Monday 15 July 2019

නව කවි සලකුණ - ලියනගේ අමරකීර්ති


ලියනගේ අමරකීර්ති ගේ "නව කවි සලකුණ" නම් වූ අපූරු කෘතිය කියවීමි.

එය,
- වර්තමාන සිංහල කවිය,
- එහි දැනට ප්‍රධාන කවීන් වන ආරියවංශ රණවීර, එරික් ඉලයප්ආරච්චි සහ නන්දන වීරසිංහ ගේ කාර්යබාරය විවිධ මාතෘකා ඔස්සේ ගවේෂණය කිරීම
 - ඒ මාතෘකා ඔස්සේ සාකච්ඡාව ට නවක කවීන් ගේ නිර්මාණ ද ඇතුලත් කරලීම
 - කවියේ දාර්ශනිකත්වයේ සියුම් පිහිටීම්
 - ඓතිහාසික මිනිස් අරගල හා සාධාරණවය හමුවේ කවියා ගේ ස්ථානය,
 පිළිබඳ අපූරු රචනා වලින් හෙබිය.

 පහත  ඇත්තේ, මා මේ කෘතිය මාස දෙකක ට අධික කාලයක් සීරුවෙන් කියවාගෙන යද්දි, කෘතියේ සියළු මාතෘකා සහ බොහෝ උප මාතෘකා පිළිබඳ ලියූ අදහස්, හා සිතුම් ය. ඒ මෙවන් වැදගත් සහ ශාස්ත්‍රීය ඝණත්වයකින් යුතු කෘතියක ට නැවත දවසක මට කිමිදීමට පහසු යතුරක් නිර්මාණය කාරලීමේ අටියෙන් ලියූවකි (එය මට ම ලියූවකි. ඒ නිසා මේ දීර්ඝ, වචන 3500 ට අධික රචනාව කියවීම, ඔබ මේ කෘතිය කියවීමට දරණ උනන්දුව මත පමණක් තීරණය වේ). විෂයානුබද්ධ කෘතියක් හෙයින්, පොත කියවීමට සිතැත්තෙක් හට එය කියවීම පිතුවහලක් වීමට ඉඩ තිබේ.

මේ අමරකීර්ති ගේ මා කියවූ පළමු විෂයානුබද්ධ කෘතියයි ( පොත් රාක්කේ තව පොත් කිහිපයක් ම ඇත - පහණ සහ කැතපත, අමුතු කතාව, කෙටි කතා කලාව ).  මේ කෘතිය ට විචාර ලිවීම ට මා අපොහොසත් ය. මා යම් පෝෂණයක් ලත් ශාස්ත්‍රීය කියවීමක් බවට ඉඳුරා කිව හැක. මට අමරකීර්තිගේ ප්‍රබන්ධ සාහිත්‍ය ගැන ඇත්තේ මිශ්‍ර සිතුවිලිය. එහෙත් මෙවන් කෘති ලියන්නේ නම්, ඒ ශාස්ත්‍රීය කෘති අනාගතයේ ද කියවීමට බලාපොරොත්තු වන බව කියමි. මෙවන් දැනුම් සම්භාරයක්, අනාගත කියවීම අලුත් මානයකට ගෙන යන කෘතියක් ලිවීම හේතුවෙන් ඔහු වෙත කෘතවේදි බවක්, ස්තූතිපූර්වක ගෞරවයක් ඇති වන්නේ, හේ කියනා සමහර දේශපාලන කාරනා පිළිබඳ එකඟ නොවෙනා අතරය.

ඉතින් මුළු ලිපිය නොකිතවන්නියට කීමට ඇති  අවසන් වාක්‍යය මෙපමණකි.

ඔබ මේ ශාස්ත්‍රීය කෘතිය මුල සිට අගට සමීපව කියෙව්වේ නම්, ඔබගේ අනාගත කවි කියවීම, වෙසෙසින් සිංහල කවි කියවිම, වෙනත් මානයකට යනු ඇත !

================================================================

"සමකාලීන කවිය පිළිබඳ න්‍යායික සහ සනිදර්ශනාත්මක සම්භාශණයක්" යන විස්තෘත උප නාමය රැගත්, මේ කෘතිය කියවුවෙමි.


එය ඇරඹෙන්නේ පසුබිම නොහොත් පිවිසුම නම් වු පෙරවදනක් මෙන් වූ රචනාවකිනි. එහි දී ඔහු මෙතෙක් කවිය ගැන ලියවුණු විචාර කෘති කිහිපයක් ගැන ලුහුඩින් කතා කරයි. වික්‍රමසිංහයන්ගේ "නව පද්‍ය සිංහලය", ආරිය රාජකරුණා ගේ "නූතන සිංහල කාව්‍යය", ඒ. එම්. ජී. සිරිමාන්නගේ "විචාර මාර්ග සංසන්දනය", අමරසේකරගේ "සිංහල කාව්‍ය සම්ප්‍රදාය" යන කෘතීන් සිංහල කාව්‍ය, වෙසෙසින් නූතන සිංහල කාව්‍ය පිළිබඳ විමසුම් කරන කෘතීන්  හි ගුණ දොස් ගැන සාරාංශ කරනා ලියවිල්ලකි. මම මේ කෘතිය හා සමගාමීව, අමරසේකරගේ "සිංහල කාව්‍ය සම්ප්‍රදාය" ද කියවීම ඇරඹීමි ( මෙය ලියනා විට, එය තවම කියවා අහවර නැත ). නූතන කවීන් වන ආරියවංශ රණවීර, එරික් ඉලයප්ආරච්චි සහ නන්දන වීරසිංහ ගැන අමරසේකර ගේ නිහඬතාව ප්‍රශ්ණ කරන අමරකීර්ති, අමරසේකරගේ  "හදබස" භාවිතාවෙන්, කාව්‍යකරණයේ මේ කවීන් නිර්මාණයේ යෙදෙන බව මතක කර දෙයි. ඒ අතර ම, "ඇවිත් යන පක්ෂියෙකු"  කියන දෑ, වෙසෙසින් ඔහු ෆූකෝ සහ ඩෙරිඩා ආදීන් ගැන සරල ආරෙන් ලිවීම, එම විද්වතුන් ගැන අන්තවාදීන්ට ද කතා කිරීමට අවස්ථාව ලබා දීමට උඩ ගෙඩි දීමකැයි කියන කීම ගැන මා පුදුම වුනෙමි. තම විරුද්ධවාදියෙකු පවා දැනුමෙන් ආම්පන්න වීම නරක ද ? විටෙක අයෙක් තව අයෙකු ගැන දෙයක් කීම මගින්, ඔහු හෝ ඇය හිතනවා ට වැඩිය ඒ කියන කෙනා ගැන හෙළිදරවු වීම් පිළිබඳ නිදසුනක් ලෙස මා එය දිටිමි.

කෘතිය, රචනා පහකින් සපිරිය -
පළමුවැන්න, "සක්‍රීය රසිකත්වය, කවිය සහ රූපකය",නමි.
නූතනවාදි ගුරුකුලය තුල, තමන් පිළිබඳ වූයේ තරමක් උඩඟු සිතුවිල්ලකි. මෙය මා ද මෑතක ක්ෂාත් ක්ෂාත් කලේ ටී. ඇස්. එලියට් ගේ The Wasteland කවි පංතිය කියවීම තුලිනි. මේ උපුඨන ඒ ස්ථාන ගැන හෙළිදරවු කරයි.
"පාඨකයා කවිය අවබෝධ කරගැනීම හෝ නොගැනීම අත්‍යවශ්‍ය දෙයකැයි ප්‍රංශ සංකේතවාදීහුද නොසිතූහ".
ප්‍රංශ සංකේතවාදීහු වනාහි, එලියට් ට ද ප්‍රධාන වශයෙන් ආභාෂයක් දැක්වූ කොටසකි. Dobyns  උපුටමින් අප ලේඛකයා පවසනුයේ,
"එනම් පාඨකයා යනු අහම්බයකින් කවියාගේ හඬ ඇසුණු තුන්වෙනියෙකි." ( 25 පුටුව ) 
කියා ය.  මෙය දහ අටවෙනි සියවස විසූ සැමුවෙල් ජොන්සන් ගේ ස්ථාවරය වූ, පාඨකයා කවියේ අවසන් විනිශ්චයකරුවාඅය යන ස්ථානයෙන් සැලකිය යුතු දුරකි. යේට්ස්, විල්යම්ස් කාර්ලොස් විල්යම්ස් ආදීන්ට ද මේ මතයන් බලපෑවේය. එහෙත් මින් කවියාට යම් සීමාවක් බලපැවැත්වෙන බැව් පැහැදිලිය. කවියා කෙතෙරම් නිර්මාණාත්මක වුවත්, ඔහු  පාඨක විනිශ්චය මත රැඳෙන්නේ නම්, එය ඔහු ට පවුරක් වෙයි. අප ලේඛකයා, නූතන සිංහල කවිය මේ ස්ථාන දෙක අතරමැදි අවස්ථාවක් සිටිය යුතු යැයි විශ්වාස කරයි. එහි පාඨකයා සතුව වගකීමක් ඇති බව පිළිගනි. ඉන් අනතුරුව මේ පරිච්ඡේදයේ ප්‍රමුඛතම මාතෘකාව ලෙස මා දකින "රූපකය" යන්න ගැන සාකච්ඡාව් ඇරඹේ. ඒ ඉලයප්ආරච්චිගේ "ඉසුරුමුණියේ දී ණයට ගත් ප්‍රේමය" යන "මගේ කොළඹට හඳ පායයි" සංග්‍රහයේ එන  කාව්‍යයෙනි.  මෙහි මුල් පරිච්ඡේදයේම ඉලයප්ආරච්චිට ත්, ආරියවංශ රණවීරට ත් දී ඇති ප්‍රමුඛත්වය ඔස්සේ, ඔවුන් දෙදෙනා නූතන කවිය වෙනුවෙන් කල කාර්‍යය පිළිබඳ තක්සේරුව අරඹයි. වෙසෙසින් ඉලයප්ආරච්චි වනාහි මීට මාස 7-8 ක ට පෙර, කවියෙකු වශයෙන් මා ඇසුරු කලා ඇතිය, එහෙත් කෙටි කතා කරුවෙකු, සහ නවකතාකරුවෙකු ලෙස අප රට ප්‍රමුඛතමයෙකු ලෙස, මා සිතූ අයෙකි. එහෙත්, ඉලයප්ආරච්චි ගේ, එලියට් ගේ wasteland  කාව්‍ය පිළිබඳ විවරණය කියවීමෙන් අනතුරුව, ඒ කාව්‍ය රටාව හා එරික් ගේ ම කාව්‍ය රටාව අතර ඇති යම් ආභාෂයක් හේතුඑන්, ඔහුව නැවත කියවිය යුතු බවත්, මෙතෙක් නොකියවූ කවි ගැන වෙසෙස් අවධානයක් යොමු කල යුතු යැයි සිතුවෙමි. අමරකීරිති දීර්ඝ වශයෙන් Edward Hirsh සහ Ted Cohen යන අය රූපකයේ භාවිතාව සහ එහි ඇති වැදගැම්ම ගැන නිදසුන් සමඟ පෙන්වා දෙයි. ඒ අනුව, පාඨකයා මගින් රූපකයේ ආරාධනාව අවබෝධ කර ගැනීම, රූපකය මගින් රසිකයා මවිතයට පත් කරලීම, භාෂාවේ විය පත් වීමත් සමඟ,  භාෂාවේ දක්ෂතාවේ සීමාව, රූපකය මගින් පිරවීම නිදසුන් සමගින්  පෙන්වා දෙයි. ඒ සඳහා පෙර කී කවීන්ට අමතරව, වෙඩිවර්ධන සහ මස්ඉඹුල ද හේ භාවිත කරයි.

මෙහි එන දෙවෙනි ලිපිය "කවියෙහි විසමජාතිත්වය සහ කවිතාව ආරක්ෂා කිරීම", නමි.
සමකාලීන කවිය සහ නූතන කවියන් පිළිබඳ ප්‍රශංසා මුඛයෙන් රචනාව අරඹන කතුවරයා, කවියෙකුගේ සාර්ථකත්වය උදෙසා ඔවුන් ලබන පිළිගැනීමේ වැදගත්කම පෙන්වා දෙයි. කුඩා පාඨක පිරිසක් සහ කල්ලිවාද වලින් ගහණ අප සමාජයේ කවීන් මුහුණ දෙන ගැටළු ගැන වචනයක් කියා පායි. ඉන් අනතුරුව John Crowe Ransom ගේ සත්භාවී විසමජාතිත්වය ( ontological heterogeneity )ගැන විස්තර කරයි. එනම් කාව්‍යමය සංකල්ප රූපය සහ නිර්-සංකල්ප රූපීය කතිකාව ( ඔහු මීට නිදසුනක් ලෙස විද්‍යාත්මක කතිකාව සහ සංකල්ප  ලෙස ඉදිරිපත් කරයි ) යන අදහස් දෙක ගෙනහැර දක්වයි. රැන්සම් උපුටා දක්වමින් අමරකීර්ති කියාපාන්නේ භෞතික කවිය සංකල්ප රූපවාදය මගින් නිර්-සංකල්පරූපීය කතිකා, සංකල්ප රූපය යටතට ගැනීමට උත්සාහ දරණ අතර, Platonic poems හෙවත් අදහස් කවි මගින් මෙම සංකල්ප රූප
මඩිමින් අදහස පමණක් ගෙන ඒමට උත්සාහ කරන බවක් කියා පායි.  Brian McHail පවසන්නේ පරමාදර්ශී කවිය මේ දෙක අතර පවතින බවකි.එතනින් නොනවතින අප ලේඛකයා, කවි පිළිබඳ තවත් දෙබෙදුමක්, එනම්,  ශාබ්දික වියමන ( හෙවත් එහි වෘත්තය ) සහ එහි අදහස පිළිබඳ ව්‍යූහය වශයෙන් ද  ඇඳිනගත හැකිය.

මින් ඔබ්බට යාමට පෙර පාඨකයකු ලෙස මා වචනයක් කිව යුතුය - මා පෞද්ගලිකව මේ කෘතියේ වටිනාකම දකිනුයේ මෙවන් අවස්ථා වලය. නිදසුනක් ලෙස සැලකුවහොත්,  මා පාඨකයකු පමණි. එහෙත් ඒ තමන් කියවන දේ ගැන තරමක් හෝ ශාස්ත්‍රීය පසුබිමක් දැනගෙන කියවීම ට එය වඩාත් ප්‍රිය ය .එවිට එය අඳුරේ අත පතගෑමකින් එහාට යාමක් ලෙස දැනේ.  කිසිදා මේ ක්ෂේත්‍රයන් පිළිබඳ ශාස්ත්‍රවන්තයෙකු වීමේ දොළක් නොතිබුන ද, පෞද්ගකිව මගේ කාලය යොදවා කියවන්නෙකු ලෙස, ඒ අමතර දැනුම් පදනම අගය කරමි.  අමරකීර්ති කියන ආරේ ආශ්‍රේය ග්‍රන්ථ සියල්ල පරිශීලනය මා කිසිදා නොපතනු මුත්,  මේ විද්වතුන්ගේ අදහස් මෙලෙස ගෙන හැර පෑම අගය කරනුයේ, අර කී පසුබිම තරමකින් තේරුම් ගැනීමේ උවමනාවෙනි. පාඨක සමාජය වඩා දැනුවත් වීමටත්, වක්‍රව සිංහල කවිය වඩාත් තේරුම් සහිත තැනක සිට කියවීමටත් එය ඉවහල් වේ. නිදසුන් ලෙස මේ පොත කියවාගෙන අනතුරුව ආරියවංශ රණවීරයන්ගේ දෝතක් කවි හි අවපැහැ ගැන්වුණු පිටපතක් අපහසුවෙන් සොයාගෙන කියවීම ඇරඹුමටත්, මීට මාස කිහිපයකට පෙර, නීරස යැයි ඉවත ලූ එරික් ඉලයප්ආරච්චිගේ කවිය නැවත පරිශීලනයට ත් අවශ්ය විවෘත මනසක් ඇති වීමට මේ රචනා හේතු විය ( එරික් ගේ , The Wastelandහි මුඩු බිම නම් දීර්ඝ විශ්ලේෂණයත් ඊට හේතු විය ).

නැවතත් මේ වෘත්තය හා අර්ථය අතර ගැටුම වෙත අවතීර්ණ වෙමි; මේ අදහස අප කතුවරයා ඉතා සරල ලෙස මෙයාකාරයෙන් පෙන්වා දී ඇත.
"... කෙනෙකුට ගද්‍යයට නගා නැවත කිවහැකි අර්ථයක් කවියෙහි පිහිටුවන්නට නම් ආකෘතික රටාව යම් තරමකට දියාරු කරන්නට සිදුවේ. සම්පූර්ණයෙන් නිශ්චිත ආකෘතියක් ඉතිරි කරන්නට නම් සරල බසින් නැවත කිවහැකි අර්ථය තරමක් දියාරු කිරීමට සිදුවේ" ( 64 පිටුව )
මේ දීර්ඝ විස්තර කිරීමෙන් අනතුරුව නිදර්ශන සහිතව මේ කාරණාව දීමට අප ලේඛකයා යොමු වේ. ඒ උදෙසා ඔහු තෝරා ගන්නා නිදසුන් ද අගනේය. වෙඩිවර්ධනගේ "සුනිලා හෙවත් මනුෂ්‍යත්වයේ කවිය" තෝරාගනී. ඔහු තොරගන්න චාමර සෝමවීරගේ "දෙන්නෙක් දෙවිදියක්" කවිය නුතනත්වයේ පුසුඹ වහනය කරනා අපූරු කවියකි. එරික් ගේ කවි දෙකක් ද නිදසුනට ගන්නේ, හේ විටෙක එරික් ගේ කවිය පාඨකයාගෙන් දුරස්ථ තරමක් වියත් කවියක් වීමේ ප්‍රවණතාවක් ද ඇති බව කියා පානා අතරය.

"කවිය නම් සෞන්දර්ය වස්තුව වෙත ව්‍යූහවාදි ප්‍රවේශයක්: කවියෙහි කාව්‍ය ශාස්ත්‍රය", වූ කලි දෙවෙනි පරිච්ඡේදයේ එන උප මාතෘකාවකි. කවියේ, ඊට ආවේණික වාග් ලක්ෂණ එහි ස්වභාවය නිර්ණය කරන බවට ඇමරිකානු ව්‍යූහවාදීහු පැවසුවෝය. එහෙත් පශ්චාත් ව්‍යූහවාදි විචාරවේදියෙකු වන ජොනතන් කලර් උපුටමින්, එම වාග්මය කාරණාවේ සීමාසහිත බව පෙන්වා දෙන අමරකීර්ති, සිංහල කවිය අරඹයා ද මෙය අදාළ බවත්, " සිංහල කවිය සඳහා හුදෙක් හදබස හෝ කවිබස හෝ සාධු සම්මත බස හෝ තිබිය යුතුය යන්න අද ලියවෙන කවි වටහා ගැනීමට රුකුල් දෙන්නේ නැත", යැයි පවසන්නේ ය. මෙය පිළිගත හැකි ස්ථාවරයක් බව බැලූ බැල්මට පෙනේ. ආකෘතික රටා හෝ භාෂාවේ පද්‍යමය ස්වභාවය හෝ පමණක්, කවිය ක් නොතනන බව, ජෙරාඩ් ජෙනේ නම් න්‍යායධරයෙකු උපුටමින් පවසන කතෘ, රසිකයෙකු කවියකට එන්නේ පූර්ව නිගමන වලින් තොරව හේතුවෙන්, පෙර කී කාරණා දෙක ප්‍රමාණත් නොවන බව පැවසේ.

ඉන් පසුව සාකච්ඡාවට බඳුන් වන්නේ කවිය ශාස්ත්‍රීය ප්‍රවේශයකින් හැදෑරීම උදෙසා, එහි අවධානයට ලක් විය යුතු සම්මුතිමය අපේක්ෂා වටහා ගැනීම යන කාරණයත්, ඒ සම්මුතිමය අපේක්ෂා පිළිබඳවත් ය. මෙහි පළමුවැන්න ලෙස "දුරස්ථභාවය සහ අපෞද්ගලිකත්වය" ලෙස ගෙන හැර දක්වයි. කවියක් තුල සරලව කිවහොත් ඊට ආවේණික ලෝකයක් පැවතීම යන කාරණාව මෙහි දී මතු වෙයි. නැවත වරක් කෘතියෙන් බැහැර වෙමින්, මා ඉතා මෑතක කියවූ කාව්‍ය සංග්‍රහය වෙත යොමු වෙමි. ඒ නන්දන වීරසිංහ ගේ ක්ෂණ නියාම කෘතියයි. එහි ඇති ධර්මය, සහ සදාචාරාත්මක සංයමය යන කාරණා බොහෝ කවි වලින් මූර්තිමත් වෙයි. එවිට නොවැලැක්විය හැකි ලෙස කවියා ගේ මේ මොහොතේ හැඟුම් හා සිතුවිලි කාව්‍ය සංග්‍රහය ම වසාගෙන ඇති බවක් හැඟී යයි. එය රසිකයෙකු ලෙස මා නොසතුට ට පත් කල කාරණාව කි.  මේ අපෞද්ගලිකත්වය පෙන්වීම උදෙසා,  පියන්කාරගේ බන්දුල ජයවීර සහ  සුනන්ද කරුණාරත්නගේ ("ධීවර ගීතය" යන අපූරු කවිය ) කවි නිදසුන් ලෙස  පෙන්වයි. දෙවෙනි කාරණාව ලෙස  කවියක් තුල ඓන්ද්‍රීය සමස්තයක් බලාපොරොත්තු වීමය. රුවන් බන්දුජීව ගේ පොරි අහුරක් නම් වූ අපූරු කවියත්, තිඹිරියාගම බණ්ඩාරගේ පෙම්වතුන් නැති පුදබිම ත්, යන අපූරු කවි දෙක නිදසුන් ලෙස ගෙන හැර පායි.  මේ සමස්තය සම්පූර්ණ කිරීමට බොහෝ විට, කවිය අගට වන්න ට එක් පද පේළියක් හෝ දෙකක් සපයනු ලබන තීව්‍රතාවක් බලාපොරොත්තු වන වගක් මට හැඟේ ( මේ පිළිබඳව මා වැරදි විය හැකිය - කිම ද, මෙය පෞද්ගලික අත්දැකීමකි ), මෑතක කිය වූ කාව්‍ය සංග්‍රහයන් දෙකෙහි ම ( අනබිසෙස් අනබිනික්මන් සහ ක්ෂම නියාම ) මේ රසිකයා ට උපරිම රසවින්දනය දෙමින්, කාව්‍ය උච්චස්ථනයට ගෙනෙන මේ කාරණාව තිබූ අවස්ථා අඩු බවකි, මට දැනුනේ.

තෙවෙනි සම්මුතිමය අපේක්ෂාව ලෙස අර්ථාන්විතභාවය පෙන්වා දෙයි. ආරියවංශ රණවීර ගේ සලකුණ නම් වූ කෙටි කවෙන් මෙන්ම,  අනිල් නිශාන්ත ලොකු ගමරාලගේ මුස්සැන්ද නම් තරමක් දීර්ඝ කවෙන් ද, දෙයාකාරව මේ අර්ථාන්විතභාවය අපට හමු වන අයුරු මෙහි දී පෙන්වා දෙයි. මෙහි අර්ථ නම් බොහෝ වේ. සමහර අර්ථ ඍජුව ම පෙනෙන අතර, විවිධාර්ථයන් සෙමි සෙමීට කියවන විට පෙනී යයි. වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ලගේ "නිවාඩුවට ගෙදර ආ හිමියාගේ දිනපොතෙන්" යන අපූරු කවිය ඒ අර්ථ බහුල බව පිළිබඳ අපූරු නිදර්ශනයක් ගෙන හැර පායි.

 එම කොටස මීළඟට සාපෙක්ෂ වශයෙන් වඩා ඍජු හෙවත් අර්ථ පිරීක්සීම පහසු කාව්‍යයන් කිහිපයක් ගැන සාකච්ඡ්චාවට ගනී ( "සංකීර්ණ සංරචනයෙන් ඔබ්බට" ). ඒ " බැලූ බැල්මට සරල යැයි පෙනෙන ඇතැම් කවි සමීප කියවීම්වලදී සංකීර්ණ ව්‍යූහමය සැකැස්ම ඇති නිර්මාණ සේ මතු පෙනේ" (113 පිටුව ), යන ලේඛක නිරීක්ෂණය හේතුවෙනි. නිදසුනක් ලෙස මස්ඉඹුලයන් ගෙනහැර දක්වන අමරකීර්ති ඒ කවි එතරම් සංකීර්ණ නොවුන ද, මෙතෙක් කලක් සිංහල කවිය නොකියවූ අය පවා ඊට ළඟා වීමටත් ඒ සරලත්වය හේතු වූ බව පවසයි. ඉන් අනතුරුව "කහට රසයක්" යන කවිය ගෙන හැර දක්වන අමරකීර්ති එහි සැඟවුණු, එබිකම් කරනා අර්ථ මුහුණුවර පවා ගෙනහැර දක්වන අයුරු අපූරුය. කතුවරයා මේ කොටස නිමා කරන්නේ "සරලත්වයේ ආනන්දය" යන්න  විමසමින්, Brodsky සහ Walcott යන නෝබල් ත්‍යාග ලාභි කවියන් දෙදෙනෙකු කවියේ ආකෘතිය ගැන කෙරුණු සංවාදයක විස්තර ගෙනහැර දක්වමිනි. ඇත්තෙන්ම මේ පොතේ මහත් වටිනාකම ඇත්තේම, සාහිත්‍ය ලෝකයේ සිදුවීම් ගැන මෙලෝ දැනුමක් නැති අප වන් අන් ක්ෂේත්‍ර වල නිරත වූවන් හට ඒ ආලෝකය ලබා දීම ඔස්සේ ය.
මෙහි මේ නිරීක්ෂණය වෙත මා වෙසෙසින් යොමු වෙමි:
"කලකිරීමෙන් සහ අසන්තෘප්තියෙන් ලෝකය දෙස බලන  මිනිසෙකු ඒ කවියා තුළ සිටින බව කවියෙන්ම පෙනේ. ඉලයප්ආරච්ච්ගේ කවියෙහි මේ ලක්ෂණ දැන් දැන් පෙනේ. .... නන්දන වීරසිංහගේ කවියෙහි වැඩි වශයෙන් පෙනෙන්නේ අනවශ්‍ය ශික්ෂිත සන්සුන් භාවනාකාර නිරීක්ෂකයෙකි" ( 121-122 පිටු )
The Wasteland යන නූතන මහා කව්‍ය ගැන දීර්ඝ රචනාවක් ලියූ ඉලයප්ආරච්චි ගේ කවිය, මුලින් මට දුරස්ත වුවද, ඔහුගේ ආස්ථානය වටහා ගැනීමෙන් අනතුරුව එය ඇගයීමට මට තරමක් පුළුවන. ඒත් මෑතක ක්ෂණ නියාම කියවා මහත් ඒකාකාරි රසයක් සහ කම්මැලි කමක් විඳි මා, මීට කලින් වීරසිංහයන්ගේ කවියේ මේ අනවශ්‍ය ශික්ෂණය නොදුටුවේ මගේ කියවීමේ අඩුවක් නිසා ද නැතිනම්, හේ ක්ෂණ නියාම තුලින් ඒ සීමාව පැන්නූ නිසාදැයි නොදනිමි. ඉලයප්ආරච්චි මේ රචනය ලියන්නේ ක්ෂණ නියාම පළ කිරීමට ප්‍රථමවය.ඒ අනුව ඔහුගේ මේ කාව්‍ය ආකාරය සැම දා තිබුන ද මට ගෝචර වන්නේ දැන් ය. කෙසේ වෙතත්, මේ කොටස කියවීමට ප්‍රථම ව ක්ෂණ නියාම කියවා ඒ පිළිබඳව මගේ ඒ පැහැදිලි නැති කම ප්‍රකාශ කිරීමට හැකි වීම ගැන දිනෙන් දින යම් වර්ධනයක් ලබනා කියවන්නෙකු ලෙස යම් ඉඟියක් ලැබීම ගැන සතුටු වෙමි.


තෙවෙනි කොටස කෙටි කවිය වෙනුවෙන් වෙන් වී ඇත ( "කෙටි කවිය සහ කවිතාව" )

සංක්ෂිප්තභාවය යන සෞන්දර්‍යය අංගය විස්තර කරමින් මේ කොටස අරඹන අමරකිර්ති, එය තරමක් දිග කවියක වුව තිබිය හැකි ගුණයක් ලෙස ද, කෙටි කවි වල ද එය අනිවාර්‍ය අංගයක් නොවන බව ද පහදයි.
මෙහි තවත් වැදගත් සාහිත හෙළිදරව්වක් වෙයි. එනම් හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ චාර්ල්ස් හැලිසි පාලි ථෙරිගාථා ඉංග්‍රීසියට පෙරළු බවත්, මාර්ටින් වික්‍රමසිංහ ඒවා කලා කෘතියක් ලෙස අගය කොට පැවසූ, "ථෙරි ගාථා ලෝක කාව්‍ය ඉතිහාසයේ ප්‍රථම කවි අතරට අයත් වන්නේය" හැලිසි මතක් කරමින්, ඒවා ට ප්‍රථම යන විශේෂණය යෙද්දිම අසාධාරණ බවත්, ඒවා අදටත් කවි බවට ත් සනාථ කරනුයේ එස්‍රා පවුන්ඩ් ගේ ප්‍රකට කියමනක් වූ "සාහිත්‍ය යනු නැවුම් පුවත් ලෙසම පවතින නැවුම් පුවත් වේ" යන්න මතක් කරමිනි. නූතන ලෝක සාහිත්‍යයේ  කෙටි කවියේ ආස්ථානය විමසන කතෘ, "වැලකී සිටීම මගින් අනුනාද නිර්මාණ කෙරේ", යන බාර්ටෙල් සහ ග්‍රෑන්ඩ්බෙරි නිරීක්ෂණය ගෙන හැර පායි.  අනතුරුව බ්‍රෙෂ්ට්, ග්‍රීක කවි යන්නිස් රිට්සෝස් ගෙන් අරඹි, බන්දුල ජයවීර,සෞම්‍ය සඳරුවන් ලියනගේ යන අයගේ නිදර්ශන ගෙනහැර පායි.
ආරියවංශ රණවීර හයිකු කවිය සිංහල සාහිත්‍යයට අඳුන්වාදීම හරහා "අලුත් උපශානරයක්" ලෙස පැමිණි කෙටි කවිය, ලක්ෂාන්ත අතුකෝරාල ආදින් මගින් ඔප නැංවිනි. ඔහුගේ "හිතග්ගිස්සේ නැතක් මොට්ටු" මා ඉතා ප්‍රිය කරන සංග්‍රහයක් වන්නේ එය වරින් වර කියවා රස විඳිය හැකි කෘතියක් හේතුවෙනි. ඒ කෘතියට බන්දුල ජයවීරගේ කාව්‍යමය විරෝධය මා දැනං හිටියේ නැත. ඉලයප්ආරච්චි ද මෙවන් විරෝධයක් කෙටි කවිය වෙත යොමු කර ඇති බව මෙහි පෙන්වා දෙයි.
අනතුරුව හයිකුමය කෙටි කවිය සහ සිංහල කෙටි කවිය අතර සැසඳීමක් කරන අමරකීර්ති, හයිකු කවියේ න්‍යාය  ගැන ද විමසයි.  එහෙත් මේ ප්‍රකාශය හයිකු කවිය අප වන් පුඟුලන් ට වටහා ගැනීමට ප්‍රමාණවත් බව මා සිතමි.
"හයිකු කවියෙහි ඇති ප්‍රධාන වසඟ ශක්තියක් වන නිශ්චිතව ග්‍රහණය කරගත නොහැකි ගුණය, වචන කිහිපයක් වෙත පවරාදෙන ලද අසීමිත ඉඟිගුණය නිසාය" (150 පිටුව )
අනතුරුව හයිකු කවිය විසංයෝජනය ගැන විමසන කතුවරයා., එහි ස්වභාවයම එය විසංයෝජනයට විවෘත කරන බව පෙන්වා දෙයි. කිමද  විසංයෝජනයේ කෙරෙන් එක් දෙයක් නම් පඨිතයේ ප්‍රධාන හෝ අධිපති අර්ථයට එරෙහි ව එය කියවීමයි.   හයිකු නොවන අන් කෙටි කව් ආර කිහිපයක් විමසන උපමාතෘකාවක් ඉන් අනතුරුව අපට හමු වේ . එහි එන එක් ආරකින් මා දැන ගත් දෙයක් නම්, චාටු බස් යන්න චාටු නම් දකුණු ඉන්දියානු කවි වර්ගයක් ඔස්සේ පැමිණි බවකි.

අමරකීර්ති මෙතැන් පටන්  කෙටි කවිය සමඟ ප්‍රතිනිර්මාණවාදි හෙවත් අනුකරණවාදි කලාව  යන්න පෑහෙන්නේ ද එසේ නොවන්නේ නම් ඒ ඇ‍යි ද යන්න ගැන විමසයි. මේ විමසීම ට හේතුව මෙලෙස කතුවරයා ප්‍රකාශ කරයි;
"ඇරිස්ටෝටල්ගේ අනුකරණවාදී කලා න්‍යායවල ආධිපත්‍ය බිඳවැටෙන තුරුම අනුකරණවාදී කලා න්‍යායවලට විකල්ප මතු වී ආවේ නැත." ( 166 පිටුව )
ඊට විකල්පයක් ලෙස භාව කාව්‍ය  නොවැදගත් කාව්‍ය විශේෂයක් ලෙස සැලකුණි. දහ ඇත වෙනි සියවසේ ශ්‍රීමත් විලියම් ජෝන්ස් ඇර්ස්ටෝටල් මතය අභියෝගයට ලක් කිරීමත්, භාව කාව්‍ය ම ප්‍රාරම්භක කාව්‍යයෝ වූ බවත් තර්ක කිරීම හේතුවෙන්, ඒ මතය පිළිගැනීමත්, ඉන් අනතුරුව නිරනුකරණීය කලාවේ වැදගත් කම ඉස්මතු වීමත් සිදු විය. ඊට සමගාමීව ජර්මනියේ ජේ. ජී. සුල්සර් ද ඇරිස්ටෝටල් අභියෝගයට ලක් කලේය.
සංකල්පරූපවාදියෝ නිතරම හරියට ම උචිත වචන වැඩිත් නැතුව, අඩුත් නැතුව භාවිතා කරමින්, පින්තූරමය ස්වරූපයක් දැරූ කවි ලියූ බව පිරීක්සමින් මේ තෙවෙනි රචනාව හේ අහවර කරයි.

සිව්වැනි දීර්ඝ රචනාව, "කවියේ සෞන්දර්යාලෝකය සහ මහජන තර්කනය : වර්තමාන සිංහල කවිය", නමි.
කවිය නම් වූ ශානරය තේරුම් ගැනීමට ඇති මං දෙකෙන් එකක් නම්, කවිය කියවීම බවත්, අනෙක දර්ශනිකයින් ගේ කවිය ගැන කියවීම වටහා ගැනීම බවත් අමරකීර්ති පවසයි. මෙහි පළමු කරුණ සම්බන්ධයෙන් වැඩි දුර විස්තර කරන අමරකීර්ති පවසන්නේ, " විශිෂ්ඨ කවිය ඉල්ලා සිටින්නේ කවියේ තර්කනයට හා ස්වභාවයට යටත් වන රසිකයෙකි", කියාය. මෙහි එන "අනුකාරණාත්මක කලාවෙන් ඔබ්බට", යන උපමාතෘකාව කවිය ගැන හා, අප ට ඉතිහාසය විසින් උරුම කර ඇති දේ ගැන නැවත සිතීමට අප ව යොමු කරවයි. මෙහි දී අනුකාරවාදි සාහිත්‍ය න්‍යාය වලින් ඔබ්බේ කවියා මවන ලෝකය, සහ, එය කියවීම මගින් පාඨකයා සදන ලෝකය, යන ලෝක දෙක අතර ඇති වන සියුම් අන්තර්ක්‍රියාවේ එන වටිනාකම ගැන අමරකීර්ති නිදසුන් කිහිපයක් සමඟ ( උපුල් සේනාධීර ; නිරාශ ගුණසේකර ; සමිත අටුවබැන්දෑල ) පෙන්වාදෙයි.

අනතුරුව හේ "අනුකරණවාදි කලා න්‍යායවල ආධිපත්‍යය" යන අනු මාතෘකාව වෙත යොමු වෙයි. එහි දි හේ වෙසෙසින් අර්ල් මයිනර් මහැදුරුතමන්ගේ අදහස් ඉදිරිපත් කරලමින් පවසා සිටින්නේ "බටහිර සාහිත්‍ය න්‍යාය අතර අනුකරණවාදී කලා න්‍යායවල ආධිපත්‍යයට ප්‍රධාන හේතුව වන්නේ ඇරිස්ටෝටල් සිය කලා න්‍යාය ගොඩ නගන්නට නාට්‍ය කලාව මත පදනම් බීම" බව පවසයි, මෙය ඉතා වැදගත් නිරීක්ෂණයක් ලෙස විශ්වාස කරමි. එම න්‍යාය අවශ්‍යයෙන් ම අනුකරණවාදි න්‍යායක් වන්නේ එය අන් අයෙක් ලෙස රඟපෑම මුල් කරගෙන බිහි වූවක් නිසා යැයි පැහැදිලිය. මයිනර් පවසන්නේ, ඒ හේතුව නිසා ම සෑම කාලයකම හෝ සෑම දේශයක ම කලාව අනුකරණවාදී කලා න්‍යායකින් තේරුම් ගත නොහැකි බවයි. මට මේ වන විට ඇති වන ගැටළුව, මේ එකම න්‍යායකින් සියල්ල තේරුම් ගැනීමේ නිසරු බව අදාළ වන්නේ කලාව ට පමණ ද යන්න යි ? එවිට අනෙක් දැනුම් පද්ධතීන් ට ? ඒ විලක්ප දැනුම් පද්ධතීන් උදෙසා හඬ නගන විදග්ධයින් මුළු දිවි පුරා හඬ නැගුව ද වෙසෙස් නිර්මාණයක් හෝ අලුත් න්‍යාය ඉදිරිපත් කිරීමක් හෝ ඉදිරිපත් කරලීමෙහි ලා තවම මුල් අවධියේ විය හැකිය. එහෙත් ඇයි ඒ පිළිබඳව එතරම් විරෝධතාවක්, කලාව සම්බන්ධයෙන් මෙවන් ස්ථානයක නම් සිටින්නේ ?

එම රචනාව යටතේ එන තවත් උප මාතෘකාවකි, "කවිය සහ දාර්ශනික චින්තාව". එහිදි අප රට අලුත් සහ විකල්ප දාර්ශනික අදහස් මතු නොවීමේ ඛේදවාචකය ගැන දුක් වන කවියා, "ඉරිදා පත්තර වල වියරු බසින් පළ වෙන ජාතිවාදය හා ජාතිකවාදය ගැඹුරු දාර්ශනික අදහස් යැයි සලකන ජාතියක් වීමේ අභාග්‍ය" ගැන කියයි. නව දාර්ශනික අදහස් මතු වීම උදෙසා අධිපති සහ ජනප්‍රිය අච්චුවලින් එළියට පය තැබීමෙන් බව පවසයි. මෙහි දි කිව යුතු දෙයක් ඇත. අමරකීර්ති ම ගෙන හැර දක්වන, සිරි ගුණසිංහගේ කියමනක් වන "රජෙක් එතැයි කොපමණ හිතුවත් එන්නෙ හිඟන්නෝමයි" යන්න, වදගත් යැයි සිතෙන්නේ පසු ගිය වසර හැත්තෑවෙන් අවම වශයෙන් 1988න් මෙපිට මෙය සත්‍යයක් ‍යැයි පෙනී යන්නේ ජාතික නායකයන් දෙස බැලීමෙනි. අදට ත් ජාතික තලයේ නායකත්ව බලාපොරොත්තු ඇති අය තෙපලන්නේ  නිවාස ලබා දීම, සමුර්ධි සහනාධාර දීමේ සංඛ්‍යාව වැඩි කිරීම ආදි වූ හිඟන කතාය. ඔවුන්ගේ කාන්තාවන්ට ද ආර්යාවන් වීමේ හදිසිය පෙන්නුම් කරන්නේ තවත් හිඟන්නෝ ම නායකත්වය බලාපොරොත්තුවෙන් පෙළ ගැසී ඇති බවක් නොවේ ද ? 

එහෙත් ඒ උපමාතෘකාව ඔස්සේ අමරකීර්ති කතා කරන ප්‍රධාන  මාතෘකාව, "සන්දර්භගත දාර්ශනිකත්වය" යන්නයි. "සන්දර්භගත දාර්ශනිකත්වය" යනු යම් නිස්චිත ඓතිහාසික හෝ සමාජමය අවස්ථාවක් ඇසුරින් උපදින දාර්ශනිකත්වයයි. ඊට නිදසුන් ලෙස එරික් ඉලයප්-ආරච්චිගේ "ඉරිදා වෙරළ සහ සුදු කත", නන්දන වීරසිංහ ගේ "ජලය නම් ගලා යා යුතු" ආදිය ඇතුලත් කොට ඇත.  මේ කෘතියෙන් මා ලැබු තවත් ලාභයක් නම්, අනාගත කියවීම උදෙසා ග්‍රන්ථ කිහිපයක නිර්දේශයයි. එසේ අනාගතයේ කියවීමට  සුදුසු කවියෙකි, අගා ශහිද් අලි ය - හේ කාශ්මීරි-ඇමරිකානු කවියෙකු ලෙස තමන්ව හඳුනා ගත්තේ, ඉන්දියාව හා පාකිස්තානය යන දෙකම ප්‍රතික්ෂේප කරමිනි. අමරකීර්ති ඔහු සන්දර්භගත දාර්ශනිකත්වය යන ගුණය යහමින් භාවිත කල අයෙක් ලෙස පෙන්වා දෙයි. එවන් ලක්ෂණ වලින් පෝෂිත, සොයාගෙන කියවීමට උඩු දෙන තවත් කෘතියක් නම් ප්‍රභාත් ජයසිංහගේ "අනවරත" නම් කාව්‍ය සංග්‍රහයයි.

කවියා, දර්ශනය සහ ප්‍රජාතන්ත්‍රවාදය එක මිටකට ගනිමින් ("කවිය සහ ප්‍රජාතන්ත්‍රවාදි විභවතා"), අමරකීර්ති පරිච්ඡේද්ය අවසන් කරනුයේ,
"ගැඹුරු අර්ථයකින් ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීමෙහිදී කවියන් විනිශ්චයකාරයන් විය යුතු යැයි විට්මන් හා නස්බෝම් කියන්න නිරන්තරයෙන් අපගේ හෘද සාක්ෂිය පරික්ෂා කරමින් සිටීම නිසාය. මේ නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ මහා කවියාගේ දර්ශනයයි." (215 පිටුව )

පස් වෙනි රචනාව පෙර කී සන්දර්භගත දාර්ශනිකත්වය ගැන දීර්ඝ කියවීමකි ( මිනිසා සහ ඉතිහාසය මැද කවිය:  සන්දර්භගත දාර්ශනිකත්වය වෙත ප්‍රවේශයක්). අමරකීර්ති දීර්ඝ ලෙස මේ පරිච්ඡේදයේ අප වෙත සනාථ කරලීමට තනන්නේ කවියෙහි දාර්ශනිකත්වය මනුෂ්‍ය ජීවිතයෙන්  හා මනුෂ්‍ය අරගල ඉතිහාසයෙන් වැදියෙන් දුරස්ථ වුවහොත් එය කවිය දුර්වල වීමට හේතු වන බවයි.

මේ සන්දර්භය අලලා කතුවරයා අසූව සහ අනූව දශක  වල සිංහල කවියා ගේ ක්‍රියාකාරිත්වය ගැන දීර්ඝ විචාරයක යෙදෙයි. වෙසෙසින් නන්දන වීරසිංහගේ කිරි සුවඳැති රාත්‍රිය කෘතියේ ඓතිහාසික ස්ථානය අවුරුදු විසිපහක පසු දැක්මකින් යුතුව කෙරෙන අදහස් දැක්වීම, අප රටේ දේශපාලන ඉතිහාසය  ගැන උනන්දු අය ට ඉතා වැදගත් ය. මේ කෘතිය මීට පෙර මා කියවා තිබුන ද, මේ ඓතිහාසික සන්දර්භය ගැන දැනගත් පසුව එය නැවත කියවිය යුතුමැයි මට සිතේ.  නිර්මාණ ඉතිහාසයක වැදගත්කම ක්ෂාත් ක්ෂාත් කරන අමරකීර්ති වීරසිංහගේ "වලව්වට වැසි ඇවිත්" කවිය, රත්න ශ්‍රී විජේසිංහ ගේ "ජිනදාස සිංහලේ යයි" කවිය (වස්සානය සංග්‍රහයෙන්) සමතික්‍රමණය කරන්නට සමත් වූ නුමුදු, විජෙසිංහ එම කවිය නොලිව්වේ නම්, දෙවෙනි කවියේ විශිෂ්ටත්වය "සිද්ධ විය නොහැකි" බවක් ඔහු ට දැනෙන බව පවසයි. එම සිදුවීමේ ම නැවත සිදුවීමක් ලෙස, වීරසිංහගේ "සත්‍යකාම නම් වෙමි" නොලියවෙන්න ප්‍රභාත් ජයසිංහ ගේ අනවරත  නොලියවෙන්න ට ද ඉඩ තිබූ බවක් හේ අඟවයි. වීරසිංහ මේ ආඛ්‍යාන සංග්‍රය තුල සාපෙක්ෂ  අසමත්කමක් ලැබුව ද, ඒ තුලින් ම "කවියෙකු ලෙස වැඩිහිටි වියට" පත් වූ බවත්, එසේ අසමත් වීම ම "සාහිත්‍ය සංස්කෘතියට අයත් රසිකයාගේ ද අවබෝධය වර්ධනයට" හේතු විය හැකි බවත් පවසයි. මේ කෘතිය, මේ දීර්ඝ සාකච්ඡාව, මේ සම්භාෂණය අප වන් හුදෙක් උනන්දුව නිසා ම සාහිත්‍යය කියවන, එහෙත් ඒ ගැන මල පොතේ අකුරක් ශාස්ත්‍රිය හදරා නැති, එහෙත් සාපේක්ෂ දීර්ඝ  සාහිත්‍ය පරිශීලනය හේතුවෙන් ම යම් තමනට ද නොදැනෙන ලෙස ඇඟ තුල ට ජීරණය වී ඇති යම් දැනුම් කොටසක් නගා සිටූවීමට මහත් පිටුවහලක් වේ.

(ද්විත්ව අවධානයෙන් කියවීම ) මේ උපමාතෘකාව මට පෞද්ගලිකව වැදගත් වන්නේ මා මීට කලක ට පෙර පරිශීලනය කල Terry Eagleton  ගේ How to Read a Poem කෘතිය මුල් පොතක් ලෙස භාවිත කරමින් ලියූවක් හෙයිනි.  අමරකීර්ති ගේ වියත්, සමීප කියවීම තුලින් ඔහු උකහ ගත් ඇති ගැබුරු කියවීම, මගේ කියවීමේ සීමිත බව පසක් කරයි. ( මා ඒ පොත කියවීමට යොමු වූයේ සුදර්ශන සමරවීර හා මා අතර අමරකීර්තිගේ ම කුරුළු හදවත ගැන ඇති වූ දීර්ඝ විවාදයකින් ඇරඹි, සාකච්ඡාවකින් නිමා වූ අතීත අවස්ථාවක් හේතුවෙනි ). අන්තර්ගතය සහ පෘෂ්ටීය වියමන යන්න ගැන අවබෝධයක් ඇතිව කියවීම, මේ ද්විත්ව අවධානයෙන් කියවීම වේ.

මේ කොටස මගින් කවියක ආකෘතිය පමණක් නොව ඒ ඒ වචනය කවියේ පරිසමාප්තය ට කෙරෙන කාර්යය ගැන අවධාරනය කරයි. මේ කොටස සලකන්න;
"භාෂා මාධ්‍යයේ ගණත්වය හා සියුම් සැකැස්ම පිළිබඳ අවධානය යොමු කිරීම අප මිනිසුන් බවට පත් කරන  මාධ්‍යය වන භාෂාව  වෙත අවධානය යොමු කිරීමක් වේ.  තවත් ශ්‍රේෂ්ඨ ශබ්ද විද්‍යාඥයෙකු වන ෆ්‍රෙඩ්‍රික් නීට්ෂ සෙමින් කියවීම උගන්වන ගුරුවරයෙකු ලෙසින් තමා හඳුන්වා දෙමින් ප්‍රකාශ කළේ සෙමින් කියවීම යනු වේගය විසින් ආවේශ වූ යුගයක විරුද්ධ දිසාවට යාමක් හෙවත් උඩුගංබලා යාමක් බවය" ( 238 පිටුව )
 අනතුරුව අමරකීර්ති සාකච්ඡා කරනුයේ කවියා පිටස්තර හෙවත් දුරස්ථ දාර්ශනිකයෙකු ලෙස ලියන කවිය සහ  කවියේ අවකාශය තුලම ජීවත්වෙමින් ලිවීම යන ක්‍රමවේද දෙක සසඳමින් සාකච්ඡාවේ යෙදෙයි. මේ දෙවන ස්ථානය පැහැදිලි කරනු වස් අප ලේඛකයා විවිමාරි වැන්ඩර්පූත්න් සහ රෙජී සිරිවර්ධන යන අයගේඅපූරු කවි දෙකක පරිවර්තන දෙකක් ඉදිරිපත්කර ඇත.

සංක්‍රාන්ති සටහනක් මගින් කෘතිය හමාර කරන කතුවරයා සාකච්ඡා කල මාතෘකා සාරාංශ කරන මුත්, කතුවරයාගේ සිතේ තම කෘතිය ට අරමුණක් වෙත් නම්, ඒ කවිය හා තථ්‍ය ලෝකය අතර පැවතිය යුතු  වඩාම ඵලදායක සම්බන්ධය කුමක් ද යන්න පිළිබඳ විමර්ශනයක් සිදු කිරීම බවය මගේ අදහස. අමරකීර්ති ඒ විමර්ශනය ඉතා සාර්ථකව සිදු කර ඇති බවකි මට නම් හැඟෙන්නේ. දෙවෙනි අරමුණක් ලෙස අද වන සිහලින් ලියන හොඳම කවීන් කවුරුන් ද, ඒ ඇයි යන්න ගැන තුලනාත්මක විමර්ශනයක් ද කෙරෙන බව පැහැදිලිය. එහි දි නවක කවීන් ගේ නිර්මාණ වලට සාධාරණ අවකාශයක් සපයන මුත්,  වෙසෙසින් ආරියවංශ රණවීර, නන්දන් වීරසිංහ සහ එරික් ඉලයප්-ආරච්චි යන කවීන් ගැන දීර්ඝ විචාරයක නිරත වෙයි. මේ කවීන් මීට කලින් කියවා තිබුන්  මා කියවා තිබූ මුත්, අමරකීර්ති ගේ සමීප කියවීම මගින්, වඩා අවබෝධයකින් ඔවුන් අනාගතයේ කියවීම පමණක් නොව, කියවා ඇති කෘතීන් පවා නැවත කියවීමට යොමු විය හැක.

මේ සියල්ල ට කාලය තිබිය යුතුය - එහෙත් නැත්තේ ද එයයි. මේ කෘතිය කියවීමට මට මාස දෙකකුත්, සතියකුත් තව දින කිහිපයක් වැය වී ඇත. ඉතින් ඒ කියවිම උදෙසා අන් කියවීමක්  කැප කිරීමට සිදු වන්නේ නම්, දැනට ඊට සුදුසුම  ශානරය සිංහල නවකතාව වීම, එහි වර්තමාන ස්තානය ගැන කියවීමක් නොවේ ද?



1 comment:

  1. Thanks for this Naleendra. I didn't even see any publicity for this book anywhere else...

    ReplyDelete