Friday, 19 April 2019

2017 වසරේ ප්‍රකාශිත තෝරා ගත් සිංහල නවකතා කියවීම

2017 වසරේ ප්‍රකාශ වූත්, 2018 විවිධ වූ සාහිත්‍ය සම්මාන උදෙසා නිර්දේශයට සුදුසු වූත් කෘති දහයක් තෝරාගෙන කියවූවෙමි. ඒ කෘති තෝරා ගැනීම කාරණා කිහිපයක් මත පදනම් කර ගතිමි. ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරුණු කෘති පහ, රාජ්‍ය සාහිත්‍ය, ගොඩගේ යන සම්මාන වලට නිර්දේශ වීම, පෙර කෘතීන් මගින් පාඨකයකු ලෙස මාගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වී තිබීම සහ මෙහි එන අත්දැකීමෙන් යුක්ත වූත්, මට විශ්වාසී වූත් පාඨකයන්ගේ නිර්දේශ ආදි වූ කාරණා මීට හේතු විය.

මීට වසර කිහිපයකට පෙර, වසරක පළ වූ නවකථා 14-15 පමණ කියවීමට යත්න දරුව ද, දැන් දැන් ඇත්තෙන්ම කියවීමට තරමේ වටිනා කෘති 7-8 එහා පළ නොවන බව මා තරයේ විශ්වාස කරමි. එහෙත් මේ වසරේ ද කෘති 10ක් කියවීමි. එහි අවම වශයෙන් නමවෙනි සහ දහවෙනි ස්ථානයට පැමිණි කෘතීන් නොකියවා සිටියා නම් මට පොත් කියවන්නෙක් ලෙස මහත් පාඩුවක් සිදු නොවනු ඇත. අන් කාර්යයන් සහ අන් කෘතීන් නිසා  අලුත් සිංහල නවකතා කියවීමට ඇති කාලය තවත් සීමා කෙරෙන්නේ නම්, මුල් කෘති හයෙන් වුව සෑහෙන්නට ඉඩ තිබිණි.

කියවීමට යම් සිතක් පහළ උන ද, කියවීමට තෝරා ගත් කෘති ගොන්නේ විශාලත්වය හේතුවෙන් එසේ නොකිරීමට  තීරණය කල කෘතීන් ද අවම වශයෙන් දෙකක් විය. එකක් නම් මෙතෙක් මහත් පාඨකයන්ගේ විශ්වාසය දිනාගැනීමට සමත්ව ඇති, පී. බී. ජයසේකරගේ ලේඛකයාගේ, එතරම් "ඝෝෂාවක්" නොකල කෘතියක් වූ "බලව්, කඳුළු ගිනිගනී"  කෘතියයි. අනෙක අප කණ්ඩායමේ ම තරංගනි රසිකා ප්‍රනාන්දු ගේ "දේශද්‍රෝහියෙකුගේ නිර්මල හදවත" කෘතියයි. ඒ කෘති දෙක ම ෆෙයාවේ සම්මානය උදෙසා නිර්දේශ වුව ද, අන් කිසිදු සම්මානයකට නිර්දේශ නොවීම, නොකියවීමට හේතු වන්න ට ඇති, වෙසෙසින් පී.බී. ගේ කෘතිය ගැන මා දැන ගත්තේ ද බොහෝ පමාවෙණි.

ඉතින් ඒ කියවූ කෘති දහය පිළිබඳ සමාලෝචනය මෙපරිදි ය;


කිය වූ පිළිවෙල කෘතිය ලේඛක මගේ පෙළගැස්ම වෙසෙස් කාරණා
1 පේමතෝ ජායති අසෝකෝ ඉසුරු ප්‍රසංග 1 අපේ කාලයේ දේශපාලන සංවාදය, බොහිමියානු චරිතයක ආඛ්‍යායනයක් ලෙස. කියවිය යුතු නවකතාවක්.
2 අප්පච්චි ඇවිත් සමන් වික්‍රමාරච්චි 7 සිංහල නවකතාවට නුහුරු ඉසවු ගැන ලියැවුණු කුතුහුලය දනවන නවකතාවකි.
3 බලකොටු සහ නෞකා භද්‍රජි මහින්ද ජයතිලක 2 ඉතිහාස කතාවක් තුලට මිනිසාගේ බලයට ඇති කෑදර කමත්, මිනිස් ස්වභාවයේ අඳුරු කොන් ගැන විමසීමක් කරනා අපූරු නිර්මාණයක්
4 ධාතුසේන ගුණදාස අමරසේකර 10 දේශපාලන පණිවුඩය සාර්ථකව ඉදිරිපත් කෙරෙන, නමුත් නවකතාවක් ලෙස පරිපූර්ණත්වයක් ගැන නොවෙහෙසෙන කෘතියකි.
5 වරණ පද්මිණි සෙනෙවිරත්න 8 රසවත් ආදර කතවක් වුවද, ඉඟි කෙරෙනා දේශපාලනය න්‍යායපත්‍රයක සේයාවක් බිහි කරයි.
6 චක්‍ර ජයතිලක කම්මැල්ලවීර 5 අප රට ආදර්ශ වාමවාදියෙකුගේ සමාජ සත්කාරය, අප රට භීෂ්ණය හේතුවෙන් බෝට්ටු මගින් රට හැර යාම  ආදිය කතෘගේ සුපුරුදු සංයමයෙන් නිරූපිත සාර්ථක වියමනකි.
7 කහපාට උවැසියෝ චම්පා වෛද්‍යතිලක 9 අප රට වෙසේනා අපූරුතම, දක්ෂතම  ලියන්නියකගේ දේශපාලන මතයන් හේතුවෙන් තරමක් අවලස්සන වුණු කෘතියකි.
8 යකඩ සිල්පර විමල් උදය හපුගොඩආරච්චි 4 උතුරු දුම්-රිය මාර්ගය ඉදි වූ යුගයේ වන්නිකරයේ අත්දැකීමත්, වන්නිකරයේ දුෂ්කර දිවිපෙවෙතත්, හොඳින් නිරූපනය කෙරෙන රසවත් කතාපුවතකි.
9 අසනග වැස්ස දර්ශනා ශම්මි විජේතිලක 3 විසිවෙනි සියවසේ මුල් කතරගම ආලත්ති අම්මා කෙනෙකුගේ චරිතය අපූරු අකාරයකට ඉදිරිපත් කොට ඇත. ආගමික සංවරය සහ ආදරය ඇති ඝට්ටන‍යට කැමැත්තෙමි.
10 අත්තාණි කණු සේපාලි මායාදුන්නේ 6 යටත්විජිත යුගයේ වන්නියේ පෙවෙත් ගවේෂණාත්මකවත්, ආකෘතික හරඹ මගිනුත් ඉදිරිපත් කරන්නට තැනූ ව්‍යායාමකි.




අත්තාණි කණු - සේපාලි මායාදුන්නේ

"රාජ සම්මතයෙන් පරිහාර දීමේ බලය හෝ විශේෂ වරප්‍රසාද, විශේෂ අයිතිවාසිකම්, ලාභ ප්‍රයෝජන, ගරු බුහුමන් ආදිය සම්බන්ධ සඳහන් ටැම් සෙල්ලිපිවලට වැයවස්ථා පහන්, සංවතා පහන් හෙවත් අත්තාණි කණු යයි කියැවෙයි."

කතුවරිය, කෘතිය ට නම දුන්, අත්තාණි කණු, යනු කවරේ ද යන්න පහදා තම කෘතිය අරඹන්නී, ශ්‍රී වික්‍රම රාජසිංහ යුගයේ නුවර කලාවිය බාර මහ වන්නි උන්නාන්සේ වූ - ( උගුර පාදමින් ), "සූරිය කුමාර වන්නිසිංහ සත්පත්තු බණ්ඩාර මහ බණ්ඩාර මුදියන්සේ", ප්‍රමුඛ අනෙක් වන්නි ප්‍රධානිනුත්, ඔවුන්  ප්‍රමුඛ වන්නි වාසීන්ගේ "නිවී හැනහිල්ලේ" ජීවත් වීමේ කලාවත් පාදක කරමින්, නවකථාව ඉදිරියට ගෙන යන්නී ය. එහෙත් මෙකී නිවී හැනහිල්ල කෙටි කලකින් ම අභියෝගය ට ලක්වන්නේ ය. ඒ බිරිතානීන් එදවස සෙන්කඩගල අලලා ගැනීමේ ප්‍රයෝගයන් හා යුධයන් නිසාය. පළමු ප්‍රයත්නයේ දි, බිරිතානීන් මහත් වූ පරාජයට ලක් වුව ද, මෙහි ඉතා පැහැදිලිව කියවෙන අයුරින් පුද්ගලික ලාභාපේක්ෂා හේතුවෙන් නිලමේකාරකාදීන් ද, පුද්ගලික කෝන්තර ආදිය  හේතුවෙන් සමහර අනෙක් පුද්ගලයන් ද,  නිරිඳානන් පාවා දීමත් නවකතාව ට එක්කාසු කොට ඇත.
රජුන්ගේ වැරදි තිබුණා වුව ද, බිරිතානින් හෝ නොසැලකූ අයුරින් රජු ට අඩත්තේට්ටම් කල ස්වදේශිකයන් ගැන අමනාපය ලියැවී ඇත්තේ මෙසේ ය:
"...ආන්නර මැණික් මිලත ගන්ඩ සබරගං ගිය මට්ටයො කියැව්වෙ මහ රජ්ජුරුවන්ඩ පයින් ගහල බිම දැම්මෙව්ව එක්නැලිගොඩ මොහොට්ටාලයෙ පයිං ගැහැව තැනින්ම පය කුණු වෙන්ඩ ඇන්නලු... දැම් උන්ද මරණැ මංචකේ කොරාපු පව් ගෙවනව කියන්නේ... ඒ ඉත්තරකැ... උන්දයෙ පරම්පරාවෙම එවුන්නෙ පය කුණුවෙන රෝගයක් වැලදීලාය කියන්නෙ... " (126 පිටුව )
ඉන් අනතුරුව උඩරට ගිවිසුම යන නමින් හැඳින්වෙන ලියකිවිල්ලේ තීන්ත වේලීමට ප්‍රථමව බිරිතානීන් තම අරමුණ ක්ෂාත් ක්ෂාත් කරලනු වස්  ක්‍රමක්‍රමයෙන්, මහවන්නි උන්නාන්සේ ප්‍රමුඛ නායක කාරකාදීන් ගෙන් තම පෙදෙසට ලැබුණු නායකත්වය දුර්වල කිරීමත්, එම පෙදෙස් හි වැසියන් දිනෙන් දින දුක් ගැහැට ම වැඩි වැඩියෙන් අනුභවය ට හේතු වූ අයුරුත් පෙන්වා දී ඇත. දහනව වෙනි සියවසේ මැදබාගය වන විට මේ වන්නි නායකයින්ගේ නායකත්වය නාම මාත්‍රික වූ අයුරුත්, ඔවුන්ගේ ප්‍රවේණි ඉඩම් වල අයිතිය පවා ඛාදනය ට ලක් වූ අයුරු ද මෙහි කියවේ.


කතුවරිය යම් යම් ආකෘතික හරඹ භාවිත කොට ඇති බව සැබවි. මෙහි සෑම පරිච්ඡේදයක් ම ඇරඹෙන්නේ ප්‍රාදේශීය විශ්වාස අනුව එන දේව හෝ යක්ෂ හෝ හැසිරීම් ගැන සඳහනකිනි. ඒ අනුව අයියනායක, ඔඩ්ඩි, කඩවර, මහසෝන්, පුල්ලෙයාර් ආදීන් ගෙන්, ඒ කාලයේ ප්‍රදේශයට ඇති වන හොඳ නරක  ඉඟිකිරීමක් සිදු ව ඇත. මේ දේව-යක්ෂ අවතාර ගැන වැඩි විස්තර ඇතුලත් නොවේ. ආකෘතික මෝස්තරයක් විනා, ඉන් නිර්මාණට දැනෙන යමක් එක්කාසු වුණා දැයි සැක සහිතය.

අනෙක් ආකෘතික හරඹය වනා හි, කෘතියේ මුල් කොටස නයිදප්පු තම  ලාබාළ පුතුට කියනා 'කටාන්දර' ( කට+අන්දර ), ලෙසටත්, දෙවෙනි කොටස ඒ පුතු වූ ළමාප්පු විසින් තම වියපත් පියාණන් වෙත කියනා කටාන්දරත් වීමයි. නයිදප්පු මහ වන්නි උන්නාන්සේ ට බොහෝ පක්ෂපාතී වෙතත්, ළමාප්පුගේ  පක්ෂපාතීත්වයේ කොහේ ද යන්න ක්‍රමක්‍රමයෙන් පැහැදිලි වේ.

ඉතින් මේ සෑම පරිඡ්චේදයක් පුරා දිගැරෙන කටාන්දර, ඒ ඒ කාලයේ කළුවර වන්නි පලාතේ වැසියන් මුහුණ දුන් අනේක විධ අත්දැකීම් ගැන කියා පෑමට ය.  එම විස්තර වේගයෙන් කියවාගෙන යාම එතරම් පහසු නැත - එහෙත් එහි ඉතිහාසාත්මක රසයක් ඇත. ඒ, අපේ රටේ මිනිසුන් මුහුණ දුන් අත්දැකීම් මොනවාදැයි,  අවබෝධ කරගනුවස් ය. වන්නිකරයට ගවරමේන්තුවෙන් නිලධාරීන් පත්කරද්දි, ස්වදේශීය බාසා කතා කිරීමේ දි, දෙමළ පමණක් හැසිරවීමට හැකි වීම, අසාධාරණ බදු ක්‍රමය සහ ලයිසොං ක්‍රමය - මරාල බද්ද, කරත්ත බද්ද, හේන් ඉඩම් සීමා කිරීම ආදිය නිසා වන්නි වැසියන් මහත් අහේමයන්ට මුහුණ දීමට සිදු වේ. දෙමළ වන්නියත් එක්කලැ තිබ්බ බැඳීම් ලිහිල් වනවාත් සමඟ මෙතෙක් කල් දෙමළ දත් වන්නිවරුන් ට දෙමළ අතැරීම, වෙදා මහත්තයා වෙනුවට ඉංගිරිසින් ම කියලා ගෙන්නා ගත් ලෙඩ වලට එම දොස්තරලා ම බෙහෙත් නියම කර රෝගීන්ගේ විශ්වාසය දිනා ගැනීම, සහ සැලසුම්සහගත ලෙස මහ වන්නිවරුන්ගේ නායකත්වය ට සියුම් ව පහර දී විනාශ කර දැමීම  මෙහි එන විස්තර මගින් හෙළි වේ.

"... මොකදෑ මේ තරමට අහේමෙං...

කියා කියා සහකාර ඒජන්ත උන්නාන්සේත් කම්මුලේ අත ගහාන විස්සෝප වෙනවාත් පෙනුණි. වැව කඩාන ගොහිං  වගත් අයේ හදාන හොරොව් කටවල් දාගෙන කුඹුරු ගොයිතැනට බහින්ඩ සේනාවක් නැත. හැම ගමක් ම වල් වැදීගෙන ඔළගං වෙන්ඩැ ඇවදින් ය.

...ගං සබා අහෝසි වෙච්චයිං මනුස්සයින්ඩ ගොයිතැං වැඩත් නැත්තටම නැතිවුණා... හේං කෑල්ලටත් ලයිසොමක් ගන්ඩ කාසි කොයින්දෑ...

හැම තැනකම මොකක්දෝ වැරැද්දක් වීලා ඇති වගක් මහ වන්නිය නැත්තටම නතිවීලා ගොහිං වගක් දෑහැ ඉස්සරහදී ම පෙනෙන්ඩ තිබුණේය."( 243-244 පිටු )

මෙහි ඉතිහාස කතා කියවන ක්‍රමයේ, ඇගේ අග්‍රකෘතිය ලෙස සැලකෙන "මහාසාමි" හි ලක්ෂණ ද අඩු වැඩි වශයෙන් පෙන්නුම් කරයි. එහෙත් මෙය මා මහාසාමි තරමින් නම් රසවින්ඳේ නැත. එහි ආකෘතික හරඹ යම් ආයාසමය කියවීමක් ජනිත කරනවා මෙන්ම, එහි සියුම් යාන්ත්‍රික බවක් ද ඇත. ඉතින් ඉන් රසවින්දනයට යම් බාධාවක් ඇති වේ. එහෙත් මෙය නොකියවා මගැරිය යුතු තරමේ කෘතියක් ද නොවේ. අයෙකුට මෙය කියවීමට කාලය සොයා ගත හැකි නම්, ඉන් යම් ඉතිහාස කථා රසය මුසු පෞරාණික පරිසරයක් තුල ජීවත්කරවන ස්වභාවයක් ද ඇත. 

අප රට වන්නි රජුන් පිළිබඳ දැන ගැනිමට ඇති ප්‍රමුඛත ම කෘතියක් ලෙස මෙය පත් වී දෝ ඇද්දැයි මට කුකුසක් ඇති වී ඇත. වෙසෙසින්  බුලන්කුලම පරම්පරාවේ යටගියාව සහ ඔවුන් එම පෙදෙස ට සහස්‍රයකට වැඩි කාලයක් තිස්සේ කල සේවය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමටත්, එම වන්නි රජවරුන් ප්‍රාදේශීය දේශපාලනයෙන් ඈත් කරවීමත්, පක්ෂ දේශපාලනය යටතේ ඉන් ඈත් වීමත් මෙහි නිරූපනය වෙයි. මා අවුරුදු දහහතරක පහළොවක කාලයේ බුලන්කුලම නම එවකට පාසැල් ක්‍රිකට් ක්‍රීඩාවේ හෝ සංචාරරක එංගලන්ත "ඇ" කණ්ඩායමක ට එදිරිව හෝ ක්‍රීඩා කල බවක මතකයක් ඇති නැති ගාණය. ඊට අමතරව, එප්පාවල නඩුව - "බුලන්කුලම හා තවත් අය එදිරිව කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සහ තවත් අය" නමින් වූ හෙයින්, එම පරම්පරාවේ යම් දායකත්වයක් මෑතක් වන තුරුම පැවති බවට හැඟේ.  අවම තරමින්, මීළඟ අනුරාධපුර ගමනේ දී, අවසන් නිල මහ වන්නි නායකයාගේ සොහොන් කොත හෝ නැරඹීමේ කුකුසින් කෘතිය කියවා හමාර කලෙමි. නවකතාවක් ලෙස විටෙක කියවීම එතරම් පහසු නොවුන ද, ඉතිහාසයට කැමති අය කියවිය යුතු ම කෘතියක් ලෙස හඳුන්වමි.



Friday, 12 April 2019

අසනග වැස්ස - දර්ශනා ශම්මි විජේතිලක


ඇතුවත් බැරි, නැතුවත් බැරි බැඳීම්... එහෙම කීවට, ඇත්තම කියනවා නම්, මට නම් කවමදාවත් බැඳීම් නැති වීම සැපක් කියලා තවම හිතිලා නෑ, ....

"තරුණ කාලෙම බැඳීම් ඇලීම්වලින් අයින්වෙලා තනියම වෙදහෙදකම් කරගෙන ගමේ මිනිස්සුන්ගෙ හිත දිනාගෙන කාටවත් කරදයක් නැතුව ඉඳලා කරදරයක් නැතුව මැරුණ. තමුන්ටත් ගත කරන්න තිබුණෙ එහෙම ජීවිතයක්. තමුන්ටත් එහෙම ජීවිතයක් ලැබුණ. ඒත් ඒ සේරම අතැර දමල බැඳීමක් පසුපස්සෙ ඇවිත් බැඳීම් ගොඩක් ඇතිකරගත්ත. ගැලවෙන්න බැරි තරමට ඒ බැඳීම් වැඩිකරගත්තෙ තමුන්මයි." ( 354 පිටුව )

 කතරගම ආලත්ති අම්මා කෙනෙකු ලෙස හද්දා පිටිසර අභිමානවත් දිවියක් ගත කල වසුන්දරාවන්ගේ කතාන්දරයයි මේ. මේ නවකථාව සාර්ථක වීමට හේතු වූයේ, ලේඛිකාව එම චරිතය ගොඩනගා ඇති අයුරුය.. එහි "සුදු" පැත්ත බහුල බව සැබෑවකි. මිට පෙර යුගයක. 1920 දශකයේ පමණ,  ආගමික වටපිටාවකින් බිහිවන්නි, එවන්  සුචරිතයට බර වීම අවිශ්වාසදායි නොවේ.  නුමුත්, ඈ සිත්  ගත් පිරිමියා ඉදිරියේ, තමන් මෙතෙක් කල් ඇදහූ සම්මතයන්, සම්ප්‍රදායන් වලට පිටු පා, තම සිතට නතු වීම මගින් එම චරිතය ට ඇවැසි ස්වභාවිකත්වය සහ විශ්වාසනීයත්වය ගෙන දේ. ඒ විශ්වාසිබව හේතුවෙන්, විටෙක එම චරිතය හින්දී සෝප් ඔපෙරාවක චරිත ලක්ෂණ පෙන්නුම් කල ද, පාඨකයා ට ඒ චරිතය ගැන වෙසෙස් අවිශ්වාසයක් හට නොගැනේ.  කතුවරිය අර්නස්ට් කරල්ලියද්ද ,බ්‍රයන් ආදි සෙසු චරිත ද සාර්ථකව ගොඩ නගා ඇත. කෙසේ ද කිවහොත්, රතු මහත්තයා ද, තරමක් සෙල්ලක්කාර වුව ද කළු චරිතයක් නොකිරීමට තරම් මැදහත් සිතකින් කතුවරිය චරිත නිමවා ඇත.

නවකථාව ඇරඹෙන්න මද වේගයිනි. පිටු සියයක් පමණ වන තෙක් කතරගම දේවාලයේ ආලත්ති අම්මෙකුගේ වතාවත් පිළිබඳවත්, ඒ ප්‍රදේශය ට වෙසෙසින් ආවේණික කෑම වට්ටෝරුවේ විස්තරත් ය.  මෙහි පළමු පිටු දෙසීය - දෙසීය පණහ පමණ කියවිමට සෑහෙන කාලයක් ගත විය. ඒ එය රසවත් බවින් තොර වීම නිසා නොව - ආඛ්‍යානය දිගැරෙන වේගය, සීමිත කාලයක් ඇතිව කියවීමේ යෙදෙන අප හට තරමක් නොපෑහෙන ගතියක් ඉඟි කරන නිසා ය. එහි දොස අපේ ද, ලේඛිකාව ගේ ද යන්න පිළිබඳ මට විශ්වාසයක් නැත. එහෙත් මෙහි එන කථා නායිකාවගේ විවාහයෙන් පසු යුගය, සාපෙක්ෂ වශයෙන් වේගයෙන් දිගැරෙයි. ඊට තත්කාලීන රටේ දේශපාලනය සමඟ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ආභාෂය ලත් වැවිලිකරු ජීවිතය ද ඇතුලත් ය. පෙර කී කතරගම ආලත්ති අම්මාගේ ජීවන වටපිටාව මෙන්ම, ඔහියේ වතු හිමියන්ගේ ජීවන වටපිටාව ද ලේඛිකාව හොඳින් නිරූපනය කර ඇත.

නවකථාවට සබැඳි එහෙත් තරමක් බාහිර අදහස් කිහිපයකට යොමු වෙමි;

ආගමික ලබ්ධිය හා මිනිසුන් ඒ කෙරෙහි ඇති බැඳිම් සිව් ආකාර යැයි සිතමි. එකක්, එය මෝස්තරයක් කරගෙන අන් අයට ද කරදයක් වන ලෙස ආගම අදහන අයයි. දෙවෙනි කොටස ආගමික පසුබිමක හැදී වැඩී ඉන් යම් ආභාෂයක් ඇතුව තමන් ගේ විශ්වාසය මත දිවිය තමනට තේරෙන ආකාරයෙන් නිවැරදිව ගත කිරීමට යත්න දරන්නෝ ය. තෙවැන්න ආගමක් නො ඇදහුව ද ඒ පිළිබඳ පම්පෝරි නොගසන අන් අයගේ විශ්වාසයන් ගැන වද නොවෙන ඇත්තොය. ඔවුහු අනාගමික වුව ද හර පද්ධතියක ට නතු වූවෝ ය; සිව්වැන්න පෙර කී පළමු කොටසේ පරස්පරය ලෙස තමන් ආගමක් නො අදහන බව අන් අයට ඇහැට ඇන කියා පාමින් කරදර කරන්නෝ ය. මෙහි එන ආලත්ති අම්මලා අයත් වන්නේ මෙහි දෙවෙනි කොටසට ය.  ඉතින් ඒ ආගමික සංවරය තම දිවිය හරහා බැබලීම යුතියුක්තය ( මෙය ලබ්ධිය සත්‍ය අසත්‍යබාවය ගැන විවාදයක් නොවේ - මෙය එතනට තැන ද නොවේ ).

මෙහි මා වඩාත් සිත් ගත් තැනක් නම්, බිරිඳක් තම සැමියා වරදෙහි බැඳීම ගැන සමාව දීමට උත්සාහ කල ද, ප්‍රායෝගිකව ඒ මානසික ස්ථානයට ඒමට සාර්ථකව හැකි වී ද යන්න, සහ,  අනතුරුව එම සැමියගේ ඇවෑමෙන් ඔවුන් ගත කල ප්‍රීතිමත් කාලය මතක් කරලමින් වැලපීම. මෑතක හරාරි ගේ සේපියන්ස් කෘතිය කියවද්දී ද, මිනිසුන් හා ගැහැණුන් පතීව්‍රතාව රැකීමේ හැකියාව වැඩි වන අයුරින් ජාන සකස් කරලීමේ උවමනාවක් ගැන කියවිණි.  මිනිසුන් හා ගැහැණුන් තමන්ගේ සහකාරියගෙන් හෝ සහකාරයාගෙන් හෝ පිට බැඳීම නො ඉවසීමේ මූලය ඇත්තේ ඊරිසාවද ? එය ඉවසීමේ හෝ නො ඉවසීමේ සීමාව කොතැනක ද ? පෙර කී බිරිඳ සැමියාගේ ඇවෑමෙන් පතන්නේ එන ජන්මයේ ද එම සැමියා ම ලැබේවා යැයි කියා ය. එනම් මිනිසුන් හෝ ගැහැණුන් ලෙස කුමන වරදක් තිබුන ද එහි සත්‍ය ප්‍රේමයක් තිබූ බවක් නො ඇඟවේ ද?

නවකථාව අහවරවන්නේ, බැඳීම් ගෙනෙනා වේදනාව හේතුවෙන් ඒවා නොපතන තැනෙක සිට, නැවත බැඳිම් නිසා ම දිවියට අරුතක් ද ගෙන දෙන බවක් අඟවමිනි.

"බැඳීම් ඇලීම්වලින් වෙන්වෙනවා කියලා හිතුවත් අන්තිමට වසුන්දරා ප්‍රාර්ථනා කළෙ ආයෙම සංසාරෙ දවසක එකට එකතු වෙන්න. ඒ තමයි හිත. ඒ තමයි ඇත්ත."
 ( 399 පිටුව ).

2017 වසරේ ප්‍රකාශිත පොත් අතරින් වඩාත් සාර්ථක, පරිපූර්ණත්වයට තරමක් ආසන්න නවකථාවකි. මෙය බොහෝ සම්මානයන් හි අවසන් වටයට තේරීම යුක්තියුක්තය. ඉන් එකක් හෝ ජයග්‍රහණය කලා නම් එහි ද දොසක් මම නොදකිමි.

( 2017 වසරේ ප්‍රකාශ වූ නවකථාවන්ගෙන් මා කියවූ නවවැන්න මෙයයි. ඉසුරු ප්‍රසංග ගේ "පේමතො ජායති අසෝකො", භද්‍රජි මහින්ද ජයතිලක ගේ "බලකොටු සහ නෞකා" සහ විමල් උදය හපුගොඩ-ආරච්චිගේ යකඩ සිල්පර සමඟ මේ නවකථාව ද මුල් ස්ථාන හතර අතර රැඳීමට තරම් රසවත් ය, පරිපූර්ණ ය. මින් එක, දෙක, තුන යනාදිය කවරේ යන්න , ද  කියවීමට ඉතුරු දසවෙනි කෘතිය ද කියවා ප්‍රකාශ කරමි. )

Friday, 5 April 2019

ටී. එස්. එලියට් හා නව කවිය - ආරියවංශ රණවීර


මේ කෘතියට තරු දෙකහමාරක් ( **1/2), ලැබුනු හැටි මුලින් ම කිව යුතුය. ලේඛකයාගේ නිර්මාණාත්මක මැදිහත් වීම සහ පාඨකයෙකු ලෙස මට එය ලැබුණු භෞතික ආකාරය - එනම් මුද්‍රිත පොත - යන දෙක ගැන ම කිව යුතුය. ආරියවංශ රණවීරයන් ඇගයිය යුතු තරමේ, වෙසෙසින් සිහළ පාඨකයා ට ටී. ඇස්. එලියට් පිළිබඳ හොඳ හැඳින්වීමක්, ඔහුගේ සාහිත්‍ය නිර්මාණකරණය පිළිබඳ හොඳ හැඳින්වීමක්  මේ තුලින් ලබා දිමට උත්සාහ දරා ඇත. ඊට තරු පහකින් හතරක් ලබා දීම යුක්තියුක්තය.

මේ කොටසේ කියවෙන්නේ රණවීරයන් අපට ඉදිරිපත් කිරීමට උත්සාහ දැරූ කෘතිය පිළිබඳ මගේ කියවීමයි ( එය මට මුද්‍රිත පොතක් ලෙස ලැබුණු පොත ම නොවන්න ට ඇත - ඒ පිළිබඳ පසුව ට කියමි )

කෘතිය ඇරඹෙන්නේ "ජීවිත සටහන්" නම් වූ කොටසකිනි. ඒ අනුව ඔහු ගේ බාල වියේ සිට ජීවන තතු සඳහන් රචනයක් වේ. ඔහුගේ පවුල් පසු බිම සහ ආගමික පසුබිම, අධ්‍යාපනය - වෙසෙසින් හාවර්ඩ් වල ගත කාලය, විවාහය සහ එහි අසාර්ථකත්වය, දර්ශනය පිළිබඳ ඇති උනන්දුව, දර්ශනය ද - කාව්‍යකරණය ද යන්න අතර තෝරාගැනීම, ඇන්ග්ලිකානු ක්‍රිස්තියානි ලබ්ධියට යොමු වීම, දෙවෙනි විවාහය ආදි විස්තර මෙහි සඳහන් වේ. එලියට් නම් වූ කවියා බිහි වීමට සහ ඔහු ට ආදර්ශ සහ ආභාෂය සැපයූ සිදුවීම්, පුද්ගලයින් හඳුනා ගැනීමට මේ කොටස පාදක වේ.  පීටර් ඇක්‍රොයිඩ් ලියූ එලියට් ගේ චරිතාපදාන කෘතියෙන් උපුටන රණවීරයන්,  මෙහි තැනෙක පවසෙන්නේ ඔහු ප්‍රංශයේ විසූ යුගයේ පවා ස්ත්‍රී සමාගම සහ ඔවුන් දෙස ලිංගික දිශානතයකින් බැලීම,  ඔහුගේ ආගමික සහ සදාචාරත්මක පසුබිම  මගින්  සීමා කල බවකි. ඔහුගේ කාව්‍ය නිර්මාණ වලදී ද මෙය පෙනී ගිය බවකි ඇක්‍රොයිඩ් පවසන්නේ.   Love Song of J. Alfred Prufrock සහ Portrait of a Lady ආදි නිර්මාණ මගින් පවා ගැහැණිය පොළඹවන්නියක් බවත්, ඊට පෙළඹුනොත් කිලුටු වන බවකුත් අඟවන්නේ. මට මේ අදහස, අමරසේකරගේ "යළි උපන්නෙමි", "ගන්ධබ්බ අපදානය" ආදි කෘති මතකයට ගෙන ආවේය. එහි ලිංගිකත්වය ගැන අනේක සඳහන් තිබුන ද එය පිටු දැකිය යුතු  පහත් දෙයක් ලෙස අවසන් විග්‍රහයේ දී ඇඟවේ. එය සදාරාත්මක පසුබිමකින් නැගෙන්නක් විය යුතුය.

"එලියට් ආභාසය ලද දාර්ශනිකයෝ හා කවීහු" නමින් කොටසක් ද වේ. අර්වින් බැබිට්, එෆ්, එච්. බ්‍රැඩ්ලි, චාල්ස් මොරාස්, ටී. ඊ. හූල්මේ ආදීන් ද, බෝදලෙයා, මැලාර්මේ, ලැෆෝර්ජි, කෝබියෙරේ ආදි සංකේතවාදි ප්‍රංශ කවීන් ද, පාරභෞතික කවීන් හා ජැකෝබියන් නාට්‍යකරුවන් ද, ඩාන්ටේ ද මීට  අයත්. මේ සෑම ගණයේ අය එලියට් ට කල බලපෑම කෙටියෙන් මෙහි සඳහන් වේ.  මේ කෘතියේ වටිනාකම මා දකිනුයේ මෙවන් කොටස් මගිනි.  බැබිට් බුදුදහම ගැන වූ නැඹුරුව, එලියට් ඒ  දහම පිළිබඳ උනන්දු වීම, හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දේශනයක දී එලියට් කියූ පරිදි, ප්‍රංශ සංකේතවාදි කවීන් නොවන්න ඔහු මෙතරම් අග්‍රගණ්‍ය කාව්‍ය නිර්මාණ  බිහි නොවීමට ඉඩ තිබින යැයි පැවසීම මේ කොටසේ වැදගත්කම ට නිදසුන් ය. එහෙත් මා සිත වඩාත් ඇදී ගියේ හේ ඩාන්ටේ ගෙන් උගත් පාඩම් තුන පිළිබඳව ය. ඩාන්ටේගෙන් උගත් පාඩම් තුන් ආකර යැයි එලියට් පවසා ඇත. කවියා භාෂාවේ සේවකයකු මිස ස්වාමිය වීමට යත්න දැරිය නොයුතු බව එකකි. දෙවැන්න "මිනිස්සුන්ට විඳ ගැනීමට අපහසු වේදයිතයන් විඳීම පහසු කිරීම වචනයේ යථාභූත න්‍යායන්, හරිහැති ග්‍රහණය කරගෙන ඒවා කවියක බහා තම සහෝදර රටවැසියන් වෙත ගෙන ඒම" (72 පිටුව ) ය. තෙවැන්න, ඉතාලියානු බසින් ඩාන්ටේ කවි ලීව ද, ඉන් සමස්ත යුරෝපයේ තත් කාලීන යුගය ම නිරූපනයට සමත් වීමත්, එමගින් කවියා තමන් විසූ කාලය නියෝජනය කිරීමත් ය. එහෙත් ගිණිය නොහැකි තරමේ මුද්‍රණ දෝෂයන්, මේ වන් වටිනා විස්තර කියවීමේ පාඨකයාගේ කැමැත්ත හීන කරයි.

මෙහි, එලියට් ගේ විචාරකයෙකු වශයෙන් වූ භූමිකාව පිළිබඳ රචනයක් ද වෙයි. වෙසෙසින් තත් කාලීන කවියේ, තත්වය පිළිබඳ අපූරු විචාරයක් ඔහුගෙන් කෙරිණි. රෝමාන්තික කවියේ හායන යුගයේ, ඊට පුණර්ජීවණයක් දීමට යත්න දැරූ,  ජෝරිජියානු කවිය එලියට් ගේ සමයේ ප්‍රකට විය. ස්වින්බර්ග් නම් ඒ යුගයේ ප්‍රචලිතම ජෝජියානු කවියා ය. ඔහු ගේ කවි එලියට් විචාරුවේ, "වචනය ඔහු රංජනයට පත් කරයි. එහෙත් එය යට ප්‍රස්තූතයක් නොමැත", කියාය. ජොර්ජියානු කවියේ මේ දුර්වලතාවෙන් මුදවා ගනු පිණිස එස්‍රා පවුන්ඩ් සහ එලියට් බැලුවේ ප්‍රංශ සංකේතවාදී කවීන් සහ චීන-ජපන් කවි දෙස ය.

ප්‍රස්තූත කාරණයට ඍජු අදාළතවයක් නැති දෙයක් ගැන කියන්නේ නම්, මෙහි රංජනීය වචන සහ ශබ්ද රසය මගින් කවිකම් පෙන්වීමේ දක්ෂතා ගැන කීමේදී මට මංජුල වෙඩිවර්ධනයන් මතකයට ආවේය. ඉන් ඔහු ගේ කවි වල ඒ මනරම් භාෂා ශිල්පය පිටුපස ප්‍රස්තූත නැති බවක් නොකියවේ. එහෙත් ඔහුගේ කවියේ වෙසෙස් දක්ෂතාව ඒ බසින් කරනා දස්කම් බවයි මගේ අදහස. ඊට සාපේක්ෂව, එතරම් චිත්තාකර්ශනීය නොවන මාතෘකා ඔස්සේ, වියුක්ත සහ හැඟීම් වලින් අවම කවියකි, අප සාමාන්‍යයෙන් එරික් ඉලයප්ආරච්චිගෙන් දකිනුයේ. එරික් මුඩුබිම (Wasteland ) කාව්‍යය ද සිංහලට පෙරළා ඒ පිළිබඳ පිටු දෙසිය ගණණක, දීර්ඝ ටිකාවක් ද ලීවේ ඒ ආභාෂය නිසා ද ?

කවියාගේ නොආකාර හඬ - මේ රචනය එලියට් කවිය කෙසේ ලිවිය යුතු ද, එය ගත හැකි ආරයන් මොනවාදැයි  විස්තර කරමින්,  එලියට් සිතූ අයුරු ගැන කියවේ. අපට එලියට් ගේ කවි තුලින් ද, මේ විවිධ හඬ දැකිය හැක. මේ හඬ තුන, කවියා තමා ම ඇමතීම, පාඨකයා ඇමතීම, සහ නට්‍යමය චරිතයක් ස්වරූපයෙන් ඇමතිම යි. මේ එක් එක් ආකාර භාවිත වූ අවස්ථා ද නිදසුන් ලෙස මේ රචනාවේ ඇත. ශ්‍රවණේන්ද්‍රීය පරිකල්පනයේ  වැදගත්කම ගැන ද මේ රචනාවේ අන්තර්ගතය. "කවියේ අභ්‍යන්තර වයනයේ (texture) අනුලංඝනිය අංගයන්" යයි එලියට් මෙන්ම පවුන්ඩ් ද විශ්වාස කල හ.

මේ කෘතියේ වටිනාකම ගැන අදහස් ලබාදෙනු වස්, කවි විඳීම නම් කොටසේ එන මේ උදෘතය ඉදිරිපත් කරමි. ඒ අර්ථයෙන්, මේ කෘතිය, එලි‍යට් පමණක් නොව, සමස්ත කවිය ගැන ද ගැඹුරින් සාකච්ඡා වන කෘතියකි. නැවත නැවත අදාළ කොටස් හෝ කියවිය යුතු ආරේ පොතකි. මගේ එකම බලාපොරොත්තුව ආරියවංශ රණවීරයන් ඔහුගේ මේ මහත් පරීශ්‍රමයේ ප්‍රතිඵල, වඩා නිවැරදි, වගකීමක් දරණ මුද්‍රණ ආයතනයක් මගින් සිංහල පාඨකයාට ලබා දෙනු ඇතැයි කියාය. එවන් අළුත් මුද්‍රණයක් පැමිණියහොත්, මා මේ පිටපතේ  ලියූ සටහන්, ඉස්මතු කිරීම්, සියල්ල ඒ පොත වෙත මාරු කර, මේ පොත හැකි ඉක්මනින් බැද්දට වීසි කරනු ඇත. අර කී උදෘතය මෙසේ ය.

"කවියේ පරමාර්ථය ගැන එලියට් ඍජුව නොවුනත්, ඩ්‍රයිඩන්ගේ කවි ගැන කියනවිට - කවිය විසින්, විඳින්නාට සුප්‍රීතිය delight ගෙන ආ යුතු යැයි පවසයි. ඔහු මෙහිදී සතුට pleasure  ආහ්ලාදය joy සන්තුෂ්ටිය delight වැනි වචන නොයෙදා (sic) සුප්‍රීතිය delight යන වචනය යෙදීමෙහි අරුතක් ඇත... එය ප්‍රීතියේ වඩා සියුම් ලෙස නිම්හිම් ලද වේදයිතයකි." (146 පිටුව)

ඉන් අනතුරුව, එලියට ගේ කවි සමුච්ඡය පිළිබඳ කොටසක් වෙයි. එහි එලියට් ගේ කාව්‍ය නිර්මාණ බිහි වූ අවදි වලට වෙන් කොට, ඒ පිළිබඳ විස්තර වේ. අවසන කවියාගේ කාව්‍ය නිර්මාණ පහක් තෝරාගෙන ඒ ඒ නිර්මාණය පිලිබඳ විමසුමක්, අර්ථ දැක්වීමක් පළ කොට ඇත. ඒ අනුව,
Portrait of a Lady
Rhapsody on a windy night
The Love Song of J. Alfred Prufrock
The Wasteland, යන කාව්ය ගැන රචනාවන් වෙයි. මෙහි එන The Wasteland ගැන රචනාව මා මේ කෘතිය කියවීම ට මූලික කාරණාව විය.

ඇත්තෙන්ම රුපියල් පන්සියක මිලක් නියම කොට ඇති මේ කෘතියේ සාරගර්භත්වය අනුව මෙය රුපියල් දහක මිලක් යුදුව ද පාඩු නැත - එහෙත්, ඒ වගකීමෙන් මුද්‍රණ කටයුත්තක ප්‍රතිඵලයක් ලෙස පමණි.

දැන් මා පෙර කිහිප විටක් ඉඟි කල මට ලැබුණු මුද්‍රිත පොත දෙස ට යොමු වෙමි. ලේඛකයා යෙදූ පරීශ්‍රමය  පාඨකයා අතට පත් වෙද්දී එය සාර්ථක නිර්මාණයක් ලෙස ඇයට ලබෙන්නේ ද?   අවංක, කෙටි පිලිතුර, නැත යන්න ය.  මට ඒ සාහිත්‍යකරුවාගේ නිර්මාණය විඳීමට, නෑ, විඳවීමට ලැබුණේ "අහස පොතක්" ලෙසිනි. ඒ භෞතික පුස්තකය ට තරු පහකින්, එකක් දෙමි. ඒ අනුව සමස්ත කෘතිය ට තරු දෙකහාමාරක් ලබා දෙමි. මේ තරම් නිර්මාණ කරුවා ට ත් පාඨකයාට ත් අසාධාරණයක් කරන මුද්‍රිත පොතක් මා නම් දැක නැත. මෙහි මුද්‍රණ දෝෂ සංඛ්‍යාව ගණන් කරන්න නොහැකි තරම් ය. එය ඒ තරම් දුර්වල මුද්‍රණ කටයුත්තකි. හිත් ඇදගන්නා සුළු කවරයක් තිබුන ද, ඉන් අභ්‍යන්තරයේ කෘතියේ නිර්මාණකරුවාට ත්, පාඨකයා ට ත් සාධාරණයක් වන අයුරින් කරුණු මුද්‍රණය කර දැක්වීමට කිසිදු අවංක පරීශ්‍රමයක් යොදා නැත. පොත්ත පමණි. පොතේ කවරේ විවෘත කල තැන ඉඳන් ම දෝෂ ය. අවම තරමේ මෙවන් කෘතියක ට පටුනක් ඇතුලත් කරලීමට හෝ ඇවැසිතාවක් තිබී නැත ( එහි යම් වගකීමක් නිර්මාණකරුවා ද භාර ගත යුතුය ).   මට නම් මේ තරම් අසාධාරණයක්, එනම් බොහෝ වටිනා සාහිත්‍යම කරුණු ඇති පොතක්, මුද්‍රණයේ දෝෂ නිසා, වටිනාකම අවම වීම ගැන ඇත්තේ සැලකිය යුතු තරමක උදහසකි.