Sunday 14 July 2019

ස්වර්ණ කාය - ප්‍රභාත් ජයසිංහ



ස්වර්ණ කාය වනාහි, ප්‍රභාත් ජයසිංහගේ සිව්වන කෙටි කතා සංග්‍රහයයි. වයඹ දිග වැසියෙකුගේ දින සටහන් (2010), මකර තොරණ ( 2016), මීට කලින් කියවා තිබුන ද, දේව-කන්‍යා (2013) කියවීම මගැරියෙමි. එහෙත් තවමත් මගේ ප්‍රියතම කෙටිකතාකරුවෙකු වීමට තරම් මා සිත් ගත් නිර්මාණ ආරක්,  මා වෙත ඉදිරිපත් නොවූව ද, විවිධ සම්මාන ජයග්‍රහණ, නිර්දේශ සහ පාඨක පැසසුම් හේතුවෙන්, වරින් වර කියවීමට නතු වන ලේඛකයෙකි. එමෙන්ම, ඔහු කියවීම නතර කිරීමට තරම් මෙතෙක් ඔහු මා බලාපොරොත්තු බිඳ දමා ද නැත.  මෙවන් වටපිටාවක "ස්වර්ණ කාය" කියවීමට ඉටා ගත්තේ රජත පුස්තක නිර්දේශයත්, සමහර විශ්වාසනීය පාඨකයන්ගේ පැසසුම් හා තවත් විශ්වාසනී‍ය පාඨකයන්ගේ එවන් උද්යෝගිමත් ප්‍රතිචාර නොමැති වටපිටාවක, "මම ම බලන්නං" වාගේ සිතුවිල්ලක සිටිමිනි.




මෙහි එන "'කොල්ලෙක්'" කෙටි කතාව සංග්‍රහයේ එන වඩා රසවත් කෙටිකතාවකැයි සිතමි. ලාංකීය සමාජය විසින් තම සටන අනෙකෙකු තමන් වෙනුවෙන් සිදු කරනවා ට ඇති කැමැත්තත්, ඒ වෙනුවෙන් අල්ප හෝ අපහසුතාවක් විඳීමට ඇති අකමැත්තත්, අප රටක් ලෙස මෙතැන තිබීමට එක් හේතුවකි. මේ කාරණාව නිර්මාණය තුලට ගැබ් කොට ඉදිරිපත් කර ඇති අයුරු අපූරුය. ජයසිංහ ගේ දීර්ඝ නිර්මාණ වල මගක් දුර යද්දි දැනෙනා කියවීමට අලසකම, මෙහි නොදැනෙනේ ( නිදසුන් - මකර තොරණ; වයඹ දිග වැසියකුගේ දින සටහන්; ස්වර්ණ කාය )

මෙහි එන "ස්වර්ණ කාය" කෙටි කතාව ගතහොත්, එහි ද කතුවරයා ගේ 2009 ප්‍රකාශ වූ "වයඹ දිග වැසියකුගේ දින සටහන්" වල එන පසුබිම භාවිත කොට ඇත. එහෙත් සිදු වීම් පෙළ සැලකුවහොත්, එය එම වටපිටාව ම භාවිතයෙන් 2009න් පසුව ලියූවක් බව පැහැදිලිය. ජයසිංහගේ නිර්මාණ කාර්යයේ ඔහුට ආවේණික ලක්ෂණය තුල රසවත්බව මෙන්ම, වරෙක ආයාසකාරී නිර්මාණකරණයක ලක්ෂණ ද ඇඳින ගත හැකිය. වෙසෙසින් ස්වර්ණකාය කෙටිකතාවේ මේ ලක්ෂණය හැඳිනගත හැකිය. පිටු 40ක් පුරා දිවෙන මේ කෙටි කතාවේ වරෙක ප්‍රධාන චරිතය  කතුවරයා  විසින් අයාලේ යවන්නේ ඉන් පසුව ඔහු මගින් නිර්මිත කෙටි කතාමය පඨිතය තුල සංගතව ඔහු ට කීමට ඇවැසි දේ කියා පෑමේ උවමනවා ව නිසාම ය. පෙර කීවාක් මෙන්, එහි රසවත් බව නොතිබෙනවා නොවේ - එහෙත්, ඒ අමුද්‍රව්‍ය භාවිතයෙන් එතරම් දිගුවට ලියා, ලැබූ අවසන් නිර්මාණය පාඨකයකු තෘප්තියක් ලබනවා ද යන්න ප්‍රශ්ණාර්ථයකි.

ප්‍රභාත් ජයසිංහගේ නිර්මාණ වල මට සාපෙක්ෂ ගැටළුව, කතාව ගලා යාමේ වේගය පිළිබඳ එකක් යැයි සිතේ. ඔහුගේ සපේක්ෂ කෙටි, ඉක්මනින් කතාව දිගැරෙන නිර්මාණ වඩා රසවත් ය. පිටු 40 ක පමණ කතා වලදි, හේ තරමක් වැඩි විස්තර සහිත නිර්මාණයකට තැත් කරන විට, පාඨකයා ට නිර්මාණකරුවා දැරූ ආයාස කාරි ප්‍රයත්නය වැටහී යනවා පමණක් නොව, එම ආයාසයට සරිලන රසාස්වාදයක් පාඨකයාට ලැබෙනවා ද යන්න ද ප්‍රශ්ණ කරලමිනි. මෙහි එන තරමක් කෙටි, කෙටි කතා තුනකි, හීන බන්ධන, රිටයර්ඩ් (අන්)හර්ට් සහ ඇද හිනාව, නටන ඇස් සහ මැෂින් තුවක්කු. "හීන බන්ධන" එතරම් අපූරු නිර්මාණයක් නොවන්නට පුළුවන. එනමුත් එහි යම් ගැම්මක්, වේගයක් සමඟ දිගැරෙන කෙටි කතාවකි. ඒ නිසාම පාඨකයා එය උවමනාවෙන් කියවාගෙන යයි. රස විඳියි. කතාවේ මුඛ්‍ය කාරණාව වන ජ්‍යෝතිෂය සහ නව පරපුර යන්න - වෙසෙසින් තම දෙමාපියන් ට එවන් පසුබිමක් ඇත්නම් - යන කාරණය නොවිසඳෙන ගැටළුවක් ලෙස ඉදිරිපත් කර තිබීම ම, නිර්මාණයේ  ගැඹුරු බවට සාක්ෂි දෙයි.

"රිටයර්ඩ් (අන්)හර්ට්" යන කෙටිකතාව මෙහි ඉතා සාර්ථක කෙටිකතාවකි. විශ්‍රාමික හමුදා නිලධාරියාගේ  ප්‍රසන්න සිනාව සහ තැම්පත් බව සහ හමුදාවේ ඔහු සිටිනා විට ඔහුගේ මානසිකත්වය පිළිබඳ සිතන්නට යමක් ඉතිරි කොට කෙටිකතාව අවසන් කරන්නේ, මෙහි නොකියවෙන වෙනම ම කෙටිකතාවක් පාඨක සිතේ ඉතිරි කරමිනි. මා, මේ දින වල කියවා අවසන් කොටස වෙත අවතීර්ණ ව ඇති එක් කෘතියකි, ලියනගේ අමරකීර්තිගේ "නව කවි සලකුණ" යන විශිෂ්ඨ කෘතිය. එහිදි කර්තෘ "සන්දර්භගත දාර්ශනිකත්වය" ගැන වෙසෙසින් කියයි. හේ කවිය ගැන එසේ කිවා ද, ජයසිංහ තම කෙටිකතා වලින් ද එය ම තැත් කරන බව ඉතා පැහැදිලිය. එය සාර්ථක වන විට එය පාඨක මනස උද්දීපනයක් ලබමින් රසාස්වාදයකට හිමි කම් කියන අතර, එය අසාර්ථක විට ලබනුයේ කර්තෘගේ අරමුණ වැටහෙන එහෙත් ආයසකාරී කියවීමකි.

"ඇද හිනාව, නටන ඇස් සහ මැෂින් තුවක්කු" වනාහි, ලේඛකයාගේ ඊසාන දිග රට සහ වයඹ දිග රට පිළිබඳ ලියැවුණු තවත් කෙටිකතාවකි. කතාව ලියැවෙන්නේ අන් රටක විශ්ව විද්‍යාලයක උගෙනුම ලබන ඊසාන දිග රටේ යෞවනයකු සහ වයඹ රට තරුණියන් දෙදෙනෙකු අතර සිදුවන සිදුවීම් පෙළක් ලෙසට ය. ඊසාන දිග රටේ  හමුදාව සහ වයඹ දිග රටේ කැරළිකරුවන් අතර සිදුවන ගැටුම් ද, ඒ හා බැඳි දේශපාලනය ද, යොවුනන්  අතර හැංගිමුත්තන් කරන ආකර්ශනයේ සහ ප්‍රේමයේ දළු අවස්ථාවන් අලලා ලියැවී ඇති මේ කෙටි කතාව රසවත් ය.

"කිඳුරු සිංහයා සහ නජීබ්" වනාහි මෙහි එන දීර්ඝතම කෙටි කතාවයි .එය පිටු හතලිස් පහක් පමණ පුරා දිවෙයි. එහි ඉතා සංවේදි රසවත් කොටස් මෙන්ම තරමක් වෙහෙසකාරි කියවීම් වලට හේතු වෙන උපකතා ද වෙය්. එහි සිංගප්පූරු ඉතිහාසය සහ එහි කොමියුනිස්ට්වාදීන්ගේ ඉරණම ගැන අපූරු කියවීමකි.

"අශ්ව මූණ සහ මුගටි මූණ" මෙහි එන ඉතාමත් ම සාර්ථක කෙටි කතාවකි. නූතන අලුත විවාහක යොවුනන්ගේ හැල්මේ දිවීම, වැඩ වැඩි කම  සමඟ, සම්පූර්ණ පවුලක්  වීමේ  (සාම්ප්‍රදායික ?) බලාපොරොත්තුව ආදි මාතෘකා අලලමින් දිවෙන නිර්මාණයකි. වෙසෙසින් කාන්තාවට මුහුණ දීමට සිදු වන පීඩනය ඉතා අපූරු ගෙත්තමක් තුලට ගොණු කර ඇත. කෙටි කතාව අපට හුරුපුරුදු දෛනික  දිවිපෙවෙත හා බැඳි තිබීම නිසාදෝ, ඉන් අන් කෙටිකතා වල බොහෝ විට නොමැති ස්වභාවිකත්වයක සුවඳ හමයි.

මෙතෙක් මා කියවා ඇති, ලේඛකයගේ කෙටි සංග්‍රහන්ගෙන්, වඩාත් රස විඳි කෙටිකතා බහුතරය තිබූ සංග්‍රහය මෙය යැයි සිතමි. වෙසෙසින් තරමක කෙටි, කෙටි කතා වල වේගය සමඟ ඔහුගේ සුපුරුදු  වික්‍රමයන් පාද්දි එය රසික ආහ්ලාදයට හේතු වේ.  ඔහුගේ නිර්මාණීය කෘතීම ලොවේ සිට තම පණිවුඩය ට කැප වී  දීර්ඝ දිගැරීමකට  තැත් කරද්දි එහි තරමක ආයාසකාරි ලිවීමක හැඩ මතු වී, ආයාසකාරි කියවීමක ට ද හේතු වේ. ඒ කෙසේ නුමුත් මේ කෘතිය රජත පුස්තක නිර්දේශයට පත් වීමේ  වරදක් නොදකිමි. ඒ සම්මානයට නිර්දිශ්ඨ කෘති තුනක් කියවූ අතර, ඒ නිර්දේශය සාධාරණ යැයි කිව හැකි පළමු කෘතිය මෙයයි.

No comments:

Post a Comment