Saturday 10 June 2023

2020 වසරේ ප්‍රකාශ වූ, මා කියවීමට තෝරා ගත් සිංහල නවකතා පිළිබඳ සාරාංශය, සහ පෙළ ගැස්ම

 සැම අවුරුද්දකම පළ වන නවකතා අතුරෙන් තෝරා ගත් ගොන්නක් කියවා, මා ගේ කියවීමේ ප්‍රමාණය අනුව ඒවා පෙළ ගැස්වීම කලක සිට කෙරගෙන යන මාගේ අතුරු විනෝදාංශයකි. 2012 වසරින් පසුව මෙය අවම වශයෙන් පොත් දහයක් අලලා කරගෙන ගොස් ඇති අතර පොත් 13, 15, 16 කියවූ වසර ද ඇත.
( https://me-and-err.blogspot.com/2020/05/novelsummary.html )



2020 වසරේ මා කියවීමට තෝරාගත්තේ පොත් දහයකි. මුලින් අටක් පමණ කියවීමට ඉටා උන්න ද කරුණු පෙළ ගැසෙන සැටියෙන් පොත් දහයක් දක්වා එය ඉහළ ගියේය.
- ඒ පොත් දහය අතර ට, ස්වර්ණ පුස්තක අවසන් වටයට පැමිණි පොත් පහෙන්, ජයග්‍රාහි පොත ද ඇතුළුව, නවකතා හතරක් ඇතුලත් ය.
- ගොඩගේ නිර්දේශ දිගු ලයිස්තුවට තේරුණු පොත් දොළහෙන් ජයග්‍රාහි කෘතිය ද ඇතුළුව හයක් ඇතුලත් ය.
- රාජ්‍ය සාහිත්‍ය සම්මාන අවසන් වටයට නිර්දේශ වූ කෘති හතරෙන් ජයග්‍රාහි නවකතාවද ඇතුළුව පොත් දෙකක් ඇතුලත් ය.
- කිසිදු නිර්දේශයකට අයත් නොවුන ද, ඔවුන්ගේ පෙර නිර්මාණ වල ඇති සාර්ථකත්වය නිසා තෝරා ගත් නවකතා දෙකක් ඇතුලත් ය.

ඉතින් ඒ පෙළගැස්මත්, ඊට හේතුකාරණා සැකෙවෙනුත්, ඒ ඒ පොත පිළිබඳ ලියූ සවිස්තරාත්මක සටහනට යොමුවත් පහළ පෙළ ගස්වමි.

1 - ජීවිතයේ ඔයිල් පැල්ලම - තරිඳු ශ්‍රී ලොකුගමගේ *****
https://me-and-err.blogspot.com/2022/11/tslogugmg-2020.html
අප රට සුවිශේෂි උපසංස්කෘතියක් පමණක් නොව, එය අප රටේ වර්තමාන ප්‍රධාන සංස්කෘතියේ ම එක් කොටසක් නිරූපනය වන බව පෙන්වා දෙමින්, ඊට ම ආවේණික භාෂා ව්‍යවහාරයක් තුලින් ලියැවුණු අපූරු නවකතාවකි. නූතන සිංහල නවකතාවේ, නිම්නාගේ ඉතිහාසය, බත්තලංගුණ්ඩුව, මහාසාමි, බගන්දරා, බණ්ඩර මැරූ උන්, අටවක පුත්තු, ආරේ වෙසෙස් ලකුණක් ඇති කල නවකතාවකි. ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශිතයි.

2- පින් මඳ මහ වබිසව් - පී.බී. ජයසේකර *****
https://me-and-err.blogspot.com/2023/06/pbjayasekara2020.html
ජීවිතයේ ඔයිල් පැල්ලම මේ වසරේ පළ නොවුනා නම්, අනිවාර්‍යයෙන් ම වසරේ හොඳම නවාකතාව විමට හැකියාව ඇති නවාකතාවකි. ඉහළ කෘතිය සුවිශේෂී ලෙස නූතන සමාජයට ඇති අදාළත්වය, වෙනස් එහෙත් නවකතාවේ පර්ස්තූතය ට සුදුස් බස් වහරක් භාවිතාව, පින් මඳ බිසව් හි එන රසවත් ඓතිහාසික පෙළගැස්වීම, ලංකා රාජ්‍ය ඉතිහාසයේ එන සුවිශේෂි කාන්තාවකගේ ඉරණම, සහ කතුවරයා මතුකරන ආකාරයට එසේ ඇයට පින් මඳ විමට හේතු වූ අන් කෙනෙකුගේ බල ලෝභී බව, ඉතා කෙටි සීමවකින් අතික්‍රමණය කොට ජයගත්තා යැයි කිව හැක. වසරේ කිසිදු සම්මාන නිර්දේශයකට පත් නොවූ නවකතාවකි - එය නම් මට තවමත අදහා ගත නොහැකි තත්වයකි.

3- ආරමදාස - ආරියවංශ අබේසේකර ****
https://me-and-err.blogspot.com/2021/11/aaabeysekara-2020.html
ඉහළ කෘති දෙකම වසරේ සුවිශේෂි කෘති පමණක් නොව, නූතන සිංහල නවකතාවේ සුවිශේෂි නිර්මාණ දෙකකි. එහෙත් මේ වසරේ සිංහල නවකතාවේ සුවිශේෂියත්වය එතැනින් අහවරය. අපට හමුවන්නේ, "තවත්" රසවත්, සාර්ථක යැයි කිව හැකි ආරේ නවකතාය. ආරාමදාස නවකතාව ඇවැසි පමණක යථාර්තයේ සීමාව අතික්‍රමණය කොට ඒ ඔස්සේ ඉතිහාසයේත් අද දවසේත් දේශපාලන තත්වයන් මතුකරලීමත්, ආනුලුන්දාව හෙවත් ආනෛඋලුන්දන් නම් ගම නිදසුනක් ලෙස ගෙන දමිළ ජනතාව මුහුණ දුන් ගැටළුත් මතුකරලින් අපූරු වියමනක් නිර්මාණය කොට ඇත. ස්වර්ණ පුස්තක අවසන වටයට තේරුණු නවකතාවකි.


4- මුක්ති - සෝමරත්න බාලසූරිය ****
https://me-and-err.blogspot.com/2022/10/sbalasuriya-2020.html
කැමූ ගේ සාන්දෘඨිකවාදයත්, පිටස්තරයා පොතෙනුත් යම් ආභාෂයක් ලබා ඇති මුත්, එය ලාංකීය දේශපාලන වටපිටාවකට ගලපා ලියූ රසවත් නවකතාවකි. ස්වර්ණ පුස්තක අවසන් වටයට ද, ගොඩගේ නිර්දේශ දිගු ලයිස්තුවට ද තේරුණු නවකතාවකි.

5- මැස්සා - එරික් ඉලයප්ආරච්චි ****
https://me-and-err.blogspot.com/2022/08/eilayappaarachchi-2020novel.html
නූතන්තවය, නවීන විද්‍යාව, ප්‍රතික්ෂේප කොට පසුගාමී යැයි සිතිය හැකි ආස්ථානයකට යමෙකුට යෑමට හේතු වන්නේ කුමන හේතූන් ද? කතුවරයා ට ලාංකීය සමාජයේ සුවිශේෂි චරිතයක් මෙම ප්‍රශ්ණ කිරීමට හේතු වූයේ ද? තරමක් අපහසු යැයි සිතෙන ගැලපීම් ඔස්සේ නිර්මාණය කොට ඇති මෙම නිර්මාණය කතුවරයාගේ දෘෂ්ටිකෝණය වටහාගැනීම තුලින් යම් රස වින්දයක් ලබා දෙන්නේ වුව, සැමදෙන කියවා රස විඳි යැයි සිතිය හැකි නවකතාවක් නොවේ. එනුමුදු රාජ්‍ය සාහිත්‍ය සම්මානය ජයගැනීමටත්, ස්වර්ණ පුස්තක සහ ගොඩගේ සම්මාන සඳහා දිගු ලයිස්තු ගත වීමටත් සමත් වූ කෘතියකි.

6- භේරුන්ඩ කැදැල්ල - රූපා ශ්‍රියානි ඒකනායක ***1/2
https://me-and-err.blogspot.com/2022/10/rsekanayake-2020.html
බිඳී විසිරුණු පවුල් සංස්ථාවන් ආදිය ගැන උපේක්ෂක නෙතින් බැලීමේ ගුණාංගයෙන් මෙම නවකතාව සපිරි මුත්, ඇගේ ප්‍රධාන කතා වස්තුවට ඇය ගන්නා එක් උපකල්පනයක අවිශ්වාසනීයත්වය මේ නවකතාව මා කෙරෙන් දුරස් කරලීය. ස්වර්ණ පුස්තක සම්මානය ජයග්‍රහණය කල කෘතියයි. රාජ්‍ය සාහිත්‍ය සම්මාන කෙටි ලයිස්තුවට ද, ගොඩගේ දිගු ලයිස්තුවට ඒමටද සමත් විය.

7- කෝමල මානවක - ***1/2
https://me-and-err.blogspot.com/2021/07/sjayakody-2020.html
ප්‍රංශ පෙම්වතා සිට කතුවරිය ප්‍රකාශ කල නවකතා පහක් පමණ කැමැත්තෙන් කියවා රසවිඳිමුත්, කෝමල මානවක නිර්මාණයේ යම් විශ්වාස කරලීමට අපහසු සිද්ධීන් ඔස්සේ ඇදි ඇදී යන ආරේ නවකතාවක් ලෙස දිටිමි. ගොඩගේ සහ ස්වර්ණ පුස්තක නිර්දේශ දිගු ලයිස්තු වලට තේරිණි.

8- ඩොල්කි - ජයතිලක කම්මැල්ලවීර - ***
https://me-and-err.blogspot.com/2022/07/dolki.html
කතුවරයා මාගේඑ ප්‍රියතම කෙටිකතා කරුවෙකි. නවකතාවෙහි ඔහු ඒ දක්ෂතවයම පෙන්වා ඇද්දයි යන්න විමසිය යුත්තක් මුත්, චක්‍ර ආදී සාර්ථක නිර්මාණ ද හමු වේ. එනමුදු, උත්ප්‍රාසය, දරුවන් වෙනුවෙන් දිවි කැප කරලීම මගින් දෙමව්පියන් ජීවිතය විඳීමෙන් ඈත් වීම, දරුවන් තම දිවිය විඳීම වෙනුවෙන් දෙමව්පියන් අභියෝගයට ලක් කරන තීරණ ගැනීමට නොපකිලීම අදී මැයන් අලලා නිර්මාණය කොට මෙම නවකතාව කිසිදු සම්මානයකට නිර්දේශ නොවීය.

9 - මඩරන් - සේන තෝරදෙනිය - ***
https://me-and-err.blogspot.com/2023/04/sthoradeniya-2020.html
මුඩු ඉඩම් පනත, කෝපි වගාව, මඩ බද්ද ආදිය හේතුවෙන් උඩරැටියන් වෙසෙසින් පෙළුනු හැටි විමර්ශනාත්මකව, කරුණු සහිතව, පෙළ ගස්වා ඇති නිර්මාණය, එම විමර්ශනයන් ගේ බර නිසාම නවකතාවක් ලෙස සාර්ථක නොවේ. එනමුදු ගොඩගෙ සම්මානය ජයග්‍රහයණයට සමත් විය.

10 - කඳඅරණි - නිශ්ශංක විජේමාන්න - ***
https://me-and-err.blogspot.com/2021/05/nwijemanne-2020.html
වැදි සංස්කෘතිය, එහි ඓතිහාසික අතුරු කතා, ප්‍රධාන සමාජයෙන් ඔවුන්ට වූ අසාධාරණයන් ආදිය අලලා ලියැවී ඇති, මහත් බලාපොරොත්තු ඇතිව කියවිමට ගත් මෙම නවකතාව, මෙම අතුරු කතා අතර පෑස්සීම්, ප්‍රධන කතා ධාරාවේ ඇති තරමක් සුලභ උපක්‍රම භාවිතාව නිසා එතරම් සිත් ගත්තේ නැත. ස්වර්ණ පුස්තක සහ ගොඩගේ නිර්දේශ දිගු ලයිස්තු අතරට පැමිණි කෘතියකි.


No comments:

Post a Comment