Tuesday 2 February 2016

ඇහි පියන් ඇහැරිලා - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

****

2012 වසරේ විශිෂ්ඨම කාව්‍ය සංග්‍රහයට හිමි විද්‍යෝදය සම්මානය දිනාගත් මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ "ඇහි පියන් ඇහැරිලා" කාව්‍ය සංග්‍රහය කියවුවෙමි. මීට පෙර කවියාගේ "හිරුත් හිම පියල්ලක" කාව්‍ය සංග්‍රහය කියවා ඇතත්, එය ප්‍රකාශ වූ කලැ කියවූ නිසා දෝ ඒ පිළිබඳ එතරම් මතකයක් හෝ, මතකය ආවර්ජනය කර ගැනීමට එම කාව්‍ය සංග්‍රහය  දැනට ළඟ හෝ නැත. වර්ග කිරීමකට ඉඩක් ඇත්නම්, මෙය මෑතක බිහි වූ ජනප්‍රිය වර්ගයේ කවි පොතක් ලෙස දකිමි ( "මීළඟ මීවිත" ද මේ ගණයට අයත් යැයි සිතමි ). 2012 නොවැම්බරයේ මුල්ම මුද්‍රණයෙන් එලි දුටු මෙය, 2015 මැයි මස වන විට පස්වන මුද්‍රණයක් කරා යාමට තරම් ඉල්ලුමක් තිබී ඇත ( මා සතුව ඇත්තේ එහි පිටපතකි ).

මීට පෙර අවස්ථා දෙකක දී ම ( මා දැනුවත් ව )  මුහුණු පොතේ "පොත් කියවන අය" සමූහයේ,  මස්ඉඹුල ට නැඟුණු සියුම් විවේචනයක් වූයේ හේ තම නිර්මාණ ඔස්සේ ශෘංගාරය හා ස්ත්‍රීවාදය වෙනුවෙන් යම් නැඹුරුතාවක් දක්වන බවකි.  එනමුදු ශෘංගාරය වඩාත් මතුකිරීම සහ ස්ත්‍රීවාදයට සීමා වීම  යන කාරණා දෙක මත නිර්මාණය වූ කවි සාපෙක්ෂ ලෙස අඩු බවක් තමයි, මට "ඇහි පියන් ඇහැරිලා" කියෙවුවාම නම් සිතුනේ.  කවියා පසුගිය සමයේ ජනප්‍රිය ප්‍රවණතාවක් වූ දේශපාලන විරෝධතා රැගත් කාව්‍ය රචනයකට හෝ නැඹුරු වී නැති සෙයකි. කවියට නගන විෂයන් ලෙස බැලූ කල එහි එතරම් නැවුම් බවක් දකින්නට නොලැබුණ ද, සංග්‍රහයට එක්කාසු කොට ඇති නිර්මාණ අතිබහුතරයක් ඉතා රසවත් නිර්මාණ බව නොකියා ම බෑ. ආකෘතික වශයෙන් හෝ කවියා එතරම් පෙළහරක් පාන්නේ නැත. එනම් කවියා ගේ ප්‍රබලතාව ඇත්තේ, සුළභ මාතෘකාවක් පිළිබඳ ව හෝ, පාඨක සිත ට දැනෙන්නට කීමට හැකි වීමයි. එය පහත සඳහන් නිදසුන් කෂාත් ක්ෂාත් කරනු ඇත.

මෙහි එන "කනත්ත ළඟ පාරේ උදෑසන" කවි පංතිය, ජීවිතය යන්න සමස්ත වශයෙන් අත්මිටකට සම්පිණ්ඩනය කර ඒ වෙත උපෙක්ෂාවෙන් මුත් දයාන්විත නෙතකින් බලමින් ලියවූවකි. වැඩ නිම වී එන වෙසඟනගේ විඩාබර මුහුණ, ලයිට් කණුවේ අලුත් මරණ දැන්වීම, බඩදරු අම්මෙකුගේ දසුන, වෙළෙන්දා වාසනාව විකුණ න කොට අයෙක් පැරදුම ඉරා දැමිම, පෙම්වතුන්ගේ බලාපොරොත්තු, රාජකාරියට යන මිනිසුන්ගේ හදිසිය වැට ට නුදුරින් තිබුන ද,

"යකඩ වැටෙන් එපිට
පොළෝ ඡේදයක
සොහොන්වලින් ලියැවී තිබේ
ජීවිතයේ පසුවදන"

අපූරු ම නොවේ ද?


පෙර කිවාක් මෙන් මෙහි එන සමහර මාතෘකා සුළභ ය. අනාථ අසරණ කරන ලද යෞවණියන් ගේ ඉරණම මාතෘකා කොට ගෙන ලියවුණේ අද ඊයේ නොවේ. මොණිකා රුවන්පතිරණගේ සුප්‍රසිද්ධ කවිපංතියේ සිට සෑම කවියා ම පාහේ මේ සුළභ මාතෘකාව පිළිබඳව කවි ගොතා ඇත.  සමහරවිට අයෙක් මස්ඉඹුල ස්ත්‍රීවාදයට පක්ෂයැයි කියන්නේ මෙවන් කව් නිසා යැයි  විය හැකිය. මෙහි ද "කලල පුතේ", "සැඳෑ සමයේ හිරු උදා වී", "රහස" ආදිය ද මෙම වස්තුබීජය මත ඉදි වූ කවි ය. මෙහි එන සැඳෑ සමයේ හිරු උදා  වී කවි පංතිය, ජීවිතේ සැඳෑ භාගයේ දී, අයෙක් කල පැරණි වැරදි අමතක කොට, ඉතිරි දින කිහිප තුල හෝ යම් සෙනෙහසක බලාපොරොත්තුවක් ඉතා සියුම් ලෙස ඉඟි කරන අපුරූ නිර්මාණයකි.

"අහම්බෙන් දුටු විගස
ලොකු කොලුගෙ කළු මුහුණ මතක් වුණි
ඒ රහස අදට වත් කවුරු වත් දන්නේ නෑ

දැං ඉතින් හැමදා ම හැන්දෑවෙ
පිරිමි පැත්තට ඇවිත්
ඇඳ ගසා හදා දී
නින්ද යනකං ඔහේ
කතා කර-කර ඉන්න අපිට පුළුවං වේවි"

මෙහි ඇති අපූරුත්වයක් ඇති කාව්‍ය නිර්මාණයකි, "පුතාට දහ අට යි" කවි පංතිය. කවියේ නම, ප්‍රකාශිත කාරණාව හා සපුරා වෙනස් වීම හරහා පාඨකයා ට යම් නව්‍යතාවක් ගෙනදෙන්නා ක් මෙනි. එහි "පුතාට දහ අට" වීම ඇත්තෙන් ම අතුරු කාරණාවකි. අම්මා ට ඉඳ හිට හෝ පුතාගේ පියා දැක ගැනීමේ අවසන් අවස්ථාව නැති වීමේ සිත් තැවුල කවියා ගෙනහැර දක්වන්නේ  පෙර කල ප්‍රේමයේ ගරා වැටුණු මතක සටහන් ඔස්සේ ය.. එලෙසම පාඨකයාට ද කවිය කියනා කත ගේ  තම පුරුෂයා කෙරෙහි වන ලෙන්ගතුකම සහ  සමීපස්ථ විරහවේ වේදනාව දැනෙනා අයුරකිනි.

"බැඳපු අලුත ඔයාලයෙ ගෙදරදි
මතක ද අම්මට හොරෙන්
බත් අහුරු දාපු විදිහ
මගේ පිඟානට

මසකට වරක් මූණ දැකගත්
මගේ පෙම් කතාවේ
අන්තිම දවස අද

ඉතින් අද පසු
නඩත්තු වන්නේ කෙලෙස ද මා හද
ඉඳ-හිට වත්
දකින්න නොලැබෙන කල ඔබ"


මෙහි දේශපාලනය පිළිබඳ කවි නැත්තෙම නැති තරම් ය. ඒ හා ළඟින් හෝ යන්නේ "අසරණයන්" විකුට කෑමට අප රට රාජ්‍ය නොවන සංවිධාන සැදී පැහැදි සිටි යුගයෙක, දැනට "දියත උයන" ඇති ඉසව්වේ ගොඩනඟා තිබූ "අහිංසකයන්ගේ ආරාමය" පිළිබඳ වූ කවයි. ඇත්තෙන් ම අප ලේඛක ප්‍රජාව ගේ සමස්ත දේශපාලන අදහස් හා සසඳද්දි, මෙවන් මාතෘක පිළිබඳ කව් නොලියවෙනා තරම් ය.

"හිතින් සැඟවූ හදේ වෙඩි හඬ
සිහිනයෙන් මවු ළැමක් ගස්සන
හෙටින් පසු සැනසෙමි සිතාගෙන
පියවරුන් ඇත කලක් තිස්සෙ ම
ඉතින් ඒ හදවත් අසනි වැසි
අතීතය පුපුරවා වැස්ස ම
බලන් එ-දියෙන් තොල් තෙමාගත්
අනාගත් සිනහවේ ලස්සන"

මෙහි එන දයාබර නුගේගොඩ කාව්‍යය තුල යම් තිගැස්මක් ඇති කලේ එම නගරය පෞද්ගලිකව මට සමීප වීමත්, කවිය කථා කරනා අවසානවන්ත සිද්ධියෙන් මගේ සමීපතමයන් පවා අනූනවයෙන් දිවි බෙරා ගත් අයුරු මතක් වූ  නිසා සහ, එකල අපට දැකලා පුරුදු පෙම්වතුන් දෙපළක් හෝ නිත්‍ය වශයෙන් ඒ ත්‍රස්තවාදය නිසා දිවි තොර කර ගත් අයුරු මතක් වූ නිසා ය (අද වන විට අප රට කරන ඇත්තන් ට ජාතික නිදහස් උත්සවය අව්වේ තැබීම ප්‍රශ්ණයක් වැ ඇති අවධියක, මෙවන් මතකයන් ආවර්ජනය වූ විට සිතට කම්පණයක් ඇති වීම ස්වභාවික යැයි සිතමි )

"බෝම්බෙන් කම්මුල් කැඩී       ගිය
අසල හිටගත් නෝලිමිට්           හල
...

අතීතේ එක්තරා                සවසෙක
එසැවෙමින් විරහවේ            අසිපත
කැපී වැටුණා මහ පොළොව     මත
සන්තක ව තිබූ එක ම          හදවත

දැනුත් ඉඳහිට ගිහින්           එතනට
සෙනඟ අතරේ බලමි           වටපිට"

ඉතින් මේ කාව්‍ය සංග්‍රහය කවි පංති 28කින් හෙබි ය. බහුතරයක් කවි පළමු කියවීමේදී ම පාඨකයා ගේ සිත අමතන ආරේ, මාතෘකා ඔස්සේ රචිත ඒවා ය."රහසිගත රැයෙක" , "විශ්වයම කවියක්" ආදි කවියක් දෙකක් ජනප්‍රිය මාතෘකා වලින් ඔබ්බට ගොස් රාත්‍රිය වැනුම හා කවිකාර සිත්තරෙකුගේ දෑසින් නිර්මාණය වූ ඒවා බව පැහැදිලිය. මෙවන් ඉහළ තලයේ නිර්මාණ වැඩි වැඩියෙන් ඔහුගේ අනාගත නිර්මාණ අතර ට එක්කාසු වේව  යැයි පතමි.

"සැලසුම් කරයි විශ්වය සිය රටාව
නිහඬ ව ම මුමුණයි
උල්පත්වලින් උනන ප්‍රේමය ගැන
පරාගවල තැවරුණු රාගය ගැන

මවු කෙනකු වාගේ ම ය සුළඟ
පැතිර ලොව පුරා ම
සියලු ම පුතුන් නිදාගත් පසු
ගස් අතු මත ලැගුම් ගෙන
අතගාගනී තම අත-පය
හෙට උදේ වැඩ කන්දරාව සිහි කර"






වර්ග කිරීමකට ඉඩක් ඇත්නම්, මෙය මෑතක බිහි වූ ජනප්‍රිය වර්ගයේ කවි පොතක් ලෙස දකිමි ( "මීළඟ මීවිත" ද මේ ගණයට අයත් යැයි සිතමි ). 2012 නොවැම්බරයේ මුල්ම මුද්‍රණයෙන් එලි දුටු මෙය, 2015 මැයි මස වන විට පස්වන මුද්‍රණයක් කරා යාමට තරම් ඉල්ලුමක් තිබී ඇත ( මා සතුව ඇත්තේ එහි පිටපතකි ).

1 comment: