Monday 27 June 2022

මෝනාලීසාට රැවුලක් - එරික් ඉලයප්ආරච්චි


 මෙය ඉලයප්ආරච්චිගේ සත්වෙනි කෙටි කතා සංග්‍රහයයි; 2015 දී පළ වූවකි. ප්‍රමාණයෙන් කෙටි, කෙටි කතා නමයකින් (පිටු දහය නොඉක්මවූ) සහ, පිටු 12ක එක් කෙටිකතාවකින් ද සපිරිය.

කපුරාල සහෝදරයා නම් කෙටි කතාව මගින් ඔහු අප සමාජයේ අරටු බැස ඇති විශ්වාස, වාම දේශපාලනය, සමසාමජයේ විද්‍යාත්මක පසුබිම පසු බස්සවමින් නැගී සිටින බවත්, එය එක්තරා විදිහකින්  අප සමාජ පද්ධතියෙන් ඉවත් කල නොහැකි මස් දල්ලක් ආකාර බවත් පෙන්වා දෙයි.

මෙහි එන රසවත් ම කෙටි කතාව දර කඩේ ගණිකාව විය යුතුය. සිංහල සමාජය විශවාස කොට, ඔවුන් අතර ජීවත් වන අහිංසක දෙමළෙකුට, තමන්ගේ හා තම බිරිඳගේ දිවි ආරක්ෂා කර ගැනීමට ගෙවිය යුතු මිලේ අසාධාරණය ගැන අපූරු කියවීමකි.

පොත් සම්මාන හා ඊට නිර්දේශ වූ පොත් කියවීම පසුගිය කාලයේ රැල්ලක් ආකාරයට පැතිර පැවතුන අතර, අප ද අඩු වැඩි වශයෙන් මෙම නිර්දිෂ්ඨ කෘති පරිශීලනය කලවුන් අතර සිටියෝය. එම සම්මාන තරඟය අතර අයෙක් අනේක ආකාරයෙන් තම පෞරෂය වඩවා ගැනීමට භාවිත කල අයුරුත්, නූතන සමාජ ජාලා අතර ගැවසෙන විට එම පෞරෂය වඩවා ගැනීමට බොහෝ දේ කිරීමට නොපැකිලෙන ආකරය පමණක් නොව, සම්මාන ජය ලබා දෙන අය ට යම් උපහාසෝත්මක ඉඟියක් එල්ල කිරීමද මෙහි අපට දැකිය හැකිය. (හබී හෙවත් මෝනාලීසාට රැවුලක්)

අප රට ජන කොට්ඨාශයන් කෙතෙරම් තම මතයන් මත ම වෙසෙන්නේ ද, අන් අය ඉවසීමේ ප්‍රවණතාවේ දුර්වලතාව පිළිඹිබු කරනා නිර්මාණයකි. පසුගිය කාලයේ මුහුණ වසනා කළු පර්දාව ජාතීන් අතර අවිශ්වාසයට හේතු වූ ආකාරයත්, ඊට ඒ හා බැඳුණු දෙජාතියේම කොටස් වල නොඅඩු සම්බන්ධතාව ත්, සමහර චීවරධාරීන්ගේ ඇවිස්සීම් ද හේතු වූ ආකාරයත් අපට මතකය. සම තැන්කට ඒමට ඇති බාධාවන් පිළිබඳ හොඳ කියවීමක් අපට මෙහි හමු වේ. ( කළු ටියුටරිය )

"දවසේ ශූණ්‍යතාව ගමනක දී අත්දකින්නට ලැබෙන  හැඟුමකි. නිකරුණේ ඉගිලෙන කුරුල්ලන්ම අහසේ වලාකුළු, මහ පාරේ වැටී ඇති දේවල්, ඈතින් මතුවන වැව්පිටි, පාළු බිම්වල ලැගි හරකුන්, පසුපසින් හිරු බසින විට ඉදිරියෙන් දුවන දිග සෙවණැල්ල යනාදී සියල්ල ශූන්‍යතාවයෙහි ගිලෙන්නේ අරුත්සුන් මායාකාරී හැඟීමකිනි."
තම නිදහස භුක්ති විඳින අයෙකුට, තමන් වෙසෙන දේශපාලන පරිසරයෙන් එන තර්ජනයන් එම නිදහසට සීමා ගෙන එයි. විශේෂයෙන් හොරු සමඟ වෙසෙන අහිංසකයන් හට හොරු ලේබලය ඇලවීම ට බොහෝ අය බලා සිටිති.

සිංහයා සරුංගලය ලියැවී ඇත්තේ 2015 හෝ ඊට ප්‍රථම වුව, මෙම කෙටිකතාව අද ට වඩාත් අදාලය. 2015 දී සිංහයා විදේශිකයින්  වීසින් බැඳ තබා පසුව, ගෙයි මුල්ලකට විසී කර තිබූ වසරකට සැරයක් දෙකක් දුවිලි පිහ දා සරසන්නට ගත්තකි. අද සිංහයා ට ගෙයි මුල්ලෙන් ඇවිත් තම කඩුවෙන් කොස් කොටන්නට සිදුව ඇත.

ජවිපෙ හා සබැඳි කැරලි දෙකේ දී සමහර අය තම ඇති තතු සඟවා අලුත් ජීවිත අන් දේශ වල පිහිටුවා ගත්තෝය. එවන් අයෙක් මුල් කොට ගෙන නිර්මාණය වී ඇති මවුබිමේ මරණයක් කෙටි කතාව මගින්, මවුබිමේ එකල සිදු වූ මරණ රාශියක් ගැනත්, මීගොඩ කනත්තේ බල්ලන්ට කන්න දෙන මනුස්සයා මෙන් අමතක කල නොහැකි ඉතිහාසයන් මගින් හොල්මන් කරන තැනැත්තෝ බවත් අඟවයි.

දේවසිරිගේ භාවනාව තරමක් වෙනස් ආකාර කෙටිකතාවකි. ඉන් පළමුව 2009 න් පසුව සීඝ්‍ර ලෙස වෙනස් වූ කොළඹ මුහුණවර ගැන කියවීමකි. ඇත්තෙන්ම අද අප මුහුණ දෙන දේශපාලන අපරිණතභාවයට ප්‍රධාන හේතුව එසේ 2010න් පසු ව ඇත වූ ඇස් කඩං යන ආකාර වෙනස්වීමයයි. එහෙත් මෙම කෙටිකතාව අවසන් වන්නේ දේවසිරිගේ කිසිඅයෙකුට බිඳිය නොහැකි භාවනාවකට සම වැදීමෙනි. ඉන් කෙටිකතා කරු කීමට බලාපොරොත්තූ වූ දේ පැහැදිලි නැත. අප රට නීතිය ආගම ඉදිරියේ පසුබසින බව ද ?

අනෝජා නම් තම පැරණි පෙම්වතිය, රංජි නම් තම අනාගාතය ගැන වික්ෂිප්ත වූ අමාත්‍යාංශ ලේකම්වරයාට මුණ ගැසෙන්නේ චන්දයකින් පසු හිස් වූ කොළඹ මද්‍යයේය. අනෝජා ගේ ප්‍රියතම ටැංගෝ නැටුම ම මතක් කරලමින් අලුත් දේශපාලන කරලියේ, රංජි ට තවත් අනාගතයක් බිහි කරලීමට ඇගේ දේශපාලන සම්බන්ධකම් ප්‍රමාණවත් බව පෙන්වන්නේ, අපේ දේශපාලන බලමාරුව ම එක්‍තරා ආකරයක ටැංගො නැටුමකට උපමා කෙරෙනාකාරයෙනි.

රජරට වකුගොඩ රෝගයත්, එහි දීර්ඝකාලීන විසුවන්ට ඉන් මිදීමක් නැති වීමේ අසරණබවත් ඇඟවෙන කෙටිකතාවකි, අටු බස්සා. එම පක්ෂියාගේ හදිසි වියෝව මෙන්ම මෙහි එන අන් ප්‍රධාන චරිත දෙකේ අනාගතයන් ද එතරම් විශ්වාස නැත.

මේ කෙටි කතා දහයෙන්, හොරු සමඟ, අටුබස්සා, දේවසිරිගේ භාවනාව, ටැංගෝ නැටුම, සිංහයා සරුංගලය. කළු ටියුටරිය, සහ මෝනාලීසාට රැවුලක්, 2015 හා එම කාලයේ සිදුවීම් අලලා ලිය වූ ඒවය. කෙටිකතාවක් තුලින් ඊට බල පෑ සමාජ-දේශපාලන තත්වයන් දකින්නට උත්සාහ කරන ලේඛකයා, ව්‍යාකූලත්වය පෙන්වන අතර, ඒ තුලින් වඩාත් සංවේදී පාඨකයකු ඉපැද්දවීමට යම් මැදිහත්වීමක ට ඉඩ පාදයි. දරකඩේ ගණිකාව, කපුරාල සහෝදරයා, මවුබිමේ මරණයක්, මගින් අප රටේ පසුගිය වසර 40-50 තුල සිදු වූ කැරලි මාතාවට ගෙන ඇත. දරකඩේ  ගැහණිය යන නිර්මාණයේ පමණක් අප කියවීමට රුචි එරික් ගේ මීගමුව ආශ්‍රිත සමාජ ජීවිතය තරමක් කරලියට ගෙන ඇත.

සමස්තයක් ලෙස කිව හැක්කේ, එරික් ගේ තවත් සාර්ථක කෙටිකතා සංග්‍රහයක් කියවා හමාර කල බවකි.

ශ්‍රේණිය: ****


No comments:

Post a Comment