Saturday 6 July 2019

මකරානන්දය - විරාජිනි තෙන්නකෝන්

විරාජිනි තෙන්නකෝන් ගේ "අච්චාරු සහ වෙනත් කතා" මා කියවන්න ඇරඹුවේ තරමක් අදි මදි කරමිනි. එහෙත් ඇය පුදුමය ද, හාස්‍යය ද ඇතුලත් ව, ජීවිතයේ සියුම් තැන් මතුකරනාකාරයේ කතා කියන්නියක් බව ඒ සංග්‍රහය ඔප්පු කලේ ය. ඉන් අනතුරුව, ඇගේ කුළුඳුල් නවකතාව වන "මකරානන්දය" කියවීම ට මා සිතා ගත්තේ, ඇය තම පරිකල්පන ශක්තිය, ලේඛක හැකියාව වෙත යොමු කරන  අපූරුව, පාඨකයෙකු ලෙස කියවීමට ඇති කැමැත්ත නිසාය.

ඈ නවකතාව අරඹන්නේ සේපාල භාවිතයෙන්, ආකෘතිමය හරඹයක් පාමිනි. ඒ හරඹය නැවුම් නොවුන ද, සේපාල වන් චරිතයක් (ඔහුට පසුබිම් වන රසවත් කතාවක් වෙනම ම ඇත ), මේ ආකෘතිය ට භාවිත කර ඇත්තේ පළමු වතාවට යැයි සිතමි.

එතැනින් පටන් ගන්නේ වැවේ ගම නම් වූ අලුත් ගමක කතාවයි. ඔවූහු වෘත්තිය නිසා මහත් කෙණෙහිලිකම් වලට භාජනය වන්නෝය. ලේඛිකාව මේ කොටස චිත්‍රණය කරන අයුරු අපූරුය. නංහාමි ගේ චරිතය ට පණ පොවා ඇති ආකාරය, ඔහුගේ වියපත් රැලි වැටුණු සම අප ඉදිරියේ මැවී පෙනෙනා ආකාරයෙනි. "කස කාරයකු" බදා ගත් ( කෙතෙරම් අපූරු රූපණයක් ද ?) රන්මැණිකා දුක ම උරුම කරං උපන්නියක් මෙනි. මා වඩාත් කම්පනය ට ලක් වූයේ ඇය ගැහැණියක ව, වැව මැද ඔරුවේ සිට අල්ලා ගත් මසුන් වෙනුවෙන්, ඇයගේ සැමියා ගොඩ සිට මුදල් අය කර ඈ අන්ත අහිංසක බාවයට පත් කල සිද්ධිය පිළිබඳව ය. කතුවරිය ඒ සිද්ධිය තුල සියුම් හාස්‍ය රසයක් ද මතු කරයි ("රන්බණ්ඩා වැවේ ඉන්නා මාළුන්ටත් කාසි ගත්තා වාගේ". රන්මැණිකාගේ කතාව, සෝමේ ගේ කතාව ආදි වශයෙන්  සංවේදි කතා වලින් මේ වැවේ ගම කතාව පෝෂණය වේ. වෙසෙසින් ලේඛිකාව රන්මැණිකා භාවිතයෙන්, ගැහැණිය යනු සැමවිටම යකඩයක් නොවන බවත්, කෙතෙරම් ඍජු වුවද ඈ ද මනුස්ස දියණියක් පමණක් බවත් පෙන්වා ඇති අයුරු අපූරුය.

මෙහි ඇති අනෙක් අපූරු දේ නම්, වෙසෙසින් රන්මැණිකා ගේ "ලුණු ඇඹුල්" ඇති භාෂා භාවිතාවයි. අන් නව කතා වල නොමැති අයුරින් ඉතා ඍජු  දෙබස්  නවකතාවේ ස්වභාවික බව වර්ධනය ට මෙන්ම, හාස්‍ය රසයට ද හේතු වේ.

නවකතාවේ තෙවෙනි කොටස (මකර චෝර කතා වස්තුව ), නවකතාවට අලුත් මානයක්, අලුත් ජීවයක් ගෙන දෙයි. එහි ද යම් කොටස් සංස්කරණය වූවා නම් එය කෘතියේ සමස්ත උන්නතියට ම හෙතු වන මුත්, අප රට අන්ත දූෂිත දේශපාලනය, මිත්‍යාව ට රැවටී, සල්ලි සෙවීම ම ජීවත් වීම යන විශ්වාසයෙන් රැල්ලේ දිවීම ආදිය ලේඛිකාව අතින් නිරූපනය වන්නේ අප රට කිසිදු දේශපාලනයකට ආනතව නොවන හෙයින් ( අර "රතු පක්ෂ වලට සියුම් පැසසුම්" ඇතුලත් දේශපාලන විවේචන නැත ) , වර්තමානයේ දේශපාලන සොරුන් හා විහිළුකරුවන් ඉදීරියේ හති අරිනා සාමාන්‍ය ජනතාවගේ පැත්තේ සිට ලියනා බව පෙනී යයි. පුදුම නොවෙන කාරණාවක් නම්, මෙහි එන අපූරුම පරිපුර්ණම චරිතය ඩෙනිස් බව  පැහැදිලිය. හේ පද්ම ශ්‍රී ට තෙපලන ඔහුගේ සමාජවාදය ගැන දේශනාව පිටපත් කරගෙන කොහෙ හෝ අලවා තැබීමට තරම් වටින්නේ ය.

ඒ සාර්ථකතාවන් මැද, මට සිතුණේ මේ කෘතිය පිටු 378ක් පුරා ඉදිරිපත් කරලීම, පාඨකයා වෙහෙසවන සුළු බවයි. අපි පිළිගත යුතු සත්‍ය නම්, කෙතෙරම් මනරම් ලෙස ලියැවී තිබුනද, සිංහල නවකතා ක්ෂේත්‍රය තුල මේ වන විට ඇති තරම් වැව්ගම් කතා, කුල භේද කතා   ලියැවී ඇති බවයි. මට මතක පරිදි, මා මුලින් ම පාහේ කියවූ වැව් ගම් කතාවකි අනුලා විජේරත්න මැණිකේ ගේ, "සුජාත පුත්‍රයින්ගේ වස්තුව". මා එය කියවා මහත්  කම්පනයට කියවූ බව මතකය. මෑත වසරක වෑ කඩවර කියවද්දී, වෙනස් වීම යන යතාර්ථය හමුවේ ඌරු නිළමේ ගේ දැඩි බව පිළිබඳ තරමක නොපහන් බවකි සිත රැඳුණේ. ඒ වසර 10-15ක් පමණ කාලයක් තුල අප වැව් ගම්මාන පිළිබඳ ඇති ආකල්ප වල පෞද්ගලික වෙනස් වීමකි. (i.e. you can't get there, from here). අප ලේඛිකාව ද මේ වෙනස් වීම හොඳින් ග්‍රහණය කර ගෙන ඇත. ඒ නිසා ය රතුමැණිකා ගේ දරුවන් ගේ පරම්පරාව අන් රැකියාවන් වෙත යොමු වන්නේ. වැවේ ගම ට ද බේකරියක් හිමි වන්නේ. නවකතාකාරිය මේ වෙනස් වීම  පෙන්නුම් කරන්නේ පිටු දෙසීය පනස් හතක් (257)  පමණ භාවිත කරමිනි. මෙතැන ය මා මේ නවකතාවේ සාපේක්ෂ  අඩුපාඩුවක් දකින්නේ. කතුවරියට මේ අවුරුදු 20ක් - 25ක් පමණ පුරාවට සිදුවන වෙනස කියා පාන්නේ සමහර සිද්ධීන් වලට අනවශ්‍ය බරක් දීමෙනි - හෙවත් දීර්ඝ කරමිනි. සමස්ත වශයෙන් මේ කෘතිය තව පිටු 75ක්-100ක් පමණ අඩු වෙන ලෙස සංස්කරණය වූවා නම්,  වරෙක ඇදි ඇදී යාමේ ප්‍රවණතාව නැති වූ, සිද්ධීන් වලින් ගහණ, මීටත් වඩා සාර්ථක නවකතාවක් බිහි වීමට අවකාශ තිබුණි.

අන්තිම පිටු 110 පමණ පුරාවට තව අවුරුදු 30ක් පමණ කාලයක් ගමන් කොට අනාගතයට ද යොමු වෙයි. ඒ කාලයේ සිදුවීම් නිරූපනය කර ඇති අයුරු අපූරුය. ශ්‍රී පද්ම ආයතනය යන මහ මිථ්‍යා වපුරන මන්දීරය ගැන විස්තරය කියවද්දි, මට මතක් වෙන්නේ අර පිටකෝට්ටේ හන්දිය ආසන්න ව තිබෙන සුවිසල් ධවල මැදුරයි. මෙහි එන බොන්සායි බෝධිය සහ අප මිනිසුන්ගේ බොන්සායි සිතුවිලි පිළිබඳ ලියවිල්ල ලේඛිකාවගේ අපූරු පරිකල්පනයකි. මා වඩාත් රස විඳි කොටසකි.

"... උතුම් කාර්යයකට පණ දුන් බෝ වෘක්ෂයක් වුව බොන්සායි කිරීම පිළිබඳව පෞද්ගලිකව මාගේ කිසිදු ගැටළුවක් නැත. නමුත් මේ ආකාරයට බොන්සායි වී ඇත්තේ අපගේ ආකල්ප සහ සිතීමේ හැකියාවයි....  පද්ම ආයතනය මගින්ද දැනට වසර හතරක පමණ කාලයක සිට අප ජන සමාජයට සිදු කරනු ලබන්නේ ද එවැනිම කටයුත්තකි. එම ආයතනය මගින් හඳුන්වාදී ඇති විවිධ මිත්‍යා විශ්වාස ඔස්සේ කප්පාදුවට ලක් කර ඇත්තේ මිනිසාගේ ස්වාධීන අදහස් සහ ස්වෝත්සාහයයි. මේවා කප්පාදු කරන තරමට ඔවුන්ගේ මඩිස්සලය තර වන අතර ස්වාධීන  අදහස් නැති ජාතියක් බිහි වනු දැක්ම දේශපාලකයන්ගේ ද පරමානන්දයයි." ( 353 පිටුව )

කතුවරිය ගේ අනාගත නිර්මාණ පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකි බව පැහැදිලිය. කතුවරියගේ අපූරු පරිකල්පනය, ලිවීමේ ශෛලිය, හාස්‍ය රසය මතු කරලීම සමඟ තරමක නැවුම් තේමාවක් සමඟ, නවකතාවට පාඩුවක් නොවෙන ලෙස සංක්ෂිප්ත කරලීම  ට ලක් වූ, අනාගත නිර්මාණ හරහා ලේඛිකාව පාඨක සිත් දිනා ගත හැකි වනු ඇත.

No comments:

Post a Comment