Thursday 30 April 2020

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තුන් ඈදුතු නවකතාව ( ගම්පෙරළිය - කලියුගය - යුගාන්තය )


ගම්පෙරළිය (1944 )  *****

මෙවතාවේ ගම්පෙරළිය කියවූයේ, වඩා නාඹර වයසක නො දුටු, නොසලකා හැරි, නැතහොත් ගෝචර නොවූ මානයන් අසුලා ගැනීමේ උවමනාවෙනි. මේ උවමානව අවම වශයෙන් වසර කිහිපයක සිට තිබුන ද, වත්මනෙහි ලොව පැතිර පවතින වසංගත තත්ත්වය ඊට වඩා සුදුසු කාල වේලාවක් සපයා දී ඇති සෙයකි.

නවකතාව ලියැවී ඇත්තේ  1944 දී වුව, නවකතාවාට උක්ත කාලය 1901 න් ඇරඹෙන දශකයේ මුල් භාගයයි.

කරුණාවන්ත කතක් වූ මාතර හාමිනේ ට, ඔවුන්ගේ අශ්ව කරත්තය හරහා අශ්වයාට සිදු වන හිංසනය ගෝචර නොවුණි (53 පිටුව ). කරත්තයක් ඇදීමට ගොනෙකු භාවිත කරලීම හිංසනයක් නොවුනද, උගේ පන නිරුද්ධ වන ලෙස මසට ගැනීම පාපයකි. ඒ අවිහිංසකත්වයේ සියුම් අවස්තාවනට සාමාන්‍ය ජනමතය දියුණු නොවීම හේතුවෙනි. කිමද මේ තවම ක්‍රීඩාවට සතුන් දඩයම කෙරුණු යුගයක් වීමත්, රට පාලනය කල සුද්දන් ගේ අසුන් භාවිතය සුලභ නිසා විය යුතුය.

තිස්ස යකැදුරන්ට බැණවදින්නේ 'සිංහල වත් නොදන්නා මෝඩ රැළ' (84 පිටුව), කියමිනි. ඒ එම ශිල්පය මලබාරයෙන් පැමිණි නිසා විය යුතුය. කට්ටඩියන් හරි හරියට තම යාතිකා සඳහා ද්‍රවිඩ වචන භාවිත කරන්නෝය ( බිත්තරයට, 'මුට්ටෙ' ආදි වචන භාවිත කරමින් ).

91 වෙනි පිටුවේ, පියල්ගේ සීයා එළවළු කද රැගෙන වෙළඳාමේ ගිය අයෙක් බව, පියල් ට එතරම් නොදැනුනු බව පවසේ. එය කතුවරයා  දක්ෂ ලෙස යුග අතර වෙනස පෙන්වන අවස්තාවකි. මාතර හාමීනේ ට එය අද-ඊයේ වගේ කාරණාවක් වීමත්, දුව එම සීයාගේ මුණුබුරාට නොදීමට තරම් හේතුවක් වද්දී, පියල් ගෙ ලොවින් එම කාරණාව බැහැර වී ඇත.

පියල්, බාලදාස, තම පවුලේ අයවළුන් සමඟ පරගොඩ ගොසින් ආ පසු නන්දා ගේ සිතුවිලි පිරීක්සන ලේඛකයා එම අදහස් ප්‍රකාශ කරලීමට භාවිත කරන වචන ද සැලකිල්ලට ගත යුතු යැයි විශ්වාස කරමි.
"මේවර පියල්ගේ ස්වරූපය ඇගේ සිතට නැංගේ මෙතෙක් ඇගේ සිතට නොනැඟුණු සිතුවිලි ද රැගෙනය. යටි සිතෙහි සැඟවී තුබුණු අවලම්-හැඟීම්, ඇගේ ජාගර චිත්තයට පිවිසීමට, කාමරයෙහි වූ දැඩි අඳුර ද අනුබලයක් නොවේ යැයි කිව හැකි නොවේ." (165 පිටුව )
යෞවනියක් ව සිටියදී පියල්ගෙන් ලියුම් භාරගත් නන්දා නොවේ, පරගොඩ යන්නේ. පුරුෂයෙකු හා පවුල් කෑ, ඒත් කලක සිට ගමින් පිට ට වෙළඳාම උදෙසා පිටවීම හේතුවෙන් තනියෙන් වෙසෙන නන්දාවකි. එවිට ඇගේ ජීවිතය සහ වෙසෙසින් කාමය පිළිබඳ අත්දැකීම් පුළුල් ය. අප ලේඛකයා මෙම තත්ත්වය ප්‍රකාශ කරලීමට භාවිත කරනුයේ "අවලම්" යන වචනයයි. ඉන් ගම්‍ය වන්නේ සදාකල් අපාය උරුම කරනාකාරයේ පහත් හැසිරීමකට තුඩුදෙන (ශාපලත් ) තත්ත්වයකි. කාමරයේ අඳුරත් සමඟ මේ හැඟීම මුසු කරලීම මගින්, වික්‍රමසිංහයන්ටත් නොදැනීම එම යුගයේ දී, සිතින් හෝ අන් පුරුෂයෙකු - අන් ස්ත්‍රියක් ගැන සිතීම පිළිබඳ අදහස මතු වේ යැයි සිතමි.

එනුමුදු ඊට පිටුවකට දෙකකට පසුව මෙහි සැබෑ ස්වරූපය දැකීමට ද හේ සමත් ය
"කුල සිරිත් රැකීමට ඔවුන්ට රුකුල් දෙන ඒ පරිසරය සෑදෙන්නෙ ගමෙහි කුඩා බව, අඩු ජනගහණය, කුල ගර්වය, ගැමියන්ගේ නූගත්කම, අවිනීතභාවය, අවිචාර බුද්ධිය, ළාමක විශ්වාසයන්ට වහල් වූ ඔවුන්ගේ දැඩි සිත, ඉන්ද්‍රියන් පිනවීමට තුඩු දෙන දේ බහුල නොවීම යන ආදියෙහි සංකලානයෙන් මිස ගැමියන්ගේ අපූර්ව ආධ්‍යාත්මික ශක්තියකින් නොවේ." (167 පිටුව )
  ලේඛකයාටද හොරා, රාගය, කාමුක අදහස් සිතට පැමිණීම එළිදරව් කරලීමට 'අවලම්' යන වදන භාවිතාව තුලින් ඔහු තුල වූ, යම් වඩා පුළුල් අදහස් පවා, යුගයේ සමස්ත සමාජ මතයනට යටත් ව හෙළි ව ඇතැයි සිතමි.

තව එක් කියවීමකින් මෙම දෙවෙනි වර කියවීම  ගැන අදහස් දැක්වීම අවසන් කරමි.
"ගමෙහි මැද පන්තියෙහි වූ උගත් තරුණයෙකු බිරිඳක් පැතිය යුත්තේ ධනයෙන් පිරිහුණු උසස් කුල ගෙයකින් පමණි. ධනයෙන් ද කුලයෙන් ද යන දෙකින් එකසේ උසස් පවුලකින් නොවේ. ධනයෙන් පිරිහුණු කුල ගෙවල තරුණියන්, කුල ගර්වය නිසා මැද පන්තියේ ගැමියන් නොතකන කල, ඒ ගැමියන් තුළ ඊර්ෂ්‍යාවක් හටගැනීම පුදුමයක් ද? " (229 පිටුව)
 මේ තුලින්, තරඟකාරීත්වයේ ක්ෂුද්‍ර අවස්තාවක් නිරූපනය නොවන්නේ ද?  කුලවතුන් ට පිළිගැනීම ඇත්තේ ඊට ධනබලය ද එකතු වූ විට පමණි. ධනබලය පිරිහෙත්ම, ඔවුන් කුලයෙන් හෝ පවුල් පසු බිමින් තරමක් හීන අයෙකුට අත්වැලක් වීම බලාපොරොත්තු වන්නේ, අන් පවුලකට සමාජයේ ඉහළ නැගීමට අත්වැලක් විම ත් සමඟය. එය අප්‍රකාශිත සමාජ සාධාරණත්වයක් සේය.

කලියුගය (1957) *****

පියල් හා නන්දා, කොළඹ පදිංචියට ගිය මුත්, ඔවුනගේ  සමහර පැරණි අදහස් - වෙසෙසින් නන්දා ගේ පෙර පරම්පරාව මතින් වර්තමනිකයින් මැනීමේ පුරුද්ද - කිසිදා වෙනස් නොවේ. ඉන් ඔවුනගේ දරුවන ද අක් මුල් වලින් උදුරා දැමුණු පරපුරක් වන්නෝය. වරෙක පියල් ගේ මව ඇලන් ගැන පවසන්නේ, ඔහුට අල්ලපු අත්තත්, පය ගහපු අත්තත් දෙකම නැති වූ බවෙකි. ඔහු ට එසේ වූයේ ඇලන් ගේ දෙමව්පියන් ඔහුට එතරම් ලං නොවීම හේතු කොට ගෙනය. මේ කරණාව ඔස්සේ අන් මාතෘකාවකට ඇදෙමි.

 ළමාරාක්ෂාව පිළිබඳ මනෝ විශේෂඥ්ඥයෙක් ලෙස සැලකුණ ජෝන් වොට්සන්, 1920 දශකයේ අග දී, පැවසූවේ කුඩා ළමුන් විෂයෙහි විශේෂ ආදරයක් දැක්වීම දෙමව්පියන් විසින් නොකලයුත්තක් බවත්,  එසේ නිතර ආදරය පෑම ඔවුන් වැඩිහිටියන් වූ කල අනාර්ක්ෂිත බවක් ඇති වීමට හේතු වුව හැකි බවත් ය. 1957 දී ලියා පළ කල මේ නවකතාවට කරුණු එක්කාසු කරලීමෙදී, කොළඹ පිරිස් කුඩා ළමුන් හදන ආකාරය වික්‍රමසිංහගේ නිරීක්ෂණයට පාත්‍ර වන්න ඇත. මෙහි දී නන්දා සමජාශ්‍රය කෙරෙහි ත්, පියල් තම වෙළේඳාම කෙරෙහි ත් යොමු වෙද්දී දරුවන් බැඳෙන්නේ තම ලොකු අම්මා වූ අනුලා සමඟය.  1930-40 දශක තුල කොළඹ දෙමව්පියන්ගේ හැසිරීම ඉංග්‍රීසි ජාතීන් අනුකරණයෙන් තම දරුවන් ඇත් දැඩි කිරීමේ ක්‍රමවේදයෙන් යම් ආභාෂයක් ලබන්නට ඇත. වොට්සන් ඇමරිකන් ජාතිකයෙකු වුව, බිළින්ඳන් පිළිබඳ සඟරා වලට ඔහු ලියූ ලිපි ආශ්‍රයෙන් බිරිතානීන් ද එය අනුගමනය කලෝ ද ? නාගරික ලාංකීයන්ගේ මේ හැසිරීම වික්‍රමසිංහ කියවූ අයුරක් ද අප මේ දකින්නේ ? කිමද අනුලා විෂයෙහි දරුවන් තිදෙනා ගේ බැඳීමත්, නන්දා කිසි දින තම දරුවන් හරි හැටි තේරුම් නොගැනීමත් නවකතාවේ මුඛ්‍ය පෙළට ප්‍රධාන සාධකයකි. ( ජෝන් වොට්සන් ගේ ළමා මනෝවිද්‍යාව පිළිබඳ ඉගැන්වීම මා කියවූයේ යුවාල් නොආහ් හරාරි Yuval Noah Harari ගේ Homo Deus කෘතියෙනි )

මෙම කෘතියේ තිස්ස ගේ චරිතය සහ අනුලා ගේ චරිතය කෙරෙහි වෙසෙස් අවධානයක් යොමු කොට ඇත. විරාගය ලියා පළ වන්නේ 1956 දීය. කලි යුගය 1957 දීය. අරවින්ද චරිතයේ සමහර ලක්ෂණ තිස්සගේ චරිතය තුලින් දැක ගත හැක. විරාගය යේ අරවින්ද වූ කලි සිංහල නවකතාවේ එන සුවිශේෂී චරිතයකි. සාංදෘෂ්ඨිකවාදී සිතුවිලි වලින් තෙරෙපෙමින්,  තමන් ගේ තීරණ මතින් ජීවත් වෙමින්, කිසිවෙකු වෙත බැඳීම හැකි තරම් ස්වයං වාරණයකට නතු කරලමින් ජීවත් වූවෙකි, අරවින්ද. තිස්ස, එවන් අදහස් තිබුන ද අන් සියළු අය විවේචනයෙන් පමණක් නොව, ස්වයං විවේචනයෙන් ද කල් ගෙවන්නෙකි.  ඔහු ගේ ජීවන දැක්ම මෙලෙස දිගැරේ.
"දිළිඳුකම නිසා තරුණ වියෙහිදීම අපිස් ජීවිතයට පුරුදු වුණු ඔහු ජීවයෙහි ගැඹුර තර්ක බුද්ධියෙන් දැකීමට අසමර්ථයෙක් වී ය. ඔහු ජීවයෙහි ගැඹුර හඟින්නේ ශිෂ්ටත්වය විසින් නො හික්මවනු ගොළුවන් මෙන් දුක් පීඩා හා වද වේදනා විඳිනු දැකීමෙනි. උගැන්මෙන් හා බුද්ධියෙන් වැළැක්විය හැකි දැඩි වේදනා විඳින ගැමියන්ගේ ජීවිතය ජීවන සයුරෙහි ගැඹුර දක්වන එළියක් යයි ඔහු සිතුවේ ය." ( 152 පිටුව )
තිස්ස ට තම අක්කාගේ සැමියාගෙන් යැපීම ගැන ගැටළුවක් ද ඇති නොවේ. මෙවන් චරිත වර්තමානයේ නැත්තටම නති තරම් යැයි සිතිය හැක. ඇලන් ගේ බිරිඳ තිස්ස ගැන අසා මෙවැන්නක් තෙපළයි.

'තිස්ස වගේ කලකිරීමෙන් සමාජය, ආගම, සිරිත්, සාහිත්‍යය, කලාව ආදි කිසිවක් නොතකා උදාසීන ලෙස ජීවත් වන්නෝ ලන්ඩන් නගරයේ සිත්තරුන්, කවීන්, නළුවන්, සොරුන් හා හිඟන්නන් අතර බහුල වෙති'

කියායි.

ඊට නන්දා පිලිතුරු වශයෙන්, ඇලන් තිස්ස ගේ සායම් ඇරලූ බවක් පවසන සඳ, තිස්සගේ පිලිතුරු, මා මෙම කෘතියේ දකිනා වටිනා ම පාඨයකි.

"මම සායම් නොගෙන ජීවත් වෙන්න හදන මිනිහෙක් ලෙස ඇලන් හඳුන්වන්න ඇති."

වික්‍රමසිංහ, තුන් ඈදුතු නවකතාවේ දෙවෙනි කොටස ලියන්නේ තෙවැන්න ලියා වසර දහයකට පමණ පසුවය. ඒ කාලය තුල වික්‍රමසිංහගේ සාන්දෘෂ්ඨිකවාදී අදහස් වලින් වැඩි ආභාෂයක් ලත් බවක් පෙනී යයි.  1963 දී ලියැවුණු කරුවළ ගෙදර යම් තරමක් ගම් පෙරළිය ට ආසන්න ආඛ්‍යාන රටාවක් ගත්ත ද, ඊට දස වසකින් ලියැවුණු බවාන්තරය මගින් ද වික්‍රමසිංහ තුලින් ද දර්ශනය කෙරෙහි ඇති ඇල්ම පිළිඹිබු කරයි. කළුවර ගෙදර වඩා සියුම් ලෙස නැවත කියවීමකට ලක් විය යුතු බව මට වැටහුනේ මෑතක අප මිතුරෙකු හා, ඒ පිළිබඳ වූ සංවාදයකදී ය.

  යුගාන්තය (1947) ***1/2

අන් කෘති දෙකට සාපේක්ෂව යුගාන්තය කියවීම තරමක් දුෂ්කරය. ඒ එහි ඇති මාලීන් ගේ දේශපාලනය වික්‍රමසිංහයන් ගේ අතින් විස්තර අයුර හේතුවෙනි. බවාන්තරය කියවා, මේ කෘතිය නැවත කියවද්දි වැටහෙන්නේ, වික්‍රමසිංහයන් ගේ සමහර අන් විෂයීක කෘතියක රැගත් විස්තර වලට ආසන්න ආරක්, හේ නවකතාවේ ද සමහර තැනෙකට භාවිත කරන බවකි. එසේ වුවද තිස්ස කයිසාරුවත්තේ ගේ නිර්දය සමාජ විවේචන නවකතාව රසවත් කරයි.  අද කියවනා විට මෙහි සමහර අදහස් වල යල් පිනූ බවක් පෙනීම, තේරුම් ගත හැක. 1949 වසරේ ලියැවුණු මෙය ඔස්සෙ එකල අලුත් නිදහස් රාජ්‍යයක් ලෙස සමාජවාදය කෙරෙහි මහත් බලාපොරොත්තු ලේඛකයා තුල තිබූ බව ට සිතිය හැකිය. 1947 වැඩ වර්ජනයෙන් ද තම නිර්මාණයට අවැසි උත්තේජනය ලැබූ විකුම්සිහයන්, 1966 දී ලියූ පෙරවදනේ ( "යුගාන්තය රචනයට පෙර මා ලැබූ ආවේශය" ) වික්‍රමසිංහයන් පවසන්නේ කබලාන චරිතය තමන් ඩී.ආර්, විජේවර්ධන චරිතය ගුරු කොට ගත් බවෙකි. නවකතාවෙන් සමස්ත ලෙස සමාජවාදීන්ටත්, සමාජවාදයටත් යම් උපහාරයක් පිදෙන බව හේ පිළිගනී. එහෙත් 1966 වන විට ඒ සමාජවාදි සිහිනය පිළිබඳ යම් සැකයන් ඉපදීම නිසා දෝ, හේ මෙම පෙරවදන අවසන් කරනුයේ, වෙසෙසින් තිස්ස කයිසාරුවත්තේ චරිතය භාවිතාවෙන්, තමන් "ස්වාධීනව සිතන සමාජ වාදියකු කුප්පවති යි මම නොසිතමි" යි පවසමිනි.  අවසන, නාලිකා කබලාන කන කර ආබරණ ගැලවීමේ සිද්ධියෙන් වික්‍රමසිංහයන් ගෝර්කි ගේ අම්මා ව සැර බාල කර නිරූපනය කරන්නේ දැ යි ද සිතුණි. මේ අදහස් මැදි වියට පා තැබුවෙකු ලෙස මෙම කෘති නැවත පරිශීලනය කරන්නෙකු ලෙස සිතට නැගුන ඒවාය. මා තරයේ ම විශ්වාස කරනුයේ, යුගාන්තයේ ජීවගුණය ඇත්තේ එම යුගය පිළිබඳ බොහෝ දේ දැනීම තුලය කියාය. එහි තැනෙක විස්තරයන් කියා පානුයේ සේව්‍ය-සේවක ගැටුමක් පමණැක් ගැන නොවේ. දෙමාපියන්ගේ රැහැන් වලින් මිදීමේ දරුවන්ගේ උවමනාව ද ඊට  එක්කාසු වූ බවෙකි.
"ජය ගත් සේනාවක් මෙන් ගමන් කළ ජනකාය නූගත් දිළිඳු මිනිසුන්ගෙන්ම සෑදුණක් නොවී ය.... මවුපියන්ගේ ආධිපත්‍යය මෙන් ගුරුවරුන්ගේ ආධිපත්‍යය නිසා කිපුණෝ ද ලොකු මිනිසුන්ගේ අහංකාරකම් දැක, නින්දා අසා කලකිරුණෝ ද සැමියන්ගේ හා මවුපියන්ගේ ආදිපත්‍යය කන්දොස්කිරියාවක් ලෙස සලකන කාන්තාවෝ ද ඒ ජනකාය අතර වූහ." (202 පිටුව )
 මා දකිනුයේ අලුත් ලොවක්, වඩා නිවහල් සිතුවිලි පිළිබඳ බලාපොරොත්තුව, ඔහු ම කියනා පරිද්දෙන් ආවේශය. 1979 වසරේ පින්ක් ෆ්ලොයිඩ් ගැයුවේ, "All in all you're just another brick in the wall", කියා ය. එවන් වාතාවරණයක්  හෝ ඊට ආසන්න අවස්තාවක් ලංකාවේ 1947 වසරේ පමණ තිබුනේ නම්, එය තව සොයා බැලිය යුතු කාරණාවකි. 1947 වැඩ වර්ජනය ඔහුට මේ නිර්මාණයට පාදක වුවද, කම්කරුවන්ගෙන් ඔබ්බට එය තරුණ පරමපරාව ආකර්ෂණයට හේතු වූයේද යන්න වැදගත් කාරණෑවකි.  අප රට නිදහස ලැබීමට පෙර යුගය ගැන අමතර කියවීමකින් මේ පිළිබඳ වඩා පරිපූර්ණ කියවීමක මගපෑදෙන බවක් සිතමි. එය අන් කියවීමේ ව්‍යායාමයක් වනව ඇති.


No comments:

Post a Comment