පන්සලේ විප්ලවය (බෞද්ධ පුනරුදය ගංගොඩවිල සෝම හිමි දක්වා )
- වික්ටර් අයිවන්
===================
****1/2
හැඳින්වීම: රචනයට ආසන්නම හේතුව ලෙස ගංගොඩවිල සෝම හිමි ඇවෑමෙන් ඇති වූ දේශපාලන වාතාවරණය යැයි සිතිය හැකි වූත් , කිතු දහම පෘතුගිසි යුගයේ මෙරටට ඒමෙන් අනතුරුව එදා මෙදා තුරු බුද්ධාගම සම්බන්ධව සිදු වූ පුනරුදයන් විග්‍රහ කරමින් ලියැවුණු අගනා කෘතියකි. තම ප්‍රස්තූත මතෘකාව විග්‍රහ කිරීමට භාවිත කල ආශ්‍රේය ග්‍රන්ථ ගොණ්ණ ම, ලේඛක තෙමේ මේ කෘතිය යම් ශාස්ත්‍රීය පදනමක් ඉඟි කරමින් දැරූ උත්සාහය කියා පායි. පරිච්ඡේද නවයකින් (හා උපලේඛන ත්‍රිත්වකින්) සුසැඳි කෘතියේ මුල් පරිච්ඡේද සත ම වෙන් වී ඇත්තේ ප්‍රස්තූත මාතෘකාව විග්‍රහ කිරීමටය. කතුවරයා මුළුමනින්ම පාහේ අන් කෘති භාවිත කොට, එහි කරුණු ඉදිරිපත් කරමින්, අප රට බුදු දහම ඒමේ සිට, කිතු දහම ඒමත් සමඟ යම් අර්බුදයකට යෑමේ තත්ත්වයත්, යටත් විජිත යුගයේ තිබූ අර්බුදය හා පුනරුද ව්‍යාපාරයත්, නිදහසින් පසු බුදුදහමේ පුනරුදය හා ගැටළුත්, හා අවසන් වශයෙන් සෝම හිමි යුගය දක්වාත් ඉතා සූක්ෂමව, හැකි තරම් මධ්‍යස්ථව විශ්ලේෂණය කරයි. මේ පරිච්ඡේද සත තුල නව අදහසක්, අළුත් නිරීක්ෂණයක් නැති තරම් ය- ඇත්නම් ඇත්තේ නොදැනෙන්න රිංගවමිනි (ඒ ගැන පසුව ). අවසන් කෙටි පරිච්ඡෙද දෙක වන (8) නිරීක්ෂණ හා (9)නිගමන හරහා කර්තෘ සත්‍ය වශයෙන් තම හඬ අවදි කොට ගැටළුවට පිලිතුර හා උපදෙස් ලබා දෙයි.
මාතෘකාව සාකච්ඡා කිරීම : බුදු දහම සිංහල ජාතිය තැනීමේ ඓතිහාසික සිද්ධිදාමය හා ලොව අන් තැනෙක මෙවන් සිදුවීම් සිදු වූ අයුරු ගැන විග්‍රහයකින් ඇරඹෙන කෘතිය, දෙවෙනි පරිච්ඡේදයෙදී, අප රට කුල ක්‍රමය ගැනත්, වෙසෙසින් බටහිර ඉන්දියාවේ මලබාර් වෙරළ, කේරළ දේශයෙන් මෙරටට පැමිණ සංක්‍රමණිකයින්, සිංහල හා දෙමළ ජනයාට අවශෝෂණය වූ අයුරුත් විග්‍රහ කරයි. කරාව, දුරාව හා සලාගම කුල, කේරළ සංක්‍රමණිකයින්ගෙන් අවශෝෂණය වූවන්ගෙන් පැවත එන්නන් හරහාත්, නවන්දන්න කුලය දකුණු ඉන්දීය දෙමළ ජනයාගෙන් පැවත එන අයුරුත්, ආශ්‍රේය ග්‍රන්ථ හරහා කියා පායි. ගොයිගම කුලයට සාපේක්ෂව මේ කුල, හීන කුල ලෙස සැලකුණු අයුරුත්, 19 වෙනි සියවසෙන් පසුව, යටත් විජිත අර්ථක්‍රමයේ මුහුණුවර භාවිත කොට, ගොයිගම කුලය හා ගැටෙමින් මේ කුලයන් තරඟකාරීව ඉදිරියට ආ අයුරුත්, ඒ හරහා සිංහල-බෞද්ධ හා සිංහල ක්‍රිස්තියානි ලෙස අවශෝෂණය වූ අයුරුත් පෙන්වා දෙයි. බෞද්ධ පුනරුදය යන කාරණාව පිළිබඳව ලේඛකයා ඓතිහාසික අවස්ථා කිහිපයක් හරහා ඉතා සවිස්තරව කරුණු ගෙන හැර දක්වයි. කිතු දහම පෘතුගීසින්ගේ ආගමනය සමඟ පැමිණීම හරහා සිංහල අනන්‍යතාව අර්බුදයට යාම, 1815 සිට 1915 දක්වා කාලය තුල සිදු වූ බෞද්ධ පුනර්ජීවනය ( මේ කොටස ඉතා සවිස්තරව පිටු 117ක් පුරාවට විග්‍රහ වී ඇත ), නිදහසේ සිට '56 පෙරළිය දක්වා තිබූ තත්ත්වය, 1956 සිට 1972 දක්වා බෞද්ධ අයිතිවාසිකම් පරිපූර්ණ කිරීම හා නව අර්බුද ඇති වීම (හෝ සැඟවී තිබූ අර්බුද කරළියට ඒම ) හා ගංගොඩවිල සෝම හිමියන්ගේ ධර්ම විප්ලවය යන මාතෘකා ඔස්සේ ඉතා සියුම් ලෙසත්, බොහෝ අවස්ථා තුල මනා වූ ශාස්ත්‍රීය ශික්ෂණයකිනුත්, බොහෝ සෙයින් මධ්‍යස්ථ ලෙසත් තම කරුණු, මුළුමනින්ම පාහේ ආශ්‍රේය ග්‍රන්ථ හරහා සාධනය කොට ඇත. එක් අතකට කෘති ගණණාවක් හරහා පාඨකයෙකු එකතු කල යුතුව තීබූ කරුණුකාරණා ගොන්නක් එක් තැන් කොට පිළිවෙලට ඉදිරිපත් කොට ඇති සේය. මෙම කරුණු ගොන්නට ලේඛකයාගේ සම්බන්ධය වී ඇත්තේ, ඉදිරිපත් කොට ඇති කරුණු තේරීම හා කලාතුරකින් නොදැනෙන සුළු අයුරකින් කතෘ මතයක්, සිද්ධාන්තයක් ලෙස ඇඟවෙන අයුරින් කරුණු පෙළගැස්මට රිංගවීම - ඔබ්බවීම හරහා පමණි. අප රට බොහෝ නූතනවාදි ලේඛකයන් මෙන් නොව වික්ටර් අයිවන් අගතිගාමි නොවී, වෙසෙසින් අනගාරික ධර්මපාල හා ගංගොඩවිල සෝම හිමියන්ගේ චරිත වලට සාධාරණයක් ඉටු කරමින්, ඔවුන්ගේ සේවය විග්‍රහ කරයි.
(143 පිටුව ) 'අනගාරික ධර්මපාලගේ වේගවත් හඬ බෞද්ධයින් කුල්මත් කිරීමට හේතුවූවා පමණක් නොව, ඔහු දුසිරිත් ලෙස හැඳින්වූ සමහර ගති පැවතුම් ඇති සිංහලයෝ ඔහුගේ කතා අසා ලජ්ජාවට පත්ව සිය ජීවිත වෙනස් කළේය. කුමාරි ජයවර්ධන කියා ඇති පරිදි "බයින් හැකිළෙමින් නිවට ලෙස බඩගෑ යටහත් පහත් ලාංකිකයින් අතර හිස කෙළින් කොට ගමන් ගත් එකම වංශවතා" ඔහු විය. අනගාරික ධර්මපාලගේ අමද්‍යප ව්‍යාපාරය රටේ පැන නැගුණු පළමු සංවිධානාත්මක බහුජන ව්‍යාපාරය වී යැයි කිව හැකිය.'
(221 පිටුව ) "ගමන් මගේ පළමු අදියර යෙදී තිබුණේ ආරණ්‍ය තිබූ උණුවතුර බුබුල සිට මහඔය, කෙහෙල්-උල්ල, පදියතලාව, ඇත්-රජකුඹුර හරහා බිබිලට යාමය. ඉන්පසු බදුල්ල හරහා පස්සරට යා යුතුය. ඉන්පසුව ඇල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, නුගතලාව, කැප්පෙටිපොළ, තලවකැලේ, ලිඳුල, කොටපොළ හරහා ගිනිගත්-හේන, පිටවල, කිතුල්ගල, යටියන්තොට, කරණවැල්ල, දෙහි-ඕවිට, කළු-අග්ගල, හංවැල්ල හරහා කැළණියටත් ආ යුතුය. මුළු ගමනම යෙදිය යුත්තේ පිණ්ඩපාතේ ගොස් සිඟාකෑමෙනි. සමහා ගම්වල දින දෙක තුනක් නතර වී ධර්ම දේශනා පැවැත්වීමට සිදු වූ අවස්ථා ද් අතිබුණි... ධර්ම චාරිකාව සම්පූර්ණ කිරීමට ගතවූ කාල දින තිස්පහකි. මෙවැනි දුෂ්කර කාර්යයක යෙදිය හැක්කේ දැඩි අධිෂ්ඨානයක් ඇති නිර්භීත පුද්ගලයකුට පමණි. ( සෝම හිමියන්ගේ ධර්ම චාරිකාව ගැන කියමින් )
(231 පිටුව ) "සෝම හිමියෝ ද බුද්ධාගම හා සිංහල සංස්කෘතිය අතර වෙන් නොකළ හැකි සම්බන්ධයක් දුටුවෝය. මිථ්‍යා දෘෂ්ඨික විශ්වාසයන්ගෙන් හා ඇදහිලිවලින් කිළිටි වී ඇති බුදු දහම ඉන් බේරාගැනීමට අසමත් වෙතොත් 'මෙ ලක්දිවෙන් බුදු දහම ද තුරන්ව වසර දෙදහස් පන්සියයකට වැඩි ඉතිහාසයක් ඇති සිංහල ජාතිය මෙලොවින් සදහටම තුරන් වී යනු ඇති බව'කීවේය."
මින් මේ චරිත පිළිබඳ සියුම් විවේචන ඉදිරිපත් නොවී ඇතැයි නොකියවේ. විවේචන ද ඇතුලත් ය - උදෘතපාඨ සම්ප්‍රයුක්ත කියවීම ඉදිරිපත් කරනු වස් ය.
ගැටළුකාරි තැන් කිහිපයක්: (i) යම් ආගන්තුක ජනකොට්ඨාශයක් තමන් සංක්‍රමණය වීමෙන් අනතුරුව යම් අවශෝෂණයකට ලක් වූවා නම්, ඉන් මතුවට ඔවුන්ගේ මුල් සම්භවය වැදගත් වන්නේ සමාජ විද්‍යාත්මක සන්දර්භයක් තුල පමණි. වර්තමාන පරම්පරාව, ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ සම්භවය මත කියවීම, අයෙකුගේ දේශපාලන වාසියට කියාපාන්නක් මිස ඉන් ඔබ්බට් කිසිවක් එහි නැත. ඊට අමතරව එම සම්භවය සියුම්ව විකෘත කරනවා නම්, එහි ඇත්තේ සිතා මතා යම් අරමුණක් අරභයා කෙරෙන විකෘතියකි. දෙවෙනි පරිච්ඡේදයේ 'සාංක්‍රණිකයින් සිංහල දෙමළ සමාජයට එකතු වීම' යන උප-මාතෘකාව ඔස්සේ 29-35 පිටු අතර දීර්ඝ විස්තරයක් හරහා කරාව, දුරාව හා සලාගම කුලත්‍රය බටහිර ඉන්දියාවේ මලබාර් වෙරළේ සිට සංක්‍රමණය වූ අයගෙන් පැවතෙන්නන් ලෙස ආශ්‍රේය ග්‍රන්ථ අසුරෙන් තහවුරු කරන ලේඛක තෙමේ, 76 පිටුවේ දි මෙසේ කියයි: " එක් අතකින් ඔවුන් (කරාව, දුරාව, සලාගම ) සිංහල සමාජයට එකතු වී සිටියේ අලුතෙනි. බුද්ධාගම ට එකතු වී සිටියේ ද අලුතෙනි. දකුණු ඉන්දියානු දෙමළ පසුබිම් ද යම් පමණකට පෙනෙන තත්ත්වයක් තිබුණි. මේ තත්ත්වය ඉදිරියේ සිංහල බෞද්ධ සමාජය තුල තමන් අපේක්ෂා කළ පිළිගැනීම ලබා ගැනීම සඳහා සිංහල-බෞද්ධ අනන්‍යතාවට වැදගත් වන වර්ගය, ආගම, භාෂාව වැනි ප්‍රශ්ණ වලදි පෙරමුණ ගෙන සටන් කරන තත්ත්වයකට යොමු වීමට ඔවුන්ට සිදු වූ තිබුණේය." මෙම සාංක්‍රමණිකයින් ගැනත්, ඇහැලේපොළ, කැප්පෙටිපොළ ආදි රදලයන්ගේ සම්භවය ගැන වෙහෙසෙමින්, වෙසෙසින් කථා කරන ලේඛක තෙමේ, තම සංයමය බිඳ ගනිමින් කිසිදු ආශ්‍රෙය මූලාශ්‍රයකින් තොරව, කේරළෙන් පැමිණි අය, දෙමළ අය කරයි. සාංක්‍රමණිකයා අවශෝෂණය වූවාට පසු ව ඔහුගේ සම්භවය දේශපාලන වශයෙන් වැදගත් විය හැකි නොවේ. එම සම්භවය විකෘතිවැ ඉදිරිපත් කරන්නේ හුදෙක් අතපසුවීමකින් ම ද ?
(ii) (22 වෙනි පිටුව )" I වන විජයබාහු ( ක්‍රි.ව. 1110) රජුගේ අභාවයත්, I වන පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1153) රාජ්‍යප්‍රාප්තියත් අතර රජකම් කල් සිංහල රජවරුන්ගේ ලේඛන වැඩි ගණණක් ලියැවී ඇත්තේ දෙමළ බසිනි" - නැවතත්, මුලාශ්‍ර නැත. මා දන්නා තරමින් අප රට දෙමලෙන් ලියැවී ඇති ශිලාලිපි ම ඇත්තේ අතලොස්සකි. එනම් මේ කියන ලේඛන මොනවා ද ? සමස්තයක් ලෙස සුපරික්ෂාකාරි ලෙස, සියුම් විග්‍රහයන් ගෙන් ලියැවුණු කෘතීයේ මෙවන් තැන් වලට, කර්තෘ මූලික මෙවන් තැන් වලට, මුලාශ්‍ර සඳහන් කරන්නට අප ලේඛකයාට අතපසු වී ද ?
(iii) - මා කතුවරයාගේ චෞර රැජිණ කියවා නැත. කියවීමට බලාපොරොත්තුවක් ද නැත. එහෙත් ලේඛකයාට "චෞර රැජිණ" ලිවීමේ හැකියාව ඇති බැව් හෙතෙම ඔප්පු කර ඇත. (207 පිටුව ) "සෞඛ්‍ය ඇමතිනි විමලා විජේවර්ධන (බුද්ධරක්ඛිතගේ අනියම් බිරිඳ ) බුද්ධරක්ඛිතගේ මෙම කුමන්ත්‍රණ වැඩපිළිවෙළේ ( බණ්ඩාරනායක ඝාතන වැඩපිළිවෙල ) වැදගත් භූමිකාවක් ඉටු කල චරිතරයක් විය".
සිව්වන ගැටළුකාරි තැන මුද්‍රණ දෝෂ ය. මා ළැඟ ඇති දෙවෙනි මුද්‍රයේද මුද්‍රණ දෝෂ එමට ය. වෙසෙසින් දාතම දෝස සහිතය. අයෙක් ජන්මය ලබා ඇත්තේ මරනින් පසුවය. තව අයෙක් උපත ලබා ඇත්තේ පෙබරවාරි මස 31 දා ය. මෙවන් වැරදි පාඨකයා ගේ අවදානය බිඳියි.
නිරීක්ෂණ හා නිගමන: කතුවරයාගේ නිරීක්ෂණ හා නිගමන රැගත් කෙටි පරිච්ඡේද දෙකකි, 8 සහ 9 වෙනි පරිච්ඡේද. ඔහු ගේ නිරීක්ෂණ අතර මේවා ද වෙයි;
i.අප රට බුදුදහම සිංහල ජාතිය හා ගැටගැසී ඇති බැවින් බුදුදහමේ විශ්ෂ්ඨ හරයන්ට පටහැනිව ක්‍රියා කිරීමට සිදු ව ඇත
ii.කුලවාදය හේතුවෙන් සමහර බෞද්ධයන් වෙනත් ආගම් වලට එකතු කිරීමේ ප්‍රවණතාවක් ඇත.
iii. ශාසනයේ වැඩවසම් ස්වරූපය අද දක්වා වෙනස් නොවී පවති.
iv. බෞද්ධ පුනරුදයන් හරහා අභ්‍යන්තර ප්‍රතිශෝධන සිදු නොවුණු බව
v.බෞද්ධයාට වඩා, කිතුනුවාට ඉන්ගිලිසියට හා බටහිර හර පද්ධතීන් වෙත නැඹුරු වීමට පහසුය.
vi."භික්ෂූන් වහන්සේ අනවශ්‍ය තරමට සිංහල ජාතිය සමඟ අනන්‍ය නොවී බුදුන්ගේ ධර්මයට අනුකූලව උපෙක්ෂාව, මෛත්‍රිය හා සාධාරණත්වය යන ගුණ ධර්ම මත් පිහිටා කරුණු සලකා බලන තත්ත්වයකින් ක්‍රියා කරන්නට සමත් වී නම්, ශ්‍රි ලංකාව මෙතරම් අවලස්සන රටක් නොවන්නට් ඉඩ තිබුණු" (283 පිටුව ) බව.
vii.බුදු දහම පැවිද්දන් ඉලක්ක කොට ගත් දහමක් මිස ගිහියන් සඳහා ඇත්තේ සූත්‍ර කිහිපයක් පමණකි; ජීවිතය දුකක් ලෙස සැලකිය යුත්තේ පැවිද්දන් මිස ගිහියන් නොවන මුත්, මෙම ආකල්පය අප රට භික්ෂූන්ට වඩා ගිහියන් ට තිබෙන බවත් ය.
ලේඛකයාගේ නිගමන මොනවා ද? (287 පිටුව )"සිංහල ජනවර්ගයා විශේෂ ජනවර්ගයක් ලෙස සැලකීමේ පිළිවෙත ද බුද්ධාගමට පටහැනිය. ශ්‍රි ලංකාවේ බුද්ධාගම සිංහල ජනවර්ගය සමඟ ඇති කර තිබෙන අනන්‍ය බවෙන් නිදහස් විය යුතුය"(288 පිටුව )"පන්සලේ විප්ලවය සැබෑ ලෙස සක්ෂාත් වනු ඇත්තේ එවිට ය."
මගේ පසුවදන: නිරීක්ෂණ සියල්ල හා එකඟ විය නොහැක- එකඟ විය හැකි ඒවා ද වෙත් ( ii, iii, iv යන කාරණා ; vi ඇත්තක් ඇතත්, එය සරල් සූත්‍රගත කිරීමක් නොවේ ). වික්ටර් අයිවන් කියූ පමණින් හෝ, ලිබරල් ආණ්ඩුවක් හරහා හෝ, අප රට බෞද්ධ ජනයා, සිංහල කමින් බෞද්ධ කම ඈත් කරන්නට පෙළෙඹෙන්නේ නැත. අයිවන්ගේ පිළියම, පිළියමක් නොව, අනෙකකි. ඇත්තෙන්ම ජාතිකවාදි සළු පිළි ඇඳගත් ආණ්ඩුවකට මේ ක්‍රියාව යම් පමණකින් කල හැකි බව මගේ වැටහීමයි. විසි එක්වෙනි සියවසේ මෙම සිංහලකම හා බෞද්ධකම අතර ඇති සබඳතාව ස්වයං විවේචනයකින් අනතුරුව නැවත ප්‍රති-නිර්මාණය කල යුතුව ඇතැයි සිතමි. ඊට අද ඇති ප්‍රධානතම බාධකය, ධනවාදි නූතන සමාජය තුල යම්තාක් දුරකට වල්මත් වූ බවක් පෙන්වන භික්ෂු පරපුරයි. බුදුදහමේ විශිෂ්ඨ හරයන්ගෙන් ඈත් වී සිටින්නේ එය සිංහල ජාතිය හා බැඳි තිබෙන නිසා නොවේ - මෙය වැරදි නිරීක්ෂණයකි -ඇත්තෙන්ම වැරදි නිගමනයකි. වෙසෙසින් 19වෙනි සියවෙන් පසුව සිංහලයා මෙහෙයවීමට මෙරට බුද්ධ ශාසනයට ඇති ශක්තිය මදි වීමේ ගැටළුවකි මීට මුල. එය අන්යෝන්‍ය වශයෙන් එකක් අනෙකට බලපායි- ගහට පොත්ත වගේ නිසා ය. අයිවන් ගේ තව නිරීක්ෂණයක් වන්නේ ක්‍රිස්තු භක්තිකයින් බටහිර පද්ධතීන්ට හා ඉන්ගිලිසියට වඩා නැඹුරු බව කියා පෑමය. මීගමුවත් හලාවතත් අතර ජනයා ඇසුරු කල අයෙක්, මෙම ඉනිගිලිසි නැඹුරුතාව ගැන කියන්න එන්නේ නැත. මොරටුව හා මීගමුව අතර පෙදෙසේ මෙවන් ලක්ෂණයක් ඇතත්, නගරාශ්‍රිත බව ඊට රුකුල් දෙයි.
සමාප්තය: සමස්තයක් ලෙස අප රට බුද්ධ ශාසනය පිළිබඳ වත්මනෙහි සිට අතීතය දක්වා ස්වයං විවේචනයකට මග පාදන කෘතියකි. අයිවන්ගේ පිළියම පිළිනොගත්ත ද ඔහු ප්‍රශ්ණය දෙස බලනාකරය, ඊට කරුණු ගොණු කර ඇති ආකරය, ඒවා ඉදිරිපත් කොට ඇති මැදහත් බව, පාඨකයාගේ කියවීමේ බුද්ධියට නිගා නොදෙයි. මනා සංයමයෙන් ලියැවුණු, ශිෂ්ඨ, ශාස්ත්‍රීය කෘතියකි.
No comments:
Post a Comment