පියදාස වැලිකන්නගේ මහතා අභාවප්‍රාප්ත වූයේ 2024 නොවම්බර් මස අග දිනකය. ඒ වන විට ඔහුගේ කිසිදු සාහිත්‍ය නිර්මාණයක් කියවා නොතිබුනු මා, කලක් ම මා සතුව තිබූ 1987 වසරේ හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ 'සුදු සෙවනැලි' නවකතාව කියවීම ඇරඹුවේ ඔහුට ගෞරවයක් ලෙසට ය. එය 2024 දී මා කියවූ අවසාන සිංහල නවකතාව විය.
පොත කියවීම අරඹා පළමු පිටු 20-30 පමණ වද්දී මා තුල නවකතාවේ සාර්ථකත්වය පිළිබඳ බලාපොරොත්තු අඩු වීමට හේතු වූයේ, මෙය යටත්විජිතවාදී යුගයක වෙසෙසින් කන්ද උඩරට සිංහලුන් ගේ බැටකෑම් ගැන පමණක් කියවෙන තවත් නවකතාවක් දෝ යැයි යන සිතුවිල්ලයි. මා ඉදිරියටම කියවාගෙන ගියේ, පොතක් විවේචනය ට හෝ එය කියවා තිබීම අවම සුදුසුකමක් යැයි විශ්වාස කරන හෙයිනි. එනමුදු මෙම නවකතාව ඊට වඩා බොහෝ මධ්‍යස්ථ ස්ථානයක ට පමණක් නොව, ප්‍රායෝගීක කතාවක් මුල් කොට බිහි වූ උසස් නවකතාවක් බවට වූ ලක්ෂණ කෙමෙක් කෙමෙන් දිස් වන්නට විය. 2020 දශකයේ දී 'ගිරිජා' වැනි නවකතා වලින් කියවුනු, නව තත්ත්වයන්ට අනුගතව තම දිවිමග පාදාගැනීමේ මග, ( එම නවකතාවේ ප්‍රධන චරිතයේ හි වන් වරෙක විශ්වාස කිරීමට තරමක් අපහසු වීරක්‍රියා වලින් තොරව,) ඉතා ස්වභාවික ලෙස වැලිකන්නගේ ලියා තිබෙනු දුටු විටය. නව වෙළඳපොළවල් අඳුනාගැනීම සහ ඉන් තම දියුණුවක් ගැන සිතීම, යටත්විජිතවාදීයා සැම විටෙකම - වෙසෙසින් දේශපාලන පරාජයෙන් පසුව- සතුරෙකු ලෙසම දැකීමෙන් වැලකී තම පෞද්ගලික ජීවිත වලට යම් දියුණුවක් පාදාගැනීමට භාවිත කිරීම, රටේ මහත්තයා සමඟ වූ වෛරය කාලයත් සමඟ යටපත් වීම, දරුවන් ඉංග්‍රීසි අධ්‍යාපනය හමුවේ දෙමාපියන් ට ආගන්තුකයින් වීම, ආදී අංශ රැසක් ඔස්සේ මෙම නවකතාව පිටු 400ට ලං වන්නට ඇදී යයි. මෙම නවකතාවේ එන පරිදි, සුදු බණ්ඩාට තමන් ට හිමි වූ ගිහි ජීවිතයෙන්, කෙමෙන් තමන් පිටස්තරයෙකු වීම පෙන්වා තිබෙන අයුරු ද අපූරුය. ඒ කළකිරීම ඔහු ව එක්තරා මගක් වෙත යොමුකරමින් නවකතාව සමාප්ත වේ.
ටිකිරිබණ්ඩා ගේ වඩාත් ප්‍රායෝගික, සහ දීර්ඝකාලීන ප්‍රතිඵල ගැන විශ්වාසයෙන් ඇති කරගත් යටත්විජිතවාදී විරෝධී ස්ථාවරයන් ඉදිරිපත් කොට ඇති අපූරුවත්, පසුකාලීනව ඇති වූ තත්වයන් මත 'එක ගෙයි කෑමක්' වැනි යමක් ගෙනයාමට ඇති බාධාවන් පහළ වූ අයුරුත් කතුවරයා අපූරුවට පෙන්වා ඇත.
සමස්ත වශයෙන්, කීමට දොසක් නැති තරම්, ලියවුනු කාලය - එනම් මීට වසර 40 ට පමණ පෙර - අනුව යම් ප්‍රගතිශීලි සහ ප්‍රායෝගික ආස්ථානයක් පිළිඹිබු වන අයුරෙන් ලියැවී ඇති රසවිඳි නවකතාවකි.
ශ්‍රේණිය: ****
ප්‍රථම මුද්‍රණය 1986 ; මෙම මුද්‍රණය - සයවැන්න - 2019 (ගොඩගේ)
No comments:
Post a Comment