Friday 31 January 2020

දස බිම්බරා - එරික් ඉලයප්ආරච්චි


ඉලයප්ආරච්චිගේ කවිය මා පළමු වරට කියවූයේ ඔහු ගේ "පිත්තල හන්දිය" සහ "මගේ කොළඹට හඳ පායයි" යන කවි පොත් දෙක හරහා ය. අනතුරුව "කේ. කේ." කාව්‍ය සංග්‍රහය කියවා රස වින්ද ද,  "කපුටා සහ සිටානෝ" කාව්‍ය සංග්‍රහය ත් සමඟ, ඔහු ගේ කවියෙන් ඈත් විය. ඉන් අනතුරුව කිය වූ එලියට් ගේ "wasteland" කාව්‍ය පිළිබඳ  එරික් ගේ අපූරු විග්‍රහයත්, අමරකීර්ති ඔහුගේ "නව කවි සලකුණ" තුලින් එරික් ගේ කවිය කියවීම ත් හේතුවෙන්, යම් එළියක් ලැබ මෙසේ නැවත එරික් ගේ කවිය කියවීමට පිවිසෙමි. ඒ ඔහු 2018 ප්‍රකාශ කල දස බිම්බරා නම් කාව්‍ය සංග්‍රහය තුලිනි.

2018 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන් සැලකුවහොත් එ වස ප්‍රකාශ වූ ලක්ෂාන්ත ගේ අනබිසෙස් අනබිනික්මන් සහ නන්දන ගේ ක්ෂණ නියාම රස වින්දෙමි. මේ දෙදෙනාම සාමාන්‍යයෙන් මගේ ප්‍රියතම කවීන් දෙපළක් වෙතත්, මේ සංග්‍රහයන් දෙක ම මාගේ සිත් ගත්තේ මද වශයෙනි ( මේ සංග්‍රහයන් ගැන මගේ අවියත් කියවීම් අන් තැනක ඇති ). සනත් බාලසූරියගේ කැෆ්කියානු වංකගිරිය සහ රංජිත් මල්ලියාවඩුගේ සහෝදර මුහුණවර තවම කියවීමට ඉතුරුව ඇත. එහෙත්, මෙතෙක් කියවූ 2018 කාව්‍ය සංග්‍රහයන් අතරින් මා සිත් ගත්තේ එරික් ගේ දස බිම්බරා ය.

කොළඹ අප කවියා ගේ කවදත් ප්‍රියතම මාතෘකාවකි. මෙහි දී ත් ඔහු කොළඹ ගැන අපූරු පබැදුම් කිහිපයක් කරයි. සිංහල අවුරුද්දට පාළු වූ කොළොම් පුර එරික් දකින්නෙ බොහෝ ගැහැට විඳ විඩා හරින ගැහැණ්‍යක ලෙසටය ("කොළඹ සිංහල අවුරුදු නැකැත් පත්‍රය ")

"රතු පාට සාරි පොට දිසෙයි කයිමන් දොරට
ගරාවැටෙනා මුහුණ මරදාන බිල්ඩිමක
...

අන්න අර වටරවුම ළඟ ඇගේ පුළුලුකුල
බුලර්ස් පාරේ අඳුර විය යුතු ය වසාරොද
දුටුවා ද ටොරින්ටන් බ්‍රෙසියරය දමා ගිය
යටසාය බිම වැටී කාක දූපත අසල"


මෙහි එන "චිත්‍ර පොතක දුටු මගේ නග්න චිත්‍රය" කාව්‍යය ද මා රස විඳි  එකකි. මිනිසා උපතේ සිට ගෙනෙන උරුමයක්, කරුමයක් මෙන්ම ජීවිතයේ කේන්ද්‍රීය ම කාරණාවක් වන ලිංගිකත්වයට එන ආගමික තහංචි පිළිබඳ අප කවියා සියුම් ව ප්‍රශ්ණ කරයි.

"ඒ තහනම් ගසේ ගෙඩිය අතින් මුවට ගත් දෙදෙනා
ලොවට රැගෙන ආ නිරුවත උරුම කළේ දුකට කිරිය
නිරුවත හා තහනම් ගස එකට බැඳී තිබුණු බැවින
ලැබෙන නො අඩු සතුට පිණිස නොවිතර දුක් විඳිය යුතුය"

"කොකුන් දහස සිතේ බඳින
පරණ කුරුලු ඔරලෝසුව
දැන් වරදියි කටු කැඩිලා
රෑට දුවන වේලාව ද"
කොකුන්ට වේලාව වැරදී ඇත්තේ රාත්‍රි කාලයේ කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයේ රාත්‍රී දිප්තිය නිසා  ය. කවියා "පාර වරදින කුරුල්ලන්ට" මගින්, චිරාත් කාලයක් සමවැදී සිටි ජීවන චක්‍රයකට සිදුවන පීඩාවන් පද්‍යයට නගයි.

මුතුරාජවෙල ගැන තවත් කවක් අපට හමු වේ ( මුතුරාජවෙල වගුරු බිම) එහි කවියා මතු කර දක්වන්නේ, වරින් වර එන දුම්‍-රියහේතුවෙන් මිස අගනගරයට ඉතා ආශ්‍රිත් වුව නොවෙනස් වන වටපිටාවක් බවකි.
"දුවන කල අන් පෙදෙස් කඩිමුඩි
කාලයේ පරතෙරට නොලසින්
මෙදෙස ලඳු දෙණි වගුරු නතරව
සිටින්නේ දුම්‍-රියක් නො එතොත්

තවම පැදුරට පැරණි පන් කොළ,
නෙළයි ගැමියෙක් පිළිමයක් සේ,
කාලයේ විල් තෙරින් මතු වී
බිලිය ඈතට දමයි තවකෙක්"

අප රට ගම්බද සිරියාව ගැන අප පාරම්බෑවද, දෛනික පුවත්පත් වල සුළු ආරවුල් හේතුවෙන් ඇතිවන හදිසි කෝපයට ළඟ ඇති ආයුධය ගෙන සැහැසි වන අවස්ථා ගැන කොතෙකුත් වාර්තා වේ. අප කවියා හෙප්පුවේ තැබීමට  පුවක් රැහීමට ගන්නා "පිටිසර මුවාත" හදිසි කෝපය ඝාතනායුධයක් වන අයුරු කවියට නගා ඇත.

"නුවණ ඉවසුම දෙකම නොදත් පිටිසර පිහිය
නඩු බඩුව ලෙස යැවෙයි ඉහළ අධිකරණයට
නොසැඟවුණු පිහි මුවත මිනිමැරුමක වරද
පිළිගනියි නොතකමින් හරස් ප්‍රශ්න ඇසෙන"

අමරකීර්ති, එරික් අරඹයා පවසා ඇති එක් කාරණාවක් නම්, ඔහුගේ කවිය දැන් දැන් වඩා වියතුන්ගේ ගෝචරයට ම වඩා සුදුසු ලෙස රචනා වෙන බවකි. මෙහි එන සමහර කවි පිළිබඳ දළ අදහසක් ඇති වෙතත්, එය සම්පූර්ණයෙන් වැටහුනේ ද යන්න ගැටළුවක් වන අවස්තාද විය. අමරකීර්ති සඳහන් කරන්න ඇත්තේ මෙවන් අවස්තා පිළිබඳව බව සිතේ. "කවියකුට කවියක්","කුරුල්ලා", "ආමර් හන්දියේ අනතුරක්"  වන් කවි ඊට නිදසුන් ය. එනමුදු ඉහත උපුටනු ලැබූ කවි වලට අමතරව,  "ආනන්ද ප්‍රශ්ණය", "කැඩෙන ටවුම",  "වන පෙතක් උඩින් යන බැලූනයක සිට" ආදී අපූරු කවි රැසක් මෙහි ඇත.

අපි එදිනෙදා ඇස ගැටෙනා කොළඹ, වෙන්දේසි ඉඩම්,  අනේක කලාකරුවන් (මෙහි පරාක්‍රම කොඩිතුවක්කු, ඈන් රණසිංහ ගැන කවි වෙයි), අප වට කරා නැගෙනා සංවර්ධනය ආදී අනේක දේ එරික් ට කවි නිමිත් වේ. ඔහු ගේ කවිය තුලින් අප වෙතින් වඩා සූක්ෂම බැල්මක් ඉල්ලා සිටින්නේ අප වටා තිබෙනා, නොතිර ලෝකයේ අප දෑස් ඉදිරිපිට සිදුවනා වෙනස් කම් වෙතට ය්. තැනින් තැන හේ, රූපකයට සැසඳීමට ඉතිහාසයට සාහිත්‍යයට දර්ශනයට නැඹුරු වෙයි - එහෙත් ඔහු ගේ කවිය සමස්ත ලෙස වර්තමානික ය. එහි යම් නො ඇලුණු බවක්, සාංකාවෙන් තොර බවක්,  කඳුලින් තොර බවක් වෙයි. මේ ලක්ෂණ ඔස්සේ එරික් ගේ කවිය හා එලියට් ගේ කාව්‍ය රටාව අතර යම් සමානකමක් මාගේ අවියත්  දෑසට පෙනෙන්නා සේ ය.

No comments:

Post a Comment