Thursday 25 February 2016

කිරි සුවඳැ'ති රාත්‍රිය - නන්දන වීරසිංහ



අප කවියන් අතර බෙහෙවින් සම්මානයට පාත්‍ර වූ, එනමුත් පාඨකයන් තුල එතරම් ප්‍රචලිත නොවන අයෙක් වෙත් නම්, ඒ නන්දන වීරසිංහ යැයි සිතමි. මා සතුව ඇති "කිරි සුවඳැ'ති රාත්‍රිය" කෘතියේ "කතෘගේ සෙසු නිමැවුම්" දෙස බලන කල පෙනී යන්නේ කවියා 1990 ( කිරි සුවඳැ'ති රාත්‍රිය ), 1994 ( සත්‍යකාම නම් වෙමි ) , 1998 ( ගිරග ) වසර වල රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙනුත්, 2001 විද්‍යෝදය සාහිත්‍ය සම්මානයෙනුත් ( මහත් සඳ පිනි බිඳෙක ) පිදුම් ලත් බවයි.   මීට අමතරව ඔහු "රැය කරා ගමන" කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මානයත්, විද්යෝදය සම්මානයත් දිනුවේ 2010 වසරේදී ය (මෙතරම් සම්මානයට පාත්‍ර වූ කවියෙකුගේ කවි ගැන අප එතරම් සංවේදි නොවීමට හේතුව කුමක්දැයි නොවැටහේ.)  මේ රචනාවේ අරමුණ කිරි සුවඳැ'ති රත්‍රිය මා කෙසේ රස වින්දේද යන්න පිළිබඳ  කියා පාන්නටය.


මේ කාව්‍ය සංග්‍රහයේ පොදු ලක්ෂණ කිහිපයක් ඇත. සාමාන්‍ය දෛනික භාෂා ව්‍යවහාරයෙන් ඉදිරියට ගිය වඩා සාහිත්‍යමය, මනරම් බසක් භාවිත වී තිබීම, සැලකිය යුතු කව් ගණණාවක් නිසදැස් ආරෙන් ලිවී තිබීම, ආකෘතිකම සුවිශේෂිතා කෙරෙහි එතරම් අවධානයක් යොමු කොට නොතැබීම, පුළුල් ලෙස මාතෘකා කිහිපයක් අතර දෝළනය වෙන පදවැල් වලින් ගහණ වීම හේතු කොට පාඨක සිතේ සමස්ත කෘතිය කෙරෙහි යම්  මනෝ-චිත්‍රයක සේයාවක් නිතැතින් හට ගැනීම ආදි වශයෙන් සැලකිය හැකිය.

මීට පෙර මා කියවා ඇත්තේ කවියාගේ "රැය කරා ගමන" කාව්‍ය සංග්‍රහය පමණි. එහි ද යම් ලෙසකින් මා අත්දුටු,  චිත්‍රණයට සමත් පදවැල්, පාඨක සිත විසින් වෙළා ගන්න සෙයකි දැනෙනුයේ. "කඩුපත් බඳු අත්", හේන් ගොවියාගේ දියවී ගිය මුත්, එහි බාහිරින් නොපෙනෙන ඒ ශක්තිමත් බාහු අප මනස තුල මවයි.
"කපා පෙරළා සරු කරන
පොළෝ පස් මත පඳුරු ලා වැඩි
ඕජස් උරා බොන පිළිල
උදුර උදුරා ගිනිලන්ට
ඔප වැටුණු හිත්වලින්
යුගත් කඩු පත්වලට පණ පෙවෙන"
යුගත් නම් කඩු වලට පණ පොවන්නේ ඔප වැටුණු හිතිනි. කවියා, හේන් ගොවියන් තම බිම සකස් කිරීම සසදන්නේ සංග්‍රාමයකට ය.හේන් ගොවියා තම උරුමය (හේන්ගොවි තැන ) උදෙසා කර්කශ භූමිය, කැළෑව හා සටන් වදී. ඊට සුදුසුම  බසකින්,  මුවහත් කෙටි පද පේළි වලින් "කඩු පත්"  වල විකුම් පෑම අප සිත් තුල මවයි.







පෙර සඳහන් කලාක් මෙන් කෘතිය ප්‍රකාශ වී ඇත්තේ 1990 වසරේ දීය. එනම් අප රට යෝධ වාරිමාර්ග ව්‍යාපෘති වලින් සාමාන්‍ය ජනයාගේ ජන ජීවිතය වෙනස් වූ, රාජ්‍ය අනුග්‍රහය තුලින් වූ නිවාස යෝජනා  ක්‍රම ඔස්සේ නව ගම්මාන බිහි වූ, නව මහවැලි ගොවි ජනපද බිහි වූ,  අනෙක් අතින් භීෂණයෙන් තරුණ ජීවිත දහස් ගණණක් නැති වූ යුගයක ය. මින් සමහරක් මගින් මිනිස් හදවත් වල වූ නැවුම් බලාපොරොත්තු බිහි කරද්දි
, බොහෝ විටෙක එම බලාපොරොත්තු බිඳ හෙළමින් ඇති කරන්නේ සිත් තැවුල් ය. අප කවියා තම සහෝදර ජනතාවගේ සිත්තැවුල් වලට සංවේදීය.  කවියා තම සිත් තෙරපුම, කම්පනය, කවි  සංකල්පනා ලෙස ඉදිරි පත් කරන ආර ට මා වඩාත් මනාපය. වර්තමනා කවියෙකු ගේ කම්පනය "චූ යෑම" හරහා කියා පාද්දි, නන්දන ඊට මෙළෙක් බසකින් අප සිත තුල චිත්ත රූප මවන්නේ ඒ වේදනා වල කඳුළැලි අපටත් දැනෙනා ආරකනි ( මේ මගේ පෞද්ගලික රසවින්දනය හා සබැඳි බැව් කිව යුතුමය ).


වරෙක තම මුල් බිම් අහිමිකරගෙන තමනට ලැබුණු අලුත් බිම් කඩකට පැමිනි ජනයාගේ ලතෝනිය කවියට නැගී ඇත.
"මහා භූමි පූජාවෙන් පින්         රැගෙන
කර පිට තියා ආවෙමු    හඟුරන්කෙතින
ඒ පින් එච් කලාපේ ගිනියම් සොහොන
වැළලූ දා කලා වැව හැඬුවා       ඇහුණ

සැලසුම් කළ විපත් බොරු වළවල් පිරුණ
බිමක මංමුලා කළ වග දැන හැඳින
හදවත් වෛරයේ බිජු උණුසුම් කරන
නිසි කල දමා ගසනට ලොහො ගුලි ලෙසින"
                         (වෛරයේ බිජු රැකුම )

තව තැනෙක යෝධ සංවර්ධන ව්‍යාපෘති උදෙසා දියකර හැරෙන දිවි ඕජාවය.
"පණ නල සූරා රැගෙන
කැහැටු රුපියල් දෙන
දැහැමි ගනු දෙනුවට වරම් ලත්
ය දඬු හස්තය
අනුහස පාන වැඩබිම මත
වැඩිපුර වෙහෙස වගුරන්ට
ඉඩකඩ පුළුල් කර දී
හෝරා යතුරු කටු පවා
මෙල්ල වි ගාටනු වැනි"
        (යදඬු හස්තය යට )
     මෙහි සියුම් උපහාසයත් ( දැහැමි ය දඬු හස්තය ), සාර්ථක උපමා ( මෙල්ල වී ගාටන හෝරා කටු ), චිත්‍රණය කිරීමට සමත් පදවැල් ( ප්‍රාණය සුරාගෙන, ලබා දෙන කැහැටු රුපියල් ) කවියා එක් වදනක් හෝ අහේතුවෙන් භාවිත කර නැති බවට සාක්ෂි දරයි. මේ පදවැල් පොහොසත් ය, උකුය, ඝණය.



තම නව නිවෙසේ නව බලාපොරොත්තු ඉතා කෙටි කලකින් මැකී ගොස් සැබෑ ලෝකෙට අවදි වූ වැසියන්ගේ සැක සාංකාව "අලුත් උළුගෙයි පළමු රාත්‍රිය" නම් කවි පංතියේ රැගත් ය.
"වැහි අඳුරෙහි එතුණු
උළු ගෙවල් එකකිනුදු
සිනාවක් කට හඬක් පැන නො ඒ
මවා පෑ බොල් සතුට ගිලගෙන
පාක්ෂික වෙස් මුහුණ ගලවා විසිකර
වැදුණු හංවඩුවෙන් ඇදුම් කන -
සිතින්, නො නිදා හිඳිනු ඇද්දෝ
ඒ සියලු දෙන"
අනුකම්පාව, බලාපොරොත්තු වන පාක්ෂිකත්වයේ බර තම නිදහස අහුරා හිටින බවකි මුළු ගමට ම දැනෙන වගකි, කවියා අඟවන්නේ.



වරෙක අප කවියා කොළණි ගමේ ගොවියන්ගේ ඇස් විවර කිරීමට යත්න දරන්නේ, ඔවුන් දාඩිය මාන්සියෙන් හම්බකර ගත් අස්වනු, රැවටිලි කාර පාර්ශවන්ට ලබා නොදෙන බව ට ආයාචනා කරමිනි. ඔහු සියළු ආකාර මුදල් ඇදගැනීමට ක්‍රියාත්මක වන ප්‍රභවයන් ගැන සැලකිලිමත් වන්නේ, සාම්ප්‍රදායික සිතුවිලි ඔබ්බට ගොසිනි.
"'කොලනි ගමේ වියළි හුළඟ මස් කරවල සුවඳ ගෙනෙන
ගොවි දරුවන් මත් දියරෙන් කරටිය පොඟවා විකලෙන

'යකඩ රත්තරන් කරනා වෙළඳ මායමේ  පැටලෙන
කොලනි පුතුන් චාටු බහට නැළැවී මඩි ඇතුළ    පාන

'කොලනි වෙහෙරවල පිංකම් වැස්සට අතමිට දියවෙන
මළුව කොණේ ටීටර් පොළ හිරිකිත මුදලට විකුණන'"
                                                 ( කියා සිටිමි ජනපදේට )

මේ අප රට තාත්තලා, අයියලා, මල්ලිලා පමණක් නොව, සහෝදරියන් පවා භීෂණයට ගොදුරු වූ යුගයකි, ඒ . අයියෙකු, තම දිවි පිදූ නිර්භීත මල්ලි වෙනුවෙන් පහනක් පත්තු කරයි - ඒත් ඒ ද හොරෙන් ය. ඔහුට තම ආරාක්ෂාව ගැන ද සිතීමට සිදු ව ඇත. ඒ යුගය එතරම් සාහසිකය.
"දස මුතු පරපුරක
මිසදුටු ඇඳිරියෙන් නැඟ
පුරා පුරුෂ ප්‍රතිමා
මහා මුරගල් සොලවා
ගල් දොර දැදුරු කළ
මල්ලියේ නුඹ සිහිකර
පමා වූ මේ පහන
නොපමා ව දල්වමි මම


ලෝකයට මතක නැති කර
බතල කඳු අතර සඟවා
රැක බලා ගත් නුඹෙ සොහොනත
අවසන්  වසත් පවනැලි
...
රොද බැද සිහින සිවු දිග
නපුරු විසකුරු අඳුරෙහි
පාවා දෙන උගුල් අටවන
අවගති කැවුණු අඳුරෙහි
දැල්වූ මේ අහිංසක පහන ගැන
ඔත්තුව දිව යන්ට පෙර
නිවා සඟවමි එය"
       (පමා වූ පහන )

මෙර කී ලෙස කව් ලියැවුණු කල ලියැවුණා යැයි සිතිය හැකි කවි වලට අමතරව, ඊට වැඩි පුළුල් කාල පරාසයකට උරුමකම් කියන කවි පංති ද මෙහි බොහෝය. අප රට කලෙක බල පරාක්‍රමය රැගත් වලවු පෙළැන්තියේ සේදි යාම අප කවියා ඉදිරිපත් කර ඇත්තේ අලුත් වැස්සක් කල හදියක් ලෙසට ය (වලවුවට වැසි ඇවිත් )
"පරපුරක කළු දුඹුල් කඩා පිරිසිදු කරන
සෙවෙල කෑ පිහිලි සෝදා සෝදා හරින
.....

ඇතුළු ගැබ නො දුටු අහුමුලු සොයා හඹා යන
අලුත් වැහි හැළි වළං උතුරුවා ඇද වැටෙන
මහ පෙට්ටගම 'හායි' ගා මහලු කට අරින
අවලංගු ඔප්පුවල අකුරු බොඳ වී මැකෙන"



මේ කාව්‍ය සංග්‍රහයේ මා වඩාත් සිත් ගත් කවි පංතියකින් මේ ලියවිල්ල හමාර කරන්නෙමි. ඒ "නිම්මා නැති උතුම් වෙහෙර" නම් වූ කවි පංතියයි. කවියා තමා කුඩා කල පම ආදරණීය දෙමව්පියන් හා සහෝදරියන් හා විසූ නිවෙසට විත් මතක ආවර්ජණය කරයි.

"...ගුරු පාරට ඇරුණු කවුළුවක අතරින් මේ   උදැහැන
පොඩි අක්කා ගේ දිලිසෙන නෙත්වල සිරි මට හමුවන


....එ දා බොළඳ සිනා කවටකම් මෙහි අස්වද්දන මෙන
රතු අක්කේ ආයෙ එන්ට බැරි ද සුපෙම් ගී       අරගෙන

මනු සවඳින් නොතොර තැනක ඉඬුම මහා ධනය ලෙසින
සැලකූ මපියාණන් ගේ ගැඹුරු තියුණු හඬ ගොළුවුණ
මැද සාලෙන් යළි මොහොතක් ඔහු කාරන හඬ ගිලිහින
එ දා පුළුල් අත නළලත ගෑ උණුසුම හිතට දැනිණ

අම්මා කවි කියමින් මා නැළැ වූ කාමරය තුලින
අම්මා ඇඳි මල් සාරියෙ සුවඳ හිමින් හිතට ගලන
පෙම්මා සුරතල් වදනක අමා මිහිර සර ගොලුවුණ...

ඉඳහිට හමු වී නැති කම් බැරි කම් කඳුලින් සඟවන
ජීවිතය යි සොයා එ දා අප පියඹා ගියේ තුටින
එකාවන් ව හිඳ සිවු අත ලෝක තනා ගනු රිසියෙන
විසිර නොයා අපට ඉන්ට බැරි ඇයි එක සිසිල් සෙවණ"

මෙවන් මනරම් බසකින් කව් මවෙද්දි ආකෘතික සිප් හි මද කම නොදැනෙන තරම්ය. කවි පංති 32කින් පෝෂිත මේ කාව්‍ය එකතුවේ මෙතන නොදැක්වූ තව රසවත් කවි පංති බොහෝ ය. "අකැප සෙනසුන", වෙස් මුහුණ, සුදු පුරා විදුදර සමර, කුලුණු සීතල කටහඬක්, නිකැළල් මුහුණ ඊට නිදසුන්ය.

මා සතුව ඇත්තේ මේ කාව්‍ය සංග්‍රහයේ  දෙවෙනි මුද්‍රණයයි, ඒ 2002 දී ය.  මේ කාව්‍ය සංග්‍රහය කියවා හමාර වන සඳ කවියාගේ මෙතෙක් නොකියවූ කාව්‍ය සංග්‍රහ දෙකක්  ( ගිරග , සත්‍යකාම නම් වෙමි ) අප නිවසේ මා එනතුරු බලා ඉන්නා වග මතක් වීමෙන් මහත් සතුටට පත් වෙමි.









No comments:

Post a Comment