Friday 17 April 2020

ගිරිහිස තරණය - සුහර්ෂිණී ධර්මරත්න

කිවිඳියගේ කාව්‍ය සංග්‍රහයන් සොයාගෙන කියවීමට මුඛ්‍ය හේතුව,  ලියනගේ අමරකීර්ති ගේ "නව කවි සලකුණ" මගින් කිවිඳිය ලැබූ මහත් පැසසුම් සහ, අමරසේකරුන් ගේ දුලභ විචාරයක්, කිවිඳියගේ කෘතියක් වෙනුවෙන් ලියැවී තිබීමයි. ඒ විශේෂඥ්ඥයින් දෙදෙන ම පසසා තුබුනේ කිවිඳියගේ භාෂා භාවිතාව, සහ අපට බොහෝ හුරු පුරුදු සිවු පද ආර ඉතා දක්ෂ ලෙස නූතන කවිය අරභයා භාවිතා කොට ඇති බුහුටි බවයි. ඒ අර්තයෙන් නම් සුහර්ෂිණී කවිය මනරම් ය. ඇය අත සිහළය ඇඹෙන්නෙ, මෙලෙකින් ඇගේ ම කවියේ උවමනාවට සූදානම් වීමට මග බලා සිටියා වැන්න.

නිදසුන් කිහිපයකින් මෙය පෙන්වමි;




"පින්සර මහිමි සඳ සොඳ සඳ   කිඳුරු යුරා 
පෙම් බැඳ එකට ආමුත් දිගු සසර        පුරා
හිස් වචනයක පැටලී සිත සසල        වෙලා
මල්සර දුන්න විසි කර ගොසිනි     මල්සරා
                                                 ( විරසකයට පසුව )"

මෙහි මුල් පදයේ සම ශබ්ද පද ශූර ලෙස භාවිතාවෙන් ගෙනෙනා ශබ්දරසය, අප සම්භාව්‍ය කාව්‍යයන් මතක් කරලීමට සමත් ය.

"ආලයෙ ලියකමින් හැඩ කළ රජ    දහනේ
කැටයම් මැකුණු රූ සිරි සඳකඩ    පහණේ
පෙර ඉසුරුමත් බව අද නැති මුත් රැඳුණේ
 බැතිබර වන්දනාවක මම හිමි        සඳුනේ
                                                                (අතැර ගිය හිමිසඳුනට )"

"සැටක් සිවු කපටකම් ඇති සළෙල ලියේ
ගෙටත් බඹර කැළ කැන්දන සමනළියේ
මටත් පෙනෙන්නට සවුදම් ගහපු ලියේ
රටක් වටින මව්කම නො වෙ ද වළ ගියේ
                                                         ( වැරදුණ තානම )"

        
මේ වැරදුණ තානම කවි පංතිය සංග්‍රහයේ මා මහත් සිත් ගත් කවි පංතියකි. ඒ අපූරු බස හැසිරවීමට අමතරව තරමක් අලුත් මානයක මැයක් කවි සංකල්පනාවට ලක් කිරීමෙනි. එනම් නිදහස් හැසිරීමකට ප්‍රිය කල මවක වෙත චෝදනා මුඛයෙන් කතාකරනා දියණියකගේ දෘෂ්ටිකෝණයයි. මේ කාරණාව, එනම් නවුම් මැයක ඇති වටනාකම මතු කලේ, මා මේ සංග්‍රහයේ දුටු සාපේක්ෂ  සීමිතබවක් මතු කරලීමේ අටියෙනි. එනම් අපූරු බස් භාවිතාව සහ කවිකම වෙනුවෙන් ඈ ඉහත ලකුණු ලබා ගත්ත ද, විටෙක කවි සංකල්පනාවන් එතරම් නැවුම් නොවන අතර, විටෙක සමහර කවි පාඨකයා තුල සසල වීමකට අසමත් ද   යන ගැටළුව මතු කරලීමටයි. නිදසුනක් ලෙස "අවිනිශ්චිත විනිශ්චය" ගනිමි. මෙහි නිමිත්ත ගුරුවරියක විසින් දුෂ්කර පාසලක දරුවන් තරග සඳහා අගනුවරට රගෙන ඒම හා ඔවුන්ගේ විනිශ්චයන් ය. මීට ආසන්න කාරණාවක්, "තිරය ඇරෙනව - තිරය වැසෙනවා" ගීයෙන් ද කියවේ. සිරිපා කරුණාවේ බැඳෙන ප්‍රේමයන් නැවුම් මාතෘකාවක් නොවේ ("මාතර ලිය මමයි "). සිප් හදාරා දරුවන් විදෙස් රටවල විකුම් පානා කල දෙමව්පියන් මෙහි තනි වීම මීට පෙර බොහෝ කවි වලට නිමිත්තක් වී ඇති සංකල්පනාවකි ("දොස්තර පුතා කෝ කෝ"). "සමිඳ ඔබ දිටිමි" ද අපූරුවට ගෙතී තිබුන ද නැවුම් බවක් නොදුටිමි. මේ සියළු අවස්තාවන් හී පාහෙ කවි බැඳීම, බස භාවිතාව මනරම් ය. එහෙත්, ඉන් නැවුම් බවක් වහනය නොවෙ.

එනුමුදු ළාබාල අහිංසාවියක් බලය හා ධනය ඇති සල්ලාලයෙකුගේ ගොදුරක් වීම මී පැටික්කියකට සරි කොට බැඳ ඇති කවි පංතිය නැවුම් ය.
"සූරා නිය පහුරු දත්වලින්
පාරා ඇඟ මස ද යක් වෙසින්
හාරා සිළිටි ගත මිරිකාගෙන වැරෙන්
ඉරා විසිකර ගොසිනි වියරුවෙන්

සාක්කුවට විසිවුණ රන්මසු ගොට්ටේ
සාක්කියට මොනවද මහතුනි ඇත්තේ
කිරිදත් ලකුණු සටහන් ඇති පිට පොත්තේ
පාන් වාටියක් ඇත වෙල ඉස්මත්තේ"
                                     (බිළාල දඩයම)

කිවිඳිය ඉතා අපූරුවට අප රට ධනය හා බලය හමුවේ යට යන අපරාධ, දුකෙන් සියල්ල ඉවසන්නට බල කරනා මී මවක ට ආදේශ කරයි.

තැනෙක ඇති කවි පංති මගින් කිවිඳියගේ කාන්තාවාදි අදහස් මතු වෙයි. මෙහි එන අපූරු කවි පංතියක් වන "සයුර හා නදිය" තුලට එය සං‍යමයෙන් ගිල්වා ඇත.

"සයුර නුඹ හා බැඳුණු දා සිට
මම නුඹ වීමි
නුඹ නුඹ ම විය
මට මා අහිමි විය"

"මදුරුවත" තුලින් ද මෙම අදහස් පසක් වේ. කවියේ අලංකාරත්වය තුල, ඉතා සියුම් අයුරින් මෙම අදහස් ගිල්වා තිබීම කිවිඳියගේ දක්ෂතාව ට පෙන්නුම් කරයි.

"ගැහැනුන්ගේ හුරුව නිතර ම ලේ බොන්ටයි
ගරහන්නේ පිරිමි කළැ පව් වහ          ගන්ටයි
මෝරන්නේ කුසේ බිජු දරුපල           දෙන්ටයි
ලේ බොනේ එවන් දරු ගැබ රැක        ගන්ටයි"

  මෙහි  එන "සයුර සහ නදිය", "වැරදුණ තානම", "තාත්තාගේ සිහිනය", "පුතු අවදියෙනි", "දාසියක් නොවූ නුඹට", "කළල රුව හා විද්‍යා පාඩම",  "මං බාලයි", "නාටාමි වත", "ප්‍රේමය පශ්චිම යානය" ආදි කවි පංති මා මහත් රස වින්දෙමි.

මේ සංග්‍රහය තුල තරු හතරාමාරක් හෝ පහක් තරම් ඇගයුමකට විභවය තිබෙනු මට දැනිනි. එහෙත් වරෙක කවි නිමිති, මීට පෙර බොහෝ භාවිත කර ඇති තැනෙක නතර වීම  හේතුවෙන් තරු හතරකට සීමා කෙරුණු බවට පාපෝච්චාරණය කරමි. කිවිඳියගේ අන් සංග්‍රහයන් කියවීමේ දොළෙන් පෙළෙමි.

ශ්‍රේණිය: ****


No comments:

Post a Comment