Friday 2 February 2018

දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා - මංජුල වෙඩිවර්ධන


2016 වසරේ හොඳම කෙටි කතාවට හිමි රජත සම්මානයෙන් පිදුම් ලත්, මංජුල වෙඩිවර්ධනයන්ගේ "දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා" නම් වූ කෙටි කතා සංග්‍රහය කියවීමි. වෙඩ්ඩාගේ පොතක් කියවීම යනු - එය නව කතාවක් වේවා, කෙටි කතා වේවා, කවි වේවා බාසාවේ රමණීය වූත්, නව්‍ය වූත්, කාව්‍යමය වූත් ඉසවු තුල අතරමං වීමකි. ඇතැම් කියවන්නියක් මේ අතරමං වීම කියවීම නම් සංචාරය ට අයුතු බරක් එක්කාසු කරන්නේ යැයි සිතන්නී වුව, මට නම් කියවීමේ අභ්‍යාසය වඩා උනන්දු කරන්නකි. එසේ වුව, මේ කෙටිකතා එකතුවේ වෙඩ්ඩාගේ සුපුරුදු බාසා හරඹ අඩුය. ඒ ඔහු තැනෙක නූතන නාගරික සිහළ බාසාවේ  භාවිත විකෘතියකින් ලියැවී ඇති නිසා ය.

මේ කෙටි කතා කියවන්නියක ට රත්මලාන වූ කලි මානවකයන් හට මානවිකාවන් හා යහමින් සංවාසයේ යෙදීමට සුදුසු අවකාශයක් ලබා දෙන "රමණීය" පෙදෙසක් ලෙසත්, ඒ පෙදෙස නිතැතින් කංසා ධූම වළාවකින් වැසී ඇත්තේ යැයි සිතුනොත් එය පුදුමයක් නොවේ. මෙහි එන පළමු කෙටි කතාව වන්නේ "පාන්දර වනතුරුම අද රෑ" ය. එහි තම තනි මව ගේ තනිකම පිළිබඳ විවෘත අදහස් රැගත් පුතෙකු,  තවත් මවක් හා දුවක් අතර සපත්නි රෝෂය ඇති කරන්නේ පමණක් නොව,  අන් නිත්‍ය පෙම්වතියක් සමඟ ද කල් ගෙවන්නේ ය. රත්මලානේ බොහෝ පෙදෙස් අතර ගැවසෙන කථක තෙමේ ඒ විස්තර තුලින්, කතාවට රසවත් බවක් ගෙන එයි.

ආදම් හමුවීම වූ කලි මෙහි එන කංසා මතේ උච්චතම අවස්තාව ය. රත්මලානේ අග මුල ගැන දිගැරෙන්නේ අප රට ගහක් ගාලේ රාවණාවන් දකින්නන්ට ටොක්කක් ද අනිමිනි. පසුව සමනල මුදුනට පහළින් කථක ට ආදම් හමුවන්නේ, ඒවා කොහේදෝ යන්න ආදම් ට ද ප්‍රහේළිකාවක් බව පෙන්වා දෙමිනි.තම මිතුරු "සමනලුන්" සමඟ පද්මේ වඳිනට යන අතරේ ඔවුන්ගේ භක්තිය වඩනා කියුම් හමුවේ අප කථක සමනලයාගේ මේ පාපොච්චාරණය මා සිත් ගත්තේ ය:
"දසබලධාරි චරිතයක් අබියස වුව  මතුව ආයේ මගේ දසකම වන්නට පිළිවන... සිරිපාදේ පියාඹන සමනල් රෑනක් අතරතුරත් පිටස්තර බවක් දැනෙන්නට මා කළ කුණු පව කුමක්ද ? මගේ කතෝලිකකම ද?" ( 54 පිටුව )

මෙහි එන "ඔහු සූප්පුව උරන එක නැවැත්තුව", කියවීමට වඩාත් ප්‍රයත්නයක් දැරිය යුතු වූත්, මීට කෙටි කලකට පෙර කියවා හමාර කල කේ. කේ. සමන් කුමාරගේ  ආකස්මිකතාව සංග්‍රහයේ එන බොහෝ කෙටි කතා මතකයට නගන්නා වූ කෙටි කතාව ද විය. එහෙත් එහි එන බොහෝ වියුක්ත කොටස් ඔස්සේ බොහෝ ගමනක් කියවන්නියට  යා හැකිය.

"විප්ලවීය කෙට්ටු අතක ස්පර්ශය", මෙහි එන ඉතා රසවත් කෙටි කතාවකි. සංවාසයේ යෙදීම ඉඩ ප්‍රස්තා පිළිබඳ ඉතා බහුලව තිබුන ද,  මෙහි අප රට ප්‍රධාන විප්ලවකාරී පක්ෂයක් ගැනත් ඉතා සියුම් ව ලියැවී ඇතැයි හැඟේ.
"ඩෙනිම කියන්නේ ඇඳුම් කන්දකින් තෝරගන්න තවත් එක ඇඳුමක් නෙවෙයි. ඩෙනිම කියන්නෙ විලාසිතා ප්‍රජාතන්ත්‍රකරණයට ලක්වුණු සංකේතය." ( 112 පිටුව )
මට මෙහි එන පිලුප් මහතාගේ චරිතය ඉලයප්ආරච්චිගේ  විතණ්ඩ සමයේ මාඕ මාස්ටර සිහි ගන්වයි. චන්දා සහෝදරයාගේ කියුම් ද රසවත් ය:
"සංවිධානෙ, මේ විදිහට නොබොන කම්කරුවො තෝරන්න ගත්තොත් අපිට කිසිදාක ශක්තිමත් කම්කරු පදනමක් හදාගන්න බැරුව සහෝදරය... බොන්නැති කම්කරුවෙක් කියන්නෙ අන්තිම කුහකයෙක්." ( 125 පිටුව )
නිරායාසයෙන්, අප රට ප්‍රමුඛතම විප්ලවීය පක්ෂයක ඉහළ පෙළ නායකයකු බීමතින් යැයි සැක සහිතව රිය අනතුරකට නතු වූ අයුරු ද, මෑතක කාන්තාවන් හා මත්පැන් පිළිබඳ නීතයක් වෙනුවෙන් එම පක්ෂයේ ම නායිකාවක් හඬ නඟූ අයුරු ද, එම පක්ෂය වෙනුවෙන් විවෘතව පෙනී සිටින ප්‍රධාන පෙළේ ලේඛකයකු අප රට මත් පැන් භාවිතාව පිළිබඳ ලියූ නිරවුල්, රසවත් ( එහෙත් පුරුදු පරිද්දෙන් එම පක්ෂය හැර ගිය අයෙකුගේ බිරියකට ටොක්කක් ද අනිමින් - හේ ලිවීම තරමට ම ටොකු ඇනීමට දක්ෂය ) ලිපියක් ද මා මතකය ට ගෙන ආවේ ය.

දුස්ටකමේ සවුන්දර්ය වූ කලි මා මෙහි කියවූ රසවත් ම කෙටි කතාව පමණක් නොව  ප්‍රමුඛතම කෙටිකතාව යැයි ද සිතමි. නාගරික, නූතන, තරුණන් භාවිත කරනා විකෘති බසකින් ලියැවී ඇති මෙය, ඒ නිසා ම යම් සාහිත්‍ය ලකුණක් නියෝජනය කරයි. නිදසුන්:
"හුකා. අන්න  අරූ වැටුණා කන්දෙන්, අන්න එල්ලුණා. මෙන්න මේ මෝඩි. මේකි එනව කන්දෙ අයිනට මූව බලන්න. යකෝ මේකි දන්නැද්ද මුගෙ වසලකම. හයියෝ පික්ෂී. අන්න සාරුකයා එල්ලුණා මදුරිගෙ සිරි පතුළෙ. මූ නම් මාර ජල්තර් පොරක්...." ( 147 පිටුව ) මේ කෙටිකතාව දිගැරෙන්නේ අන්ජාම් නම් හිංදී චිත්‍රපටිය හා සමගාමිව. හින්දි විත්‍රපටියක් හා සබැඳි යැයි දැන ගත් විගසම මා මේ කෙටි කතාව මා ප්‍රිය බිරිය හමුවේ  කියවූයේ මා දන්නා අන්ජාමයක් නැතිමුත් ඇය අනිවාර්යයෙන්ම එය බලා ඇතැයි සිතූ නිසාත් ය. කථකයා ගේ පුරාජේරුව කෙසේ වුව හේ අවසන පරාජය වී ඇති බවත්, එය විත්‍රපටි තේමාව හා සමගාමි බවත් වටහා ගතිමි.

"බුනීල පෙති සුළඟෙ ගියා" කෙටි කතාව ද තරමක් වෙනස්, ළඟින්-ළඟින් කතා නැම්ම කිහිපකින් හෙබි රසවත් කෙටි කතාවකි. ඒ තුල කියවෙන අපූරු පුරුෂ දර්ශනයක් ද වෙයි.
"ඌ අවුරුදු විසිපහ වෙද්දි ජීවිත කාලෙටම ඇතිවෙන්න හැමිනිච්ච් එකෙක්... ඒ හින්දා ඌට ඇරියස් එකක් නෑ.. මං ඒක ඉර හඳ වගේ දන්නවා ඩයා... ඒ හින්දා ඇරියස්කාරයො වගේ සමාජයට වෛර කරකර.. පිරිමින්ට ඊර්ෂ්‍යා කර කර සරුපයෙක් වගේදෂ්ඨ කර කර... ඒ අතරේ ගෑනුන්ට බොරුවට සෙවල පෙර පෙර... දුක්විඳින්න දෙයක් ඌට නෑ මචං..." (167 පිටුව )

සමස්තයක් වශයෙන් රසවිඳි කෙටිකතා සංග්‍රහයක් වුව වෙඩ්ඩා ලොකු වැඩක් අතරතුර ලියූ කුඩා වැඩක් යැයි නොසිතෙනවා නොවේ. කලකින් ඔහු ඔහුගේ ප්‍රමුඛ දේශපාලනයෙන් තොර ඉදිරිපත් කල ඇති රචනා කිහිපයකි. " විප්ලවීය කෙට්ටු අතේ" යම් දේශපාලනයක් වූව ද, මා ඇඟවූ දේශපාලනය එය නොවේ. මෙහි තරමක හෝ "වෙඩිසිරිතක" අසිරියක් ද රැගත් යැයි ද සිතේ. සිංහල කෙටි කතා කියවන්නියක් කියවිය යුතු ම සංග්‍රහයකි.

No comments:

Post a Comment