයා උප්පත්තියෙන් රජකමට උරුමයක් ඇති ඇය ව පින් මඳ බිසවක් ලෙස දකින්නීය. වසරක් වියැති කල සෙන්කඩගලින් තම පිය රජු සමඟ පළා යන කල ද, එම රාජ උරුමය නිසා ඇය පැතූ සිව්දෙනෙක් වූහ. ඇය ව දිනා ගන්නට සමත් වන්නේ කොනප්පු බණ්ඩාරය. ඔහු තුල ඇය කෙරෙහි අසීමාන්තික ඇල්මක් ඇති බව ඇය පසුව වටහා ගනී; කිමද මුලින් ඔහුව ඇය දකින්නේ තම භාරකරුව සිටි යමසිංහ බණ්ඩාරගේ මිණීමරුවා ලෙසිනි. එහෙත් ඇය ගේ පින් මඳ බව වැඩි කල් නොගොස් හෙළිවේ. ඒ විමලධර්මසූරිය ගේ ඇවෑමෙනි - නැතිනම් මේ පොතේ එන පරිද්දෙන් නම් වස දී ඝාතනයෙනි. කතුවරයාට එය ඝාතනයක් ලෙස දැකීමට තාර්කික හේතූන්ද, මුඛපරම්පරාගත කතා ද ඇත. එය ප්‍රතික්ෂේප කිරීමට නොහැකි හේතු දෙකකි. එකක්, ප්‍රබන්ධකරණයක යෙදෙන කතුවරයාට ඒ තුලින් අවසරයක් ඇත. දෙවැන්න, සෙනෙරත් රජුට දාව රාජසිංහ මහා අස්ථාන කුමරු  උපත ලබා ටික කලකින් ම, ඇයට අසවේදුගෙන් පිහිට පැතීමට සිදු වීම, කිරුල හිමි රාජසූරිය මහා අස්ථාන කුමරුගේ ඝාතනය (රාජාවලිය මෙය සෙනෙරත් විසින් කල ඝාතනයක් ලෙස පැහැදිලිව දක්වා ඇත), සහ නොබෝ කලකින් ම රජුන් දෙදෙනෙකුට දාව දරුවන් සත් දෙනෙක් වැදූ ඇය තිස් හතර වියේ දී මිය යෑමය. එම නිසා ය කිරුළ හිමි ඇය, පින් මඳ වන්නේ - පෙම්බර සැමියෙකු ගේ අකල් වියෝව, මෙම නවකතාවේ හැටියට ඇය අකමැති දෙවැනි සැමියෙකු සෙන්කඩගල රාජධානිය වෙනුවෙන් ඉවසීම, පුතෙකුගේ වියෝව, සහ මෙම රචනයේ හැටියට දූ කුමරියකට වන බලහත්කාරකම ඇය ට ජිවිතය මිහිපිට අපායක් බවට පත් කරයි. එම නිසා ඇය පින් මඳ බිසවක් ම බවත්, රාජ්‍යත්වයේ නාමයෙන් බොහෝ කැපකිරීම් කල, දුක් අනුභව කල ස්ත්‍රියක් බව තාර්කිකය. කතුවරයා තම පදනම, තම තර්කය ඉතා සාර්ථකව ඔප්පු සිද්ධ කර ඇත - එහි දී ඔහු ප්‍රබන්ධකරණය උදෙසා යම් යම් ගැලපීම් කර ඇති බව පැහැදිලිය - එහෙත් ඒ කිසිවක් අතාර්කික යයි දැනට මට නොසිතේ. 

ඇය පින් මඳ බිසවක් වූවා සේම, I  වන විමලධර්මසූරිය රණකාමි, සූක්ෂම, ජනහිතසුව පැතූ නිරිඳෙකු බවත්, සෙනෙරත් රජු ,ඉතා කපටි, බලය රැක ගැනීමට ඕනෑම පහත් වැඩක යෙදීමට නොපසුබට වන, බියගුළු රජෙකු බවත් මෙම ප්‍රබන්ධයේ කතුවරයා ගෙනහැර දක්වයි. මෙම රජුන් දෙදෙනාත්, එකල තිබූ පෲතුගීසි තර්ජනය ත්, ගෙන ආ  සම්ප්‍රයුක්ත දේශපාලන දිශානතිය තම දෛවය තීරණය කිරීම හේතුවෙනි, උත්පත්තියෙන් යම් හිමිකම් ඇතිව උපන් ඇය ගෙ පින හීන ව සොවින් අකල්හි මෙලොව අතැර යාමට සිදුවන්නේ.

ඉහත සාරාංශය මා කියා පෑවේ හේතු දෙකක් නිසාය. පළමුවැන්න, මෙම ඓතිහාසික කතාව අප බොහෝ අය යම් තරමින් හෝ දන්නා මුත්, ඉන් පැන නැගෙන අතුරු කතාවත්, එහි දෝන කතරිනාගේ භූමිකාව මගින් මෙය කියවන අය කුහුල වැඩීම සඳහායි. ඊට සබැඳි දෙවන්න නම්, එ කුහුල ඔස්සේ මේ අපුරු නවකතාව කියවීමට පෙළඹවීමත් ය.


මම මෙම නවකතාව කියවන අතර ටිකිරි අබේසිංහගේ පරංගි කෝට්ටේ, සහ කේ.ඩී.ජී. විමලරත්නගේ ලක්දිව පරංගි ප්‍රයත්නය යන කෘති දෙක ආශ්‍රේය ග්‍රන්ථයන් ලෙස භාවිත කලේය. මෙම පොත් දෙකේ එන කරුණු අභියෝග කෙරෙනාකාර අවස්ථාවන් නැත්තේ නොවෙ. විමලරත්න සෙනෙරත් ගැන  මෙසේ කියයි:

"බොහෝ ඉතිහාසඥයින් සෙනෙරත් රජ, තැන්පත් ගතිගුණ ඇති, සාමකාමී සහ භික්ෂු විනයෙන් පෝෂණය ලද අයෙකු බව දක්වයති. එහෙත් සෙනරත් රජුගේ ක්‍රියා කලාපයෙන් පැහැදිලි වන්නේ, ඔහු 'හොඳට හොඳයි නරකට නරකයි' යන න්‍යාය අනුගමනය කළ අයෙකු බවය."

ජයසේකරගේ ප්‍රබන්ධයේ අපට හමුවන සෙනෙරත් රජු, හෝ රජුවීමට පෙර සිටි කොස්බොක්කේ සාමනේර හෝ, කොස්බොක්කේ කුමරු, භික්ෂු විනයෙන් හික්මුණු අයෙකු හෝ, අඩුම තරමින් විමලරත්න කියනා පරිදි  'හොඳට හොඳයි නරකට නරකයි' හෝ, අයෙකු නොවේ. රාජසිංහ කුමරුගේ උත්පත්තියට ප්‍රථම ඔහු විමලධර්මසූරිය රජුට දාව උපන් දරුවන් කෙරෙහි යම් සහනශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කල ද, රාජ්‍ය බලයට ඇති කෑදර කම සෙමින් ඔහු කෙරෙහි සිත් ඇතිවෙමින් සිටි කුසුමාසන දේවියගේ සැකයන් ප්‍රත්‍යක්ෂ කරලීමට හේතුවිය. රාජසිංහ කුමර උත්පත්තියෙන් වසර දෙකක් තුල ඇයගේ මුළු ලොවම විනාශයටම යාම අහඹුවක් යැයි සිතීම අපහසුය. 

අබේසිංහ සෙනෙරත් ගැන මෙසේ පවසයි:

"විමලධර්මසූරියගේ මරණයෙන් ඔහු විසින් උඩරට රාජ්‍යයේ ඇති කරන ලද එක්සේසත් කම ටික කලකින් බිඳී ගියේය... මේ අතර විමලධර්මසූරියගේ වැඩිමහල් පුත් කුමරා මිය ගියේය. සෙනෙරත් රජු විසින් ඒ මරණය සිදු කරන ලදැයි දූසමාන ආරංචියක් ද පැතිරිණ. නව රජුගේ බිරිඳ බවට පත් වූ කුසුමාසන දේවි පෘතුගීසින් වෙතට පළා යෑමට ප්‍රයත්න දැරුවත් එය වැලකුණෙ අහම්බෙනි....
එදා උඩරට රජු රණශූරයෙකු විය යුතු වූ නමුත් සෙනරත් රජු එබන්දෙක් නො වී ය. සිහසුන ලැබීමට පෙර බෞද්ධ භික්ෂුවක් වූ ඔහු තුළ භික්ෂු ශික්ෂණයක් හෝ සං‍යමයක් හෝ නොතිබුණ බවක් ද නොපෙනේ."
ජයසේකරගේ නවකතාවේ එන සෙනෙරත් ටිකිරි අබේසිංහ අඳුනාගත් සෙනෙරත් හා බොහෝ සේ සමගාමී බවට පෙනී යයි.

ඇත්තෙන්ම මෙම කාරණා ගැන අන් තැනක දීර්ඝව කතා වී ඇද්දැයි නොදනිමි. ක්වෙයිරෝස්ගේ සටහන් කියවීමේ දොළක් ද මේ වන විට ඇතිවෙමින් පවති.

විමලධර්මසූරිය හා සෙනෙරත් යුගයන් හි අතුරුකතා, චරපුරුෂ ක්‍රියාකාරකම්, යුධමෙහෙයුම්, දෝන කතිරිනා මේ සිද්ධීන් අතර උරුමකරගන්නා ජීවිතය, ඇගේ දිවියේ අවසන් වසර දෙකේ වෙසෙසින් ඇගේ දුක් වේදනාවන්ගේ තරම අලලා ජයසේකර ඉතා අපූරු නවකතාවක් ලියා ඇත. ඇත්තෙන්ම මෙහි කීමට දොසක් නැති තරම් ය.

මේ වන විට මා 2020 වසරේ ප්‍රාකාශ වූ නවකතා දහයක් කියවා ඇත. ඊට පෙර වසර හා සසඳද්දි 2020 වසර සිංහල නවාකතාව ට එතරම් සාර්ථක කෘති එක්කාසු කල වසරක් නොවේ. මට හැඟෙන පරිද්දෙන් එය සම්මාන වලින් ම දිස්වේ. රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තේ ලංකාවේ ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවෙකු වන එරික් ඉලයප්ආරච්චි වුව, එය ඔහුගේ සාර්ථකම නවකතාවකට නොවේ. ගොඩගේ සම්මානය දිනූ සේන තෝරදෙනියගේ මඩරන්, කරුණාකාරණා වලින් අධිපෝෂිත, නවකතාවක් ලෙස එනිසා ම නීරස කෘතියකි. ස්වර්ණ පුස්තක සම්මානය දිනුවේ රූපා ශ්‍රියානි ඒකනායක ගේ භේරුන්ඩ කැදැල්ලය. එය ද යම් අවිශ්වාසනීය ගැලපීමක් උඩ ගොතන ලද්දක් ලෙසය මා නම් දකිනුයේ. ආරියවංශ අබේසේකර ගේ ආරාමදාසත්, සෝමරත්න බාලසූරියගේ මුක්ති ත්, එරික් ගේ මැස්සා හා පෙළට තැබිය හැකි ඊට තරමක් හොඳ යැයි සිතිය හැකි නවකතාය.එහෙත් මේ සාමාන්‍ය වසරෙ සුවිශේෂි නවකතා  දෙකක් කියවීමි. එකක් තරිඳු ශ්‍රී ලොකුගමගේ ලියූ "ජීවිතයේ ඔයිල් පැල්ලම" ය, අනෙක පී. බී. ජයසේකරගේ "පින් මඳ මහ බිසෝ නම් වූ මෙම නවකතාවයි. මින් පළැමුවැන්න ස්වර්ණ පුස්තක අවසන් වටයට පැමිණ, එයට දුර්වල ගැලපුමකට පැරදිනි. පින් මඳ මහ බිසෝ පෙර කී සම්මාන තුනෙන් එකක දිගු ලයිස්තුවට හෝ තේරිමට තරමට හෝ අප විනිශ්ච මණ්ඩල වල නෙත ගැටී නැත! මෙම කෘති දෙක අතරින් කුමක් වඩා සුවිශේෂි ද යන්න තේරිම අපහසු තරමට මෙම නවකතා දෙක ඉදිරියෙන් ම පවතින්නේ, පෙර කී නවකතා වලට බොහෝ දුරින් ය.

2020 වසරේ ප්‍රකාශ වූ නවකතා කියවීම - 10
ශ්‍රේණිය: *****