Friday 25 September 2015

අයාලේ ගිය සිතක සටහන් - තිස්ස අබේසේකර

(මෙය මා පළමුව 2013 අගෝස්තුවේ "පොත් කියවන අය" මුහුණු පොත් කණ්ඩායම සඳහා ලියූවකි. ආරක්ෂණය උදෙසා බ්ලොගයට එක්කාසු කලෙමි )

පොතක් ලියා විචාර කොට අවසන් කළ නොහැකි අනර්ඝ පොතක්, පසු ගිය දිනෙක කියවා හමාර කලෙමි. ඒ තමන්ම කියනා පරිද්දෙන් අවිධිමත් අධ්‍යාපනයකින් පෝෂණය වූ, නැසී ගිය තිස්ස අබේසේකරයන්ගේ "අයාලේ ගිය සිතක සටහන්" පොතයි. මට සිතෙනා පරිද්දෙන් මේ පොත මා වෙසෙන කොයිම හෝ පෙදෙසක මා අසබඩ හැම දා තියේවී. සකල කලා වල්ලභයකු ලෙස තිස්ස අබේසකරයන් ගේ එම සටහන් මා නැවත නැවත කියවාවි. මා ඉන් පෝෂණය වේවි.

හේ තම කෘතියේ මුල් ලිපි දහය ම තමන් ජිවීත කාලයම පාහේ ගත කල කැළණි ගං මිටියාවත - එනම් කෝට්ටේ, නුගේගොඩ, රත්තනපිටිය, දෙපානම ආශ්‍රිත ඉතිහාසය ගවේෂණය කරයි. පරංගියා ඇත්තෙන්ම එතරම් වටරවුම් පාරකින් කෝට්ටේ ගියේ ඇයිදැයි තම මතය තහවුරු කරයි. පෙර කල්හි කොළොම්පුරේ විත්ති කියා පායි. කෝට්ටේ රාජධානියේ නටඹුන් අවම වශයෙන් අපට දැකිය හැක්කේ ඇයි දැයි කියයි. පෙර කලැ කොට්ටේ රාජධානිය ආශ්‍රිත පෙදෙස රාජධානිය බිඳ වැටීමෙන් අනතුරුව "පිටගම්කාරයන්ගේ" වාසභූමියක් වූයේ ඇයි දැයි කියා පායි. ඔහු විස්තර කරනා බොහෝ පෙදෙස් මාද හඳුනන නිසා මා එම විස්තරයට කැමතිය (මා ගේ කෙටි දිවියේ ද වසර 30 ට වැඩි කලක් කැළණි ගං මිටියාවතේම ජීවත් ව ඇත )

දෙවෙනි ලිපි එකතුව "සත්සර සටහන්" වලට යොදා ඇත. ඔහු ජෑස්ස් සංගීතයේ මූලය ගැන කියා පායි. අප්‍රිකාවේ ජන ඇදහිලි වල ඇති සංගීත මූලයන් (මේවා සුද්දා තම නොදන්නාකම විදහා දක්වමින් වූඩූ / voodoo යන තනි ගොඩකට ගොණු කර ඇත ) සොයයි . මේ හේතුන් නිසා ම තොවිල් බෙරයේ රිද්ම රටා සමඟ ජෑස් වාදන මුසු කිරීමට හර්ෂා මාකලන්දටත්, රවිබන්දුටත් ලෙහෙසි වූ බැව් කියා පායි - මාකලන්ද සමඟ රාත්‍රියක් පුරා හෝකන්දර ආශ්‍රිත  පෙදෙසක තොවිලයකට සහභාගි වූ අයුරු කියා පායි. (මේක කිය වූ මා නතර වූයේ, මාකලන්ද හා ජනනාත් වරකාගොඩ එක්කාසු වී නිකුත් කර ඇති Aspects නම් වූ සංගීත තැටියක් මිල දී ගැනිමෙනි - මා පෙර කිවා සේ මා නිබදව මේ කෘතියෙන් පෝෂණය වෙමි ). ඊට අමතරව ඔහු සෝබන සැන්දෑවේ ගීතය වෙනුවෙන් එක් ලිපියක් වෙන් කරයි. දේවාර් සූරියසේනගෙන් සිංහල සංගීතයට වූ මෙහෙය ගැන කියා පායි. ඔහු පහත දැක්වෙන ඉතා වැදගත් කාරණාවද මතු කරයි...  
"ජන ගීයේ මුලින්ම බිහිවන්නේ පදයයි. ගායනය බිහිවන්නේ පදය ආත්ම කොට ගෙන ය. එබැවින් පදය ඉක්මවා කෙතරම් ඉහළට ස්වරාකාරයෙන් වර්ධනය වුවත්, පදයේ ශබ්ද ආකෘතිය එතුළ නිධන්ගත වී ඇත...... කේමදාසයන්ගේ මානස විල හා පිරිනිවන් මංගල්‍යයේ සමහර අවස්ථා, අප තුල රසභංගයක් ඇති කලේ ද බසේ සහ ස්වරයේ ඇති වූ නොපැහීම නිසා ය" ( සංගීතය නොදත් නලින් ද සිල්වා කේමදාසයෝ තම ගෝලපිරිස් ට කියා හූ කියා ගන්නවා යැයි කීම තුල එතරම් නොපැහීමක් නැති සේය ).

"නොදනිමි කාගේ දොසා" නම් වූ ඉතා වැදගත් ලිපියක් ද මේ අතර වෙයි. ඉන් වෙසෙසින් සරච්චන්ද්රයන්ගේ අදානග්‍රාහිකම නිසා අප රට සංගීතයට සිදු වූ අවැඩ ගැන කියයි.
සිවුපද සංවාද නම් වූ තෙවෙනි ලිපි එකතුවේ ලිපි පහක්ම උභය භාෂා ලංකාරය නොහොත් උබබස්ලකරට වෙන්කොට ඇත. ජන කවිය වේවා (උදා - අල්ලාගෙන නෙරිය ... ), පැරකුම්බා සිරිතෙහි වේවා උබබස්ලකරේ ලක්ෂණ පෙන්වා දී එය නූතන යුග ගි දක්වා (සමරකෝන්ගේ "එන්ඩ ද මැනිකේ", "ප්‍රේමාලෝකය නිවී ගියා ") ආ මග කියා පායි. අප නාඩගම් වල හමුවෙන "සින්දු" නමින් හැඳින්වෙන සංගීත ශෛලිය පද්‍ය නොවන්නේ ඇයි දැයි කියා පායි. නාඩගම් යුගයෙන් පසු ව පැමිණි නූර්තියේ අවතීර්ණයත් සමඟ උත්තර භාරතීය රාගධාරි සංගීත අභාෂය ලැබු ආකාරය ගැන පවසයි. මේ ලිපි පෙළැ කියවා අවසානයේ සමරකෝන් ශූරින්ගේ එන්ඩ ද මැණිකේ වඩා දැනුම් තේරුම් ඇතුව ශ්‍රවණය කලෙමි (ඔවු - මෙම විශ්ව කෝෂයක් බඳු කෘතියෙන් උගනිමි ). මෙම ලිපි පෙළේ වැදගත් ලිපියකි, "පැදියේ නිමල පැන් පොද" යන ලිපිය. ඔහු ද වික්‍රමසිංහයන් මුලින් ම කීවාක් මෙන් (සිංහල සාහිත්‍යයේ නැඟීම ) හා අමරසේකරුන් "සිංහල කාව්‍ය සම්ප්‍රදාය" නම් වූ කෘතියෙන් කියා පෑ පරිද්දෙන්, ස්වභාවෝක්තියේ පිහිටා රස නිෂ්පත්තියට අරමුණු කල කවි සමයක්, සකු අලන්කාරවාදයෙන් වැසී යාමට පෙර අප සතු වූ බව උදාහරණ සහිතව කියා පායි. අප මුක්තක කවි ආර ගැන ලිපියක් ලියයි. මාටින් වික්‍රමසිංහයන් ගුත්තිල ගීතය ලියා කල ඓථිහාසික මෙහෙවර ගැන කියා පායි. අබේසේකරුන් තැනෙක කියන්නේ අපූරු කවීත්වයක් උරුම කොට ගත් සේකරුන්ගේ කවීත්වය කලට මල් පල නො දැරුයේ බුද්ධිගෝචර සංකල්පවාදයට ගොදුරු වූ නිසා ය ( උදා - ඇසේ මතුවන කඳුළු බිඳු ... හි එන 'නො අදහා බුදු කෙනෙකු දෙවියෙකු - මානයෙන් වල්මත්ව සිටි මම ).හතර පදයයි-ගේය පදයයි අතර ඇති සබඳතාව, ගජමන් නෝනා ගේ සුල මුල ගැන කියවෙන ලිපිය හා පැබ්ලෝ නෙරූඩා ලංකාවේ ගත කල කාලය පිළිබඳ ලියවුණු ලිපිය ආදිය මෙහි එන තවත් වටිනා ලිපි සමහරකි.
සිතැඟි නම් වූ අවසන් ලිපි දහයෙන් හයක් ඔහු විශාරද වූ සිනමාව හා සබැඳිය. මෙහි එන ඉතා වැදගත් ලිපියක් නම් "සුනිල් සාන්ත, සමරකෝන් හා ජාතික ගීය" නම් වූ වටිනා ලිපියයි. මට එම ලිපිය කියවූ කල සරච්චන්ද්‍රයන් සිතා හෝ නොසිතා හෝ  ආදානග්‍රාහිව කටයුතු කළ බව තහවුරු වෙයි. මෙම ලිපියත්, සත්සර සටහන් කොටසේ හමුවන "නොදනිමි කාගේ දොසා" යන ලිපියෙනුත්, සරච්චන්ද්රයන් හේතුවෙන් අප සංගීතය පටු තැනකට තල්ලු වූ බවට සාක්ෂි සැපයෙයි. ඒ හේතුවෙන් සුනිල් සාන්ත, සමරකෝන් ආදින්ට සිදු වූ අසාධාරණය සුලු පටු නැත.
මියෙන තුරා සම සමාජ පාක්ෂිකයෙකු වූ හෙතෙම මෙසේ කියයි (පිට 45 )
" ආර්ථිකය, සමාජය හා පොදු සිරිත නොහොත් සංස්කෘතිය ඒකාබද්ධ ව හැදී වැඩෙන ජාතික සම්ප්‍රදාය තුළ අර්බුධයක් ඇතිවන්නේ ඉන් එක් කොටසක් අනෙක් දෙකොටසට ප්‍රතිවිරුද්ධ දිසාවකට ඇදෙන්නට වුවහොත් පමණි. මාර්ක්ස්වාදය අනුව පොදු සිරිත නොහොත් සංස්කෘතිය අනෙක් දෙකොටසට පදනම් කොට ගත් මතු මහලකි. ඒ මතු මහල එහි පදනම වූ සමාජ සංවිධානයේ හා ආර්ථික රටාවේ පිළිඹුවකි. ආර්ථික රටාව හා සමාජ සංවිධානය ඒ රටෙහි පොදු ජනතාවට අසාධාරණ ව හා පීඩාකාරී ලෙස ක්රියාත්මක වූ කළ විරෝධයක් පැන නගියි."
අප රට පොදු සිරිතට වින කරන්නට මාන බලනා නූතන මාක්ස්වාදින් කිනම් වූ  න්‍යායකට අනුව එසේ කරන්නේ ද යන්න මට මෙය කියවන කල ඇති වූ ගැටළුවයි.
පාපොච්චාරණය - මගේ මේ ලඝු විචාරය මේ වටිනා පොත පැත්තකින් තියන්නට තරමවත් වටින්නේ නැත. එහෙත් මගේ සිමාසහිත ලිවීමේ හැකියාව මට ලියන්නට ඉඩ ප්‍රස්ථා දෙන්න මෙපමනකි. මා මෙහෙම කියා නවත්වන්නම් - අප රට කලාවන්, සංස්කෘතිය අගය කරන්නෙකු මේ පොත කියවිම මගහරී නම්, ඔහු හෝ ඇය හෝ තමනට මහත් වූ අසාධාරණයක් ම කරගන්නෙකි.
මගේ ශ්‍රේණී ගත කිරීම - කිසිදු පැකිලීමකින් තොරව - *****

No comments:

Post a Comment