
"මිණි කිරුළු පළන් සැලසුම්වල අගය මැකෙන්නට
උඩු සුළඟ රාම සර එවාවි බිතු පුපුරන්නට
වැහි වතුර පීලි මඟ හරීවි හිත් රිදවන්නට
පැපරාසි ඇවිත් හොට දමාවි ගිනි අවුලන්නට"
( දක්ෂිණ පාය )
මට මෙහි කිසිදු කලාත්මක නැත; පේළි වල පද බහුල ය - මෙය මේ සංග්‍රහයේ එන බොහෝ කවි පංතිවල දොසකි. කෙටි පේළි ඇති පද වැල් කිහිපය සාපේක්ෂ ලෙස කියවිම රුචිය. මෙවන් බොහෝ පද පේළි තුන් තේරවිලි නැතිනම් ගැට ලිහා කියවිය යුතු සේය. කවියා ගේ මනසේ ඇති කවි සිතුවිල්ල අරපිරිමැස්මෙන්, අවම වදනෙන් සුඛුම වී, සුමුදු වී නැත. මා මේ සංග්‍රහය කියවීමට පැමිණියේ සුහර්ශිණි ධර්මරත්නගේ "ගිරිහිස තරණය" කියවීමෙන් අනතුරුවය. එහි ඈ භාෂාව හා පෑ කෞෂල්‍යය හා සසඳද්දි මෙය වරෙක දඬුවමක් ලෙස පෙනීම අරුමයක් ද ?
යම් රසවත් බවක නැතහොත් කාව්‍ය අදහසක් ගැබ් වූ කවි පංති පවා, කවියට ඇවැසි වචන අරපිරිමැස්ම තොර වීමෙන් දීර්ඝ ගද්‍ය පේළි ලෙස පෙනෙන්නෝය.
"සතර පෝරුවෙන් එපිටහ ජනයින්ටත් පින් පුරන්ඩ
තොටගමු වෙහෙරේ සඟ ගණ උක් සකුරින් පුද දෙවන්ඩ
ලද ඉඩවර සිහි කටයුතු නියංගමට ගොඩ වදින්ඩ
නොලැබුණි නම් ලියැවුණේ ද කාරදියරේ මිය ඇදෙන්ඩ"
(දේවාරාධනාව )
මෙහි අවසන් පේළිය සළකන්න:
"නොලැබුණි නම් ලියැවුණේ ද කාරදියරේ මිය ඇදෙන්ඩ" - මෙවන් කවි කියවන විට ඊට වඩා කොරෝනා සැදී මියැදෙන එක සැපක් වෙතැයි සිතුණි.
"උකුසැසැ'ති කැමරාව අත දරා
කුටුම්බයෙ ඉර දෙවුර හිස අරා
කුණු ගඳැ'ති පෙදෙශි ම සැරිසරා
ගෙදර එන වෙලාවක් කියනු බැරි පෙම්බරා"
(පැපරාසි )
මුල් පද පේළි තුනේම මාත්‍රා පහළොව බැගින් පබැඳිව, අවසන් පේළිය බිරිඳ අල්ලපු ගෙදෙරට තම හිමියා එන වෙලාවක් කියන්න බෑ යැයි වාචික බසින් දොඩන්නාක් මෙන් මාත්‍රා 20ට දිගු කොට ලියැවී ඇත. මෙවන් සංග්‍රයන් නිර්දේශ කලෝ, කවුරුන් ද ? මේවාට සම්මාන දුන් අය කවුරුන් ද ? පාඨකයෝ නොමග යවන සුළු මෙවන් සම්මාන පිළිබඳ විශ්වාසයක් මා නම් ඉදිරියේ තබා ගන්නේ නැත.
තැනෙක කවියා කෙටි වැකි වලින් රසවිඳිය හැකි ආරේ කවි පංති කිහිපයක් තනා ඇත. පළමු කවි පංතිය වූ "අම්ලකර දන්සල" මෙහි එන හොඳම කවි පංතියකි. "හීලෑ අලි", "කළුවර" ද රස විඳිය හැක. එහෙත් "බුන්දල කවි", "මාතලී පුත්තු", "සේරිවාණීජ ස්ටෝර්ස් හෙවත් වණික් සූත්‍රය" ආදි කවි පංති තුල, හොඳ කවි පංති බවට පත් වීමේ විභවය තිබුන ද, කවි කිහිපයක් සාර්තක වුවද, එකවිට රජයේ ලිපියක් වගේ කවක් විත් කවි පංතියේ ලාලිත්‍ය ට පයින් ගසයි.
සේරිවාණීජ ස්ටෝර්ස් හෙවත් වණික් සූත්‍රය හි එන මේ කව බලන්න:
"නීතිගත ය අලෙවි ප්‍රවර්ධනය
වට්ටම් නොවේ ම ය අත්ලස්
විකිණෙන්නේ ද කඩදාසි බරට ය
පාරිභෝගික අණ පනත්"
මෙවන් දුර්වල කවියක්, යම් දාර්ශණිකත්වයක් ගැබ් කොට ඇති පහත සඳහන් ආරේ කවි වල වටිනාකම නසති.
"සොයා යාමත්
කිසිවක් කිසිදා නොවිකුණූ
ගෙදරක් දොරක්
සොයා යාමකි
කිසිවකු නොමළ ගෙයකින් අබ මිටක්"
සමාවෙන්න; මට මේ කාව්‍ය සංග්‍රහය ගැන මුදු වදන් වලින් වලින් එහි රස අල්ප බව වසා මා වන් අන් පාඨකයින් මුලා කල නොහැක. මෙය මා මෙතෙක් කියවා ඇති රස හීන ම කාව්‍ය සංග්‍රහය විය යුතුය.
ශ්‍රේණිය: *1/2
No comments:
Post a Comment