Saturday 10 June 2023

පින් මඳ මහ බිසව් - පී.බී. ජයසේකර

 දෝන කතිරිනා කුසුමාසන දේවිය (ක්‍රි. ව. 1581-1613)


ලේඛකයා උප්පත්තියෙන් රජකමට උරුමයක් ඇති ඇය ව පින් මඳ බිසවක් ලෙස දකින්නීය. වසරක් වියැති කල සෙන්කඩගලින් තම පිය රජු සමඟ පළා යන කල ද, එම රාජ උරුමය නිසා ඇය පැතූ සිව්දෙනෙක් වූහ. ඇය ව දිනා ගන්නට සමත් වන්නේ කොනප්පු බණ්ඩාරය. ඔහු තුල ඇය කෙරෙහි අසීමාන්තික ඇල්මක් ඇති බව ඇය පසුව වටහා ගනී; කිමද මුලින් ඔහුව ඇය දකින්නේ තම භාරකරුව සිටි යමසිංහ බණ්ඩාරගේ මිණීමරුවා ලෙසිනි. එහෙත් ඇය ගේ පින් මඳ බව වැඩි කල් නොගොස් හෙළිවේ. ඒ විමලධර්මසූරිය ගේ ඇවෑමෙනි - නැතිනම් මේ පොතේ එන පරිද්දෙන් නම් වස දී ඝාතනයෙනි. කතුවරයාට එය ඝාතනයක් ලෙස දැකීමට තාර්කික හේතූන්ද, මුඛපරම්පරාගත කතා ද ඇත. එය ප්‍රතික්ෂේප කිරීමට නොහැකි හේතු දෙකකි. එකක්, ප්‍රබන්ධකරණයක යෙදෙන කතුවරයාට ඒ තුලින් අවසරයක් ඇත. දෙවැන්න, සෙනෙරත් රජුට දාව රාජසිංහ මහා අස්ථාන කුමරු  උපත ලබා ටික කලකින් ම, ඇයට අසවේදුගෙන් පිහිට පැතීමට සිදු වීම, කිරුල හිමි රාජසූරිය මහා අස්ථාන කුමරුගේ ඝාතනය (රාජාවලිය මෙය සෙනෙරත් විසින් කල ඝාතනයක් ලෙස පැහැදිලිව දක්වා ඇත), සහ නොබෝ කලකින් ම රජුන් දෙදෙනෙකුට දාව දරුවන් සත් දෙනෙක් වැදූ ඇය තිස් හතර වියේ දී මිය යෑමය. එම නිසා ය කිරුළ හිමි ඇය, පින් මඳ වන්නේ - පෙම්බර සැමියෙකු ගේ අකල් වියෝව, මෙම නවකතාවේ හැටියට ඇය අකමැති දෙවැනි සැමියෙකු සෙන්කඩගල රාජධානිය වෙනුවෙන් ඉවසීම, පුතෙකුගේ වියෝව, සහ මෙම රචනයේ හැටියට දූ කුමරියකට වන බලහත්කාරකම ඇය ට ජිවිතය මිහිපිට අපායක් බවට පත් කරයි. එම නිසා ඇය පින් මඳ බිසවක් ම බවත්, රාජ්‍යත්වයේ නාමයෙන් බොහෝ කැපකිරීම් කල, දුක් අනුභව කල ස්ත්‍රියක් බව තාර්කිකය. කතුවරයා තම පදනම, තම තර්කය ඉතා සාර්ථකව ඔප්පු සිද්ධ කර ඇත - එහි දී ඔහු ප්‍රබන්ධකරණය උදෙසා යම් යම් ගැලපීම් කර ඇති බව පැහැදිලිය - එහෙත් ඒ කිසිවක් අතාර්කික යයි දැනට මට නොසිතේ. 

ඇය පින් මඳ බිසවක් වූවා සේම, I  වන විමලධර්මසූරිය රණකාමි, සූක්ෂම, ජනහිතසුව පැතූ නිරිඳෙකු බවත්, සෙනෙරත් රජු ,ඉතා කපටි, බලය රැක ගැනීමට ඕනෑම පහත් වැඩක යෙදීමට නොපසුබට වන, බියගුළු රජෙකු බවත් මෙම ප්‍රබන්ධයේ කතුවරයා ගෙනහැර දක්වයි. මෙම රජුන් දෙදෙනාත්, එකල තිබූ පෲතුගීසි තර්ජනය ත්, ගෙන ආ  සම්ප්‍රයුක්ත දේශපාලන දිශානතිය තම දෛවය තීරණය කිරීම හේතුවෙනි, උත්පත්තියෙන් යම් හිමිකම් ඇතිව උපන් ඇය ගෙ පින හීන ව සොවින් අකල්හි මෙලොව අතැර යාමට සිදුවන්නේ.

ඉහත සාරාංශය මා කියා පෑවේ හේතු දෙකක් නිසාය. පළමුවැන්න, මෙම ඓතිහාසික කතාව අප බොහෝ අය යම් තරමින් හෝ දන්නා මුත්, ඉන් පැන නැගෙන අතුරු කතාවත්, එහි දෝන කතරිනාගේ භූමිකාව මගින් මෙය කියවන අය කුහුල වැඩීම සඳහායි. ඊට සබැඳි දෙවන්න නම්, එ කුහුල ඔස්සේ මේ අපුරු නවකතාව කියවීමට පෙළඹවීමත් ය.


මම මෙම නවකතාව කියවන අතර ටිකිරි අබේසිංහගේ පරංගි කෝට්ටේ, සහ කේ.ඩී.ජී. විමලරත්නගේ ලක්දිව පරංගි ප්‍රයත්නය යන කෘති දෙක ආශ්‍රේය ග්‍රන්ථයන් ලෙස භාවිත කලේය. මෙම පොත් දෙකේ එන කරුණු අභියෝග කෙරෙනාකාර අවස්ථාවන් නැත්තේ නොවෙ. විමලරත්න සෙනෙරත් ගැන  මෙසේ කියයි:

"බොහෝ ඉතිහාසඥයින් සෙනෙරත් රජ, තැන්පත් ගතිගුණ ඇති, සාමකාමී සහ භික්ෂු විනයෙන් පෝෂණය ලද අයෙකු බව දක්වයති. එහෙත් සෙනරත් රජුගේ ක්‍රියා කලාපයෙන් පැහැදිලි වන්නේ, ඔහු 'හොඳට හොඳයි නරකට නරකයි' යන න්‍යාය අනුගමනය කළ අයෙකු බවය."

ජයසේකරගේ ප්‍රබන්ධයේ අපට හමුවන සෙනෙරත් රජු, හෝ රජුවීමට පෙර සිටි කොස්බොක්කේ සාමනේර හෝ, කොස්බොක්කේ කුමරු, භික්ෂු විනයෙන් හික්මුණු අයෙකු හෝ, අඩුම තරමින් විමලරත්න කියනා පරිදි  'හොඳට හොඳයි නරකට නරකයි' හෝ, අයෙකු නොවේ. රාජසිංහ කුමරුගේ උත්පත්තියට ප්‍රථම ඔහු විමලධර්මසූරිය රජුට දාව උපන් දරුවන් කෙරෙහි යම් සහනශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කල ද, රාජ්‍ය බලයට ඇති කෑදර කම සෙමින් ඔහු කෙරෙහි සිත් ඇතිවෙමින් සිටි කුසුමාසන දේවියගේ සැකයන් ප්‍රත්‍යක්ෂ කරලීමට හේතුවිය. රාජසිංහ කුමර උත්පත්තියෙන් වසර දෙකක් තුල ඇයගේ මුළු ලොවම විනාශයටම යාම අහඹුවක් යැයි සිතීම අපහසුය. 

අබේසිංහ සෙනෙරත් ගැන මෙසේ පවසයි:

"විමලධර්මසූරියගේ මරණයෙන් ඔහු විසින් උඩරට රාජ්‍යයේ ඇති කරන ලද එක්සේසත් කම ටික කලකින් බිඳී ගියේය... මේ අතර විමලධර්මසූරියගේ වැඩිමහල් පුත් කුමරා මිය ගියේය. සෙනෙරත් රජු විසින් ඒ මරණය සිදු කරන ලදැයි දූසමාන ආරංචියක් ද පැතිරිණ. නව රජුගේ බිරිඳ බවට පත් වූ කුසුමාසන දේවි පෘතුගීසින් වෙතට පළා යෑමට ප්‍රයත්න දැරුවත් එය වැලකුණෙ අහම්බෙනි....
එදා උඩරට රජු රණශූරයෙකු විය යුතු වූ නමුත් සෙනරත් රජු එබන්දෙක් නො වී ය. සිහසුන ලැබීමට පෙර බෞද්ධ භික්ෂුවක් වූ ඔහු තුළ භික්ෂු ශික්ෂණයක් හෝ සං‍යමයක් හෝ නොතිබුණ බවක් ද නොපෙනේ."
ජයසේකරගේ නවකතාවේ එන සෙනෙරත් ටිකිරි අබේසිංහ අඳුනාගත් සෙනෙරත් හා බොහෝ සේ සමගාමී බවට පෙනී යයි.

ඇත්තෙන්ම මෙම කාරණා ගැන අන් තැනක දීර්ඝව කතා වී ඇද්දැයි නොදනිමි. ක්වෙයිරෝස්ගේ සටහන් කියවීමේ දොළක් ද මේ වන විට ඇතිවෙමින් පවති.

විමලධර්මසූරිය හා සෙනෙරත් යුගයන් හි අතුරුකතා, චරපුරුෂ ක්‍රියාකාරකම්, යුධමෙහෙයුම්, දෝන කතිරිනා මේ සිද්ධීන් අතර උරුමකරගන්නා ජීවිතය, ඇගේ දිවියේ අවසන් වසර දෙකේ වෙසෙසින් ඇගේ දුක් වේදනාවන්ගේ තරම අලලා ජයසේකර ඉතා අපූරු නවකතාවක් ලියා ඇත. ඇත්තෙන්ම මෙහි කීමට දොසක් නැති තරම් ය.

මේ වන විට මා 2020 වසරේ ප්‍රාකාශ වූ නවකතා දහයක් කියවා ඇත. ඊට පෙර වසර හා සසඳද්දි 2020 වසර සිංහල නවාකතාව ට එතරම් සාර්ථක කෘති එක්කාසු කල වසරක් නොවේ. මට හැඟෙන පරිද්දෙන් එය සම්මාන වලින් ම දිස්වේ. රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තේ ලංකාවේ ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවෙකු වන එරික් ඉලයප්ආරච්චි වුව, එය ඔහුගේ සාර්ථකම නවකතාවකට නොවේ. ගොඩගේ සම්මානය දිනූ සේන තෝරදෙනියගේ මඩරන්, කරුණාකාරණා වලින් අධිපෝෂිත, නවකතාවක් ලෙස එනිසා ම නීරස කෘතියකි. ස්වර්ණ පුස්තක සම්මානය දිනුවේ රූපා ශ්‍රියානි ඒකනායක ගේ භේරුන්ඩ කැදැල්ලය. එය ද යම් අවිශ්වාසනීය ගැලපීමක් උඩ ගොතන ලද්දක් ලෙසය මා නම් දකිනුයේ. ආරියවංශ අබේසේකර ගේ ආරාමදාසත්, සෝමරත්න බාලසූරියගේ මුක්ති ත්, එරික් ගේ මැස්සා හා පෙළට තැබිය හැකි ඊට තරමක් හොඳ යැයි සිතිය හැකි නවකතාය.එහෙත් මේ සාමාන්‍ය වසරෙ සුවිශේෂි නවකතා  දෙකක් කියවීමි. එකක් තරිඳු ශ්‍රී ලොකුගමගේ ලියූ "ජීවිතයේ ඔයිල් පැල්ලම" ය, අනෙක පී. බී. ජයසේකරගේ "පින් මඳ මහ බිසෝ නම් වූ මෙම නවකතාවයි. මින් පළැමුවැන්න ස්වර්ණ පුස්තක අවසන් වටයට පැමිණ, එයට දුර්වල ගැලපුමකට පැරදිනි. පින් මඳ මහ බිසෝ පෙර කී සම්මාන තුනෙන් එකක දිගු ලයිස්තුවට හෝ තේරිමට තරමට හෝ අප විනිශ්ච මණ්ඩල වල නෙත ගැටී නැත! මෙම කෘති දෙක අතරින් කුමක් වඩා සුවිශේෂි ද යන්න තේරිම අපහසු තරමට මෙම නවකතා දෙක ඉදිරියෙන් ම පවතින්නේ, පෙර කී නවකතා වලට බොහෝ දුරින් ය.

2020 වසරේ ප්‍රකාශ වූ නවකතා කියවීම - 10
ශ්‍රේණිය: *****

 


No comments:

Post a Comment