Sunday 18 February 2018

හඳුන්මල් කඩුල්ල - සේන තෝරදෙනිය

"මට මතක් වෙනවා සුද්ද තැලූ පෙළු හැටි
අපි කතා කලේ පන ගැහි ගැහි දණින් වැටී..."
( පද - නිමල් මැන්දිස්; ගායනය - නෙවිල් ප්‍රනාන්දු; නීලා වික්‍රමසිංහ )
"පේරදෙනියෙ ඉස්ටෙසමේ ටිකැට් දෙන", නම් වූ කෙටි කතා සංග්‍රහයේ "වන්දනාකාරයෝ" නමින් කෙටි කතාවක් වෙයි. එහි එක්තරා බෑනෙකුගේ හදිසි වියෝව උහුලා ගත නොහැකි වූ මාමණ්ඩිය, මෙසේ හඬා වැටේ:
"මයෙ පුතේ... මයෙ යෝදයා... මයෙ පරපුරේ යෝදයා... යෝද බල.... යෝද දහිරිය තිබිච්චි උඹට මොකද මේ උණේ? මයෙ යෝදයා... මයෙ කඩොල් ඇතා... ඇයි මේකව ඉතුරු කරල මට දඬුවම් නොකෙරෙව්වේ? "
තෝරදෙනිය විසින් 2016 ඔක්තෝබරේ අග ලියා පළ කල හඳුන්මල් කඩුල්ල නම් වූ කෘතියේ 318 පිටුවේ මාමණ්ඩියක් තම ප්‍රියතම බෑණන්ඩියගේ හදිසි වියෝව නොඉවසන්නේ, මෙසේ ලත වන්නේය:
"මයෙ යෝදයෝ! උඹට මැරෙන්ට තෝපරේටම එන්ට සිද්ද උණා! මයෙ පරපුරේ යෝදයා! යෝද බල යෝද දහිරිය තිබිච්චි මයෙ කඩොල් ඇතා! ඇයි දෙයියනේ මෙහෙමත් කෝප වෙලා මයෙ කඩොල් ඇතාට දඬුවම් කෙරුවේ?"
වෙනස ඇත්තේ කෙටිකතාවේ සහ නවකතාවේ, මේ කියනා බෑණන්ඩියලාගේ මරණයට හේතුන් තුල ය. මෙම නවකතාවේ මුඛ්‍ය කාරණාව ලොකු බණ්ඩාර නොහොත් දෙනිහතේ රාළ නොහොත් වෙඬරුවේ බන්ඩා නම් වූ පාංශුදේහ දාරී පුරිසයා, වන්දනාගමනක් අතර හදිසියේ අවුරුදු තිස් හතරේ දී මිය ගියේ කෙසේ ද යන්න ය. සියළුදෙනාගේ සිත් ගත් පුද්ගලයෙකු වන ලොකු බණ්ඩාරගේ මරණය පරම්පරා තුනක් අතර ම රහසකි. පාතදුම්බර නම්බුකාර පරම්පරාවකින් පැවතෙන්නෝ, මෙකී ලොකු බණ්ඩාරගේ අකල් මරණය පිළිබඳ නිවැරදි විස්තර නොදත්තෝ, දැනුම් දී තිබුණු නිල හේතුව තුල යම් පමණ ලජ්ජාවකට කාරණා ඇත්තේ, පවුලේ වැඩිහිටි කිසිවෙක් මේ මරණය ගැන දොඩමළු නොවුවොය. ගුත්තිල නම් වූ, ලොකු බණ්ඩාර ගේ මුණුබුරා ට ද, සුසිරිරත්න බණ්ඩාර වෙඬරුව නම් වූ ඔහුගේ පුතුණුවුනට ද, ටිකිරි බණ්ඩාර නම් වු ඔහුගේ මස්සිනා ට ද, ඒ ඒ අයගේ මරණය තෙක්, ඔවුන් මියැදෙන්නට පෙර ලොකු බණ්ඩාරගේ මරණය ට සැබෑ හේතුව සොයා ගත නොහැකි වෙයි. ඒ ලොකු බණ්ඩාර දන්නා අය සහ ඔහුගේ පරම්පරාවේ අන් අය, ඔහු ගැන අසා ඇති කාරණාකාරණා හේතුවෙන්, ඔහුගේ මරණයට නිල හේතුව යැයි වෛද්‍යවරයා ගේ ඉදිරිපත් කල හේතුව පිළිගැනීමට මැළි වන නිසා ය. ඔවුන් සියළු දෙනා සිතනුයේ මෙම මරණයට වෙන යම් කාරණාවක් ඇති බවයි. ඒ ඥාතීන් මෙම සැබෑ හේතුව නොදැන මිය පරළොව ගියත්, පාඨක අපි ට කෘතිය අග එය නිරාවරණය වේ - එහෙත් ඒ වන විට ලොකු බණ්ඩාරගේ මී මුණුඹුරාට තම මී මුත්තා ගැන තඹ සතයක දෙයක් සෙවීමේ උවමනාවක් නැත. හේ නූතන පරම්පරාවෙහි ය. හේ ඔවදන් මායිම් නොකරන්නෙකි; තාක්ෂණවේදියෙකි; පියා නැති කල තමන් ඇති දැඩි කල තම සීයා අවඥ්ඥාවෙන් බැහැර කරන්නෙකි. නුමුදු මේ මරණයට හේතු සෙවීම සඳහා පාඨක අප ව ලේඛක තෙමේ වටවන්දනාවේ ගෙනියයි. එය කැමැත්තේ- නොකැමැත්තේ, ඒ ඒ පාඨකයා අනුව ය. මට එය සෑහෙන ප්‍රියය. වෙහෙසකර තැන් නැතුවා නොවේ ( හත්තිලව්වේ වන්දනා ගමනක් යද්දි මාන්සියක් දැනෙන්නැත්තං කොහොමෙ ? )
නවකතාව එක් අහඹු මරණයක් නිමිති කරලමින් කියාපාන්නේ 1913 තරම් මෑතක ඉංගිරිසි ආණ්ඩුව මගින් ස්වදේශිකයෝ කෙතෙරම් පීඩනයට ලක් වූවා දැයි යන කාරණාවයි. වන්දනාකරුවෝ නුවරකලාවියේ, තමන්කඩුවේ, තෝපාවැවේ යන්නෝ, කෙතෙරම් අහිංසක මිනිසුන් පෙළීමක් මේ සුද්දන් විසින් කරන්නෝ ද යන්න ත්, එය පාතදුම්ඹර තමන් මුහුණදෙන පෙළීමත් සසඳන්නෝ ය.
කතාවේ මුඛ්‍ය තේමාවේ කියැවෙන්නේ, අදට ත් අප රට මිනිසුන් තමනට අත් වූ ඉරණමේ සැබෑ තතු පිළිබඳ වැටහීමක් නැති තරමට අප සුද්දා අතින් තැළුණු බවට ය. "සුද්දා හිටියනම් මරු" යැයි නන්දොඩන්නන් මේ පොත කියවීම වටී. කිම ද ඔවුන් වචනයේ පරිසමාප්තියෙන් ම කොටසකට "මරු" ගෙනා නිසා ය. මේ කියන්නේ 1818 හෝ 1848 කැරැලි මර්දනය ගැන නොවේය. ඉන් මෙපිට ගැන ය. ඉතින් නූතන පරම්පරාවට මේ පොත රුස්සන්නේ නැති වීමට පුළුවන. එහෙත් මේ පෙළීම තේරුම් ගත යුතුය.
"අපි ගංවල හැම වැඩක්ම එකට හමුඩු වෙල කොරගත්තේ. එකා වගේ කට්ටි ගැහිලා, අපි කුඹුරු මඩ කොළේ, හී හෑවේ, වෙන කුඹුරු දිහා බලාන. එකට. වැවේ වතුර කුඹුරු කට්ටි ගාණට බෙදාගෙන. තනිතනියම එකලායක් වෙන්ඩ බැලුවෙ නෑ. අනිකා පාගාගෙන. හේං කෙටුවෙත් එහෙමයි. ඒත් සුදු මහත්තුරු ගමට ඇවිල්ලා කියන්නේ තනි තනියෙන් නැඟිටපල්ලා කියලා. ඒජන්ත උන්නාන්සෙගෙ අඬහැරේ ඕකමයි. උංගෙ රට වෙන රටවල් අල්ල ගත්තී එහෙමලු. තනි තනි මිනිහා නැගිටිනකොට මුළු තුළානම, කෝරළේම, පළාතම, රටම නැඟිටිනවාලු. අපිට එහෙම කොරන්ඩ චාලිත්තර ඉඩ දෙන්නෙ නෑ. අපි හැමෝටම කුඹුරේ පංගුවක් තියෙනවා. ඒ පංගු පවුලෙ ගාණ විදිහට දික් අතටහරි හරස් අතටහරි බෙදා ගත්තා. අපි කුරුල්ලොන්ට කන්ඩත් කුරුලුපාළුවක් ඉතුරු කරපු ජාතියක්. මෙහේ වෙන පළාත්වල වාගෙ තට්ටුමාරු ක්‍රමේ තිබ්බේ නෑ. වැවේ වතුර මඳි නං වැවේ වතුර ප්‍රමාණේ හැටියට වතුර අරපරෙස්සං කොරගෙන කුඹුරු කැබලි වෙන් කොරගෙන බෙත්මට වැඩ කොරපු ඇත්තො. සුදු මහත්තුරු කියන්නෙ බැරි එකාගෙ ඉඩං රොක් කර ගනිං කියලා. ඒක බැරි එකාටත් හොඳයි කියලා. ඌ එතකොට ගොවිතැනෙං අයිං වෙලා වෙන වැඩක් බලා ගනී කියලා. ඒක හරියට කන පත උදුරා ගන්නවා වගේ වැඩක්. කන පතේ රෙනව වගේ. අපිට එව්ව හුරු නෑ." ( 272-273 පිටු )
මේ කෘතිය ගැන පිටු ගණන් ලිව හැක: උඩු දුම්බර-පාත දුම්බර ජීවන රටාව; සුද්දන් ට විරුද්ධව කැරළි ගැසූ හැටි; එම මිනිසුන්ගේ ගුණ සහ දුර්වලතාවන්; ඔවුන්ව සුද්දන් පෙළු හැටි; නුවරකලාවියේ මිනිසුන්ව සුද්දන් පෙළු හැටි; මේ වන විට නුවරකලාවියේ ජීවිතය කෙතෙරම් දුෂ්කර ද යන වග - එපමණ්ක් නොව රාජ්‍ය සේවය; එහි ගැටළු; නානුඔය සිට නුවර එළිය හරහා රාගල දක්වා දිවූ "පුංචි කෝච්චිය" ආදි මෙකී නොකී කතා රැසක් මේ පිටු 351ක් හරහා කියැවේ. තෝරදෙනිය ඉතා ලක්ෂනට සිහල බසින් ලියන්නේ, ආගිය තැන් මුල ගිය තැන් ඔස්සේ ය. ඒ ඔහුගේ ලේඛන ශෛලියයි. තැනෙක බිල්පත් ය; තැනෙක දුම්රිය මාර්ග විස්තරය; තැනෙක මාර්ග විස්තරය; ඉතින් මේ පොත කියවෙන්නෙකු ට යම් ඉවසීමක් තිබිය යුතුම ය. එනුමුදු වත්මනෙහි "මායා යථාර්තවාදි රීතියේ" පොතක් පිටු පන්සිය ගණණාවක් පුරා දිව ගොස් අතිශය වෙහෙසකර කියවීමක් ව අවසන් වද්දි, එය ද සමහර සම්මාන වලට නිර්දේශ වද්දී, මෙවන් පොත් නිර්දේශ නොවීම පුදුම ය. කිම ද, මේ පොතෙන් ගත හැකි දේබහු ල ය ( මෙය ගොඩගේ සම්මානයට නිර්දේශ විය ).
මෙහි අග මුල ගිය විස්තර රසවත් ය. නිදසුන්;
"'මෙහේ ඉඩං අයිතිය ව්නස්. පරවේණි ඉඩං ඇර අනික් ඔක්කෝම ඉඩං ගෝරමේන්තුවේ. අපේ ගොඩැ ඉඩංවල අයිතිය ගෝරමේන්තුවට හැකයි. හේං කොටංඩ යාප්පු වෙන්ඩ ඕනෑ. ලැයිසොං ගන්ඩ ඕනෑ. සුපියල දෙක හේං කාසි ගෙවන්ඩවත් අපේ ඇත්තන්ට බැරිමරගාතේ. වී බදුවලින් අපේ ඇත්තො උහුලංඩ බැරි පදමට අහීපාත උණා. ඒ අව්වස්සෙ හරක් උලා කනවටත් දඩකාසි ගත්තා.'
මේ ඉඩම් තමන්ගේ උරුමය යයි සිතූ ගැමියන් බලපත්‍ර ගාස්තු ගෙවීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන්ට සිදුවූයේ දඩැකාසි ගෙවීමටය.
අපේ පැත්තෙත් මෙයාකාර තමයි.ගම් අවට ලොකු ඉඩම් අයිති සුද්දන්ගෙ කොම්පැනිවලට. උන් කෝපි, තේ, රබර්, කොකෝ, එනසාල් වැව්වෙ එව්වායෙ. එව්ව ක්‍රවුන් ලෑන්ඩ් කියලයි කිව්වේ. එංගලන්තෙ රජ්ජුරුවොන්ට අයිතියි. අපිට එව්වැ කොටන්ට අයිතියක් තිබ්බේ නෑ. එව්ව ඔක්කොම අපේ ඉඩම්. බලහත්කාරයෙන් අල්ලගත්තු එව්වා'යි ටිකිරි බන්ඩාර කීවේ ලොකු බණ්ඩාර ද දන්නා යමක් පහදා දීමටය.'" (252-253 පිටු )
"මරදන්කඩවල සිට හබරණ දක්වා ඇත්තේ වන දුර්ගයකි. එහි ඇත්තේ දුෂ්කර, රළු, කටුක පාරකි. දෙපස අඳුරු වනාන්තරවලින් වැසී ඇත. පාර පුරා රතු වැලි හා බොරලුය. වැස්සෙන් පාර සෝදාගෙන ගොස් ඇත. ඇළ මාර්ගයක් වැන්න. ගමන දුෂ්කරය. ගොනුන්ට වේගයෙන් යා නොහැකිය. අලින් වලසුන් හා නරින් පාර හරහා යනු පෙනේ. වළිකුකුළෝ කිකිළියන් පිරිවරා සිටිති. මොනරු පිල් විදහා රඟන බව පෙනෙන්නේ එළිමහනකදීය. මොනරුන් හා මොනරියන්ගේ කෙකානාද ගුවනට මුසුවෙයි. උන් කෙකාසර නඟන්නේ කරත්ත රෝදවලින් නැඟෙන දඩ දඩ හඬට බියවීද, ස්‍රංගාර මතින්දැයි කිව නොහැකිය. "( 304 පිටුව )
"කන්දෙක පහළට එල්ලා වැටෙන, බෙල්ල පහත් කරගත්, කටෙන් සෙම ගලන, ඇස්වලින් කඳුළු බේරෙන ගව රංචු දැක ගත හැකි විය. මේ රෝගි වූ ගවයින්ය. උන්ගේ ගොමවලද ලේ තැවරී අත. ඇඟ පුරා මැස්සන්ය. කට තුවාල වී ඇති හෙයින් උනට උලා කෑ නොහැකිය. බීමට ජලය නැත. මඟදිගට ගවයින්ගේ මළැකුණුය. සතුන් විසින් කා දමන ලද ගවයින්ගේ කොටස්ය. ඇටකටුය." (307 පිටුව )
යම් පරීශ්‍රමයක් දරා, එක් ආකාරයක අත්දැකීමක් විඳ ගැනීමට කැමැත්තෝ මෙය කියවත්වා. ඉංග්‍රීසි, හා අනෙක් භාෂා නවකතා වල ප්‍රස්තුත කාරණයෙන් පිටයෑම්, මහත් රසවත් යැයි කියා පා, සිංහල නවකතා වලදි යම් විෂයක් ඔස්සේ කිමිදීම නොඉවසන්නන් ට මෙය කියවීම ට අනුමත නොකරමි. මා හට නම් මෙය "බණ්ඩර මැරූ උන්", " සදත් විල මහා සුභද්‍රාවෝ" ආදි රසවත් නවකතා සමඟ එක පෙළට තිබිය හැකි ආරේ නවකතාවකි."

No comments:

Post a Comment