Monday 6 July 2020

මතක වස්ත්‍ර - ඤාණවිපුල මුණසිංහ


කලකින් අපූරු සිංහල නවකතාවක් කියවූවෙමි. කරුමක්කාරයෝ, විරාගය, ගන්ධබ්බ අපධානය, මිරිඟුව ඇල්ලීම, බගන්දරා, සුද්දීලාගේ කතාව, මහාසාමි, සද්ගුණාකාරය වන්, කියවා අවසන සිතුවිලි වල අතරමං වන අත්දැකීමක් වින්දෙමි ( කළු, පවුරු බැඳි රාජ්‍යය සහ ප්‍රංශ පෙම්වතා ද ඊට ආසන්නයට පැමිණි නවකතා ලෙස සලකමි ).

නවකතාව 1960 වසර හා ඒ ආසන්න යුගය අලලා ලියැවී ඇත. තම වැඩිමල් පුතු සිවිල් සේවකයෙකු වීම හේතුවෙන්, ඔහු ගේ මව සහ පියා තම පුතුගේ අනාගතය පිළිබඳව හැසිරෙන අත්තනෝමතික අයුරු මෙම නවකතාවේ මුඛ්‍ය කාරණාවයි. සත්‍ය වශයෙන් ම මේ නවකතාව කියවා අවසන් වූ විට මහත් කෝපයක් හට ගත්තේ ය. වැඩිහිටි තරුණ විය ට පැමිණි තම දරුවෙකු පිළිබඳව, ඉතා අසාධාරණ ලෙස බලපෑම් කරලමින් ඔහු ගේ හෝ ඇය ගේ ජීවිතය කණපිට පෙරලීම කුමන අයුරකින් හෝ සමාව දිය නොහැකි කාරණාවක් බව මා තරයේ විශ්වාස කරමි. ඔවුන් තම අරමුණු ඉටුකරගැනිම වෙනුවෙන් යෙදෙනා නින්දිත උපක්‍රම ජුගුප්සාජනකය. කෝපයක් හට ගත්තේ අදට ත් අප රට වන් සංස්කෘතීන් හි වැඩිවිය ට පත් වූ තම දරුවන් මත පූර්ණ අණසක දෙමවුපියන් විසින් දැරීම හේතුවෙනි.  තරුණියන් විෂයෙහි මේ තත්වය වඩාත් බලවත් ය. නවකතාව අනාගතයේ කියවන්නියකට සිදු වන 'නාස්තිය' (spoiler යන අර්ථයෙන් ) අහිමි කරනු වස් මේ මධ්‍ය කාරණාව ගැන තව දුරටත් නොපවසමි.

එහෙත් මෙම නවකතාව පෝෂණය කරනා අවශේෂ දෑ බොහෝ ය. මා මුඛ්‍ය කාරණාවෙන් පරිබාහිරව, ඊට නිදසුන් කිහිපයක් මගින් මෙම නවකතාවේ රසවත් බවට සාක්ෂි පහත ලෙස පෙන්වා දෙමි:

අප කතානායකයාගේ විශ්ව විද්‍යාල සමකාලීනයෙකි, K.N.O. - ඔහු එහි අවශේෂ චරිතයකි.

තවත් තැනෙක 'විරාගෙ' ගැන අපූරු ම සඳහනකි. ඊට පෙම් නොබැඳීම ට සාහිත්‍යලෝලියෙකුට නො හැකිය.
"'නෑ... මට ආයිත් සැරයක් කියවන්න හිතුනා. සරෝජිනීගෙ යෝජනාවට කැමති උනා නං අරවින්ද අකාලෙ මැරෙන්න වෙන්නෙ නෑ... නේද?'
'අරවින්ද අකාලෙ මැරුණෙ නෑ. ඌ ඌට ඕනැ විදිහට ජීවත් වෙලා ලස්සනට මැරුණ'"
                                                                                                                        ( 104 පිටුව )
ආටානාටිය සූත්‍රය පිළිබඳ කියවෙන අවස්තාවක් ද මහත් රස වින්දෙමි.
"ආටානාටිය කියන්නට කෙසෙල්හේනාවේ සෝමාරාම හාමුදුරුවන්ට ගහන්න කෙනෙක් තාම ඉපදිලා නැතැයි මාමා නොයෙක් විට කියනු මම අසා ඇත්තෙමි. ආටානාටිය සූත්‍රය හාමුදුරුවරු කියන හැටි අසන්නට මා තුළ මහත් ආසාවක් ඉපදී ඇත.

කුම්භාංඩ වා කුම්භාංඩී වා කුම්භාංඩ පෝතකෝ වා කුම්භාංඩ පෝතිකා වා...

.... මහා ගොඨයිම්බර ගතියක් මා තුළ මතුවේ" ( 167-168 පිටු )
ඉතින් මෙවන් කොටස් වලට නොබැඳී ඉන්නේ කෙලෙස ද ? මා ද අමනුස්සයෙක් මෙන් ආටානාටිය ශ්‍රවණයට ලොල් ය.

1960 දශකයේ ද සමහර හාමුදුරුවරු ගැන විවේචන අද වාගේ මය:
"අනෙක් හාමුදුරුවරු කතා කෙළේ මගේ ඨානාන්තරය ගැන ය. ඒ පට්ටමින් පංසාලට ලද හැකි ඵල ප්‍රයෝජන ගැන ය. වෙද හාමුදුරුවෝ හල්ලන කන්දෙන් අක්කර පහළොවක් පංසලට ලබා ගත හැකි උපක්‍රමයක් ගැන මගෙන් ඇසූහ. එය කළ නොහැකි බව මම කීවෙමි" ( 217 පිටුව)
( කියවද්දි ඇති වෙච්චි සතුටක තරම :) )

අමරදේවයන් ද සිටිති;
"ගොයම් කැපූ වෙල් යායෙන් මතු වන නැවුම් සුවඳ නැහැයේ ගෑවෙයි. මට සිහි වූයේ, ටිකිරි ලියා, ජන ගායනාවෙහි එක් ගීතයක අමරදේව 'ඕ' කාරය ඇල්ලු සැටිය"
                                                                                                    (222 පිටුව )
මේ ගීතය මා අසා නැත - කරුමෙක මහත! ( මට මතකයට නැගුණේ 'සාර සංග්‍රහයේ" එන, 1988 ඔක්ස්ෆර්ඩ් සරසවියේ පෙරදිග භාෂා අංශයේ පැවති Sinhala Music, A variety of traditions" නම් දේශනයයි. එම දේශනය පුරාවට සරච්චන්ද්‍රයන්ට ඇවැසි නිදසුන් සඳහා ගායනාවෙන් පෝෂණය කර තිබුනේ අමරදේවයන් ය. අද තරමට තාක්ෂණය නොදියුණු යුගයක් හෙතුවෙන්, එවන් අවස්තා අපට සදහටම මගැරී ගොසිනි.)

නවකතාවේ එක් කලෙක අප කථානායකයා සේවය කරනුයේ හම්බන්තොට කච්චේරියේ ය. මේ එහි එන කොටසකි.
"අප දෙදෙන වැඩියත්ම ප්‍රිය කෙළේ තිස්සමහාරාමය හරහා තණමල්විලට ගොස් අනුක්කංගල මැදින් වැටී ඇති මහා ඝන වනාන්තරය ඔස්සේ මීගහඡඳුරට යාමටය. ලෙනාඩ් වුල්ෆ් ගේ බද්දේගම නවකතාවේ සිළිඳු බදුලු උසාවියට ගොස් ඇත්තේ අනුක්කංගල හරහා වැටී ඇති මේ අඩි පාරෙන් විය යුතුය. මේ වැඩ අවසන් වූ පසු ඒ පාර දිගේ බදුලු යා යුතු  යයි මට සිතිණ."
                                        ( 247 පිටුව )

මෙහි කතානායකයා තම සිතුවිලි ඔස්සේ යෙදෙන ගමන්, ඔහු ගේ තීරණ, ඔහු ගේ පසුබෑම්, දෙමව්පියන්ගේ බලපෑම් හේතුවෙන් සමාජවාදය ගැන විශ්වාස කරන විවෘත මනසක් ඇති ඔහු පත් වන අසරණබාවය ආදිය පිළිඹිබු කොට ඇති අයුරු අපුරුය. අප රට ඉහළ තානාන්තර ඇත්තෙකු ගේ රැස් වැදීමට බාහිර සමාජය බොහෝ දේ කිරීමට පසු නොබාන බව පෙන්වා ඇති අයුරු පාඨකයා ට ඇස් දෙක මැදට වැරෙන් පහරක් වැඩෙනා සේ දැනේ. අද ට ද අප මුහුණුපොත ආශ්‍රයෙන් මෙවැනි තත්ත්වයන් දකී. මෙය අප රට සමාජයේ ඇති පිළිණු බව පසක් කරයි. වරෙක මෙය චාරිකා, සාහිත්‍ය, සංගීතය පිළිබඳ සියුම් රසවත් ඇඟවුම් පළ කරයි. මේ කෘතියේ ලේඛකයා අවිවාදයෙන් ම සුවිශේෂිම පුද්ගලයෙකු ව ඉන්න ට ඇත. ඔහු අප හැර ගොස් බොහෝ කල් වුවද ඔහු ලියූ එකම කෘතිය වන මෙය මගින්, අපි ට ඔහු කුමන අයුරේ පරිපූර්ණ මිනිසෙකුව වසන්න ට ඇතැයි ද යන්න ගැන යම් ඉඟියක් ලබා දෙයි.

                                     

මෙම නවකතාව සොයගෙන කියවීමට පෙළඹුනේ, එය 1996 රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනීම හේතුවෙනි ( මා හෙමිහෙමිහිට මගැරුණු රාජ්‍ය සාහිත්‍ය සම්මාන ජයග්‍රහණය කල කෘති කියවීමේ උත්සාහයක යෙදෙමි ). මට ලැබුණු පිටපතේ මුල් පිටුව හෝ පැහැදිලි නැත. පසුව මේ කෘතිය ගැන සෙවීමේදී දැන ගත්තේ, කතුවරයා අප පරිවර්තන සාහිත්‍යයේ යෙදෙන චන්දන ගුණසේකරයන්ගේ නැසීගිය මාමණ්ඩිය බවයි. ඔහු පළ කල 'පෝස්ටුවකින්' මෙම පිටකවර ඡායාරූපය උකහාගත්තෙමි. චන්දන මට පසු ගිය දවසක කීවේ තමන් මීළඟට ලංකාවට ආ පසු මෙහි අලුත් මුද්‍රණයකට මුල පුරණ බවකි. අපි සියළු දෙනා ඒ සඳහා ඔහු ට යම් පීඩනයක් එල්ල කල යුතු යැයි සිතමි :) . එතරම් කල් ඉවසන්න බැරි කියවන්නියක් වෙත් නම්, කොළඹ මහජන පුස්තකාලයෙන් මා පරිශීලනය කල "ලෙලි ගිය" එහෙත් පිටු නො අඩු පිටපත කියවිය හැකිය ( එය මා මේ සතියේ නැවත බාරදෙමි )

No comments:

Post a Comment