Wednesday 25 November 2020

නිම්නාගේ ඉතිහාසය - කෞශල්‍ය කුමාරසිංහ

පළමු කොටස - සමස්ත අදහස

2019 වසරේ මහත් කතා බහට ලක් වූ, සම්මාන නිර්දේශයන් හී සාධාරණයක් ඉටු නොවුනැයි බොහෝ අය මැසිවිලි නැඟුවා වූ ද, කෞශල්‍ය කුමාරසිංහගේ "නිම්නාගේ ඉතිහාසය" කියවූවෙමි. වසර පහකට පමණ පෙර "මේ රහස් කවුළුවෙන් එබෙන්න" කියවා තිබූ හෙයින්, මේ පොත අතට ගත්තේ ම  බලාපොරොත්තු ඇතිවම ය. කෞශල්‍ය එම බලාපොරොත්තු ද  අභිබවා ගොසින්, ජාත්‍යන්තර මට්ටමේ නවකතා සමඟ එක පෙළට තිබිය හැකි නවකතාවක් ලියා ඇත. ඇත්තෙන් ම මෙම නවකතාව නූතනය. ඒ අර අප නිතර දකින, අසංඝත, හදිසියෙන් වචන කිහිපකින් "වෙන්න-නූතන" අර්ථයෙන් නොවේ.   ඉතිහාසයේ කැපකීරීම වර්තමානය හැඩ ගැස්වීමට කෙසේ බලපෑවාද යන්න පසක් කරලනු වස්, අප රටක් ලෙස, නැතිනම් ඊටත් එහා, ලෝකයක් ලෙස පසුගිය වසර සියය-එකසිය විස්ස පමණ කාලයේ කෙතෙරම් දුරක ප්‍රගමනයක් ලබා තිබේ ද යන බවට අපූරු කියවීමකි, මෙය.  සූර පරිවර්තිකයෙකු අතින් මෙම නවකතාව ඉංග්‍රිසීයට පෙරළී, ජාත්‍යන්තර මට්ටමේ ප්‍රකාශකයෙකු අතින් එළි දැක්වෙන්නේ නම් Man Booker International සම්මාන තරඟයක දී, හොඳ තරඟයක් දීමට  මෙම නවකතාව තුල විභවයක් ඇති බවකි, මගේ අවංක අදහස.

එක් අතකින් බලද්දි, නිම්නාගේ ඉතිහාසය යනු ම, නිම්නාගේ පරම්පරාවේ අය පමණක් නොව ලෝක වාසී නිම්නාගේ පරම්පරාවට පෙර විසූ සියළු දෙනා කල ඉමහත් කැප කිරීම් හෙතුවෙන් ( ඔවුන් "අප කැපකිරීම් කරම් හ", ආදි ලෙස සිතා එසේ නොකල බව සැබවි ), නිම්නා ගේ නිම්  පුළුල් කරමින්, තම දිවිය විඳීමට හැකියාව ලැබී ඇත.  අහම්බයකින්, නරක අතට නො හැරුනොත්, නිම්නාගෙන්  පසු පරම්පරාව, නිම්නාටත් වඩා හොඳින් ජීවිතය  විඳීමට නියමිතය. එසේ විඳීම, අද පවතින ආචාර ධාර්මික පද්ධතියේත් වඩා දියුණු තත්තවයක් තුල දී ය. හරාරි ගේ හෝමෝ ඩෙඔස් ( Homo Deus ) කෘතියේ ඔහු සංඛ්‍යාත්මක දත්ත මගින්,  අප මේ පසු කරමින් සිටිනුයේ මිනිස් ජීවිතය ගත කිරීමට වඩාත් ම ගුණාත්මක, යෝග්‍යතම කාලය බව පෙන්වයි.  ගෙවී ගිය කාලයක්, අතීතයක් ගැන සාංකාවක් අප තුල වූවද, ඇත්ත තත්ත්වය නම්, අද තරම් හොඳ තත්ත්වයක් මින් පෙර තිබී නැත. මෙහි, තරමක ප්‍රධාන මාතෘකාවක් වන ලිංගිකත්වය ආශ්‍රයෙන් බැලූ විට ද, ඇග්නස්ගේ ලිංගිකත්වය පිළිබඳ ව්‍යාකූලත්වය සහ ඇගේ එක් සොහොයුරෙකු ස්ත්‍රීන් කෙරෙහි වෙසෙස් ඇල්මක් නොපෙන්වීම, එම යුගයේ තිබූ නිදහසේ සීමාව පිළිඹිබු කරයි; ඔවුන් ට එකල එසේ නොදැනුන ද,  ඉන් යම් අසාදාරණත්වයක් ඔවුන් අත් විඳි බවය, සත්‍යය. මෙය ලංකාවට පමණක් ආවේණික තත්ත්වයක් නොවේ. ඔස්කාර් වයිල්ඩ් අස්වාභික ලිංගික චර්‍යාවන් නිසා සිර අඩස්සියට යන්නේ එංගලන්තයේ ය. ඊ. ඇම්. ෆෝස්ටර්, මෝරිස් නම් සම ලිංගිකත්වය උද්දීපනය වන අපූරු නවකතාව 1910 දශකයේ ලියා පළ කිරීමට මැලි වෙයි -එය පළ වන්නේ ඔහුගේ ඇවෑමෙන් 1970 දශකයේ ය. මෑතක අකල් ලෙස වියෝ වූ ජෝජ් මයිකල්, සමලිංගිකත්වය ගෙනෙන ගැටළු එම සමයේ විසඳාගත නොහැකිව තම දිවි තොර කර ගත් අම්මාගේ සොයුරා  පිළිබඳ My mother had a brother ගිතයේ පවසයි ( අසන්න "Patience - George Michael " ගීත ඇල්බමය, 2004 ); එම යුග දෙක ගැන ගැලපීමක් කරයි. නිමාන්ගේ ඉතිහාසය යනු මේ සියළු දෙනාගේ ඉතිහාසයයි. පසු ගිය වසර 120 ක පමණ කාලය තුල, මිනිසා වඩා විවෘත මනසකින් යුතුව, ප්‍රඥ්ඥාගෝචර ලෙස පමණක් නොව සංවේදී ව ( empathically ), ලෝකය වෙත බලන්නට පුරුදු වීමේ කතාවයි. මෙය අප රට තුල තවමත් සිදුවෙමින් පවතින දෙයක් බව සැබවි. එක්සත් රාජධානිය Brexit ඡන්දයෙන් ඊට පක්ෂව ඡන්ද ලැබීමට, ට්‍රම්ප් ඉතා තියුණු තරඟයකින් පසු ව පමණක් පරාජය ලැබීමත්, මේ රට වල ද මෙම තත්ත්වය ඔවුන් බලාපොරොත්තු වෙන තත්ත්වයට නැති බවට සාක්ෂිය.



නවකතාව අවසන් වන විට, කිසිවක් අවසන් නැත. කිම ද සියල්ල තවම සිදුවෙමින් පවති. ජාතිය, ලබ්ධිය, කුලය ආදිය වේගයෙන් යල් පැන ගිය ප්‍රමිතීන් බවට පත් වෙද්දී ( සහ ඒ වෙනුවෙන් කොමියුනිස්ට්වාදය කල මෙහෙවර ගැන පිළිගත යුතු අතර ම ), සමානාත්මතාව පසු කර නිදහස ම උත්තම ය යන කාරණාව පසක් කරලමින් නවකතාව අවසන් වේ. හරාරි, වැදගත් දෙයක් මතු කරයි ( එය ඔහුගේ මුල අදහසක් නොවීමට පුළුවන ). ධනවාදයේ සාර්ථකත්වයට එක හේතුවක්, ධනවාදීන් මාක්ස්වාදය කියවා තම අඩු පාඩු සාදා ගැනීම යන කාරණාවයි. ඔහු එය පවසන්නේ, උපහාසයක් ද සඟවා, "Marx forgot that capitalists know how to read.", ලෙස ය.  ඒ අනුව ඉතිහාසය විසින් අද දක්වා ප්‍රගමනයේ දී,  මාක්ස්වාදය ඉටු කල ඓතිහාසික කාර්‍යභාරයක් ඇත. දැන් අප ගත කරන්නේ නිදහසේ සහ පැවැත්මේ සූක්ෂම සංවේදිතාව දක්වා ශිෂ්ඨ වන යුගයකයි. එය ද අනාගත නිම්නා ලා බිහි කරනු ඇත. අමරලා ට ඇත්තටම අමරණීය වන තරමට දීර්ඝ ජීවිතයක් ගෙන එන්නට තරම් විද්‍යාව දියුණු වෙමින් පවති. ඒ සඳහා පර්යේෂණ දැනටත් සිදුවන්නේ, තරුණ ජවයකින් අවුරුදු 150ක් ජීවත්වීමේ සිහින දැකීම දැනටම ඇරඹී ඇති හෙයිනි.

 මා අන් කලා කෘති සහ සමාජ දේශපාලන කටයුතු ආශ්‍රයෙන්, මේ නවකතාව ගැන  යම් ඉඟිකිරීමක් කලේ, නවකතාව කියවන්න ට සිතා සිටින අයට බාධාවක් නොවෙන අයුරින් ඒ  ගැන   යමක් කීමට ය.

මගේ කියවීම අනුව නම්, හරාරි ගේ ලිවීම්, අප රට පසුගිය අවුරුදු 120 ක සමාජ දේශපාලන ඉතිහාසය සහ වර්තමාන ලංකාව, යන ප්‍රධාන සංඝටක එකතු කොට, ඉතා දක්ෂ ලෙස ගෙතූ වියමනකි, මෙය. යටින් දිවෙන දේශපාලන පණිවුඩය කලා කෘතියට බාධාවක් නොවෙන ලෙස, සියුම් හුයක් ලෙස ගෙන යාමට කතුවරයා මහත් පරිශ්‍රමයක් දරා ඇත. එය කෙතෙරම් සාර්ථක ලෙස කලා ද කිවහොත්,  එහි දේශපලාන ප්‍රචාරක බව ඇති-නැති සේය.  මා මෙය ඍණාත්මක අර්ථයෙන් නොපවසමි. කැමූ ගේ  සහ ඩොස්ටොව්ස්කි ගේ ශ්‍රේෂ්ඨ නවකතා වලද ඔවුන්ගේ සමාජ දේශපාලන අදහස්, සියුම් ලෙස ප්‍රචාරකව ඇත.


පොත කියවූ අය, මේ ඔස්සේ යම් සංවාදයකට එක්කාසු වන්නේ නම් වටිනේය.

2019 ප්‍රකාශ වූ නවකතා කියවීම - 9
ශ්‍රේණි ගත කිරීම: *****
පළමු/දෙවෙනි මුද්‍රණය - අහස
තෙවෙනි මුද්‍රණය - විදර්ශන





දෙවෙනි කොටස - සමීප කියවීමක උත්සාහය -  ( ඉස්පොයිලර් ඇල'ර්ටය /
Spoiler Alert )

මේ නවකතාව නොකිය වූ, එහෙත් කියවීමේ බලපොරොත්තුවෙන් ඉන්නා කියවන්නියන්,  මින් පහත කොටස   නොකියවා ඉඳීම සුදුසු ය.  ඒ, නවාකතාවේ සමහර සිද්ධීන් පිළිබඳ සංස්කෘතීක, සමාජ-දේශපාලනමය හෝ රූපකමය කියවීමක් උදෙසා,  පොත නොකියවූ කියවන්නියක ගේ කියවීමකට බාධා වන අයුරින් සමීපව සාකච්ඡා කොට ඇති හෙයිනි.

එහෙත් දැනටම පොත කියවූ අයට පවසනු වස්, මා මේ පොත වෙතින් ලැබූ ආශ්වාදය මගේ වචන වලින් කීමටත් , එහි ගැබ් වූ සියුම් තැන් මතු කරලීමටත් ඇති කැමැත්ත නිසා පහත කොටස ලියා දක්වමි. ඔබ නොදුටු දෙයක් මා දුටුවේ නැති වන්නට පුළුවන. එහෙත් පොතේ සාර්ථකත්වයේ මිම්මක් ලෙස, පහත කොටස ද එක්කාසු නොකර  සිටීමට මට  නොහැකි විය.

සිංහල නවකතාවට නැවුම් අත්දැකීමක් වන,  ලේඛකයා,  නවකතාවත් පාඨකයාත් අතර සුළු ඉඩක සිට පාඨකයා ආමන්ත්‍රණය මෙහි වෙසෙස් ලක්ෂණයක්. ඒ අනුව පළමු කොටස ට පෙරාතුව නිම්නාගේ ජීවිතයේ ප්‍රධාන පුද්ගලයින් යැයි සිතිය හැකි කිහිපදෙනා ගැන හෝඩුවාවක් පළමු පිටු දහයක් තුල අපට  ලැබේ. නිම්නා  1989/11/09 උපත ලැබිමත්,  කොළඹ මරදානේ පාසැලක 2008 දී උසස් පෙළ විභාගයට මුහුණ දි තිබීමත්, 2009 වසරේ තම පළමු රැකියාව අරඹා තිබීමත් වැදගත්.

පළමු කොටස ආරම්භයේ දී ම, තමන් ට කිසිදා මතකයක් නොතිබූ තාත්තා ත්, ඔහු කෙරෙහි ඇති බැඳීමත්, තාත්තා නැති අඩුව ත්, පාඨකයාට ප්‍රකට කොට ඇත. ඒ එක්ක ම , පාඨකයා අතීතයේ යුග දෙකකටත්,  වර්තමානයටත්  යෑමට සහ ඒමට  සූදානම් ව මෙම නවකතාව කියවිය යුතු බව පෙනී යයි. ඇරඹුමේදී, නිම්නාගේ ෆේස්බුක් ගිණුම ගැන කතා කොට, දෙවෙනි පරිච්ඡේදයේ දී ඇගේ වැඩිවිය පැමිණීම ගැනත්, තෙවෙනි පරිච්ඡේදය වෙද්දී නංගී වෙත ආල හැඟුම් පළ කල තරුණයකු වෙත අක්කාගේ දෑස යොමු වූ ඓතිහාසික සිද්ධියක් මගින්  නිම්නාගේ ආච්චිගේ තරුණ කාලය කියා පෑමත් මෙය සපළ කරයි. මෙම නවකතාව, අප රට දේශපාලන සංස්කෘතික ඉතිහාසයේ විවිධ නිනව් පසු කරමින් යන්නක් බවට ඉඟි දෙමින්, නිම්නා වැඩිවියට පත්ව වන කාලය වන විට භාතිය සන්තුෂ් සංගීත ලෝකය කැළඹ වූ බවත් මතක් කරමින්. එවක ට වයස 24ක-25ක පමණ තරුණයෙකු ව සිටි මට කිසි දා ඔවුන්ගේ සංගීතය විශේෂත්වයක් නොගෙනා බවත්, එකල අප මිතුරු තරුණියන්, භාතිය සන්තුෂ් ගේ සංගීතය ට කැමති වීමත්, ඔවුන්ගේ නොමද අප්‍රසදායට හේතු වූ බවද මතකයට ගෙන ආවේ අතීතාවර්ජනයක් ලෙසිනි. ඒ සමඟ ම වැඩිහිටි පරම්පරාවක් වෙතින් සිරස වෙත සපැමිණි අකමැත්ත ද, නවකතාකරුවා ආදේශ කොට ඇත්තේ ස්වභාවික අන්දමින් - වසර ගණනාවක්, ස්වාධීන රූපවාහිනියෙන් සහ ජාතික රූපවාහිනි නාලිකාවෙන් සිංහල ටෙලි නාට්‍ය නරඹා, ශාන්ති ලා අප නිවෙස් වල ආලින්දයටත්, ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද මන්දිරා බේඩි ලා ලංකාවට ගොඩ බහින්නෙත් ඔය ආසන්නයේ. එලෙසම, ඔය වන විට පෞද්ගලික  රෙදෙව් නාළිකා වල ට අවසර ලැබ,  ස්ථාපිත වී වසර 7-8ක් පමණ වෙනවා. SLBC ය විසින් ශ්‍රවණයට ලබා දුන් සීමිත සංගීතයෙන් මිදී, ශාන් වික්‍රමසිංහගේ TNL මගින්, බටහිර සංගීත ලෝකය වෙත වඩා විවෘත කන් ඇතිව සංගීත නිනවු ගවේශණයට මේ වන විට  අප යොමු වී හමාරය. බටහිර සංගීත ලෝලියෙකුට එය තරම් සතුටු දායක යුගයක් තවත් නොවීය.

ඉන් අනතුරුව එන වැදගත් විකාශනය,  ඇග්නස් ගේ චරිතයයි. ඇග්නස් පිරිමි හමුවේ  වික්ෂිප්ත වන්නේ ඇයි ? ඇය හා අමා මැණියන් අතර සබඳතාව කවර ගණයේ එකක් ද ? ඇය සයිමොන් චාලට් ට පිදුවේ පාරම්පරික සිතුවිලි වල පීඩනයෙන් ද ( අක්කා ගෙදර ඉන්දැද්දි නංගි මගුල් කෑම ), නැතිනම් සියුම්, ඇය ම නොදැන සිටි සමරිසි බවකින් ද? කෘතියේ මුල් අවදිය වන විට මේ ගැන පැහැදිලි නැති මුත්, මේ කාරණා දෙක ම මූලයන් ලෙස පාඨක සිත කොනිත්තයි - ලේඛකයා සාර්ථක ව මෙම කොනිත්තීම ඉඩ තනා තිබීම ඔහු ගේ දස්කම විය යුතුය. එහෙත්, සයිමන් ඇග්නස්  අසනීප වූ තැන ඈ බැලීමට ආ දින, චාලට් හැසිරිණු ආකාරයෙන් හා ඈ ගෙන ආ පීඩනය හේතුවෙන්, ඇග්නස්  ගේ සිතේ යම් ආශාවක නොමේරු අවස්ථාවක් හෝ තිබුණි නම්, එය ස්වභාවික ලෙස වර්ධනයට ඇති ඉඩ ඇහිරේ.  චාලට් ඇගේ මහළු වියේ දී, නිම්නා හරහා ඇග්නස් දැකීම මගින් ආතතියකට පත්වීම, ඇගේ වරදකාරී හැඟීමේ බලවත් කම කියා පායි. නිම්නා තම නවයොවුන් වියේ දී තමන් සමරිසි යැයි විශ්වාස කලාය. පණ්ඩුක සමඟ ඇගේ හැසිරීම , ඇග්නස් සිමියොන් ගේ ආගමනය ඉදිරියේ පෙන්වූ වික්ෂිප්ත බව හා සැසඳිය හැකිය. එකම වෙනස ඇග්නස්  ගේ සහ නිම්නාගේ යොවුන් අවදි අවුරුදු 50න් පමණ වෙන් වී ඇත. ඒ අවුරුදු 50 අතර කාලය හේතුවෙන් නිම්නා ට තම ලිංගිකත්වය පිළිබඳ යථා තත්තවය වටහා ගැනීමට ඇවැසි නිදහස, නූතන විවෘත සමාජය ඉඩ විවර දුන්නේය. එක අතකින්, ඇය රුසිරු ට ණය ය. ඒ,  "ඇය" සොයා ගැනීමට ඔහුගේ කල් මිණූ සියුම් ආදර බලහත්කාරකම හේතු වූ නිසා ය.  නූතන අවධිය පුද්ගලික නිදහස ඉදිරියේ අයෙකුට තමන් ව තමන් සොයා ගැනීමේ වඩා අවකාශයක් ඇති බව, කෞශල්‍ය,  ප්‍රකට ඇති අයුරු අපූරුය.

නවකතාව විටින් විට ඇග්නස් හා චාලට් ගේ කාලය ට යන්නේ, අප අසා නොතිබුනු  මෑත ඉතිහාසයේ සිද්ධීන් ද එළිදරවු කරමිනි. මෙහි එන ඉතිහාසය හා බැඳි සිදුවීම්  වල වැදත්කම හේතුවෙන්, ඊට මා එකතු කල ඌණ පූරණ ද, සහිත ව පහත දක්වමි;

i ) ග්‍රේෂන් ප්‍රනාන්දු ප්‍රමුඛව 1942 දී තමන් සේවය කල බ්‍රිතාන්‍ය හමුදාවට විරුද්ධව, සතුරු ජපන් පිළට දූපත භාරදීමට කල තැත, එවැන්නකි. ඇත්තෙන්ම, "කතුවරයා. ඔබ දන්නා කරුණකි" කියා අපේ දැනුම ගැන අධිතක්සේරුවක සිටියත්, මේ සිද්ධිය මා දැන ගත්තේ මෙම කෘතියෙන්.

ii) ධර්මපාලතුමාගේ අනගාරිකත්වයත්, මෙහි එන පොඩි අයියා දැනුවත් ව කිසිදු ගැහැණු ඇසුරක් නොපැතුවකු බවට ඉඟි කිරීම මගිනුත්, කතුවරයා සියුම් සමානකමක් ගැන සිතාගැනීමට පාඨකයා ට ඉඩතබා නතර වී ඇත. 

iii) එලෙස ම කාපිරි ගෙදර කතාන්දරයත් , "රෙදි මෝල" ආශ්‍ර්‍රිත එම පරිසරයේ රසවත් අතුරු කතාවකි. එය නවකතාවේ අනාගතයේ දිගැරෙන අතුරුකතාවකට කෙරෙන අපූරු ආයෝජනයක් වන්නේ, අවස්ථාව ලබා දෙතොත්, කෙනෙකු කෙතෙරම් දුරකට යා හැකි දැ යි  පෙන්නුම් කරලීම හරහා ය ( කෆිර් සිද්ධිය සහ ජෝ )

iv)  ඇග්නස් සහ චාලට් ගේ මව වූ මිලිනෝනා ගේ මායම්වීමත්, ඇගේ විවාහ දෙකත්, ඈ තම දෙවෙනි සැමියා සමඟ කිරුල්ලපොනට පැමිණීමත්, එහිදි එහි පදිංචිව සිටි දමිළ ජනයා සමඟ, වෙසෙසින් මුරුගේසු ගේ පවුල සමඟ පරම්පරා කිහිපයක් පුරා පැවති  සබඳතාවන් ද එවැනි ම රසවත් කතාවකි. 1983, "යකා වැසීම (?) " මගින්, එම පරම්පරා කිහිපයක් තුල පැවති ඒ සබඳතාවන් එතන් පටන් පරිහානියට පත් විය.

v) සුනිල් සාන්තයන් ගැන බොහෝ කතා අසා තිබුන ද, ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේ දියණිය වූ එල්නෝර් රැම්ස්බොතම් ගේ ප්‍රශංසනීය පෞද්ගලික ලිපිය, මගින් ඔහු වෙත ගෙන ආ අපහසුතාව, සරච්චන්ද්‍රයන් ඔහුගේ ගීත කන්තාරු ගී විලාසයකැයි හෙබි යැයි කීම හා යම් සබඳතාවක් ඇත්දෝ යැයි සිතිණි. 

vi) ඇග්නස් "විලේ මලක් පිපිලා"ගීතයේ, "අප ප්‍රේමේ මේ ලෙසම තබාගෙන සසරින් ගැලවෙමුකෝ", සහ "කිලුටින් පිරි මේ මනුෂ්‍යාත්මේ, කෙලෙසද සොඳ මලට වඩා", ආදි පද මගින් තම මනසේ ව්‍යාකූලත්වය හා සාම්‍ය වීම ද අපූරු ගැලපීමකි. මට මේ හා මතකයට නැගුනේ ගුණදාස අමරසේකරගේ මුල් කාලීන නවකතා වල කාමය විඳීමත්, ඒ හා ඒ පිළිබඳව ඇති වන පශ්චාත්තාපයත් අතර නොනිත් ගැටීමත් ය ( යළි උපන්නෙමි ). ඒ යුගයේ දැඩි ප්‍රචාරවාදි ආගමික නැඹුරුව හේතුවෙන්, තමන් පිළිබඳ එතරම් විශ්වාසයක් නොවූවන් ගේ පීඩනය පිළිබඳ අපූරු කියවීමක් මින් කතුවරයා මතු කරන බවට සිතිය හැකිය.

vii) නිම්නා ගේ උපත බර්ලීන් තාප්පය බිඳ වැටීම සමඟ යම් සේ සංකේතවත් වන්නේ ද ( එනම් අදහස් හා හැඟුම් අදහස් ඉදිරිපත් කරලීමේ නිදහස, ලිබරල් ජීවන ක්‍රමයේ ව්‍යාප්තිය ආදි ඇගේ ජීවිතයට ඍජුව ම බල පෑ සාධක ), 1958 අගෝස්තුවේ උපන් අමරගේ අකල් මරණය ද ඒ උපන් දිනයේ ම තීරණය වූවා වැන්න. ඊට බණ්ඩා-චෙල්වා ගිවිසුම, ශ්‍රී අකුර ගෙන ඒම ආදී ගිනි පුළිඟු, හේතු වූ පැහැදිලිය. මෙම නවකතාවේ විශේෂත්වය මෙවන් ගැලපීම් ය. ඓතිහාසික සිද්ධිදාමයක් හා ඒ ඔස්සේ ඊට අදාළ යුගයේ උපදින දරුවෙකු එම සිද්ධිදාමයන්හි ප්‍රතිවිපාකයන් විඳින  බව පෙන්වා ඇත්තේ, තම ආඛ්‍යායනයට බොහෝ විට කිසිදු පෑස්සීම් සලකුණක් නැති වන සේ ය,  සූක්ෂමවය, සුමටවය.

viii) ඉතිහාසය සබැඳි, එහෙත් තාර්කික සබඳතාවක් ගොඩනැගිය නොහැකි කරුණු අප ලේඛකයා මතු කර ඇති ආකාරය, පාඨකයාගේ සිත කලකට හොල්මන් කරවන සුළුය. ඇග්නස්ගේ දෙතොල් අසල උපන් ලපයත්, නිම්නාගේ එතැන ම වූ උපන් ලපයත්, පණ්ඩුක හා එම උපන් ලපය අතර "සිද්දියේදී", එක්වරම ඈ ට පණ්ඩුකගෙන් ඈත් වීමේ උවමනාව, පාඨකයාට ඊට වසර පනහකට පමණ  පෙර සිටි ඇග්නස් මතකයට නංවන්නට සමත් ය. එනම් භෞතිකත්වයේ සීමා වලින් ඔබ්බට වූ හුයක් පිළිබඳ ඉඟියක් මෙනි.

ix)  පහත සඳහන් දේශපාලන අවස්ථාවාදි කම ගැන කොටස මා සිත් ගත් හෙයින්, මෙහි සඳහන් කරමි. මෙහි 'ඌ' යනු JRය. සිද්ධිය 1983 සිද්ධිය ඇවිලීමට හේතු වූ JR ගේ භූමිකාවයි.

"මං හිතන්නේ ඌ තාම දන්නෙ නෑ ඌ කොහොමද වාසිය ගන්නේ කියල. සමහර වෙලාවට දේශපාලකයෝ අවුල් හදන්නෙ අවුලෙන් ගන්න වාසිය හරියටම දැනගෙන නෙමේ. අවුලක් හැම තිස්සෙම අලුත් දේශපාලන වියහැකියාවන් ගොඩක් නිර්මාණය කරන හින්ද. ඒ හින්ද ඌ වාසිය ගැන හිතන්නෙ අවුල හැදුවට පස්සෙ." ( 299 පිටුව )
දේශපාලනිකව, 1983 දී කෙතෙරම් පටු තැනක සිටියේ ද යන්න ගැන යම් පිළිඹිබුවක් broken palmyrah පොතෙන් කොටස් දෙකක් උපුටා පෙන්නුම් කරලීමට කැමැත්තෙමි.

ගාමිණි දිසානයක 1983 ජූලි මස පැවසූ යැයි සැලකෙන පහත වදන් වලින් පෙන්නුම් කෙරේ.

"If India invades this country, the Tamils will be killed within 24 hours." ( page 66 - The Broken Palmyra )

 ජේ ආර් ජයවර්ධන ජූලි 28 දින රූපවාහිනියේ ජාතිය ඇමතු අයුරු Broken Palmyra සඳහන් කරන්නෙ මෙලෙසය:

"...J.R. Jayawardena, spoke publicly for the first time on Thursday evening, justifying what had been done to the Tamils in South and central Sri Lanka, and uttering not a word of sympathy." ( page 65, ibid )

මා මෙම කොටස් උපුටා දැක්වූයේ, දේශපලඥ්ඥයා එදත් අදත් තිබෙන තත්ත්වයෙන් වාසිගත්ත ද, කාලය මැවු වෙනස අනුව 1983 දී ජේ.ආර්. ලා, ගාමිණි ලා කල කී දෑ, අද වෙසෙන දේශපාලඥ්ඥයන් කීම, ලොව බොහෝ තැන්වල සිතීමට හෝ නොහැකි බව පෙන්වා දීමට ය. ඒ අවුරුදු 37ක් පමණ මෑත කාලයේය. අද දෛනිකව ට්‍රම්ප් සිට, පූටින් සිට, ගෝඨාභය දක්වා දෛනිකව විවේචනයට ලක්වේ.  මුහුණු පොත රට වල ආණ්ඩු පෙරළු අවස්ථා දුලභ නැත.

x) මෑත කාලින දේශපාලන කතාවකට යොමු වන්නේ නම්, සුදු අයියා ගේ පාපොච්ඡාරණය, වරෙක විප්ලවීය වාමාංෂික පක්ෂයක සිට, මෑත ඉතිහාසයේ චණ්ද්‍රිකා ආණ්ඩු සමයේ ආණ්ඩුවට පක්ෂපාති ව ක්‍රියාකාරී වූ අයවළුන් ගැන කියවීමක් වැනි ය.

"මං දන්නව මං මැරෙන්න යන්නෙ කියල. ඒක කිසිම අභිමානයක් නැති මරණයක් කියල මං දන්නවා. මැරිලා කියල කවුරුත් දන්නැති, මරණ සහතික නැති, ෆියුනරල්ස් නැති මරණයක්. එහෙම මරණ දැන් හැම තැනම, මට එහෙම උන්ගේ අවතාර රෑට හීනෙන් පේනවා නංගි" (  134 පිටුව )

 නැවත නවාකතාවේ ප්‍රධාන ආඛ්‍යායනය වෙත යොමු වෙමි.

ඉතා මෑත ඓතිහාසික සිද්ධියක් වෙත යොමු වෙමි. නිම්නා ශිෂ්‍යත්වය සමත් ව මරදානේ ප්‍රධාන පාසැලකට යන්නේ 2000 වසරේ විය යුතුය. එනම් 2000-2009 කාලය, නැතිනම් ඈ ට තේරුම් ඇති, පාසැල් පංති ආදිය සඳහා යම් අවදානමක් ඇති ව හැසිරුණු කාලයකි. කාලයේ දී බෙදුම්වාදී කොටින් ගේ ත්‍රස්තවාදි ක්‍රියා වලට කොළඹ සහ දකුණේ අන් ප්‍රදේශ නතු වද්දී, 2008 පමණ කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානයේ දී අවාසනාවන්ත ලෙස ඈ හා සම වයසසැති,  ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ සිසුන් කිහිපදෙනෙකු මියයද්දී, ඒ පිළිබඳ කම්පනයක් ඈට නොතිබීට හේතුවක්  නැත ( ප්‍රභාත් ජයසිංහ කොළඹ බෝම්බයකින් මියගිය අවාසනවන්ත සිසුන් ගේ අවතාර වසර ගණණාවකට පසුව අවදිවීම අලලා අපූරු කෙටිකතාවක් ලිව්වේය; බලන්න 'හොකී විතවුට් ස්ටික්ස්' - මකර තොරණ ). තාරා සමඟ සැලෝනයේ සිටිද්දී දකින පුවත් හීනි පටියේ, 'මාවිල් ආරු මුදා ගැනීමේ මෙහෙයුමේදී ඊයේ දිනයේ ඇවිළි ගිය සටනින් මියගිය කොටි ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු විසිඑකක් අද දිනයේදී රතු කුරුස සංවිධානයට භාර දෙනු ලැබුවා', යන පුවත ඈ තුල හැඟීම් දනවන්නක් නොවීම ස්වභාවික වුවද, ෆාතිමා නිම්නා ට "අද ඔඳ දවසක්නෙ බබා. මේ දවස එනකං අපි කොයිතරං මලං ඉටියද ?" යයි පවසද්දි, නිම්නා ට ද එය සංවේදී නොවී තිබීම තරමක් අස්වභාවික ලෙස දිටිමි. ඒ, පෙර කීවක් මෙන්, ඈ ද යම් අවදානමක් විඳ තිබීය යුතු නිසාය. එහෙත් කතෘ ගේ වෑයම, 1989 බර්ලීන් තාප්පය බිඳුණු දවසේ උපන්, අවුරුදු 25ක් වෙද්දිත් දේශපාලනය ගැන වද නොවෙන ( ඈ ඇත්තෙන්ම බර්ලීන් තාප්පය යනු කුමක් ද කියා හෝ දන්නේ නැත), එහෙත් ඉන් පසු උදා වෙන නිදහසේ දරුවෙකු ගේ දේශපාලන සමාජ ඉතිහාසය කියාපෑමටය. ඇගේ පියාණන් වූ අමර, අකල් මරණයක් සමඟ උපන්නේ කෙලෙසද, එලෙසම නිම්නා නොහොත් 'නිමි', එම යුගය අවසන් කරන යුගයක දරුවෙකු බව සැල කිරීමේදී, කතුවරයා මේ විදිහ භාවිත කරන්න ට ඇත.

නව පරපුර ආගමික රාජ්‍යය නැඹුරුවක් වෙනුවට, ශිෂ්ඨ ලෞකිකවාදී ලොවක් වෙනුවෙන් පෙනි සිටින අයුරු පෙන්වා ඇති ආකාරයද, පණ්ඩුක වැනි අය ඊට විරුද්ධ වන ආකාරයත් අද දක්වා දිගැරෙන සාකච්ඡාවකි. ඒ අතරම, ඔවුන් සැම දෙනා  සියල්ල අමතක කොට සිකුරාදා දින සතුටු වන්නා සේම, "මොකද්ද මේකේ තේරුම", යන්න ද වරෙක වද දෙන ප්‍රශ්ණයක් ලෙස මතු වේ. විශූ ගේ වෙනස්වීම මගින් ද මෙය තරමක් දුරට පිළිඹිබු වේ.

 කෙතෙරම් නූතනත්වය, සමාජ සාධාරණැය ගැන විශ්වාස කලද, "නිම්නා-රුසිරු" සිද්ධිය හේතුවෙන් අරවින්ද තුල ඇතිවන "බිහිසුනු ඕම්කාරය", සාමාන්‍ය පිරිමි සිතක සැටි හා තමන් සමඟ ඇති ගැටුම සාර්ථක ලෙස ඉදිරිපත් කර ඇති අවස්ථාවක් ලෙස දකිමි.

වර්තමානය බලකරන, ළඟින්ම ආශ්‍රය කරන අය අතර අළුත් ආචාරධාර්මික කේතයක් ගැන අරවින්ද කියනා කොටස ද මා සිත්ගත්තේ ය. 

"ඒක තමයි අපිට සමහර එතික්ස් රකින්න වෙන්නෙ. මං ඔයාගෙ ෆෝන් චෙක් කරන්නෙවත් නත්තෙ ඒකයි. සමහර දේවල් දැනගන්න එකෙන් අපිට කිසිම වැඩක් නෑ නිමි" (559 පිටුව )

මේ ඔස්සේ, වර්තමානයේ එකිනෙකා වෙත වඩා විවෘත, වඩා අව්‍යාජ සබඳතාවන් හී හැඩයක් ගැන දළ අදහසක් කතුවරයා ගොඩ නගා ඇත. ඒ, සබඳතාවන් හි වටිනාකම් දන්නා මෙන්ම, එහෙත් මිනිසා වැරදි නොකරනා මිනිසෙකු නොවන බවත් පිළිගන්නා අයුරකිනි.

කතුවරයා, නිම්නා වන්දනා හමුවීමට යන මහල් සංකීර්ණයේ දී හමුවන රෝද පුටුවේ යන වයස්ගත කත, හා ඇය තල්ලු කරමින් එන තරුණිය තුලින්, අපට අවශ්‍ය නම් "මේ රහස් කවුළුවෙන් බලන්න" අවස්ථාවක් ද ලබා දී ඇත. එය අපූරු අවස්ථාවකි. ( 483 පිටුව )

සමාප්ත කරලීමට,

"මං හිතන්නේ සමානාත්මතාවට වඩා මිනිස්සු ආස නිදහසට නිමී." ( 659 පිටුව)

නවකතාවේ අවසන් වාක්‍යය ලෙස ද සැලකිය හැකිය.



No comments:

Post a Comment