Monday 10 May 2021

කඳඅරනී - නිශ්ශංක විජේමාන්න

        විජේමාන්න, වැදි සංස්කෘතිය සහ ජීවිතය ගැන නවකතාවක් ලියූ බව ආරංචි වූ විට, ඒ ගැන යම් උනන්දුවක් ඇති වූයෙන්, එහි පිටපතක් මිල දී ගත්තෙමි. අනතුරුව, කෘතිය පිළිබඳ ව පළ වූ සමහර විචාර එය එතරම් ප්‍රශංසා නොකලේය. මා ද සිටියේ, මාගේ කාලය කැප කොට එය කියවීම කෙතෙරම් ප්‍රතිපළදායක වෙදෝයි සැකයෙනි. එහෙත් නැවත වතාවක් ශ්‍රවණ පොතක් ආශ්‍රයෙන් මේ කියවීමට ගතවන කාලය සහ ඊට ලැබෙන ප්‍රතිලාභ ගැන වූ ශංසය විසඳාගතිමි. ඉතින්,  කඳඅරනී කෙසේද යත්;                                               


දඹාන සහ පොල්ලේබැද්දේ වැදිපරපුරවල් වල ඉතිහාස කතා ද, වැද්දන් සිංහල වීම සහ, සිංහලයන් වැද්දන් වීම ( 1818 න් පසු කාලයේ ), 1818  කැරැල්ලට වැදි ජනතාවගේ දායකත්වය ආදි බොහෝ කාරණාකරණා මෙම නවාකතාවට ඇතුලත් කොට ඇත. එම භාවිතාවේ හෙළිදරවු වන කරුණු හේතුවෙන් කුකුස දනවන රසාස්වදයක් ඇති වුව ද, එය නවකතාව  නම් වූ   කලා නිර්මාණය තුල කෙතෙරම් ස්වභාවික ලෙස පවතී ද යන්න අනෙකකි. සුගන්දිකා නම් තරමක් "අමුතු" තාලේ වැදි කෙල්ලක් ආශ්‍රයෙන් කතුවරයා ඉහත කී විවිධ වූ ඉසවු ගැන අතුරු කතා රාශියක් පවසයි. සුගන්ධිකා සුවිශේෂි දැනුම් පිපාසයකින් පමණක් නොව, තමන් ලබා ගන්නා දැනුම් ශාස්ත්‍රීය ලෙස පෙළ ගස්සවන්නට, ඉන් යම්  ව්‍යුත්පන්නයන් වෙත පැමිණීමට තරම් දක්ෂය. එය කෙතෙරම් පාඨක දුරට පාඨක විශ්වාසය දිනීමට සමත් වේද යන්න අනෙකකි; එලෙසම, උසස් පෙළ මගදී අතැරපු,  උපාධිය අවසන් වසර ශිෂ්‍යාවකට සමාජ විද්‍යාව කියා දීමට සමත් එවන් දක්ෂ කෙල්ලන් නොමැත යයි කීමට, ඉක්මන් වීමට ද නොහැක. කිව හැකි එකම දෙය, පාඨකයාට කතුවරයාගේ අරමුණු පැහැදිලි වන නිසා, තරමක්  කෘතීම උපක්‍රම මගින් එම අරමුණු වෙත යාම පැහැදිලි වන බවකි.

මුහුණු පොතේ එක් විචාරකයකු පැවසූවේ, ගනනාථ ඔබේසේකරගේ යම් ලිපි ආශ්‍රයෙන් මෙම අතුරු කතා ගොඩ නැඟී ඇති බවකි - එනුමුදු එසේ විය හැක. කතුවරයා සෙලිග්මාන්, ස්පිට්ල්, ඇල්ලෙපොල, නන්දදේව විජේසේකර ගැන පැවසුවද, ඔබේසේකර නම කොතැනකවත් භාවිත කොට නැත. කඩ ඉම් පොත් ගැන පැවසෙන හෙයින්, එම සමහර විස්තර කඩ ඉම් පොත් වලින් විය හැකිය. සමහර විට නවකතාවට උක්ත කාලය ( එය මෑතක් ගැන බව හැඟේ ) ට සාපේක්ෂව මෑතක පළ වූ ගණනාත්ගේ රචනා ආදි පොත් ගැන පැවසිය නොහැකිව ඇති.  'යටත්විජිත ඉතිහාසය ලේඛන හා වැද්දා පිළිබඳ ප්‍රාථමිකතාවාදය -නුවර යුගයේ ලේඛන පිළිබඳ විසම්මුතික කියවීමක්‌', නම් වූ ලිපියක් වෙතත්, මා එය කියවා නැති හෙයින් වැඩි යමක් කිව නොහැක.

මෙහි එන වැදි සබඳතාවක් ඇති චරිත කිහිපයක් පෙන් වූ උපේක්ෂක ගුණය මා සිත් ගත්තේ ය. එය කතුවරයා කෙතෙරම් දුරට සිතා මතා මතු කලේද නොදනිමි. ඔහු සිතා මතා මතු කලේ නම්, ඒ මතු කර ඇති ආකාරය ඉතා ම මටසිළුටුය; කලාත්මකය. කතුවරයා ගේ මූලික අභිලාෂයන් කෘතියේ හැඩය අසමමිතික කරද්දි,  සුගන්ධිකා තම දරුගැබ ගැන දක්වන උපේක්ෂාව, සුදු බණ්ඩා තම නෑනන්ඩිය භාර ගැනීමට ඇති උපේක්ෂාව, සුගන්ධිකා ගැන තම පවුලේ උදවිය දක්වන උපේක්ෂාව, වැදි මූලයක් ඇති ජනතාවගේ සමස්ත චරිත ලක්ෂණයක් මගින්, යම් ලකයක් ගෙනෙන්නා සේය.

මා මෙම නවකතාව තරමක් රස වින්දේ, මෙහි එන අතුරුකතා හේතුවෙනි. වල්ලි අම්මා ගේ කතාව, කිවුලේගෙදර නොහොත් තුති බණ්ඩාර ගේ කතාව, ඕපල්ගම වැදි රජ්ජුරුවන්ගේ කතාව, හුවං කුමාරයාගේ කතාව ආදි කතා රැසකි. මේවා සියල්ල නවකතාවේ ප්‍රමුඛ ආස්ථානය, එනම් වැද්දන් වනචාරී නොදියුණු ගෝත්‍රයක ට ලඝු කිරීමේ සදොස් බව පෙන්වීමට හේතු වේ.

එහෙත් කලා කෘතියක් ලෙස මේ ආස්ථානය, සියුම් ලෙස නවකතාවක් තුලට පෑස්සීම අතින්, මම එතරම් සාර්ථකත්වයක් මෙහි නුදුටුමි. ඉංග්‍රීසියෙන් Too Contrived, යන වදන් මගින් මෙම නවකතාවේ මූලික දෝෂය පෙන්නුම් කල හැකි වුවද,  ඊට කෘතීම ක්‍රම මගින් නවකතාව ගොඩනගා ඇතැයි කීම, කෙතෙරම් යෝග්‍ය ද යන්න, මට ගැටළුවකි. අමිත් නම් නූතන රණවිරුවෙකු, බාහිර ලොව බැබලෙද්දි, ඔහු ගේ යම් බැබලීමකට හේතු වූ ස්ත්‍රීන් අමතක කර දැමීමත්, ඒ තුලින් අතිතයේ සිදු වූ දේ හා වර්තමානයේ සිදුවීම් අතර යම් ගැලපීමකුත් කර තිබේ.  මේ මතුපිට කතාව පෙර කී ආස්ථානය ට ම සේවය කරන්නා වූ මෙවලමක් පමණක් බවත් පැහැදිලිය. 

ප්‍රකාශනය: විදර්ශන
ශ්‍රේණිය : ***
2020 ප්‍රකාශ වූ නවකතා කියවීම - 1


No comments:

Post a Comment