Wednesday 10 August 2022

ප්‍රොමීතියස් දුපත - එරික් ඉලයප්ආරච්චි

 කෙටිකතාවට සහ නවකතාවට සාපේක්ෂව, එරික් ගේ කවිය කියවීමේ සාක්ෂරතාව මා ලබන්නේ සෙමිනි. එය තවම සතුටුදායක මට්ටමකට ලඟා වී තිබේදැයි යන්න සැක සහිත ය. එරික් වසරින් වසර අලුත් කවි ලියන්නේ , වෙසෙසින් ඔහු භාවිත ග්‍රන්ථයන් සහ කියවන කවි ආභාෂයෙන් ද, තත්කාලීන සමාජ දේශපාලන සිදුවීම් ඔස්සේ ය. ඔහු ගේ  කවිකමත්, කියවන්නියන් අතර පරතරය වැඩිකරමින් ඔහු හැල්මේ යන බවක් පෙනෙන්නට ඇත. අමරකීර්ති(1) 2016 දී, ප්‍රකාශ කලේ මෙවැන්නකි:

"ඉලයප්ආරච්චිගේ මෑත කාලීන බොහෝ කවිවල දී ආනුභාවික සංකල්ප රූප සහ කතිකාමය සංකල්ප රූප අතර පරතරය ඉතා වැඩිය. ඒ නිසා ඒ පරතරය රසිකයා ඇද වැටෙන අගාධයක් වැනිය. ඔහුගේ පළපුරුදු කවීත්වයත්, කාව්‍ය සං‍රචන ශිල්පයෙහි බුහුටිකමත් නිසා එක්තරා ආකර්ශනයක් ඒ කවිවල ඇතත්, තමන්ට තරම් නොවන රසිකයෙකුට ලියන්නාක් වැනි බුද්ධිවාදී ගර්වයෙන් යුතු කවියෙක් ඒ කවියෙන් මතු වී පෙනේ." (73-74 පිටු; නව කවි සලකුණු )
2016ත් අදත් අතර ඉලයප්ආරච්චි කාව්‍ය සංග්‍රහයන් හයක් පළ කොට ඇත ( ඉන් සතරක් කියවීමට අප යත්න දරා ඇත). ඒ හැම සංග්‍රහයක් අවසන ම, තරමක දුරවබෝධ කවියකත්, පූර්ණ රසාස්වාදයක් ලත් කවියකත් අතර දෝලනයක් ලත්තෙමි. ඒ අතර කාලය තුල එරික් ලියූ Wasteland ( T.S. Eliot) ගැන දීර්ඝ විචාරය, එරික් ගේ කවිය දැකීමට තරමක පිටුවහලක් වූ බවත් නොකියා බැරි ය. එහෙත් නියත වශයෙන් එරික් ගේ කවිය විෂයෙහි, මා තවම බැරි බැරි ගානේ පසුපසින් ඇවිදින සිසුවෙකු පමණකි. මේ තත්වය වෙනස්විමක් ද මා නොදකිමි; අපේක්ෂා ද නොකලමි. ( පූර්ණ කාලීන වශයෙන් අන් ක්ෂෙත්‍රයක නිරත වෙමින් කාලය සොරා ගෙන අන් ක්ෂේත්‍ර වලට වරින් වර එබිකම් කරන අප වැන්නන් ට අවම වශයෙන් විශ්‍රාම යනතෙක් අන් විකල්පයක් නැත.)

මෙම සංග්‍රහයට පැමිණෙමි.

එරික් ට කවි විෂය වන්නේ අපූරු අවස්ථාය. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගෙන බසයෙන් රැගෙන යාමේදී, කවුළුවෙන් ඉවතට හිස දමා විරෝධය පළ කිරීම, ඈත රටක තරුණ සිත්තරෙකු අතින්   අඟුරු සිතුවමකට පෙරලිම අප කවියාට කවි නිමිත්තකි. කවියේ ආකර්ශනීයම කොටස, ස්ටාලින් ඇමතීමෙන් අනතුරුව කවියා තම කුදු බව මෙසේ පවසනා කොටසයි:
"මම තවම කවියෙක්මි
සදා කල් සිසුවෙක්මි
ඔබ රැගෙන යන රියේ
නගින්නට නොහැකි වී,
පාපුවරු දෙක පවා
ඉඩක් නොදෙනා බැවින්
පසුපසින් ඇති යකඩ
ඉණිමගේ නඟින්නට
උමතු හැඟුමෙන් දුවන."
              (ස්ටාලින් බසය)

අන් තැනෙක පැරණි දේශපාලන ආස්ථනය යම් ආර්ථික වාසියක් වෙනුවෙන් මගහැර දැමූ අයෙකුට කෙරෙන උපහාසාත්මක කවකි.

"එකෙක් අඩුව ආ ගමනකි
ලොකු කුලියක් ගෙවන තැනට
නොලියනු ඇත කිසිම පොතක
නව ජීවය ලැබුණු විදිහ"
              ( අලුත් පක්ෂ කාර්යාලය සහ දමා ආ පැරණි රතු සහෝදරයා)
අප රටේ සාමාන්‍යයෙන් සැමදා මහජනයාගේ ඇස සහ සිත ඩැහැගන්නා පුවත් උපදී ( නූතන යුගයේ අන් රටවල ද එසේම බව නොරහසකි). පහන්තුඩාවේ යුවල ගැන ද මීට වසරකට දෙකකට පමණ පෙර  කසුකුසුවක් ඇති වූයේ, පහන්තුඩාව ඇල්ල ගැන නොදැන අය ට එවන් ඇල්ලක් ඇති බව දැනි ගැනීමේ පුවත අවශේෂ ආකර්ශනයක් බවට පත් කරමිනි.  තම තරුණ සිරුරු නිදහසේ විඳින එම යුවල ගැන බොහෝ අය යම් පැසසීමක් කල ද, සුළු වරදකරුවන් ට පමණක් කිසිදු බේරුමක් නැති අපේ පොලිසිය විසින් එම යුවළ සොයා ගන්නා ලදී. කවියා ගේ ස්වරය ඇත්තේ තමනට නොලැබුණු නිදහසක්, රසයක්, ගැන සියුම් ඊර්ෂ්‍යාසහගත ගෞරවයකි.
කිඳුරා සමඟ කිඳුරිය
දියබුං සදිසි පෙම් බස
අසමින් නිදයි වකුටුව
දෙපය මැද තරුණ අත

පහන්ඇලි තුඩාවක්
පිහිටි බිමවත් නොදැන
දුක් විඳිමි මම ද
වැතිර ගෙන තනි යහන
                  ( පහන්තුඩාව ගැන ලියූ සටහන්)
කවියා ට රත්මලානේ වරුණ පෙනී, එය කැප කරන්නේ රත්මලාන ගැන සාහිත්‍යයක් නිර්මාණය කල වෙඩිවර්ධන සාහිත්‍යකරුවා වෙනුවෙනි.
බෙලෙක් කඩේ බාර් එකේ
ක්‍රවුන් යුගේ ඔටුනු තුනේ
ගල් අරක්කු වීදුරුවල
දමා කැවුතු සහ පීකුදු
ඇඳෙන් බසිති මහපාරට
රෝහලකට වැඩිය ලෙඩ්ඩු
                   ( මංජුල වෙඩිවර්ධනට රත්මලානේ සිට)
ඉහත කවි මා රස විඳි ඒවාට නිදසුන් ය. කුරුඳු කවිය, ගාන්ධර්ව ළමා විය, වැලන්ටයින් නඩුකාරයා, රාත්‍රියක අයිතිය, පරණ මුද්දර, ප්‍රොමිතියස් දූපත, නර කෙස, සහශ්‍ර පුර ගෙවදීම, නිල ඇඳුම, වසංගතය සහ වෙස්මුහුණ ආදී කව් රැසක් ද රස විඳීම තුලින්, එරික්ගගේ කවියෙන් ඈත් නොවීමට හේතු පසක් වේ.

එනුමුදු පෙර කීවාක් මෙන් සමහර මැයන් අතර සබඳතා දුරස්තය. අමරකීර්ති කියනා කතිකාමය සංකල්ප රූප  කවියකට උචිත තරමේ ඒවාද යන ගැටළුව මා සිතට ආවද එය මගේ කියවීමේ අඩුපාඩුවක් ද විය හැක. එය බුද්ධිවාදි ගර්වයෙන් යුතු කවියෙකුට, යම් ගර්වයකින් සිටින සාමාන්‍ය පාඨකයෙකු ගේ මුණ ගැසීමක් විය හැකි පිළිගැනීමට සිදු වේ. ඒ අනුව කොළඹ ඉන්ද්‍රජෝති කුකුල් කොටුවේ රස්සාව, රත්නපුර වැහිලිහිණි සහ මැණික් බලන ටෝච් එළිය, ගොල්ෆ් බෝලය සහ යක් බෙරය ආදිය මගින් විෂයන් දෙකක් අතර තරමක් කෘතීම යැයි හැඟෙනා ගැටගැසුම් යැයි මට සිතේ.

එරික් ගේ කවිය කියවන රසිකයා, තවදුරටත් එහි රඳවා ගැනීමට අවශ්‍ය සාධක මෙහි ඕනෑ තරම් ඇත. එය තරමක දුරවබෝධ කවියකැයි, එය කියවීමට ඇවැසි ශ්‍රමය වැය කිරීමට පසුබට වන්නන් ද, එම ස්ථානයේ ම රැඳුනු මිස එහි ද වෙනසක් සිදු නොවනු ඇත. එනුමුදු, එරික් ගේ කවියේ ලකුණ අප දකින්නේ එරික් තුලින් ම පමණක් ම හෙයින්, ඔහු තම කවිය තව දුරටත් ලිවීම ඉතා අවශ්‍ය කාරණාවකි. ඔහුගේ කවිය ගැන සාධාරණ ගවේෂණයක්, විවේචනයක්, විචාරයක්, අනාගතයේ ඊට සුදුසුකම් ඇත්තන් අතින් සිදු වනු ඇත,

ශ්‍රේණිය: ****
ප්‍රකාශනය: ගොඩගේ (2021)


No comments:

Post a Comment