ප්‍රභාත් ජයසිංහගේ කෙටිකතා සංග්‍රහයන් මා කියවීම අත නොඅරින තරම්. "වයඹ දිග වැසියෙකුගේ දින සිටහන්" වලින් පටන් ගත් ඔහුගේ කෙටිකතා එකතුන් අතරෛන්, මෑතක ම ප්‍රකාශ වූ "නාලිනිවත" න් මෙහා සියළුම සංග්‍රහයන් පාහේ දක්වා මා කියවීමට උත්සුක වූයේ, ඔහුගේ සාහිත්‍ය නිර්මාණකරණයේ එක් සංග්‍රහයෙන් තවත් සංග්‍රහයට දැකිය හැකි නිර්මාණකරණයේ නිපුණත්වයේ වර්ධනය හේතුවෙනි. "රස පොළොව" මෙතෙක් කිය වූ ඔහු ගේ සර්ථකම සංග්‍රහය වූව ද, මගහැරුණු දූපත් දෙවෙනි වන්නේ ඊට පමණක්ම යැයි මට හැඟේ.
මෙම සංග්‍රහයේ එන කෙටිකතා වෙත යොමු වෙමු;
පාලම උඩ සහ පාලම යට: අයෙකුට ජීවත් වීමට බලාපොරොත්තුවක් අවශ්‍ය වේ. බලාපොරොත්තු විරහිත වූවෝ පවා නොදැනීම තම වටපිටාවෙන් අරමුණක් ඉදිකරගනිත්. මිනිස් ස්වභාවය ම මෙයයි. මෙහි එන පොලිස් නිලධාරියා තමන් හා නොවෙසෙන ස්ත්‍රියක් ගැන සැමදා සිහින මවන්නෙකි. ඔහු ක්‍රමක්‍රමයෙන්, තමන් ඔහු ට ආරක්ෂක සේවයේ යෙදීමට නියම කරන ලද පාලමෙන් පැන සිවිදිවි නසාගන්නට උත්සාහ දරන්නන් බේරාගැනීම නිසාම ප්‍රසිද්ධියක් තනා ගනී. කෙටිකලකින් ම එය ඔහු ජීවත් කරවන තනි අපේක්ෂාව කරවයි. මෙතැන්දී ය කෙටිකතාවේ අන් දිශානතියක් මා දකිනුයේ. මේ වන විට පාලම උඩින් විනෝද ගමන් යන පාසල් දරුවන් ට දිවි තොරකරගන්නන් බේරාගන්නා විරුවා බැලිම විශේෂ සිද්ධියක් වී ඇත. මෙයම අනෙක් ආනතයකින් සැලකුවහොත් දිවි තොර කරගැනීමට දැඩි සිත් ඇත්තන් ට එම පාලම තව දුරටත් විකල්පයක් නොවේ. එනම් සිය දිවි නසාගන්නන්ට එම පාලමේ උපයෝගිතාව ශුණ්‍යට ම ගොස් ඇත.
පිලිස්සුම් තුවාල: සමහර පිලිස්සුම් මතුපිටය, ඒවා දැක්මට අප්‍රසන්නය එහෙත් කල් ගත හෝ සුව විය හැක. එහෙත් සිත් තැවුලෙන් ඇතිවෙන "පිලිස්සුම් තුවාල" පිටට නොපෙනුනනට සුව නොවේ. එම පිලිස්සුම් තුවාල සමඟ වින්දිතයා සැම දා විඳවිය යුත්තේ, එම තුවාල කාරකයා විනය ගරුක, තිතට වැඩ, එහෙත් සිතේ තෙතමනයක් නැත්තෙන් විය හැක්කෙක් නිසාය. මෙහි එන මනූ යන ඇය දීර්ඝ කාලීනව මානසික පීඩනයකට ලක් වූ අයෙක් බවත්, ඊට වඩා ශාරීරික තුවාල ලැබුවද සාවිත්‍රී ආදරය ලබන්නියක් බවත් පැහැදිලිය. ගැඹුරු කියවීමක් ඇති දෙවෙනි කෙටිකතාව ය.
මචං: මේ වන විට මේ කෙටිකතා සංග්‍රහය කෙටිකතාවෙන් කෙටිකතාවට වඩා රසවත් වන්නේදයි සිතේ. අහඹු ලෙස පැරණි විශ්ව විද්‍යාල සගයින් දෙදෙනෙකු හමුවේ. පෙර දින පෙම්වතුන් නොවූවත් පෙම්වතුන් අතර පවා නැති මිතුදමක් තිබූ දෙදෙනෙකි. දෙදෙනා ම තම විවාහ තුල තමන්ගේ පාර්ශවයෙන් යම් අඩුපාඩු ඇත්තෝ වෙත්. අලුත් වාතාවරණයේ, අලුත් අභියෝග හමුවේ පෙර නොදැලූ පෙමකට ඉඩක් තිබේද ? කෙටිකතාව සමස්ත ලෙස බලාපොරොත්තුවේ කතාවක් නොවුනද, ලේඛකයා පෙර සිද්ධීන් ගලපා, සසඳා ලියා ඇති අපූරුව කෙනෙකුට තම යොවුන් වියේ සාංකාව හා බැඳි අලංකාරයක් ගෙන ඒම නිසා ම, අභියෝග ජයගනිමින් බලාපොරොත්තුවේ පුළිඟුවක් ඉතිරි කර හමාර කරන්නේ ද යන කුකුස පාඨක සිතේ ඉතුරු කරයි.
දකුණු පියයුර: විටෙක මිනිස් ලෝකේ සිදුවන අපරාධ වලට විසඳුම් මිනිස් ශක්තිය අභිබවා ඇති දෙවියන් ට ද, සත්‍ය වශයෙන් විසඳිමේ උවමනාව තිබුනද උන් වහන්සේලා ද අසරණ කරන බවකි මෙම කෙටිකතාවෙන් ඉතා බුහුටි ලෙස කියා පාන්නේ. අප දන්නා සමහර සිද්ධියක් මතකයට නැගීමේ හැකියාවක් ඇති මෙම කෙටිකතාව, අප ට නොකියා කියන්නේ පෞද්ගලිකව බුදුබව පතනවාට වඩා බැරෑරුම් අසාධාරණ වලින් පෙළෙන ලොවක අප ජීවත් වන බවකි. මෙම සංග්‍රහයේ එන පළමු දේශපාලන නැමියාවක් ඇති කෙටිකතාව වන මෙය, අත්‍යවශ්‍ය ලෙසම සුදුසු වියුක්තභාවයකින් පෝෂණය වී ඇත.
සිසිලාග්නි: කපිල නම් දක්ෂ, කීර්තිමත් නැටුම් ශිල්පියෙකි. ඔහුගේ යථා ස්වරූපය සාමාන්‍ය ජීවිතයේද ? නැත්නම් නැටුම ඔහුට ඊට අවස්ථාව ලබා දී ඇත් ද ? කුඩාවෙකු සිට ම තමන් ගේ උපන් ලක්ෂණ, අංගෝපාංග චලනය, හේතුවෙන්, පිරිමියෙක් නම් මෙසේය - ගැහැනියෙක් නම් මෙසේය, කියා අප මනස් තුල ඉරක් ගසා වෙන් කර ඇති චරිත ලක්ෂණ හේතුවෙන් බොහෝ ලෙස සිත් තැවුලට පාත්‍ර වූ අප නැට්ටුවා, නැටීම ප්‍රගුණ කිරීමෙන් පසු, නැටුම තුල දී මේ බෙදීමේ සීමාව ඉක්මවා යයි. ඒ ඔහු තම ශිල්පය තුල එතරම් ම දක්ෂයෙකු ව, තම ගුරුන් පුරුදු පුහුණු කරා වූ සීමාවන් ද ඉක්මවා යාම නිසාය. දැන් ඔහු නැටුම තුල ඔහුගේ යථාව පෙන්නුම් කරයි- ලොව මවිත වෙයි, කිත්ගොස ඔහු සතුය. එහෙත් ලෝකය නැටුමෙන් පරිබාහිරව ඔහුගේ යථා තත්ත්වය පිළිගැනීමට මැලිය. කෙටිකතාව ඇදී යන්නේ සම්මුඛ සාකච්ඡාවකට ඔහු සපයන නිළ පිලිතුරු, සහ ඔහු ඔහුගේ හදවත සමඟ කෙරෙන සැබෑ හෙළිදරවු කිරීම අතර දෝළනයක් වශයෙනි.
පතුලක් නැති ළිඳ: මෙම කෙටිකතාවේ පරිසරය, එහි ඇති ළිඳ, සහ එහි ඇති දේශපාලන තත්ත්වය මතකයට නගන්නේ ලංකාවේ ම උතුරුකරයයි - නමුත් එහි එලෙස ඍජු සඳහනක් නැත. අපට හමු වන් ඇලෙක් නම්, මුලින් කුඩා දරුවා, සහ පසුව යෞවනයා ට ජීවිතයේ බොහෝ දේ අහිමි වී ඇත. ඉතා සියුම් ලෙස රටක දේශපාලනය විසින් එක් එක් පුද්ගලයාට කෙරෙන බලපෑම ගැන බොහෝ ගැඹුරු විචාරයක් පෙන්නුම් කරනා සාර්ථක කෙටිකතාවකි. කෙටිකතාව අවසානය වන විට, ඇලෙක් කුඩා කල සිට ජීවත් වූ විශ්වාසයක් ඔහුට අහිමි වී ඇත. ඔහු ගේ උදහස වචනයෙන් විස්තර නොවුනද, කාත් එක්කදැයි නොකියවුනිද, එහි සාධාරණත්වය ගැන සැකයක් නැත.
එක්කෝ මමම කියන්නං: සම්බන්ධතා ගැන ගැඹුරු කියවීමක් සහිත කෙටිකතාවකි. ඒවා හි සම්මත-අසම්මත බවෙහි ඇති කඩ ඉර, සම්බන්ධතාවක හරි දේ- වැරදි දේ එම සම්බන්ධතාව තුල සිටිනා දෙදෙනා විනා අයට තේරුම් ගැනීමට නොහැකි බව, ආදී ලක්ෂණ පෙන්නුම් කරමින්, විවෘත ලෙස අවසන් කෙරෙනා කෙටිකතාවකි.
මෙහි එන අවසන් කෙටිකතාව වන ඓතිහාසික නවකතාවක පරිච්ඡේද කිහිපයක් තුලින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යටත්විජිතකරණයේ අඳුරු සහ කටුක යථාර්ථයත්, ඕස්ත්‍රේලියාවේ මුල් පදිංචිකරුවන්ගේ (Aborigines) ජීවිත බිඳවැටීම සහ බන්ධනාගාර ජනපදයක (Penal Colony) මිනිස් අරගල ඔස්සේ ඔවුන්ගේ ජීවිත වලට වෙන බලපෑමත් කියාපායි. මේ මුල් පදිංචිකරුවන් සහ බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන්නන්/සිරකරුවන් අතර ඇතිවන සම්බන්ධතාවලින් බිහිවන දරුවන් පවුලෙන් වෙන්කර පැහැර ගැනීම් වලට ලක්වේ (කලවම් පරම්පරාවක් බිහිවීම වළකාලීමට සහ ඔවුන් සම අයිතිවාසිකම් ඉල්ලීම වළකනු පිණිස). පවුලෙන් වෙන්කරන ලද ඔවුන්ට අතිශය අමානුෂික ලෙස සලකන අතර, අතිශයින්ම දරුණු ඉරණමකට ගොදුරුව, නොසලකා හැරීම් සහ ලිංගික අඩම්තේට්ටම්වලට මුහුණ පෑමට සිදුවේ. මොවුන් අතරින් සාතිශය බහුතරයක් මරණය වැලඳ ගනී. ජීවිත බේරාගන්නා ස්වල්පයක් දෙනා සිය පවුල්වලට අමතකව ගිය, හුදකලා බිඳුණු මිනිසුන් (stolen generation) ලෙස ජීවිත ගත කරයි. මේ අතරින් ඉතිරිවන ස්වල්පයක් පිරිසෙන්, පරම්පරා ගණනාවකට පසු බිහිවන, මඩේ හි පිපුණු නෙළුම් මල් මෙන් අතරින් පතර නැගී බැබලෙන, වඩා යහපත් ජීවන තත්ත්වයන් තම හැකියාවන් දක්ෂතාවයන් නිසා උරුම කරගන්නා කිහිපදෙනා පවා, අනපේක්ෂිත අවස්ථාවල, ගොනු පස එන ගැල මෙන් අතීත පරම්පරා උරුමය නිසා අතිශය බරපතළ මානසික පීඩාවන්ට සහ අපහසුතාවයන්ට ලක්වේ. පරම්පරා ඉතිහාසය ඔවුන් ලුහුබඳින අතර, නොදන්නා අතීත අමිහිරි මතකයන් පරම්පරාවෙන් පරම්පරාවට සදාකාලික සුව නොවනා තුවාල මෙන් වරින්වර වේදනාවන් ඇති කරමින් ඔවුන්ගේ ජීවිත හා බැඳී පවතී.
නුදුරු දිනෙක නාලිනිවත ත්, මෙතෙක් මට කියවීමට මග ඇරුණු දේව කන්‍යා ත් කියවීමට බලාපොරොත්තු වෙමි. සමහර විටෙක, කතෘ ගේ මුල් කාලීන කෙටි කතා සංහ්‍රයක් වන දේව කන්‍යාත්, මෑතකම ප්‍රකාශ වූ නාලීනිවතත් එක ළඟ කියවීමෙන් කතුවරයා කෙටිකතාරුවෙකු ලෙස ලබා ඇති වර්ධනය නැවත පසක් කර ගැනීමට එය උපකාරී වනු ඇත.
ශ්‍රේණිය: ****1/2

No comments:
Post a Comment