Saturday 20 June 2015

Gods, Demons and Spirits - Abraham T. Kovoor


Gods, Demons and Spirits - Abraham T. Kovoor


***

( පිට කවරයේ පෙන්වා ඇති මුල් කෘතිය කියවූවද සිහලින් සටහනක් තැබීමට ඉටා ගත්තේ, මේ පොතේ "දෙවියෝ සහ භූතයෝ" යන පරිවර්තනය ගැන බොහෝ පිරිස් දක්වන දැඩි කුතුහලය, උනන්දුව හා කැමැත්ත හේතු කොට ගෙනය. ඇමෙසන් අන්තර්ජාල අඩෙවිය $4 ට මෙහි කින්ඩ්ල් මෘදු පිටපත් විකීණිමට ඇති බැව් දැක, මිලදී ගෙන කියවූවෙමි. )

මෙම කෘතියේ බොහො ලිපි ලියැවී ඇත්තේ හොල්මන්, භූතයින්, යක්ෂයින්, දෙවියන් නැති බව පෙන්වා දීමට ය. පොතේ ඇති බොහො ලිපි අනුව 1960 දශකයේ වෙසෙසින්, හා එක්දහස් නවසිය හැත්තෑව දශකයෙත්, කොවූර් මහතා යම් ආකාරයක "Ghost Buster " (සොල්මන් විනාශකයා ) කෙනෙක් ලෙස ක්‍රියා කොට ඇති සේය්. ඔහුගේ හේතුවාදි, භෞතිකවාදි න්‍යායට, දර්ශනයට එය මහත් සේ උචිතය. ස්ථාන කිහිපයක භූතයින්, සොල්මන් හා දෙවියන් ආරූඪ වීමේ සිද්ධින් තුල සිදුවු රැවටීම්, ගෙන හැර දක්වමින්, ඒවා මිථ්‍යා ලෙස බැහැර කරමින් කොවූර් තම දර්ශනය තහවුරු කිරීමට තැත් කර ඇත.

තවත් ලිපි කිහිපයක් හරහා කොවූර් මේ "සරල" කටයුත්තෙන් ඔබ්බට ගිය මත ප්‍රකාශ කොට සිටී. ඒ ලිපි වෙසෙසින් කියවීම වටී. ඒ අනුව පවුල් පාලනය, මිශ්‍ර ජන-වාර්ගික විවාහ, සුඛමෘත්‍යු (Euthanasia),  ඡ්‍යෝතිශ්ශාස්ත්‍රය, බෞද්ධ විශ්වවේදය ප්‍රතික්ෂේප කිරීම ආදි මාතෘකා රාශියක් ගැන ද කොවූර් අවදානය යොමු කොට ඇත. සායි බාබා ප්‍රමුඛ බොහෝ ඉන්දීය බාබා වරුන්, බ්ලැවට්ස්කි මැතිනිය හා ඕල්කොට් මහතා ආදින්ගේ චරිත වල ඇති රැවටිලි සහගත ස්වරූපයත් කොවූර් ගේ විමර්ශනයට ලක් ව ඇත. වෙසෙසින් බ්ලැවට්ස්කි මැතිනියගේ චරිතය බලවත් ලෙස විවේචනයට ලක් කොට ඇත්තේ ඇගේ පෞද්ගලික ජීවිතය ද ඉතිරි නොකරමිනි. මින් සමහර මාතෘකා ඔහු ඒවා සාකඡ්චා කල කාලය අනුව ම වඩාත් ප්‍රගතිශීලිය (උදා - විශේෂ  අවස්ථාවන්හි වේදනාවෙන් තොර මරණයට අවසර දීම හෙවත්  සුඛමෘත්‍යු. ) සමහර න්‍යාය බොළඳ මට්ටමකට වඩා ලං වේ. මේ කොටස කියවන්න. "The Government too is in duty bound to come forward to promote national integration through intermarriages. Other qualifications being equal, preference should be given to the children of inter-married parents for employment. "[Kovoor, Dr. Abraham . Gods, Demons & Spirits (Kindle Locations 731-732). Kindle Edition. ] මිශ්‍ර විවාහ වලට බාධා කිරීම නොකල යුත්තක් සේ ම ඊට අනවශ්‍ය ලෙස දිරි ගැන්වීමක් කරන මෙවන් යෝජනා අන්තවාදී ය. එක් පාර්ශවයකට වෙනස් ලෙස සැලකීමකි (Discrimination).

කොවුර් සහ බුදුදහම ( හෙවත්, කොවුර් නොදත් බුදුදහම ) - කෘතිය ආරම්භයේ තැනෙක කොවූර් මෙසේ කියයි. "Similarly I discarded the beautiful land of my birth— Kerala— and adopted Sri Lanka— an equally beautiful country— because most of the Sri Lankans are followers of Gouthama Buddha who taught a more rational and tolerant philosophy than the founders of any other religion." [Gods, Demons & Spirits (Kindle Locations 168-169) ] මේ කියමන දැක බෞද්ධයකු ලෙස මා අමන්දානන්දයට පත් විය හැකිය. එහෙත් මා එලෙස සතුට ට පත් නොවූයේ, කොවූර් ගේ "බුදු" දහම, මා පිළිපදින්නට යත්න දරණ බුදු දහම නොවන නිසාය. ලාංකේය බුදු දහමේ සියළු ජනප්‍රිය ආගමික ලක්ෂණ ප්‍රතික්ෂේප කලත් ( එසේ ප්‍රතික්ෂේප කල යුතුයි යන්නක් මින් නොකියවේ ),  කොවූර්ගේ "බුදු" දහම අපි විශ්වාස කරන බුදු දහමෙන් දහයෙන් පංගුවක් වත් නැත. කොවුර්, අනාත්ම, යන ත්‍රිලක්ෂණේය සංකල්පය වචනාර්ථයෙන් දැඩිව ග්‍රහණය කොට ගෙන, අන් ආත්මය විශ්වාස කරනා ආගම් සමඟ සැසඳීමක යෙදෙයි. බුදු දහම ආත්මය ප්‍රතික්ෂේප කරන් බව සැබවි. එහෙත් බුදු දහම ඉතා පැහැදිලිව උච්ඡේදවාදයත්, ශාස්වතවාදයත් ප්‍රතික්ෂේප කරයි. කොවුර් කියනා පරිදි පුනර්ජන්ම සංකල්පය බුදු දහමට පසු කාලීනව බමුණන්ගේ ආභාශයෙන් විත් ඇත. පුණර්ජන්මය, භාවනාව, අර්හත් මග  නොමැති තැන බුදු දහමක් නැත - ඇත්තේ විකෘතියකි. එහෙත් කොවූර්ගේ "බුදු" දහමේ මේවා නැත. ඔහු ගේ භාවනාව ගැන කියවීම මෙලෙසය.
 The unusual pattern of the brain wave of a person in deep meditation clearly indicates the deranged state of his mind, No sensible person, who has any knowledge of psychiatry, will accept this state of abnormality as a desirable thing. [Gods, Demons & Spirits (Kindle Locations 457-459)]
Numerous able-bodied men and women in the “spiritualistic” East waste their time in yogie asanas and at meditation centres in the hope of attaining “enlightenment” [ Gods, Demons & Spirits (Kindle Locations 434-435) ] ඕනෑම අයෙකුට බුදු දහම ප්‍රතික්ෂේප කිරීමේ නිදහස ඇත. මට බුදු දහම ඔප්පු කිරීමේ වෑයමක් හෝ ඊට උවමනාවක් හෝ හැකියාවක් ද හෝ නැත. එහෙත් බුදු දහමේ නාමයෙන් එහි ලඝුවක් ,විකෘතියක් ඉදිරිපත් කරන්නන් වෙත විරෝධය පෑමේ අයිතියක් නම් මට ද ඇත.

කොවූර් ගැන මගේ කියවීම - කොවූර් තමන් දැඩි ලෙස විශ්වාස කල භෞතිකවාදය මත පිහිටා තම සමාජය නිරෝගි කිරීම තම වගකීම යැයි සිතා කටයුතු කල අයෙක් යැයි හැඟේ.  ඔහු හා ඔහුගේ අනුගාමිකයින් සැට සහ සැත්තෑ දශක වල සමාජයේ එක්තරා කොටසක් කරනා රැවටිලිකාර ක්‍රියාවලි එලිකිරීම ට මහත් උත්සාහයක් දරා ඇති බවක් පෙනී යයි. එහි දී ඔහු උදාර අරමුණක් ඇතිව ක්‍රියා කොට අති බව පැහැදිලිය. ඔහුගේ සමහර සිතුවිලි ඔහු දශක ගණණාවක් ඉදිරියෙන් සිටි අයෙක් බැව් තහවුරු කරයි.

මම කොවූර් කියවීමට එක් සිදුවීමක් හා බුදු දහමේ එක් සූත්‍රයක් භාවිත කරමි. ඒවා මෙසේය:

- ආචාර්‍ය නන්දසේන රත්නපාලයන්ගේ වියෝවේ අලුත, ආචාර්‍ය සරත් අමුණුගමයන්, රත්න්පාලයන්ගේ සමාජ විද්‍යාව ගැන මෙවන් මතයක් පළ කලේය.
“මහාචාර්ය රත්නපාලගේ සමාජ විද්‍යාව ජනප්‍රියයි; ශාස්ත්‍රීය නෑ”
මම රත්නපාලයන් ගැන අමුණුගමගේ වදන් පිළිගැනීමට මැළිවෙමි. එහෙත් කොවූර් පිළිබඳ ව නම් මට එසේ සිතේ. ඒ ඔහු බොහෝ විට තමන් සිටිනා මතය තහවුරු කිරීමට පරීක්ෂණ සිදුකලා මිස, විවෘත මනසකින් ඒවා සිදුකලා ද යන ගැටළුව මතය. සමාජයේ අනුන් රැවටීමෙන් මුදල් හම්බ කරගන්නන් හෙළිදරවු කිරීම එකකි (එය පැසසිය යුත්තකි ) ; ඒ ඔස්සේ දෙවියන් නැත, යකුන් නැත, භූතයින් නැත; රහත් පළය කියා දෙයක් නැත, භාවනාව ගන්ජා ගැසීමක් වැනිය යයි දොඩමින්, සීමාසහිත පචෙන්ද්‍රයිනට සියල්ල සීමා කිරීම අන්තවාදයකි. අන්ත්වාදයන්ගේ විවිධ ප්‍රභේද ඇත. කොවූර්ගේ මතයන් ද එලෙසය.

-  මම භාවිත කරනා සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රයයි. එහි, විවිධ ඇදුරන් තමන්ගේ භාවනා හා පෙර බැව් මතක් කිරීමේ ශක්තිය අනුව, පෙර බැව් X ප්‍රමාණය ක් ඇත, ‍Y ප්‍රමාණය ක් ඇත, ආත්මය සදාකාලිකය ආදි වශයෙන් දෘෂ්ඨි වලට එළඹෙන්නෝය. කොවූර් තම සිමාසහිත, සරල පරීක්ෂණ ඔස්සේ මුළු ජීවවිද්‍යාව ත් නොපෙනෙනන ලෝකය ගැනත් දැඩි මතයනට නැතහොත් දෘෂ්ඨියකට එල්බ ඇත.

කොවූර් ආගම් ගැන කියූ දේ - ඔහු බොහෝ තැන් වල ආගම් වලට පහර දී ඇත. හින්දු දේව මණ්ඩලය විකෘතියටත්, අපහාසයටත් පත් කොට ඇත. යම් අවස්ථා වල යම් පුරුෂ දෙවියන්, ස්ත්‍රී ආත්මයක හරහා වෙස් වලාගෙන තව පුරුෂයෙකු සමඟ සංසර්ගයේ යෙදීම,  සමලිංගික සේවනයක් ලෙස දක්වා ඇත.
Once Aruna visited Devaloka in the disguise of a woman. When Indra saw this woman in disguise he could not control his passion. He had sexual intercourse with this imitation woman. Bali was born as the result of this un-natural homosexual cohabitation. [Gods, Demons & Spirits (Kindle Locations 1257-1259) ]

ක්‍රිස්තුස් වහන්සේ ගැන මෙවන් විවේචන ඇත. Even Jesus Christ held such a foolish belief. He is reported to have cured the sick by exorcising “evil spirits” from them! [ Gods, Demons & Spirits (Kindle Locations 2460-2461) ]
බුදුන් වහන්සේ ගැන ( භාවිත බෞද්ධ පතපොත ගැන විවේචන ඔහුට ඇත ) විවේචන නැත්තේ හේ  බුදු දහම නොදත් නිසා (නැතහොත් දැන හිටියේ එහි විකෘතියක් බැවින් ) ය. එහෙත් පටිච්ඡ සමුප්පාදයේ පුනර්ජන්මය අනිවාර්යය යැයි  අයෙක් පෙන්වා දුන්නේ නම්, බුදුන්ට ද ක්‍රිස්තුස් වහන්සේ ගැන දේ කී දේ කීමට ඉඩ තිබිණි.   ඉස්ලාම් දහම හා යුදෙව් දහම පිළිබඳ විවේචන ලෝක නිර්මාපක දේවාවාදි ආගම් විවේචනයට සීමිතිය. ඔහු එම දහම් වෙසෙසින් දැන සිටි බවක් නොපෙනේ. එක් අතකින් භෞතිකවාදයෙන් ඔබ්බට ගිය සියළු විශ්වාස ප්‍රතික්ෂේප කරන කල, කොවූර් මේ ඉහත දැක්වූ විවේචන කල යුතුව තිබුණු බැව් ද තර්ක කල හැකිය. මා මේ කොටස් ඉදිරිපත් කලේ කෘතියේ ස්වභාවය හා ස්වරය පෙන්වා දීමට විනා කොවූර් ව විනිශ්ච්යට නොවේ. (බුදු දහම පිළිබඳ කොටසේ ඔහු පිළිබඳ යම් විනිශ්චයක් කර ඇති බැව් පිළිගැනීමට මැළි නොවෙමි ).



මේ කෘතිය කොවූර් හඳුනාගැනීමට මග පෙන්වන්නකි. ඔහු ඉතා අවංකව තම මුළු පුද්ගලාන්තරය ම විවෘත කර ඇත. එහි පැසසිය යුතු ලක්ෂණ ඇත. දෘෂ්ඨිගත වීම් ද ඇත. මා අන් පොත් කියවීමට ඇති කාලය මිඩංගු කර මේ කෘතිය කියවූවේ, කොවූර් කවුරුදැයි හඳුනා ගැනීමටය. ඔහු ඉතා කාරුණික මේ පොත හරහා මට ඒ උපකාරය සිදු කොට ඇත.

1 comment:

  1. කොවුර්ගේ පෙට්ටගමට ගිනිතියල ඉවරයි

    මිත්‍යාව යනු කුමක්ද? විද්‍යාව දන්නා බවද? විද්‍යාව නොදන්නා බවද? සැක හැර දැන ගන්න. පහත Facebook පේජ් එකට යන්න.

    https://www.facebook.com/JyotishLanka

    ReplyDelete