Wednesday 31 August 2022

මැස්සා - එරික් ඉලයප්ආරච්චි

 පාපොච්චාරණවාදී නවකතාව! 




මෙවන් උප-ශානරයක පැවැත්ම පිළිබඳ දැනගත්තේම මැස්සා පිළීබඳ කතුවරයා දී ඇති කෙටි සාකච්ඡාවක්, නවකතාව කියවා අවසන් කොට සොයාගෙන කියවීමෙනි. ඒ, මෙම නවකතාව තුලින් ලේඛකයා බලාපොරොත්තු වූවේ කුමක් ද යන්න තේරුම් ගැනීමේ උත්සාහයේ කොටසක් ලෙසට ය. එය  නවකතාවේ පඨිතයෙන් බාහිරව දැනගැනීමේ කුකුසෙනි. කිමද, මා 'මැස්සා' වන තෙක් එරික් ලියූ සැම නවකතාව ම කියවා ඇතත්, ඉන් සියල්ල ම පාහේ රස විඳි ඇතත්, 'මැස්සා' මගින් ඔහු කීමට උත්සාහ කරන දේ ගැන තව දැනගත යුතු යැයි සිතුණු නිසය. පාපොච්චාරණය අපට මීට පෙර නවකතාවල හමු ව ඇත - Lolita, The Outsider, Crime and Punishment ඊට නිදසුන් ය - එම කෘති වල යම් පාපොච්චාරණවාදී ලේඛණ ශෛලියක් තිබුණු නිසා ම ඒවා පාපොච්ඡාරණවාදි ද යන්න නොදනිමි.

මේ නවකතාව මා කෝණයන් දෙකක් ආශ්‍රයෙන් විමසීමට කැමැත්තෙමි.

1. කතානායකයාගේ කෝණය: අප කතානායකයා යමක් කමක් තිබෙන පවුලකින් පැවතෙන, කුඩා කල යම් නොදැමුණු, ගවේෂණශීලි මෙන්ම, තරමක ප්‍රචන්ඩත්වයක් ද පෙන්නුම් කල අයෙකි. ඔහු අප රට ප්‍රධානතම පාසැලකට ඇතුල් වීමෙන් පසුව, එම සිසු සහ ගුරු සමාජයෙන් විකසිත වෙයි. ඔහු පාසැල් කොල්ලෙකු ලෙස උපරිම විඳීමක් මෙම කාලයේ ලබා ගෙන පසුව විද්‍යා උපාධියක් ලබා ගැනීමට විශ්ව විද්‍යාලයට තේරුණ ද, විද්‍යාව අතැර දර්ශනය හැදෑරීමට තීරණය කරයි. තරුණ වියට එත්ම, ඔහු විද්‍යාව දකිනා ආකරය, දර්ශනය ට පෙම් බඳිනාකාරය, කාන්තා ඇසුර, නවකවදයේ ඇති ම්ලේච්ඡත්වය, පමණක් නොව මෙරට විශ්ව විද්‍යාල වෙසෙසින් රට ට වැඩදායි පුද්ගලයින් බිහිකරනවාට වඩා, විශ්‍රාම යන තෙක් යැපීමට රැකියාවක් නම් වූ ලොතැරැයියක් ලබා දෙන ආකාරය ගැන ප්‍රශ්ණ කරයි. ඔහු අවසානයේ 'සමතලාවාදී' සංගමයක් ( එනම් ලෝකය සමතල බවට 'සාක්ෂි', සාක්ච්ඡා ආදිය කෙරෙන සංගමයකි) පිහිටුවන්නේ, පැරණි ආගම් නවීන විද්‍යාවෙන් තොරව ලොව පැතලි බව විශ්වාස කලද, අනෙකා පෙලන නවකවදය ආදී  පසුබිමක් එම ආගමික අධ්‍යාපන ආයතන වල නොතිබූ නිසා, එහි යම් උදාරත්වයක් දැකීම නිසා  යැයි සිතිය හැක. එනම් ඔහු ව්‍යංගයෙන් විමසන්නේ, අනෙකා පෙළීම තම පැවැත්මේ අත්‍යාවශ්‍ය කාරණයක් ලෙස අදහන පිරිසක් සහ තමනට නොතෙරේන විද්‍යාවක් අදහන පිරිසකට වඩා, එම "අඳුරු යුගය" ද වඩා නිරෝගි බවකි. ඔහු තම මිය ගිය සොයුරා මගින් පෙන්නුම් කරන්නේ විද්‍යාව නම් වූ පුළුල් දැනුම්, දුෂ්කර දැනුම් ගවේෂනය බවත්, විශ්ව විද්‍යාලයේ එය තිබේ ද යන්න ප්‍රශ්ණයක් බවත් සිතිය හැක. සමතලවාදී සංගමයක් මගින් යම් උත්ප්‍රාසයක් ද, යම් මතයක් වෙනුවෙන් නැමුණු ලිවීමක් තිබෙන බවද , සත්‍යය. එහෙත් දර්ශනයට නැඹුරු වූ තරුණයෙකු, එනම් සියල්ල ප්‍රශ්ණ කරන තරුණයෙකු එවැනි තැනකට තල්ලු වීම විය නොහැක්කක් ද නොවේ.

2. ලේඛක අභිලාශය යන කෝණය: මා දන්නා තරමින් එරික් සාහිත්‍ය පරිශීලනය, තම ලිවීමට අමතරව කරනා ප්‍රමුඛතම කර්තව්‍යයි. ඊට අමතරව ඔහු විවෘත දෑසින් වටපිට බලමින්, තමන් දකිනා, කියවනා, බලනා, අසනා දෙයින් ආභාෂය ලබා, ඉන් වශී වී ලේඛනයේ යෙදෙයි.(1). එවන් ලිවීම සාර්ථක වූ විට, ඔහුගේ පාඨකයන් අමන්දානන්දයට පත්වෙයි. එහෙත් අත්හදාබැලීම් සැම විට සාර්ථක ද නොවේ; සැම ගේ කැමැත්ත දිනා ගන්නේ නැත.(2) මැස්සා තුලින්, එරික් කියවූ අනේක දර්ශනය පිළිබඳ කෘතීන් ට,  ඔහු ගේ සමාජ විචාරයට, මීට කලින් අවස්ථාවන් ට වඩා ඉඩ ලබා දී ඇත. මෙය සාර්ථක වන අවස්ථා මෙන්ම, අසාර්ථක වන අවස්ථා ද සමෝසමව මෙම කෘතියේ හමුවන බවකි අපගේ අදහස. පහත කොටස විමසන්න ( එය අප කථකයාගේ දින පොතෙනි):

උගත් පිරිමි - උගත් ගැහැනු විවාහයේ ෆැන්ටසිය තමයි සාත්‍ර-සිමොන් කපල් එකෙන් රිදී තිරේට වැටෙන්නේ. ලියන කියන දේවල් බෙදා ගන්න කෙනෙක්. හිරමනේ පොල් ගාන ගමන් ශේක්ස්පියර් ගැන, ටෝල්ස්ටෝයි ගැන කතා කරන කෙනෙක්. ළමයි නළවන ගමන් සැමුවෙල් බෙකට් ගැන කතා කරන කෙනෙක්. හනිමූන් යන ගමන් මිලාන් කුන්දේරා ගැන කතා කරන කෙනෙක් ...
  චන්දිමාල තවමත් ගොඩයා නිසා අර්ජුනා ඉදිරියේ සාත්‍ර - සිමොන් මායාව පෙන්න ගන්න මිනිහට උවමනා ඇති. ඒකත් අපූරුයි. සිංහල ස්පෙෂල් කරන සාත්‍ර සහ ෆොරින් ලැන්වේජස් කරන සිමොන්... උන් විතරක් නෙමෙයි තව එහෙම කී දෙනෙක් ඉන්නව ද මේ පඩංගුවේ රිංගලා සාත්‍ර - සිමොන් වෙන්ඩ හදන?
                                                                                                     ( 159 පිටුව )
ශාන්ත තෝමස් යැයි සිතිය හැකි තරමක ලිබරල් පාසල් වටපිටාවක පිබිදෙන, උද්දීපනය වන, විකසිත වන අප කතානායකයා විශ්වවිද්‍යාලයේ නවකවද ම්ලේච්ඡත්වය හමුවේ "අඳුරු යුගයකට" පෙම් කිරීමට පටන් ගනී.

අප විශ්වවිද්‍යාල හා සිසුන් බහුතරය ගැන මේ කියවීමද මා සිත් ගත්තේය.

"සරසවිය ගැන මා තුළ ඇති වුණු හැඟීම නවතම එකකි. බොහෝ සිසුන්ට එය ඉගෙන ගන්නා තැනකට වඩා විභාග සමත් වීමේ අවශ්‍යතාව නැමැති බරපැන දරමින් නිදහසේ ජීවත් විය හැකි තැනක් විය. එය පැරණි රාජකාරී ක්‍රමයට සමාන අනිවාර්‍ය විඳ විමකින් පසු රටවැසියන් ලෙස දෛවෝපගතව පැවරෙන මෙහෙවරක් ඉටු කිරීමේ බලාපොරොත්තුවෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට පුළුවන් තැනකි."
                                                                                                        (107 පිටුව)

මෙහිදී තවත් සැසඳීමක් කිරීම උචිත යැයි සිතමි. අප කතානායකයාගේ සොයුරා ද සොයුරිය ද තම විෂය ක්ෂේත්‍රය වෙනුවෙන් ඉමහත් කපවීමක් කොට ඒ හේතුවෙන් ම දිවි අහිමි වූවෝය. අප කතා නායකයා ද තමන් වඩාත් ම කැමති දේ වෙනුවෙන් ජීවිතයේ තීරණාත්මක ලෙස වෙනස්කරලූවෙකි.  ඒ තත්තවයත්, ඉහත පරිච්ඡෙදයෙන් පැවසෙනාකාරයෙන් "දෛවෝපගතව" ලැබෙන කුමක් හෝ රැකියාවකින් සෑහීමත් යනු අහසට පොළොව මෙන් ආස්ථාන දෙකකි. කතුවරයා මේ මගින් පෙන්නුම් කරන්නේ අප රට සිසු පරපුරේ දිෂානතියක් නැති බව, සහ 'ආත්මයක්' නැති බවයි.

එනුමුදු එරික් අනේක අවස්ථා වල තමන් සිත් දිනා ගත් මැයක් ඔස්සේ දීර්ඝ ලිවීමේ නැමියාවක්  මෙහි පෙන්වයි. එවිට ප්‍රධාන වශයෙන් සිදුවන්නේ නවකතාවේ විශ්වාසනියත්වය පළුදු වීමය. නිදසුනක් ලෙස සිසිල් සමරසිංහ ගුරුවරයාගේ කියවීම් සැලකිය හැක. එම ගුරුවරයාට වහන් වී එරික් දොඩවන්නේ ද යැයි සිතෙන්නේ, පාසැල් සිසුවෙකු මේ කියනා සිදුවීම් සිදු වූ කාලයේම සටහන් කල ද, එතරම් විස්තරයක් සටහන් විය නොහැකි නිසා ය. ගාන්ධි කෝලා, ගාන්ධී බුෆේ ගැන කීමට ප්‍රින්ස් ගේ ගොම බිස්නස් එක පවිච්චි කිරීම තවත් නිදසුනකි. මෙම ගන්ධි කතාව ආදි අතුරු කතා රැසක් අප ට මෙම නවකතවේ හමු වේ. ඒවා නවකතාවට රසයක් එක්කාසු කරන අවස්ථා මෙන්ම, පඨකයා වෙහෙසට පත්කරන අවස්ථා ද වේ. ඒ අනුව එරික් තම ලිවීම සංස්කාරක කෙනෙකුන් වෙත යොමු කිරීම උචිත යැයි සිතේ. ( ඒ මට සිතෙන හැටිය. එරික් ට තමන් ගේ සිතට එන බොහෝ කාරණා තම නවකතාව තුල තිබීම අත්‍යාවශ්‍ය යැයි සිතෙන්න ට පුළුවන. ඊට මිලක් ලෙස රුපියලින් සහ කාලයෙන් මිලක් ගෙවන මා වන් පාඨකයන්ගේ අදහස් ද ඉවසීමට සිදුවනු ඇත.)

ඉදින් සාරංශ ලෙස කිව හැක්කේ, මෙය තරමක් සංකිර්ණ කියවීමක් මෙන්ම, යම් සංස්කරණයකින් පොහොසත් වීමට ද අවකාශ තිබෙන කෘතියක් බවයි. එරික් ගේ නවකතා කියවන්නියන් මෙම නවකතාව අනිවාර්‍යයෙන් කියවිය යුතුය - කිමද ඔවුන් මෙහි එන රසවත් කොටස අගය කරනු ඇති නිසාත්, අඩුපාඩු වලට හේතුව තේරුම් ගන්නා නිසාත් ය. එහෙත් අප රට අනෙක් ප්‍රධාන නවකතාකරුවන් තරම් එරික්, බහුතර පාඨකයන් අතර නැත ( ඔහු ට ඔවුන් අතර ට ඒමේ උවමනාවක් ද නැතැයි සැක කරමි). ඔවුන් මෙම පොත විවේචනයට යොමු වනු ඇතැයි සිතමි - ඒ අර පේත "මෙලෝ දෙයක් තේරුන්නෑ" කියලා ඉවත දැමූ ආකාරයටය. පේත නොතේරුණු අයෙකු, "මැස්සා" නොකියවා සීටටියාට කම් නැතැයි සිතේ. එහෙත්, අයෙක් මේ මගින් කියන්නට තනන්නේ කුමක් ද කියා තමන්ගෙන් ම ප්‍රශ්ණ කරමින්, ආඛ්‍යායනයේ හැඩතල මගින් එය තෝරාබේරා ගන්නට වැඩ කරන පාඨකයකුට මෙහි අගය කල හැකි, රස විඳිය හැකි ස්ථාන බොහෝය.

සටහන්:
(1) මීට හොඳම සාධකය එරික් කොළඹ ගැන ලියා ඇති කවි ගොන්නය. 'මගේ කොළඹට හඳ පායයි', 'පිත්තල හංදිය', ආදිය පමණක් නොව, ඔහු මෑතක ම ලියූ ප්‍රොමීතියස් දූපත තුලින් ද කොළඹ කියවයි.

(2) මීට කලකට සමහර පාඨකයෙකු අමනාප නොසරුප් බසකින් මුහුණපොතේ කීවේ "එරික් ලියන්නේ මොනවාදැයි ඔහු ද නොදන්නා බවකි" ( මට මතක විදිහට පේත ගැන විය යුතුය. ) ඊට වඩා බොහෝ ශික්ෂිත අප මිතුරු කියවන්නියක් පවා පැවසුවේ එරික් ගේ ලිවීමේ යම් ව්‍යාජශීලි බවක් ඇති ලෙසය ( ඒ පරදේසි ගැන වූ සංවාදයකය - එහෙත්, මටත් තවත් කියවන්නියකට ද පරදේසී උපරිම වින්දනයක් ගෙන ආවේ එය වසරේ හොඳම පොත ලෙස අප දෙදෙනා එය ඔසවා තිබූ වටපිටාවකය).

ශ්‍රේණිය: ****
2020 පළ වූ නවකතා කියවීම: 5

No comments:

Post a Comment