
නිදසුන් කිහිපයක්;
"අයිනක ඉඳන් මැද සිදු වෙන දේ උගෙන
උගතෙකු ලෙසින් මැදටම ආ අද දවස
හැම හරි මැදම අයිනක් සේ දැනේ මට
එවිට මට පෙනේ ඒ මදහස එළිය
ඈ මුව කමල රැඳි ඉඟිබිති බැබලීම"
(අයිනා )
මෙය මට අපූරත්වයෙන් පිරි කවියකි. එක් අතකින් එය දර්ශනයෙන් සපිරිය; අනෙක් අතින් සුන්දර ගුරුතුමිය වෙත සිත් බැඳීම කාව්‍ය ට සෞන්දරත්වයක් ගෙන දෙන අතර, උගත්කමේ පෙනෙන නොපෙනෙන මාන්නයක් ද ඇතැයි හැඟේ ( එය ද නිර්ව්‍යාජත්වයේ ම කොටසකි ).
"හඳ වුණත් හොඳට ලොකු උණ පෝ දාක
ලපයද ලොකුම වෙයි පුරහඳ පළුදු කර
හාවයි කියා හොඳ වචනෙන් නම් කළද
කැළල කැළලමයි මෝරයි හඳ සමඟ"
( ෆොටෝ දෙක )
ආදරයේ තියුණු අවස්ථාව ඊරිසියාවක් හා බැඳී තිබිම හා නොනිත් කෙනිත්තිල්ලක ලබැඳියාව අපූරුවට ග්‍රහණය කල කවියකි.
කවියා වරෙක නොව දෙවතාවක ම සාර්ථකත්වයේ ණය උගුල හෙවත් තොණ්ඩුව ගැන විස්සෝප වෙයි ("දඬුවම" ද මේ ආරේ කවි පංතියකි ).
"මල්ලි ඔබ කියන්නත්
පොලීසිය කියන්නත්
කලින් මම දැන ගතිමි
කාර් එක ගෙනාදාඉඳන් මම දැන ගතිමි
වැරදි කාරයා මමයි."
(මංගලාලා)
මේ තරමක් දිග කවි පංතියේ කතාව වනාහි ත්‍රි රෝද රථයක් හා ගැටීමේ සිද්ධියත්, ඒ රථ හිමිටත් අප කවියාටත් එකම නමින් දියණියන් සිටීමත් ය. මෙහි දෙ අර්ථයන් නිරූපිත යයි සිතමි. එක් අතකින් කවියා ගේ හීනමානය හා මුසු වරදකාරි ස්වභාවයයි; අනෙක් අතින් අප රට බහුල කුහකත්වයයි ( මෑතක හදිසියේ සුදු ඉරක් මතින් පාර පනින්න දැරූ අයෙකු, මා වැරෙන් තිරිංග යොදා රථය නතර කල කර, වීදුරුවට පහරක් ගසා ගියේ ඔහුගේ සිතැඟි මා කලින් නොදැන සිටි නිසා ය )
මා සිත් ගත් තවත් කවි පංති කිහිපයක් නම් "ටෝච් එළිය", "තාත්තගෙ හුණුපාර", "ආයෙත් ඇතොත්" ය. එනුමුදු සමස්තයක් ලෙස බහුල කවි පංතීන් රස විඳි බව ට ද කිව නොහැක. බසේ රළු බව වසාලමින් අව්‍යාජත්වය මතු වන විට එහි අපූරත්වයක් දුටුව ද, එලෙස කම්පනයක් නොවන අවස්ථාවන් වල බසේ ඇති සාමාන්‍ය බව කාව්‍යයන් ට බරක් ලෙස මට දැනුනි; ඒ මා අලංකාර කවිකාර බස ට ප්‍රිය හෙයිනි ( නිදසුන් - ලක්ෂාන්ත අතුකෝරාල ; මංජුල වෙඩිවර්ධන ; නන්දන වීරසිංහ )
එහෙත් යම් සුවිශේෂි මෙන් ම අනන්‍ය කවි පංති කිහිපයකින් සුසැඳි සංග්‍රහයකි.
කාව්‍ය
ශ්‍රේණිගත කිරීම ***1/2
No comments:
Post a Comment