Friday 24 July 2020

දික්කසාදය - පියල් කාරියවසම්


මෙම කෙටිකතා සංග්‍රහය, අද වන විට කෙටි කතාව වෙනුවෙන් විශේෂයෙන් යම් කීර්තියක් දිනාගෙන සිටින ලේඛකයාගේ පළමු නිර්මාණය යැයි සිතමි. පොත ආරම්භයේ, කෙටිකතාවනට පෙර  'වචනයක්.' කියන ලේඛකයා,
'අදින් වසර තුන හතරකට පෙරාතුව සටහන් කරන ලද මේ කතා වලින් සමහරක් ගත් විට හෙලිවන ධර්මතාවයන් සමඟ අද මා එකඟ නොවූවත් එදා මගේ ස්ථාවරය පිළිබඳ අද මට ස්වාධීන ලෙස බලන්නට හැකි හෙයින්ම මේවා මුද්‍රණයට මම නිර්භීත වූයෙමි.',

                                                                                             යැයි කියයි.මේ ප්‍රකාශය කෙටි කතා කියවීමට උත්තේජනයක් මෙන්ම, අප ගේ ද ස්ථාවරයන් පසු ගිය වසර 10-15ක් කාලය තුල වෙනස් වීම  තුල අප මීට අවුරුදු හය-හතක ට පෙර කියූවක් අද එලෙසටම කියාවීද, නැත්නම් මතයන් හි වෙනස්කම් ඊට වඩා දුරක් ගොස් ද යන්න ගැන මා සමඟ මට ඇති සාකච්ඡාවන් මතක් කරයි.


මංගලම් : මූලික ව ම ඒක පාත්‍ර භාෂණයක් වෙන මෙය කතිකයාගේ මංගල නැකත ට ආසන්න විනාඩි කිහිපයක් තුල සිදු වූ මතකයන් පෙළකි. ඔහු ගේ අහිංසක ගම්බද දෙමව්පියන් මංගල්‍යයට පැමිණීම, නීතීඥ වෘත්තියේ ස්වභාවය, වේගයෙන් නැති වෙන තම තාරුණ්‍යය, අවිවාහක තම හොඳම මිතුරා කෙරෙහි සියුම් ඊරිසියාව යන හැඟීම් ගොන්නක ඔහු මනස හරහා දිව යන වේගයෙන් ම පාහේ අප ඉදිරියේ දිගැරේ.  සුවිශේෂිබවක් නොවූවත්, ආත්ම භාෂණයක අවංකබව සිත්ගන්නා සුළුය.


සිය දේශපාලනය ( නොහොත් පක්ෂය වෙනුවෙන් තමන් ගේ වගකීම ) ඉදිරියේ පියා නැති තම දිවියට බලාපොරොත්තුවක් ලබා දුන් තම ලොකු තාත්තා පාවා දීමේ උභතෝකෝටිය මුහුණ දෙන තරුණයකු ගේ තීරණය මතුවෙන ලෙස ලියා ඇති මෙම කෙටි කතාව, සැකිල්ලක ආකාරයෙන් ලියැවී ඇත. එහි පුද්ගල මනෝ ඝට්ටනය පැහැදිලි වුව ද, ලේඛකයා මෙම නිර්මාණය අද ලියුවේ නම් මීට ලෙස පරිපූර්ණ ලෙස ලියැවෙන්න ට ඉඩ තිබෙන බව හැඟිමක් මා තුල ජනිත විය.

නපුරු හීන පෙනුණේ පෙර පවට නොවෙයි කෙටි කතාවේ අවසානය  ප්‍රශස්ත නොවූවද, එම අවසානය තෙක් කෙටිකතාව ගලා ගියේ සිනමාපටයක් ලෙසිනි. ඇත්තෙන්ම එය එවන් නිර්මාණයකට යෝග්‍ය විය හැකිය. සලකන්න හේ කෙටිකතාව අරඹන අයුරු:
"මහා නගරයේ අහු කොනක් පාසා කළුවර දිය ගලා ගියේය. සැණෙකින් ජීවි අජීවි සියලු දේ දිය පහරේ ගිලුනාක් මෙන් නොපෙනී ගිය ද, මහලු නියොන් ලාම්පු කර තබාගත් , කොන්ක්‍රීට් කණු එක දෙකක් එහෙන් මෙහෙන් මතු වූ හෙයින් ද යකඩ යක්ෂයින්ගේ නෙත් අගින් කඩා වැටුණු එළි තාර පාරේ කහ ඉරි මත පතිත වූ හෙයින් ද, නගරය සහමුලින් අඳුරු වන්නට තිබූ ඉඩ ඇහැරුණේය. " (24 පිටුව)

කැළණි ගඟ අසබඩ දෛනික මිනිස් වාසය සඳහා කල යුතු යුද්ධය ඉතා තාත්වික ලෙස නිරූපිත කෙටිකතාවකි.

අයෙකුට, ඔහුගේ දරු පවුලට කුසට අහරක් ඇතිව දිවි ගෙවීමේ නොහැකියාව බොහෝ හොරකම් වලට මුල යැයි කිව හැක. එක්තරා භීෂණ සමයෙක, එදා වෙලා සරි කොට ගත නොහැකි අසරණයෙකු ඔහුගේ දරුගැබක් රකින කරන බිරිඳ කෙරෙහි ඇති ඉවසිය නොහැකි දයාව හමුවේ, ගත් යම් පියවරක් අලලා ලියැවුන්නකි, හරන්තක යන කෙටි කතාව. මෙම කතාව මීට පෙර බොහෝ දෙනා විවිධාකරයෙන් පැවසිය තිබිය හැක. මෙහි එන පන්සලේ හාමුදුරුවන්ගේ උපේක්ෂාව මෙම කෙටිකතාවේ රසවත් ම කොටසයි:

"මොනාද අපේ හාමුදුරුවනේ අරන් ගිහින් තියෙන්නෙ ?"

"මිරිස් තුන පහ ටිකකුයි හාල් මුට්ටියයි. මිනිස්සුම දීපුව, උන්ට හිඟ උණාම උන් ගන්නවා" ( 47 පිටුව )

යතාර්ත මායීම් වලින් තරමක් ඈතින් තිබෙන කෙටි කතා කිහිපයක් මෙහි වෙයි - අපට හමු වන පළමුවැන්න මෙම සංග්‍රහයට එහි නම ලබා දුන් "දික්කසාදය" නම් වූ කෙටි කතාවයි. එක්ටැම් ගෙවල් වල වෙසෙමින් මිනිසුන්ගේ ගැටළු මතින්  මුදල් හදල් හම්බ කොට, පොළොවෙන් ඈත් ව "එක්ටැම් ගෙවල් වල" විසීම පිළිබඳ අවඥ්ඥා සහගත කියවීමකි මෙම නිර්මාණය. දික්කසාදය ඊට ඍජුව සම්බන්ධ නොමැති, එහෙත් මිනිස් සන්තානයේ ඇති චපල බව ප්‍රකට කරන්නකි. සාර්ථක නිර්මාණයකි.

මෙහි එන "කළු පුසා" ද යථාර්ත සීමාවෙන් ඔබ්බේ පවතින කෙටිකතාවකි. දේශපාලන බළල් හස්ත, බලවතුන්ගේ පැවත්ම ට තර්ජනයක් වන විනාශ කර දැමිමේ ධර්මතාව ඉතා සාර්ථක ලෙස නිරූපනය කෙරෙන කෙටිකතාවකි.

බීමතින් දොඩමළු වන මැදිවියේ අයෙකු සහ අප කථක තරුණ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා අතර දිගැරෙන "සිත්තරෙකුගේ පුරාවත" මත්පැන් හා සම්බන්ධ රසවත් අත්දැකීම් මෙනෙහි කරනාකාරයේ සියුම් රසවින්දයක් ගෙන එන්නකි.

කෙටි කතා සංග්‍රහය අවසන් වන්නේ, "යෝදයාගේ මල් උයනේ අලුත් කතාන්දරයෙනි". යථාර්ත සීමාවෙන් බාහිරව දිගැරෙන මෙම කෙටිකතාවෙන් පැරණි ක්‍රමයන් මගින් අලුත් පරම්පාරවන් ට හැදී නැගී ඒමට ඇති අවස්ථා අඩාල කිරීමත් ඊට එරෙහිව නැගී එන රැල්ල පිළිබඳත් ඉඟි කරයි. නුමුදු කියවාගෙන යද්දී, මෙම කෙටිකතාව සමාප්ත කලා තරමක් ඉක්මන් වැඩි යැයි සිතෙයි.

පිටු 92ක් තරම් වූ මේ කුඩා පොතේ කෙටි කතා අටකි. ඉන් බහුතරය රසවත් ය. එහෙත් "කුරිරු සුරංගනා සිහිනයක්" කියවීමෙන් අනතුරුව, අප කෙසේ උත්සාහ කලද මෙම නිර්මාණ අප ට කියවෙන්නේ ඊට සාපේක්ෂවය. මෙය ප්‍රකාශ වූ 1997 ට ආසන්නයේ, එනම් 89 කැරල්ලෙ උණුසුම තරමක් තවම මතක යුගයක මෙ නිර්මාණ කියෙව්වේ නම් ඉන් අප ලබනා රසය මීට වඩා තීව්‍ර වන්නට තිබූ බවකි අපගේ අදහස. අද වන විට මෙය මුද්‍රණයේ ඇතැයි නොසිතමි. මහජන පුස්තකාලේ දී නෙත ගැටුනෙන් වහා මේ අවපැහැ වූ පිටපත ගෙනැවිත් කාර්‍ය බහුල කාලයක ටිකෙන් ටික සති දෙකකටත වඩා කාලයක් තුල කියවූවෙමි.



No comments:

Post a Comment