Thursday 3 September 2020

ඈත දුර ඈත - ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද

 "You say you're lookin' for someone                         
Who will promise never to part
Someone to close his eyes for you
Someone to close his heart
Someone who will die for you and more
But it ain't me, babe
No, no, no, it ain't me babe
It ain't me you're lookin' for, babe"

මෙම ගීතය සුප්‍රසිද්ධ ගායක බොබ් ඩිලන් ගේ මා කැමති ගී ගොන්නෙන් එකක, කොටසකි. නවකතාවේ එක් තැනෙක, එම නම  නොදන්නා කතා නායිකාවගේ පැරණි පෙම්වතා මේ ගීය ඇය වෙනුවෙන් ගයයි. නොසිතා ම වුව, ගීයේ යම් අදාළත්වයක් ද ඇත. නවකතාවේ එක් ප්‍රධාන මාතෘකාවක්,  ඔහු හැර යාමෙන් පසුව අවුරුදු හතරකට වැඩි කාලයක් නැවත ඇය තමන්ගේ දිවිය යථා තත්වයට ගෙන ඒමට දරන වෑයමයි. එම කාලය අතරතුර ඈ  සුළු මොහොතකට, රැයකට යම් ඇසුරක් පතුව ද, දිගු කාලීන සබඳතාවනට, ආදරයට බිය විය. කතුවරිය, හොංකොං රටේ ජන ජීවිතයේ වේගය, ස්ථාවාර සබඳතාවනට රුකුල් නොදෙන ආර ගැන නොයෙක් දේ පවසයි.
මෙහි එන කෙටි කාලීන බැඳීම, අප රට බහුතරයකට නුහුරු වන්න ට පුළුවන; එහෙත් නිදහස් ජීවිත ගත කරන මිනිසුන්, කෘතීම කොටු තුල ජීවත් නොවෙති. කතා නායිකාවගේ මිතුරු මිතුරියන් ආශ්‍රයෙන් ද, ස්ථාවර සබඳතාවනට ඇති බාධාවන් පසක් කරයි. වාණිජ නගරයක් වන හොංකොං දිවි පැවැත්ම, එහි අනේක අවස්ථාවන්, සන්නාම නම් රැගත් බඩු භාණ්ඩයන්, සුර පුර සැප විඳිනා අය මෙන්ම, බලු කූඩු වන් කුඩා පෙදෙස් වල ජීවත්වන පීඩිත පංතිය ආදි බොහෝ දිසාවන් අලලා මෙම නිර්මාණය බිහි වී ඇත.

මෙය කියවාගෙන යන අතර, මෙහි ශානරය පිළිබඳ සහෝදර පොත් කියවන්නියන් අතර වාද ඇති විය. අයෙක් මෙය චික්-ලිට් ( chick-lit), හෙවත් තරුණියන් ට ආකර්ශනය වන ආරේ මාතෘකා මත ලියැවුන්නකයි පැවසීය. එම ශානරයේ පොත් මා කියවා නැති හෙයින් මට ඒ ගැන යමක් කිව නොහැකි ය. යෞවනියන් ට ආකර්ශනීය වන ප්‍රේමනීය, සරාගී ජවනිකා මෙහි ඇති බව සත්‍ය වුවත්, ඒ තරම් ම බරක් හොංකොං දිවි පැවැත්ම වෙනුවෙනුත් වැය කොට ඇති බවකි මට නම් හැඟී ගියේ. එනයින් මෙය chick-lit ලක්ෂණ වලින් හෙබි වුවද, කතුවරිය ට හොංකොං වන් වාණිජත්වයේ ඉහළට ම නගුණු රටක දිවි පෙවෙත කතාකරනා නිර්මාණයක් බිහි කරලීමේ උවමනාව ද තිබූ බවකි මට හැඟෙණුයේ. 

2018 වසරේ ප්‍රකාශ වූ කෘති කියවා අහවරයි යැයි සිතා සිටි අවස්ථාවක, කියවීමට කරූණු යෙදුනෙන් මෙය කියවීමි. වේගයෙන් කියවාගෙන යාමට රුකුල් දෙන සරල ආරකින් ලියා තිබුන ද, කතුවරියගේ ලිවිමේ ශෛලිය පැහැදිලිය, බස නිරවුල් ය.  එය ආඛ්‍යායන ගලා යාමේ වේගයට රුකුලකි. නවාකතාවේ ස්වභාවික ගලායාමේ වේගය ට අනුකූල ලෙස පිටු 372ක් පුරා ඇදුන ද, එය මීට වඩා තරමක් සංක්ශිප්ත වූවා නම් හොඳ යැයි සිතෙනුයේ, මෙහි එන සමහර විස්තර අත්‍යවශ්‍ය ද යැයි හැඟුණෙනි. ඉංග්‍රීසියෙන් මෙම ආරේ නවකතා අනේක ලියවී තිබෙන්නට පුළුවන. එහෙත් සිංහලින් ලියැවුණු මේ ආකාර කෘති අතර මෙය ඉදිරියෙන් ම තිබෙනු ඇතැයි මා අනුමාන කරමි. ප්‍රමුඛ ලෙසින් සිංහලින් කියවන්නියකට, සරල පෙම් කතාවකට වඩා ඉදිරියට ඇදෙන, විටෙක සබැඳියාවන් ගැන සිතන්නට තුඩු දෙන කෘතියකි.

***1/2
නවකතා - 2018
විදර්ශන ප්‍රකාශනයකි

No comments:

Post a Comment