Monday, 15 March 2021

අන්තිම කැමැත්ත - ජයතිලක කම්මැල්ලවීර

අන්තිම කැමැත්ත මා කියවා, ඒ ගැන සටහනක් ලියා ඇත්තේ 2011 ජනවාරි මස දෙවෙනි දා ය. මා සතු සටහන පොතක තිබූ සටහන අවම සංශෝධන වලින් යුතුව පහත ඉදිරිපත් කරමි. මෙහි එන පොත් කවරය මෑතක මා මිල දි ගත් පිටපතක බව සලකන්න. මා එවක කියවූ පිටපත මහජන පුස්තකාලයෙනි. ලියමනේ, තැනෙක ඇල අකුරෙන් යම් සඳහනක් ඇත් ද, ඒ, මුල් සටහනට වෙනස් අදහසක් මේ ලියනා මොහොතේ එක්කාසු කරලීමක් ලෙස සැලකිය යුතුය .මෙහි එන සියළු කෙටි කතා නැවත උඩින් උඩින් කියවූයේ, ඉන් බොහෝමයක් සැලකිය යුතු මට්ටමකින් අමතක වී තිබීම හේතුකොටගෙනය.

*************************************************************************

මීට පෙර මා කියවා ඇත්තේ කම්මැල්ලවීරයන්ගේ නවකතාවක් පමණි ( ඒ 'අට අවුරුද්ද' ය). (ඒ අනුව) අන්තිම කැමැත්ත වූ කලි (ලේඛකයාගේ) පළමු කෙටි කතා සංග්‍රහයයි. මා නිවැරදි නම්  1994 වසර සඳහා හොඳම කෙටිකතාවට ( sic ) හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තේ මේ කෘතියයි. සැබවින්ම මෙහි එන කෙටි කතා 10 ම සිත් ගන්නා සුළු අනර්ඝ නිර්මාණයෝමැ යි.

'ගුරු සිත රිදවා'  වූ කලි පශ්චාත්තාපයට ලක් වන විශ්‍රාමික ගුරුවරයෙකු පිළිබඳ කෙටිකතාවකි. මවක හා පියෙකු කොතරම් යහපත් අදහසකින් තම දරුවන් ගැන තීරණයක් ගත්ත ද, එය පාරාවළල්ලක් වී පසු තැවීමට හේතු විය හැකි අයුරු ඉන් මොනවාට පෙන්වා දෙයි.

'ලොකු මහත්තුරු' සියුම් හාස්‍යයක් ද, අද සමාජ රටාව පිළිබඳ ( සැ.යු. මෙම සටහනේ අද යැයි මා ලියා තිබුන ද 1990 දශකය යනු මීට වසර තිහකට පෙර කලෙකය. වේගයෙන් වෙනස් වන යුගයක මෙය දීර්ඝ කාලයකි) යම් ඇණුම් පදයක් ද, විවේචනයක් ද ගෙන දෙන ආකාරයේ දක්ෂ නිර්මාණයකි. තමන් ගැන අතිමහත් තක්සේරුවක යෙදෙන 'මැනේජර්' මහත්තුරු කොතෙකුත් ඇත.

( සටහන් පොතෙන් පිටක් )
අන්තිම කැමැත්ත යනු මට සැබෑ තක්සේරුවක් කර ගත හැකි නිර්මාණයක් දෝ යැයි සිතුණු අවස්ථාවකි. අති පිරිසිදුකම, සැළසුමක අනුව වැඩ කිරීමට පුරුදු පුහුණු වූ මහළු කාන්තාවක් ගැන ලියැවී ඇති මෙම කෙටි කතාව තරමක් වෙනස් නිර්මාණයකි. ( මේ කෙටිකතාව නැවත කිය වූ විට දී ද, එතරම් සුවිශේෂිබවක් මා වෙත ආරෝපනය නොවීය. සම අදහස් ඇති අය ගේ එක්කාසු වීම යන කාරණාවෙන් මෙපිට දෙයක් මට අදට ත් නොදැනේ.)

රතු බොත්තම, පැක්ටේරියක එකම වැඩක් කිරීමට කොටු කළ තරුණියකගේ මානසික තත්ත්වය අනාවරණය වන ආකාරයේ අනගි නිර්මාණයක්. මානසික ආතතිය හෙළිදරවු වන අයුරින්, එහෙත් ඉතා සංක්ෂිප්ත ලෙස රචිත මෙය ශ්‍රේෂ්ඨ නිර්මාණයක් යැයි මට හැඟේ. මොන යම් හේතුවක් නිසා හෝ, එය මා ළඟකදී කියවූ රුසියානු කෙටි කතා එකතුවක් මතකයට නැගීය. ( මෙහි සඳහන් කර ඇති රුසියානු කෙටි කතා සංග්‍රහය, පද්මහර්ෂ කුරණගේ ගේ පරිවර්තනයයි. එහි ගොගොල්, පුෂ්කින්, තොල්ස්තෝයි හා චෙකොෆ් ආදීන්ගේ කෙටි කතා තිබුණි. මේ කෘතිය සඳහන් කරලීමට ප්‍රධානම හේතුව චකොෆ් ගේ "බල්ලා කැටුව ඇවිදින කාන්තාව" විය යුතු යැයි හැඟේ. ඒ වන විට මා කියවා තිබූ එක ම චෙකොෆ් කෙටි කතාව එය විය. එහෙත් අතර කාලය තුල කියවූ චෙකොෆ් ගේ වඩා පරිපූර්ණ කෙටිකතා එකතුවක් හේතුවෙන් මේ අදහස වඩා තහවුරු විය )

අපේක්ෂා, යකඩ ගැහැනියක් ගැන, අගේ උපේක්ෂාශීලි බව ඉතා සරල ලෙස, පාඨකයාගේ සිත් ගන්නා අයුරින් ලියා ඇති කෙටි කතවකි.

පින්මද පුත්තු ද මිනිසෙකුගේ දෛවය ගැන කියාපාන කෙටිකතාවකි. වරක්, නගර සභාවේ කම්කරුවෙකුට නිවෙසක් තනා ගැනීමට ඉඩමක් ලබා දීමට නියමිතව තිබියදී, නොසිතූ විරූ ලෙස එය අහිමි වන අයුරුත්, එය තම අදහන ආගමට සබැඳි හේතුවක් තුල එසේ නැති වුවද, මිනිස් සිත එය විඳ දරා ගන්නා අයුරු අපූරු නුමුත්, එහි ඇති පුදුම සළු ස්වරූපය ඉන් හෙළි දරවු වේ. ( මෙය වර්තමානයේ නැවත කියවීමේදී, ආගමික භක්තියේ නාමෙන් ඕනෑම නොසන්ඩාල වැඩක් කොට බේරීමට අප රට වන් වල ඇති අවකාශය මෙහි මුඛ්‍ය කාරණාව බවත්, සීලදාස කිහිප විටක් හෝ පිළිමය ඉවත් කරලීමෙන් තම අයිතිය තහවුරු කරගනිමින් ජය ගත්තේ නම්, මගේ මහත් ගෞරවයට පාත්‍ර වන චරිතයක් බවට පත්වන බවත් නොකියාම බැරිය )

සංක්ශිප්ත, යම් රහස්‍ය බවක්, ගුප්ත බවක් තුලින් පෝෂණය වූ කෙටිකතාවකි. එහි තා සියුම් හාස්‍ය රසයක් ද නැත්තේ නොවේ. 

"කොහොම උනත් පුතා ට තමන්ගේ වයසට නොගැලපෙන වැඩිහිටි ආශ්‍රය කරන්ඩ දෙන්න එපා",

          යන සංක්ෂිප්ත අවවාදය තුලින්, පියා කුඩා කල, කල යම් කිසි වරදකට මානසික පීඩනයක් විඳ දරනා අයුරු කියා පායි. ( මේ රචනාව ලියන කාල්, කතුවරයා ගේ 'සුළු තනිතිත' යන මතක සටහන් කියවමින් සිටින්නෙමි. ඔහු කුඩා කල මහත් අභියොගයනට මුහුණ දුන් අයුරුද, සමහර අත්දැකීම් ඉලන්දාරි වයසේ දුක් අනුභවයේ අත්දැකීම් ලෙස දරා සිටිය ද ඒවා දීර්ඝ කාලීන කම්පනයකට හොඳටම ප්‍රමාණවත් බවත් සිතේ )

සත්‍යවාදියා නම් අප සැමට පොදු අත්දැකීමක්, කෙටි කතාවකට ගොණු කල අවස්ථාවකි. මෙහි විශේෂය නම්, එක්තරා ලේඛකයකු, මිහිරි මතකයන් අවම, ඔහුගේ දුක්බර පාසැල් විය පිළිබඳ යෙදෙන ආවර්ජනයක් වීමයි

අවුල, කෙටිකතාවද, යම් ගුප්ත බවක් අන්තර්ත, අවසන දක්වා ම යම් කිසි කුහුලක පාඨකයා රඳවා ගන්නා, එලෙසම කුහුලක් ඉතුරුකරලමින් අවසන් කරනා කෙටි කතාවකි.

පාපොච්චාරණය කෙටිකතාවේ, ජයතුංග නැමැත්තෙකු එක්තරා දේශපාලන කණ්ඩායමක් විසින් "පොලිස් ඔත්තුකාරයෙකු" ලෙස හංවඩු ගැසුව ද, දෙපැත්තෙන්ම තැලෙන අයුරු පාඨකයාට පෙනී යයි. අප රට දේශපාලනයේ අද වුවද, බොරුව සහ බොරුව මත බොරුව බිහිවීම නිසා, කිසිම අයෙකුට ඇත්ත යනු කුමක් දැ යි සොයා ගත හැකිදැයි යන්න සැක සිතේ.

සමස්තයක් ලෙස ගත් විට, මීට කලින් මා සිත් ගත් කෙටි කතා රචකයෙකු වන නිශ්ශංක විජේමාන්න ට පසු, මා සිත් ගත් රචකයා ලෙස ජයතිලක කම්මැල්ලවීරයන් බවට පත් වන්නේ ය. ඒ කිමද මෙම කෙටි කතා සංග්‍රහය කියවීමෙන් අනතුරුව, ලේඛකයාගේ තවත් කෙටිකතා එකතුවක් කියවීමට උත්සක වීම හේතුවෙනි. ( සුළු තනිතිත කෘතියේ කියැවෙන්නේ විභාවි මගින් පැවැත්වූ ස්වාධීන සාහිත්‍ය සම්මානයන් ගෙන් නිශ්ශංක විජේමාන්නයන් පිදුම් ලත් අයුරුත්, එසේ කරලියට ආ විජේමාන්නයන් සිංහල සාහිත්‍ය ක්ශේත්‍රයේ මහත් ගෞර්වයට පාත්‍ර වන ලේඛකයකු බවට පත් ව ඇති අපූරුවත් ය. කම්මැල්ලවීරයන් විජේමාන්නයන් ගේ සාර්ථකත්වය ගැන තම සතුට ප්‍රකාශ කරයි.)

ශ්‍රෙණි ගත කිරීම: ****1/2
කෙටිකතා ( 1994 )








No comments:

Post a Comment