Wednesday, 23 November 2016

පරදේසි - එරික් ඉලයප්ආරච්චි



  
තම තුන් ඈදුතු නවකතා යැයි සැලකුණු කෘති වලින් අනතුරුව, කෘතියෙන් කෘතිය විවිධ ඉසවු පිළිබඳ අධ්‍යයන කරමින්, පාඨක ප්‍රජාවට නැවුම් අත්දැකීම් ගෙනෙන කතුවරයෙකි, එරික් ඉලයප්ආරච්චි. මා දන්නා තරමින්, ඔහු තම නවකතා වලට සම්මානයක් කියා දිනා ඇත්තේ "විතණ්ඩ සමය" උදෙසා දිනා ගත් රාජ්‍ය සාහිත්‍ය සම්මානය පමණි. මෑතක ප්‍රකාශ වූ ඔහුගේ නව කතා අන් සියළු සම්මාන උදෙසා ම , අවසන් වටය දක්වා පමණක් පැමිණිනි.
එරික් අවම වශයෙන් තම අවසන් නවකතා ත්‍රිත්වයෙන් හෝ, නවකතාවේ මූලික කතා ධාරාවට අමතරව, කොලාජ් චිත්‍රයක් ආකාරයෙන් අප්‍රධාන ඉසවු පිළිබඳ ව ද පාඨකයා තරමක් හෝ අවදි කරමිනි ඉදිරියට යන්නේ. මට දැනෙනුයේ, වංගු වලින් පිරි කඳුකර පාරක යන ගමන්, එරික් තමන් තෝරා ගත් සමහර පටුමං ද, අවට සිරි විස්තර ද ලුහුඬින් දක්වමින් ඉදිරියට යන බවකි. ඉදින් එහෙව් යන ගමනක මගතොට විස්තර ය වඩා රසවත්; නවකතාව අවසානය කතුවරයාට පහසු නැවතුමකි.
ඉදින් පරදේසි නවකතාවේ ප්‍රධාන චරිතය නොහොත් කථිකයා, ඔහුගේ චරිත ස්වභාව නොවලහා පැවසීම ඔස්සේ අපට හෙළිදරවු වන්නේ, මෙතෙක් සිංහල නවකතාවේ හමුනොවුනාකාරයේ නිදහස්කාමී, මතවාද වල සිර නොවුණු, විටෙක තම පැවැත්ම උදෙසා තම මතවාද උචිතාකාරයෙන් වැළඳගන්නා සුළු අවස්තාවාදියෙකු ලෙසට ය.. තැනෙක ඔහු ගැන ස්වයං විවේචනයක යෙදෙන මුත්, ඔහු ආශ්‍රය කරනා කතුන් හා සබැඳි සිද්ධීන් වලින් ඔහු පිළිබඳ මනා කියවීමක් ලබා දීමට කතුවරයා සමත්ව ඇත. නිදසුන් ලෙස ඊවා ඔහුට ගෙන දෙන අනේකවිධ අපහසුතා සහ නින්දා අපහාසත්, ටිකිරි ට අපහසු අවස්තාවක, ඉතා පෞද්ගලික සෞඛ්‍ය කාරණාවක් උදෙසා උදවු කිරීමට ඉදිරිපත් වන අයුරුත් ගෙනහැර දැක්විය හැකිය.
මේ කෘතිය කියවාගෙන යාමේදී, මා මීට කලින් කියවා ඇති ඉංග්‍රිසි නවකතා දෙකක් මා මතකයට ආවේ ය. එකක් නම්, ග්‍රහැම් ග්‍රීන්ගේ "Our Man in Havana" ය - කියුබානු දේශාපාලන කියවීමේ දි එහි මතකයට ඒම ස්වභාවිකය. වෙනසකට ඇත්තේ, ග්‍රීන් හසු නොකර ගත් කියුබානු කලාව, සංස්කෘතිය යම් තරමකින්, අප කතුවරයා ඉදිරිපත් කර තිබීමයි. අනෙක් කෘතිය, අර්නස්ට් හෙමිංවේ ගේ "Farewell to Arms" කෘතියයි. වෙසෙසින්, පීරු රාජ්‍යයේ ගත කල අවධිය කියවාගෙන යද්දි මේ කෘතිය මා මතක‍ය ට ආවේය. ඉලයප්ආරච්චි කෘතිය පුරාවට ම තැනින් තැන යම් යම් දේශපාලන නිරීක්ෂණ මගින් තම කෘතිය පොහොසත් කරනුයේ, මුඛ්‍ය ගමන යන අතරතුර සිදුවන අවැදගත් සල්ලාපයක කොටස් ලෙස ය. ඉන් ලේඛක න්‍යාය පත්‍රයක් නො ඇඟෙනවා පමණක් නොව කෘතිය ට බරක් ද නැත. නිදසුන් - රාජනි තිරාණගම ඝාතනය හේතුවෙන් උග්‍ර LTTE විරෝධියෙකු වූ සචිත්තානන්දන් ට පිරබාහරන්ගේ ඝාතනය පිළිගත නොහැකිව රෝගාතුර වීම ; ඊවා, අප ආඛ්‍යායිකයා ලාංකික තරුණියන් නො ඉවසන මුත්, යුරෝපීය කාන්තා ආශ්‍රයේ වරදක් නොදැකීම ; බර කොට නොකියැවෙන මුත්, ඉංග්‍රීසි කතා කරන සමාජයේ රිචඩ් ද සොයිසා අප රට ගම්බද පෙදෙස් වලින් පැමිණි ප්‍රගතිශීලින් කෙරෙහි සහය පළ කිරීම; නිල වශයෙන් අනාගමික කියුබාවේ සාමාන්‍ය ජනතාවගේ කතෝලික ලබ්ධියේ බලවත්කම ; පීරු, බොලිවියා, නිකරාගුවා වන් රට වලින් නොබෙල් සම්මාන ලාභි සාහිත්‍යකරුවන් බිහි ව ඇතත්, ඒ මගින් ඒ රටවල වල සාහිත්‍ය පරිශීලන තත්ත්වය කෙසේ වෙතත්, සාක්ෂාරතාව ඇත්තේ කොහේ ද යන්න ප්‍රශ්ණ කිරීමත් ; අප රට මැදි ආයාදම් රටක් බවට පත් වීමත් සමඟ රාජ්‍ය නොවන සංවිධාන යම් තාක් ඉවත් වීමත් සමඟ, එහි සේවය කල ඉහළ වැටුප් ලද්දන්ගේ ඉරණම - ආදි වශයෙන් විවිධ ඉසවු කෙරෙහි තම නෙත යොමු කරමින්, ආඛ්‍යායිකයා ලංකාවේන් කියුබාවටත්, ඉන් අනතුරුව දකුණු අමරිකානු රටවල් කිහිපයකත් කරක් ගසන්නේ, පාඨක අප ව සමාජ, දේශපාලන,සෞන්දර්යාත්මක චාරිකාවක ගෙන යමින් පමණක් නොව, අවසන දි සියල්ල පෞද්ගලික හේතුන් මත තීරණය වන බවත්, බොහෝ විට මතවාදි ආස්ථානය එම ඉරණමේ දිගුවක් බවත් ඉඟි කරමිනි. කෘතියාවසානය ළඟා වත් ම ඊවා සහ අප ආඛ්‍යායිකයා, දකුණු අමරිකාවේ නැවත මුණ ගැසීම තරමක් අභව්‍ය වුව ද, පරිණත සහ ශික්ෂිත, එනමුත් මනරම් ලියැවිල්ලක තුල එවන් සුළු දොසකට යම් අවසරයක් දිය හැකි සේ ය.

කෘතියෙන් කෘතිය, තමන් ව ම අතික්‍රමණය කරමින්, නව ඉසවු, නව පසු බිම් සොයමින්, මහත් සේ ගවේශන කොට, පැසසිය යුතු තරමේ ශික්ෂාවකින් ඒවා ප්‍රබන්ධගත කරන ඉලයප්ආරච්චි, ඔහුගේ ඊළඟ නවකතාව පිළිබඳ පාඨක බලාපොරොත්තු ඇතිකරවනා සුළු ලේඛකයකි. අද වන විට මට මෙවන් හැඟීම් අන් කතුවරුන් කෙරෙහි ඇති වන්නේ නම් ඒ විජේමාන්න සහ කාරියවසම්ගේ කෙටිකතා පිළිබඳ පමණක් විය යුතුය. තම මතවාද සියුම්ව අනෙකා ගේ මනසේ කොණක තැන්පත් කිරීමේ න්‍යාය පතරයකින් තොරව, තම නිරීක්ෂණ සෞන්දර්‍ය චාරිකාවක් වන් ප්‍රබන්ධමය ගෙත්තමකට හසුකිරීමට සමත් ඉලයප්-ආරච්චි, සිංහල නවකතාව ට සුබ ලකුණකි.

Friday, 11 November 2016

සක්වා ලිහිණි - මහගමසේකර





 මහගමසේකරයන්ගේ පළමු ඒකල කාව්‍ය සංග්‍රහය යැයි ගිණිය හැකි මුල්  වරට 1962 වසරේ දි ප්‍රකාශ වූ "සක්වා ලිහිණි" නම් වූ කාව්‍ය සංග්‍රහය නැවත කියවූවෙමි.

   කාව්‍ය විචාරයේ කිසිදු වෙසෙස් දැනීමක් නොවූයෙකු වන මුත්,  මේ කාව්‍ය සංග්‍රහයේ ගුණදාස අමරසේකරගේ  මුල් කාලීන කවි  ආර ද, සේකරගේ ම සැත්තෑව මැද සහ අග බාගයෙදි දුටු දාර්ශනික කවියේ බීජානු අවස්තා ද දකිය හැකිය.

මෙහි අපිට දැකිය හැකි දීර්ඝතම කාව්‍ය පංතිය, කවි සියයකින් හෙබි "කිඳුරු කුමරිගේ කතාව" නම් වූ කවි පංතියයි. පුළුල් වශයෙන් ශෝකාන්ත කාව්‍ය නිර්මාණයකට නෑ කම් කියන මෙය, දහ අට මත් සමුදුරුගොස් ආකෘතියක් අනුව නිර්මිතය.

"සිහින් සිනිඬු පෙණ ඇතුරු සිරි                යහනේ
ගිලන් සිතින් කුමරිය සැතපෙයි                  දුකිනේ
කෝන් ආවද මේ සිතුවිලි                      නො දැනේ
එයින් සිතට නැත අස්වැසුමක්                     ඉතිනේ"

මේ කාව්‍ය පංතිය ට හාන්ස්-ක්‍රිස්ටියන්-ඇන්ඩර්සන්ගේ "The Little Mermaid" හි අනුවර්තනයක් බැව් පෙනෙන්නට තිබේ. අවසානය, එම කථාවට යම් ආකාරයකින් අසමාන වුව ද, එම කතානදරය මෙම නිර්මාණයට මුල් වූ බැව් සිතේ.

මෙහි පස්මත් විරිත අනුව පබැඳි සමහර නිර්මාණ මා මතකයේ තිබුනේ, අමරසේකරයන්ගේ කවි ලෙස ය. වසර ගණණාවකට පසුව, මෙය නැවත කියවීමේදි ය, මට තහවුරු වූයේ ඒවා සේකරුන්ගේ බව. ඊට හේතුව ලෙස ඒවා තුලින් දැකිය හැකි සම විරිත හා එකල අමරසේකරුන්ගේ සහ සේකරයන්ගේ නිර්මාණ විෂයේත් යම් සමාන කම් වීම යැයි සිතමි. "මගේ පැලට ඔබ එන්න" එවන් නිර්මාණයකි.

"උදෑසන ඉර එලිය
කවුළුවෙන් ගෙට වැටෙන
සිනාවෙන් තොර මසිත
සිනාවෙන් පුබුදන්න
අලස නිඳිමර මසිත
ජීඅයෙන් පුරවන්න
සුදු සිනා මල් රැගෙන
සුදු මවෙත ඔබ එන්න"

අන් ප්‍රධාන ලක්ෂණයක් නම්, පසු කාලීනව නිසදැස් නිර්මාණයෙහි වැඩි නැබුරුතාවක් දැක්වූ සේකර මෙහි ඇතුලත් කල ඇති නිසදැස් ගණණ එක අතක ඇඟිලි ගණණට ත් අඩු වීම ය. මොනාලිසා එවන් නිර්මාණයකි;

"ඔබේ තොල් අග ඇදුණු සිනහව
සදාකාලික ගැටළුවකි මට
ඔබේ දෑසේ තියුණු බැල්මෙන්
අන්ද මන්ද ව වශී වන මා
ගුප්ත වූ ඒ සිනාවෙන්
සියුම් රසයක් ලබන බුත්
අරුත නෑඟෙන එයින් මා තුළ
බියක් සැකයක් ජනිත වෙයි..."


පසු ගිය දිනෙක  දිවි ගමන හමාර කල අමරදේවයන්ගේ මධුර කටහඬින් අප කුල්මත් කල, ගී ස්වරූපයෙන් අප වඩා හොඳින් අඳුනන කාව්‍ය නිර්මාණ කිහිපයක් ද මෙහි එයි;

"ඉරට මුවාවෙන් ඉඳගෙන
ඉස පීරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන
සළු පළඳිනවා
දීප චන්ද්‍ර රේඛාවෙන් මූණ බලනවා
වලාකුළෙන් අහස් තලෙන් බිමට වඩිනවා... " ( සොබා )

"ඇසේ මතු වන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරි පා දොවන්නම්
හදේ මැලවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්.... " ( අවුකන පිළිමය )

"මාල ගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
ඊයේ ඉපදුණු කළුඳුල් දූටයි
මේ පොඩි ඇඳුම වියන්නේ... " ( සන්නාලියන්ගේ ගීතය - සරෝජිනී නායිදු මැතිණියගේ කවියක් ආශ්‍රයෙනි )

"ඉර පායා ඉර අවරට              ගියාදෝ
හඳ පායා හඳ අවරට       ගියාදෝ
ඇඬු කඳුළු මූදට එක්           වුණාදෝ
ළමා ළපටි නෑනා කොයි             ගියාදෝ" ( දුකට කියන කවි සීපද )

මේ සමහර කවි පංති වල, අප පසු කාලීනව ඇසූ ගී වල නොමැති කවි ද වෙති...

"එගොඩත් බැලිමි එගොඩත් නුඹ     නැතේයා
 මෙගොඩත් බැලිමි මෙගොඩත් නුඹ   නැතේයා
 දෙගොඩම බැලිමි දෙගොඩම නුඹ නැතේයා
 සිව්පද කියන මම තනියම  පැලේයා" ( දුකට කියන කවි සීපද )

පසු කලෙක වඩා ප්‍රවීණත්වයට පත් වූ සේකර ගේ දාර්ශනික කවියේ මූල අවස්ථා ද මෙහි දැකිය හැකි ය." කලාමැදිරියා", "මගේ කවියෙන් ඔබ දකින්න"

"මා ලිව කවි මට වාගේම
ඔබ හැමටත් පොදු වනු ඇත.

සබඳ! එවිට මගෙ කවියේ
මා නොසොයා ඔබ දකින්න"

ඉදින් සඳැස්, නිසඳැස්, දාර්ශනික කවි, ගී ලෙස ප්‍රසිද්ධ වූ නිර්මාණ වල මුල් කවි පංති, තත්කාලීන අන් නිර්මාණ වලින් ආභාෂය ලැබූ නිර්මාණ ආදි වශයෙන් විවිධත්වයක් ඇති නිර්මාණ පැසකි මේ කෘතිය. සේකර කියවන්නෙකු, ඔහුගේ පසු කාලීන පරිපූර්ණත්වය තේරුම් ගැනීමට යත්න දැරීමේදී වැදගත් කෘතියක් ලෙස දකිමි.


Saturday, 22 October 2016

අහම්බකාරක - ලියනගේ අමරකීර්ති





 2016 දී නව කථා ඇගයූ සෑම සම්මානයකට  ම නිර්දේශ වූ ද, ස්වර්ණ පුස්තක සම්මානය දිනා ගැනීමට සමත් වූ ද,  ලියනගේ අමරකීර්ති රචනා කල අහම්බකාරක කියවූවෙමි. මේ කෘතිය පිළිබඳ බොහෝ දේ දැනට ම ලියැවී ඇති නිසා, මා මාගේ නිරීක්ෂණයන් කිහිපයකටත්, මෑතක අමරකීර්ති ම ලියූ ලිපියකින් ඔහුගේ සාහිත්‍ය සේවනයේ ස්වභාවය කියවීමටත් උත්සාහ කරමි.

නිරීක්ෂණ 1: වර්තමාන සමාජයේ පෙළඹවීම
එය බන්දුල බලගල්ලේ තමන් ම හඳුනාගත් පරිදි, "නිකං හිටපු මිනිසෙකු" ප්‍රසිද්ධ ව්‍යාපාරකයෙකු බවට පරිවර්තනය වීම හරහා, ලේඛක තෙමේ වර්තමාන ලාංකීය සමාජය, එම සමාජයෙන් තරමක් ඈත් වී විසීමට යත්න දරණ මිනිසෙකුට පවා කෙරෙන බලපෑම නිරීක්ෂණය කර ඇතැයි සිතමි. පළමු කාරණය බලගල්ලේට හුදකලාවීමට ඉස්පාසුව තිබීමයි. එය අප සමාජයේ ඇත්තේ ඉතා සුළුතරයකට ය. බලගල්ලේ ගේ පවුල් පසුබිම ඔහුට එම තිරණය ට අවකාශ ලබා දෙයි. රාධා ට පමණක් නොව ක්‍රිස්ටීන් ට පවා, තමන් කෙතෙරම් කලාවට, උසස් සාහිත්‍යයට, උසස් චින්තනයට කැමති වුවද, තමන් කැමති ආරට තම දිවි පෙවෙත තනා ගැනීමේ අවකාශය නොලැබේ.  ඉතින් එසේ අද වන විට මුදල් හම්බ කිරීම වෙනුවෙන් සියල්ල කැප කරන සමාජයෙන් සිතා මතා ඈත් වී සිටින මිනිසා ට පවා, බාහිර සාධක හේතුවෙන් තම සිතැඟි අනුව ජීවත් වීමට නොහැකි වේ. නිදසුනක් ලෙස බලගල්ල අනවශ්‍ය ලෙස තමන් සම්බන්ධ නොවෙන දේශපාලන පොරපිටියක කොටසක් වන්නේ  අන් අය නිසා ය ( රත්නායක ඝාතනය සහ විවිගේ බොරු රෝහල්ගත වීම හේතුවෙනි.)  වර්තමාන සමාජය මිනිසා තමන් ම විශ්වාස කරන අවම ආචාර ධර්ම පද්ධතියක් තුල විසීම ඇත්තෙන්ම අභියෝගයකි. රාධා, බන්දු බලගල්ලේ වෙත පැමිණ,  විවි ගේ පාරිශුද්ධතවය ගැන විමසන්නේ තම අවම ආචාරධර්මයනට පටහැණි මුත්, ආර්ථික සහ පෞද්ගලික හේතුන් මත විවිගෙන් ඈත් වීමට  නොහැකි නිසා ය. හෙවත් විවි තුල වැරැද්දක් නොවෙන බවට තමන්ව ම රවට්ටා ගන්නටය.

දෙවෙනි නිරීක්ෂණය: මෙහි එන අනෙක් වැදගත් කරුණ නම්, ගමේ වෙසෙන වාමවාදි තරුණයකු වන සේන සහ බන්දුල බලගල්ලේ අතර ඇතිවන මිත්‍රත්වයයි. බලගල්ලේ, තමන් පරිශීලනය කල සාහිත්‍යයෙන්, එන්ගලන්තයෙ දී ආශ්‍රය කල රැඩිකල් අදහස් ඇති තරණ-තරුණියන්, තමන් විසින් ම ඉදි කොට ගත් සාරධර්ම පද්ධතියක් මත පිහිටා වෙසෙද්දි, වාමවාදි අදහස් ඇති සේන සමාජ සාධාරණත්වය ගැන විශ්වාස කරන්නේ, බොහෝ අදහස් වලින් බලගල්ලේ සමඟ සමපාත වන්නේ ය. වන අතර ය. මෙහි, ඉතා සියුම් ලෙස කතුවරයා, අප රට තරුණ වාමවාදියා ටැ ඇගයීමක් ලබා දෙයි.

තෙවෙනි නිරීක්ෂණය: වචන වල ඇති බලවත්කම
විවි, කල කථාවක කොටසක් පත්තරයකින් බලාගෙන සේන කියවයි. එය අසා සිටින බලගල්ලේ ට මෙවන් සිතුවිලි පහළැ වේ; "පණ පිහිටුවා, හඬ නංවා කියන කල සිංහල භාෂාව රුධිරයට එකතු වී ශ්‍රාවකයා ද පණ ගන්වයි. මේ වචනවල එන අදහස් ගැන විවේචනයක් ඇති සේන ඒ වචන්වලට පණ දෙන කල ඒවාබන්දුල බලගල්ලගේ රුධිරය පණගන්වන තරම් උණුසුම්ය." (290 පිටුව )

"ලිංගික ඊර්ෂ්‍යාව සහ පන්ති වෛරය දෙකම එක්ව කළැ ලූම්පන් කුමන්ත්‍රණයක් මවුබිමේ සුජාත පුත්‍රයා බිලිගනී" ( 279 පිටුව )

"ඒ සියල්ලටමත් වඩා මගේම තාප්පයේ ඇති පෝස්ටරය මගේ හිත දැඩි සේ රිදවීය. එවැනි කුරිරු භාෂා භාවිතයක් මා ඉන් පෙර දැක නොතිබිණි. සංකීර්ණ ආදර කතාවක් එක රතු අකුරු පේළියකට ඌණ කළැ පෝස්ටරය එය පිටුපසින් සිටින අයගේ භාවමය දුප්පත්කමද තමන් සතුරා යැයි හඳුනා ගන්නා අයට හොඳටම රිදවීමේ දක්ෂකම ද පෙන්වන්නේ යැයි මට සිතිණි." (282 පිටුව )

කතුවරයා පෙන්වා දෙන්නේ සිංහල භාෂාව භාවිත කොට තමන් සතුරා ලෙස දකින අයට බැට දෙන්නේ වාවාගත නොහැකි අයුරින් යැයි කියා ය. අන් තැනෙක සමහර සිංහල වචන සාමාන්‍යකරණ කොට භාවිත කොට විකෘති අර්ථ ගෙන දෙන අයුරු නිදර්ශන ලෙස ගෙන හැර දක්වයි. මෙමගින් අපි සිංහල භාෂාව භාවිතාවේ ඇති යම් විකෘතිමය තත්ත්වයක්, සහ සංස්කෘතික තලයක දී, අප සියළු ආකාර විනීතකම් විනාශකරමින්, "තිරිංග නොමැති ව" වචන භාවිතා කරන අයුරු ගැන ඇඟවේ. ඉංග්‍රීසි භාෂාවේ නොහොඳ යන්න ඇඟවීමට භාවිත කරන "not the best", "average",  යන වචන ද, යම් යෝජනවාක්, අදහසක් පිළිගත හැකි වීම ප්‍රශ්ණකාරි බව ඇඟවීමට භාවිත කරනා "interesting idea/proposal " යන වදන ආදිය හා සැසඳුවේ දැයි මම නොදනිමි. එහෙත් කතුවරයාගේ සිතේ එවන් අදහසක් ද තිබෙන්න ට හැකි යැයි ද සිතේ.


අමරකීර්ති තමන්ව හෙළිදරවු කිරීම:  මා මේ නිරීක්ෂණ ඉදිරිපත් කලේ, පොත කියවා දින කිහිපයක් ගත වුව ද, අද කියවූ ලිපියක් තුලින් අමරකීර්ති පවසන සමහර දෑ මේ කෘතිය තුලින් දැකිය හැකි වීම හේතුවෙනි. අදාළ ලිපිය 2016, සැප්තැම්බරයේ 25 දින රාවය පත්තරයේ පළ වූ "එරික් ට පිලිතුරක්: අයියණ්ඩි බියනොවන්න - ඔබ තාම මියගොස් නැත" යන ලිපියයි  හේ එම ලිපියේ පහත කරුණු ( තමන් සබැඳිව ) පවසයි:

"අර්ථමය අදම්‍යතාව යනු පාඨකයා විසින් පඨිතය  සම්පූර්ණයෙන් දමනය කර තාර්කික අත්-අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන ගුණයයි... පශ්චාත් නූතනවාදි කලාකරුවෝ සහ විචාරකයෝ ඉතා ජනප්‍රිය සරල කලාත්මක නිෂ්පාදන තුළ පවා මෙය කල හැකි යැයි විශ්වාස කළහ."

"මා නම් විවිධ අන්දමේ ජාතිවාදීන්ගෙන් බැටකමින් මා අයත් ප්‍රජාවේ විඥානය වෙනස් කිරීමට කැප වී සිටිමි"

"මා කලාව දකින්නේ අතිපාරිශුද්ධ දුරස්ථ සත්භාවී ස්වභාවයක් ඇත්තක් ලෙස නොවේ. එය අනෙක් මිනිස් ප්‍රකාශනවලින් වෙනස් වන අතරම මහජන පරිමණ්ඩලය වෙත ළං විය හැකි මැදිහත්වීම්වාදි වස්තුවකියි මම සිතමි."

අමරකීර්ති තමන්ව හෙළිදරවු කිරීම:

කෘතියේ තක්සේරුව: ඉදින් අමරකීර්ති ගේ කෘති වල "ඇරියස් මකා ගැනීම" ( මෙහි නම් "නලියා" නැත - හැබැයි අහඹු ලෙස විජය වික්‍රමසිංහ හෙවත් විවි, අමරකීර්තිලා ට අප්‍රිය අන් දේශපාඥ්ඥයෙකුගේ මුලකුරු සමඟ පෑහේ. "අපි අපි" ද පසු ගිය සමයේ ඔයිට ආසන්න අයුරින් භාවිත. වූ වදන් පෙළකි - සැබෑවකි, ඔහු ඇඟවීම් පවා වඩා සියුම් තලයකට ගෙන ගොස් ඇත ; දොස්තරලා ඇරියස් මකා ගැනීම ගැන ඔවුන්ට දොස් නගා ඇත ), වාමවාදීන්ට සියුම්ව ඔසවා තැබීම ("ඔය රතු කමිසකාරයෝ විතරයි මවුබිම කිය කියා කෑගහන එව්වන්ගෙන් ඒක වෙනුවෙන් මැරෙන්ඩ ඉන්නේ" - 325 පිටුව ),  ජාතිකත්වය ජාතිවාදය බවට සියුම්ව අර්ථ දැක්වීම සහ එය ධනවාදයේ උවමනාවන් නිසා ක්‍රියාත්මක වන්නක් බැව් පෙන්වන්න උත්සාහ කිරීම, ඔහුගේ කලා භාවිතාවේ, මැදිහත්වීමේ,  ගුණාංගය. ඒ අර්ථයෙන් මීට පෙර ද මා පවසා ඇති පරිදි, අමරසේකර සහ අමරකීර්ති අතර වෙනසක් නැත (අමරසේකර තම විශ්වාසයන් එය "ගමනක මුල" පොත් පෙළේ, මරණ මංචකයේ දුටු සිහිනය ආදි කෘති වල  එතරම් සාර්ථකව නිර්මාණයට අන්තර්ගත කොට නැති බැව් අනෙකකි - එය ගල් පිළිමය සහ බොල් පිළිමය, එක් සත්‍ය කථාවක් ආදියෙන් වඩා සාර්ථක ලෙස  සමෝධානය කොට ඇත ). අමරකීර්ති, තමන් ඉටු කිරීමට තෝරා ගත් මැදිහත් වීම ඉතා සාර්ථකව ඉටු කරන්නේ ය.  එය කුරුලු හදවතේ . "කුරුළු පාළුව" අහම්බයක් කිරීමට තරම් සැහැසි වූ නමුත්, මෙහි අප සමාජය පුද්ගලයන් මත බලෙන් පටවන පීඩන පිළිබඳ පැවසීමට තරම් සංවේදි වෙයි. සැබවින් ම මා මෙම කෘතිය කුරුලු හදවට වඩා බොහෝ සේ රස වින්දෙමි. මට හැඟෙන පරිද්දෙන් කුරුලු හදවත තුලින් අමරකීර්ති වඩා "ලාභ විදියට" තම මතිමතාන්තර පාඨකයා වෙත ආරෝපනය කරන්න තැනුවා නම්, මෙය ඊට බොහෝ  ලෙස පරිපූර්ණ, සුමට වන ලෙස ඔප මට්ටම් කල සාර්ථක නිර්මාණයක් බවයි.  2015 ප්‍රකාශ වූ නවකතා අතුරින් "දූල්වල අලංකාරේ" සමඟින් ඉදිරියෙන් ම පවතින නවකතාවකි ( එරික් ඉල්යප්ආරච්චිගේ පරදේසි තවම කියවීමට ඉතුරුව ඇත )



  

Wednesday, 12 October 2016

යාරා යාත්‍රිකා - සේන තෝරදෙනිය

යාරා යාත්‍රිකා - සේන තෝරදෙනිය
===========================
***

( 2015 දී ප්‍රකාශ වූ නවකථා - 8 )

   සේන තෝරදෙනිය 2015 දී ඕස්ත්‍රේලියාවෙදී එළි දැක්වූ යාර යාත්‍රිකා, මාස ගණණක කාලයක් ගත කොට මෑත දිනෙක කියවා හමාර කලෙමි. නව කථාව පසු කවරයේ සඳහන් වන්නේ එය භ්‍රමණ වෘතාන්ත ගණයට අයත් බවකි.  ලංකාවෙන් ඕස්ත්‍රේලියාවේ  ගොස් පදිංචි වූවන්ගේ ගේ ජීවන රටා මෙම නවකථාවට පදනම වේ.  එහෙත් එම කථා පුවත අභිබවා ඉදිරියට නෙරා ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තය පිළිබඳ සුවිසල් සංස්කෘතික හා ස්වභාවික චාරිකා විස්තරයකි.  ඕස්ත්‍රේලියාවේ අබොරිජිනීයානු "ඩ්‍රීම්-ටයිම්" චිත්‍රකලාව, අනේක කලාගාර, පුස්තකාල, කෞතුකාගාර, මිදි වතු, චෙරි වතු, එහි නොයිඳුල් වනාන්තර වල  විස්තර ය. මේ සංචාරය කරනුයේ සාමාන්‍ය සංචාරකයකු නොවේ. මේ සංචාරකයා තමන් යනෙන පෙදෙස් ගැන මහත් උනන්දුවෙන් හැදෑරීමකින් ඒ ඒ දුම්රිය මාර්ග, නැවතුම් පොළ  ඇතුළු විස්තර ද උගෙන, ඉතා ලිහිල් බසකින් හා සංයමයකින් ඒ ගැන සටහන් කර ගත්තෙකි. මොහු සංචාරක කප්පිත්තෙකු විය යුතුය. මා යම් හෙයකින් වික්ටෝරියා ජනපදයේ වැසියෙකු නම් මා මේ පොත ඉතා ආදරයෙන් වැළැඳ, මගේ මාර්ගෝපදේශකයා කර ගනු නියතය. එහෙත් බොහෝ විට මා ඕස්ත්‍රේලියාව ට කිසිදා පය නොතබනු ඇත. එවන් පසු බිමක මේ නවකථාව කියවීම, ඉමහත් පරිශ්‍රමයක් යොදා කල යුත්තකි. සැබැවින්ම මේ කෘතියට ඉලක්ක පාඨක පිරිසක් ඇත - ඒ වික්ටෝරියා ජනපද වැසියන් ය. කිමද, පිටු 511 ක් පුරා දිවෙන නවකථාවෙන් අවම වශයෙන් 60%ක් වත් මේ සංචාරක විස්තරය. ඉන් පරිබාහිරව විසිරුණු කථාවක් ද ඇත. ඒ කපිලරත්න, එරන්දති, ඔවුගේ දරුවන්, මිය ගිය කලත්‍රයන් ගේ සහ ඕස්ත්‍රේලියාවේ පදිංචි අන් ශ්‍රි ලාංකිකයින්ගේ ජීවන රටාව ඉළිබඳ උපෙක්ෂක නෙතකින් බැලීම තුලිනි. කපිලරත්න නම් කනවැන්දුම් පුරුෂයා තුලින් දිගැරෙන මෙම කථාන්දරය, ලංකාව ගැන විවේචන වලින් ගහණ ය. එහෙත් ඒ අගතිගාමී ව නොවේ. ඕස්ත්‍රේලියාව ගැන ද විවේචන වලින් යුක්තය - එහෙත් ඒ එහි ප්‍රශංසනීය දෑ නිර්ලෝභීව ප්‍රශංසා කරනා අතර ය. තෝරදෙනිය ගේ දේශපාලන දෘෂ්ඨිය ද ඊට සංකලනය වී ඇත්තේ, කෘතිය ට බරක් නොවන්නට ය. පාඨක අප ට - සමාවන්න - ඉලක්ක පාඨකයින් නොවෙන අප ට - බරක් වන්නේ කපිලරත්නගේ දීර්ඝ ගමන් විස්තර  ය.

කතුවරයා වික්ටෝරියාවේ දුම්රිය ගමන් මාර්ග,  දුම්රිය පොළ වැටි ඇති අයුරු, බස් මාර්ග ආදි බොහෝ දේ ගැන උනන්දු වී ඇත. නිසැකයෙන්ම හේ පරිපූර්ණ සංචාරකයෙකි (කෘතහස්ත ලේඛකයෙකු වීමට අමතරව ). එක් නිදසුනක් පමණක් සෑහේ.

"නොර්ත් මෙල්බර්න් යනු අප්ෆීල්ඩ් මාර්ගයෙත් ක්‍රේගිබර්න් මාර්ගයේත් මංසන්ධියයි. වෙරිබි දක්වා දුම්රිය මාර්ගය බෙදෙන්නේ ෆුට්ස්ක්‍රේවලදීය. ඉන් එහා සන්ෂයින් සිට වැටී ඇත්තේ බෙන්දිගෝ, බැලරැට් ආදි දුරබැහැර කරා ඇදෙන වෙලෝසිටි ලයින් හෙවත් වී ලයින් නම් අධිවේගි දුම්රිය මාර්ගයයි. වෙරිබි මාර්ගය යාරවිල් පසු කොට නිව්පොර්ට් හිදි යළිත් බෙදී එක් මගක් විලියම්ස්ටන් දක්වා වැටෙයි. වෙරිබි හරහා ජීලෝං හා වොර්නම්බූල් දක්වා ඇදෙන වී ලයින් මාර්ගයකි." (90-91 පිටු )

මින් පසක් වන්නේ ලෙඛක තෙමේ කෙතෙරම් නිරීක්ෂනයක යෙදී මේ විස්තර එක්කාසු කොට ඇත්තේ ද යන්න ය. මෙවන් සවිස්තරාත්මක දෑ, කතුවරයාගේ ඉලක්ක පාඨකයන් පවා කැමැත්තෙන් භාර ගනීදෝ යැයි සැකය ( එහෙත් මා වික්ටෝරියා වැසියෙකු ව සිටියා නම්, මේ විස්තර මා උනන්දුවෙන් කියවනු ඇති ).

පරිසර විස්තර:
 "ලොව ඉතා දර්ශනීය වෙරළබඩ මාර්ගයක් වන මහා සමුද්‍ර මාවත ( Great Ocean Road) කිලෝමීටර් තුන්සීයක් දිගින් යුක්ත වේ. නිරිතදිග වෙරළැ ඔස්සේ විහිදෙන මාවත සංචාරක සිත් ලෝලනය කරවයි. වෙරළබඩ නගර සමූහයකි. යුරෝපයේ සිට මේ පෙදෙසටැ ආ ආදි ජනපදවාසීන් දැව, සීල්මසුන් හා තල්මසුන් සොයා පැමිණ ඇත්තේ ගොඩබිරම් චණ්ඩ සයුරු රළ මත්තෙනි. නො-එසේනම් පිවිසුම් මං නොමැති කඳුකරය ඔස්සේ හෝ දුෂ්කර කඳුකර මංතලව් ඔස්සේය. මාර්ගය දිගටම ඇත්තේ නැව්බුන් වෙරළැයි. එය මුහුදු ගමනේ වූ දුෂ්කරතාව කියාපාන එක් සාධකයක් පමණි. (416-417 පිටු )
   මේ මා තෝරාගෙන ඉදිරිපත් කොට ඇත්තේ "ග්‍රේට් ඕෂන් රෝඩ්" නම් වූ පරිච්ඡේදයේ ඇති මනස්කාන්ත විස්තරයකි. මෙවන් මනසේ චිත්‍ර අඳිනා විස්තර තව බොහෝ ය. ඉදින් වික්ටෝරියා වේ වෙසෙන සිංහලයෙකු මෙවන් විස්තර කියවා තමන් වටා ඇති පරිසරය ගැන වඩ වඩාත් අවබෝධවත් වීම බලාපොරොත්තු විය යුත්තක් ම ය.

නිසල වැලපෙන්නෝ:
  මා මේ පොතට උප නාමයක් යොදන්නේ නම් , ඊට "නිසල වැලපෙන්නෝ" යන්න යොදමි.

"මගේ යෙදුමක්. මගේ පොතට සුදුසුයි. මෙහෙ ඉන්නා පියවරුන් මව්වරුන් හඳුන්වන්න හොඳම යෙදුමක්.ඒක මෙහෙ ළමයි ඉන්න, ලංකාවේ ජීවත්වන ගැළපෙනවා" (430 පිටුව )

සාපේක්ෂ වශයෙන් අඩු පිටු ප්‍රමාණයක් යෙදුන ද, මේ නවකථාවේ මුඛ්‍ය තේමාව මෙයයි. එනම් ළමුන් පිටරටකට සංක්‍රමණය වීම නිසා දරු ශෝකයෙන් තනි වන දෙමව්පියන් ගේ ඛේදවාචකයයි. දෙමව්පියන් ළමුන් ගේ සංක්‍රමණික රටේ සිටිය ද,ලංකාවේ සිටිය ද තත්ත්වය ලොකු වෙනසක් නැත. දෙමව්පියන් ලංකාවේ නම්, සුවිශේෂි දිනක ළමුන් අන්තර්ජාලය ඔස්සේ සූදානම් කල ප්‍රසිද්ධ හෝටලයකින් ආහාර වේළක් ගැනීම, පලතුරු මල්ලක් නිවෙසට එවීම මගින්, තමන් යුතුකම් ඉටු කලෝය යයි දරුවන් සැනහෙති -දෙමව්පියන් මේ විස්තර තම නෑ පරපුරට කියමින් තමන් ගේ දුක තුනී කර ගැනීමට තැත් දරති. දෙමව්පියන් දරුවන් සමඟ සංක්‍රමණික රටේ නම් තත්ත්වය මීට බරපතලය. ඔවුන් කිසිදු ආශ්‍රයකින් තොරව නිවෙස තුල තනි වෙති. විෂාදය ට ද හේතු වන අවස්ථා වෙති. කතුවරයා මෙම දරුවන් හා දෙමව්පියන් අතර ඇතිවන නොසන්සුන්කම, පරතරය ඉතා හොඳින් තම නවකථාවේ නිරූපනය කොට ඇත. එහෙත් ඒ බ්‍රමණ වෘතාන්තයක් ලෙසට ය. ඉලක්ක පාඨකයකු නොවන්නෙකු මේ කියවීම මහත් ඉවසිල්ලෙන් කල යුතු වන්නේ මෙහි ඇති අති මහත සංස්කෘතික හා සංචාරක විස්තර හේතුවෙන් අධෛර්‍යයට පත්වීමේ ඉඩ බොහෝ ය.

මේ නවකථාව කියවීම තුලින්, ශ්‍රි ලංකාවෙන් සංක්‍රමණය වූවන් තම  ජීවිත පවත්වාගෙන යන අයුරු, ඔවුන් සාමාන්‍ය ලංකාවේ සංස්කෘතිය එහෙට ආරෝපනය කර ගන්නා අයුරු පිළිබඳ හොඳ කියවීමක් ලැබේ. එහෙත් එය උකහා ගැනීමට විශාල අවශේෂ විස්තර විඳ දරා ගත යුතුය.  මනා සංයමෙන් මෙතරම් දීර්ඝ විස්තර ලියන්නේ කෙසේද යන්න, වාක්‍ය අතර අතරමං නොවී මනා පාලනයකින් ලේඛනයේ යෙදී ඇති ආකරයෙන් උගත හැකිය. එනමුදු පිටු 510ක් පුරා පෙන්වූ විශාරදත්වය, අවසන් පිටු දෙකෙ දී පහත වට්ටවා ඇත.

සමස්ත කෘතිය ගැන පවසතොත්, මෙය ඇත්තෙන් ම "වැඩකි" - එහෙත් අප ට එය සැබෑ අයුරින් අගය කල නොහැක. මේ ලියවිල්ල ලියන්නේ මා නිසා ( හෙවත් ඔහුගේ ඉලක්ක පඨකයෙකු නොවන නිසා,) මට සාපේක්ෂ  ව තරු තුනකට වඩා මීට ප්‍රධාන කල නොහැක. මිල දී නොගත්ත ද, අයෙකු ට කියවීමේ අවස්ථාවක් ලැබුනහොත්, එය අත නොහරින මෙන් ඉල්ලමි. එහෙත් මෙය කියවීමට ඔබට ඉවසීමක් ද සංයමයක් ද තිබිය යුතුය. ඔබ අත කාල යම් තරමකින් ඇත්තේ නම්, මෙහි එන ස්ථාන අන්තර්ජාලයෙන් හෝ අගය කරමින්, අතථ්‍ය චාරිකාවක යෙදෙන්නේ, ඒ ව්‍යායාමය වඩා සාර්ථක වනු ඇතැයි සිතමි (මට එවැන්නක් කිරීමට කාලය හරස් විය ).

මහෙච්ඡ කෘතියකි. අගය කල යුතු වෑයමකි. ඉතා පහසුවෙන් පිටු 150ක් වත් කපා දැමීමට ඉඩ තිබිණි. (මේ කෘතිය කියවූ   මා ම කියුව ද,)  මේ කෘතිය මුලුමනින් ම කියවන ඉලක්ක පාඨකයෙකු මුරණ්ඩු සිතින් කෘතිය කියවා හමාර කල යුතුය.


   

Tuesday, 4 October 2016

දූල්වල අලංකාරේ - සුමුදු නිරාගි සෙනෙවිරත්න




   මෙවර හොඳම නවකථාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තා වූද, ස්වර්ණ පුස්තක සහ ගොඩඝේ සම්මාන සඳහා අවසන් වටයට තේරි පත් වූ ද, සුමුදු නිරාගි සෙනෙවිරත්න ලේඛිකාවගේ දූල්වල අලංකාරේ කියවූවෙමි. විමලධර්මසූරිය රජ දවස සිත්තර කරුමන්ත උදෙසා ඉන්දියාවෙන් මෙහි විත්, පරම්පරා ගණණාවක් පුරා තම ශිල්පය සෙංකණ්ඩගල විහාර බිතුසිතුවම් චිත්‍රණයේ  යෙදෙමින්, මහඟු සේවයක කොකල පරම්පරාවකි.  යම් සංක්‍රාන්ති යුගයක ජීවත් වූ සුරේන්ද්‍ර නයිදේ මුල් කරගෙන, මහත් පරීස්‍රමයෙන්, මහත් කරුණු හැදෑරීමෙන්, ඒවා යේ නියමිත මාත්‍රා බැගින් ම නවකථා ඖචත්වයට පටහැණි නොවෙනායුරෙන් භාවිතාවෙන් නිමැවූ වූ රසවත් නවකථාවකි. ලේඛිකාවගේ පළමු නවකථාව ලෙස සලකන විට සහ, මා අසා ඇති අයුරෙන් අන් විෂයක ට අදාළව සරසවි ඇදුරුතුමියක් වීම යන කාරණා සලකන විට ලේඛිකාවගේ ව්‍යායාමය ඇත්තෙන්ම ප්‍රශංසනීයය. මැය, අප රට නව කථා සාහිත්‍යයට මහඟු වටිනාකමින් පිරි වස්තුනක් එක්කාසු කොට ඇත්තේය. එකල ජීවන රටාව, අධිරාජ්‍යවාදීන්ගේ අරමුණ උදෙසා ක්‍රියාත්මක වන විට  ස්වදේශිකයින්ගේ ජීවන රටාවේ සිදුවන වෙනස්කම්, උක්ත යුගයට ගලපෙන වහර භාවිතාව, ඔස්සේ පාඨකයා අමන්දානන්දයට ලං කිරීමට සමත් පොතකි. පෞද්ගලිකව, මා මේ පොත කියවාගෙන ඉදිරියට යද්දි, කිසිදා අප අත් නොදුටු, එම "නිවුණු දිවි පෙවෙත" කෙරෙහි සාංකාව උපන්නේ මටත් නොදැනීනම ය.

 මෙම නවකථාව මේ සිත්තර පවුලේ විත්ති ඔස්සේ දිගැරෙද්දි, වටපිටාවේ සිදුවන ඓතිහාසික සිද්ධීන් ද රැසකි.පහත රැටියන් ක්‍රමයෙන් ධනවත් පංතියක් බවට පත්වීම, ඔවුන්ගෙන් කොටසත ක්‍රිස්තියානි ලබ්ධියට හැරෙද්දි අනෙක් කොටස වඩවඩාත් බුද්ධාගම, බුද්ධශාසනයේ උන්නතියට තමනට හැකි අයුතින් සේවය කිරීම, උඩරට වැසියන්ගේ ඉඩම් වතු වගා උදෙසා උදුරා ගැනීම, ක්‍රමක්‍රමයෙන් බෞද්ධයන්ගෙන් කොටසක් අන්‍යාගමික වීම, පතුල් කරුමාන්තේ ආදි මුදල් හදල් අතගැහෙනා රැකියා වලට යොමුවෙමින්, රාජකාරියෙන් සහ ගොයිතැං බතෙන් ඈත් වීම ආදි සමාජ විපරිණාමයන් නවකථාවට උචිත ලෙස වටපිටාව තනයි. වල් අලින් හීලෑ කිරීම, වී මැතිරිල්ලේ චාරිත්තරේ ආදි නැවත අපට කිසිදු දිනෙක නෙත ගැටෙතයි සිතියි නොහැකි ආරේ පුරාණයේ තිබූ යම් යම් ක්‍රියාදාමයන් ද නවකථාවට ඔබ්බවා ඇත්තේ, ඉන් නවකථාවට බාධාවක් නොවන ආරෙනි. එක් අතකින් මේ චාරිත්තර පිළිබඳ විස්තර තව අවුරුදු 20-30 කින් විතර ලියැවෙන කෘතියකට ඇතුලත් නොවෙන බැවින් - ඒ පිළිබඳ දැනුම ඒ ඒ පරම්පාතාව සමග වල පල්ලට යන බැවින් - මෙහි ප්‍රබන්ධමය රසයට එහා ගිය රසයක් පාඨකයාට ගෙන දෙයි.

වල් අලින් හීලෑ කිරීම, වී මැතිරිල්ලේ චාරිත්තරේ ආදි නැවත අපට කිසිදු දිනෙක නෙත ගැටෙතයි සිතියි නොහැකි ආරේ පුරාණයේ තිබූ යම් යම් ක්‍රියාදාමයන් ද නවකථාවට ඔබ්බවා ඇත්තේ, ඉන් නවකථාවට බාධාවක් නොවන ආරෙනි. එක් අතකින් මේ චාරිත්තර පිළිබඳ විස්තර තව අවුරුදු 20-30 කින් විතර ලියැවෙන කෘතියකට ඇතුලත් නොවෙන බැවින් - ඒ පිළිබඳ දැනුම ඒ ඒ පරම්පාතාව සමග වල පල්ලට යන බැවින් - මෙහි ප්‍රබන්ධමය රසයට එහා ගිය රසයක් පාඨකයාට ගෙන දෙයි. 2015 ප්‍රකාශයට පත් වූ කෘති අතුරෙන්, මීට සමාන අවදීන්, විස්තර සහිත කෘතීන් තුනක් කියවුවෙමි ( මාණික්කාවත ; මැකී ගිය පෙත් මං ) ; පෙර යුගයකට ලොබ බඳිනා මගේ දුර්වලතාවකට දෝ, එවන් කෘති වලට මා මනාපය. එහෙත් මේ කෘති දෙක ඉක්මවා දූල්වල අලංකාරේ මා සිත අලංකාරයට පත් කලේය. 2015 ප්‍රකාශයට පත් මෙතෙක් මා කියවූ කෘති අතුරින් මෙය නම් සැබැවින්ම සම්මානයට සුදුසු කෘතියකි.

Sunday, 2 October 2016

දුටුගැමුණුගේ හෘද සාක්ෂියට පිලිතුරක් - ඉෂංඛ මල්සිරි



  මේ කෘතිය වූ කලි එහි හැඳින්වීමේ ම, පැවැසෙන පරිදි මහාචාර්‍ය ගනනාථ ඔබේසේකර රචනා කල "Dutthagamini and the Buddhist Conscience" හා එහි සිංහල පරිවර්තනය වන "දුටුගැමුණුගේ හෘද සාක්ෂිය" නම් ලිපිවල ඇතුලත් කරුණු පදනම් කොටගෙන, ඒවාට සපයන පිලිතුරකි.  කතුවරයා හැඳින්වීමේ ම පවසන පරිදි, මෙවන් පිලිතුරක් ලිවීමට උත්සුක වූයේ ඔබේසේකරගේ ලිපි වල "බොහෝ කරුණු අපේක්ෂා කළැ නොහැකි තරම් අසංඝත හා පක්ෂපාතීත්වයකින් යුතු" හෙයිනි. පාඨක අප ගැන සැලකිලිමත් ලේඛක තෙමේ, ඔබේසේකර ලිපියේ සිංහල පෙරළුම මෙහි ඇතුලත් කොට ඇත.

ඔබේසේකරගේ ලිපියේ පිරීක්සන මල්සිරි, ඔබේසේකර "මහවංස ප්‍රවෘත්තියට සපුරා වෙනස් මතයක් ඉදිරිපත් කරමින් දුටුගැමුණුගේ හදවත සසල වූයේ එළාර මැරීම නිසා" (5 පිටුව ) බවත්,  තම පියා හා සමඟ ගැටුම, පියාගේ මරණයට සහභාගි වීමට නොහැකි වීම, එළාර ඝාතනය සහ එළාර තම පිය රජුට සම කොට සිතීම යන කාරණා එකට ආඳා, මේ කරුණු සියල්ල හේතුවෙන් දුටුගැමුණු මරණ මංචකයේදී, එළාර ඝාතනය පිළිබඳ පසුතැවෙන බවට තර්කයක් ගෙනහැර පායි.

මෙම කෘතිය පුරාවට ඔබේසේකරගේ ලේඛනයේ අසංඝත අවස්ථා පෙන්වා දෙන මල්සිරි, ඔබේසේකරට නගන ප්‍රධානතම චෝදනාව වනුයේ-
*  "තමන්ට වාසිදායක වන පරිදි යම් මූලාශ්‍රයකින් තැනින් තැනින් උපුටා ගනු ලබන වාක්‍ය කණ්ඩ ඉදිරිපත් කරමින් ඒවායේ සන්දර්භයෙන් බැහැරැව අර්ථකථනය කිරීමේ ක්‍රමවේදය" පිළිබඳව ය ( VIII; හැඳින්වීම )
* "වාසිදායක සාධක මතුකර දැක්වීමත්, අවාසිදායක සාධක නොතකා හරිමින් හා ඇතැම් විට වාසිදායක තත්ත්වයට බලහත්කාරයෙන් හරවා ගැනීමෙන්" ( 40 පිටුව )  යන කාරණා තුලින් ශාස්ත්‍රීය ශික්ෂණයෙන්  තොර වීම හේතුවෙන්.

 ඔබේසේකර ලිපිය මුළුමනින්ම පාහේ පෙර ඇතිකරගත් මතයකට සේවය කරනු වස් ලියුවක් මිස, සාධාරණ ශාස්ත්‍රීය, පර්යේෂණ ලියවිල්ලක් නොවන බවත්, මල්සිරි ඇතිතරම් සාක්ෂි ගෙනහැර දක්වා ඔප්පු කරයි.

ඔබේසේකරගේ ප්‍රධාන චෝදනාව වූයේ ගැමුණු රජු වෙත යම් හෘද සාක්ෂිය තිබුන ද, එකල රහතුන් හා අනෙක් භික්ෂූන් වෙත එවැන්නක් නොවූ බවකි. ( අප සාහිත්‍යමය මූලාශ්‍ර මත පිහිටා කරුණු කාරණා කථාකරන හෙයින්, ඓතිහාසික ග්‍රන්ථ වල එන කොටස් මෙම ලේඛකයින් දෙපළ සැලකූ අයුරින්ම මෙම ලිපියේදී ද සලකමි ) ඉදින් භික්ෂූන් කෙරෙහි මෙම චෝදනාව නැගෙන එක් අවස්ථාවක් නම්, සෝනුත්තර තෙරුන් නා ලොවෙන් ධාතු සොරකම් කරගත් බවයි. තම බෑණවුන් විසින් ධාතුව සැඟවූ බැව් සිතූ නා රජු පවසන්නේ 'ධාතු දක්නේ නම් ගන්නැ"යි යන වචන දෙපාර්ශවයෙන්ම යම් ආකාර ප්‍රයෝග භාවිතාවක් වූ බවත්, නා රජු සෝනුත්තර තෙරුන්ගේ හැකියාව අවතක්සේකල බවත් පැහැදිලිය. ඔබේසේකර ගේ බරපතල දෝෂය ඔහු එම කොටස සපුරා අතැර දැමීමයි. ශාසන සම්ප්‍රදායට අනුව භික්ෂුවකට අහේතුකව චෞර චෝදනාව නැගීම අපා ගත වන පවකි. පැසසිය යුත්ත නම් මල්සිරි එය කීමට ඉක්මන් නොවීම ය. ඔහු බොහෝ ලේඛකයින් කරන්නා සේ අවිශ්වාස කරන්නවුනට බණ පෙවීමට උත්සුක නොවේ. අප ලේඛකයා පවසන්නේ මෙපමණකි:
"භික්ෂුවකට නිකරුණේ  සොරකමක් පිළිබඳ වරද ආරෝපණය කිරීම ශාසන සම්ප්‍රදායෙහි ද බරපතල වරදක් සේ සැලකෙයි. යම් කථා පුවතකින් තැනින් තැනින් කොටස් උපුටා ගෙන එය එක් කථා  ප්‍රවෘත්තියක් සේ ඈඳීමෙන් සැබෑ ප්‍රවෘත්තිය විකෘති වී යන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය ශාස්ත්‍රීය ලෝකයෙහි සාමාන්‍යයෙන් සැලකෙන්නේ ශාස්ත්‍රීය වංචාවක් ලෙසයි. " (49 පිටුව )

ඔබේසේකරගේ ලිපිය පෙර තනා ගත් මත වලට සේවය කරන්නක් බව චෝදනා කරන මල්සිරි, මෙවැන්නක් පෙන්වා දෙයි. "...ඔබේසේකර ට අනුව සෝනුත්තර තෙරුන් යනු මහවංස රචකයාගේ නිර්මාණයකි. "( 60 පිටුව ) එහෙත් සෝනුත්තර භික්ෂුවගේ  සොරකම සැබෑවකි. මේ ඔබේසේකරගේ "කන්න ඕනෑ විට කබරගොයා තලගොයා කිරීමේ" ශාස්ත්‍රීය යැයි කියන  විධික්‍රමයයි.

මල්සිරි තම පිලිතුරු ලිපිය මගින් චින්තන ධර්මදාස වන් නන්දෙඩවිලි කරුවන්ට ද ප්‍රාමාණික පිලිතුරු සපයා ඇත. අලුත් පරපුරේ අය ට තරුණෙකු විසින් ම, තාර්කික තලයට සීමා වෙමින් පිලිතුරු දීම ඇත්තෙන්ම ප්‍රශංසනීය ය ( බලන්න 68-72 පිටු )

ඔබේසේකරගේ මගහැරීම් මෙපමණකට සීමා නොවේ. ඔහු ජනකථා තම මතය තහවුරු කිරීමට යොදා ගනී. එනුමුදු, ඔහුගේ ජනකථා තෝරාගැනීම නැවත වරක් පක්ෂග්‍රාහි බව සහ ශාස්ත්‍රීය සත්භාවය ප්‍රශ්ණ කරන්නකි. ඔහුගේ මතයට පටහැණි ජනකථා ඔහු වාංචනික ලෙස අතැර දැමූ අවස්ථා මල්සිරි ඔප්පු කර පෙන්වයි.

මල්සිරිගේ පිලිතුරු ලිපියේ, පුරාවිද්‍යා අංශයේ නිරතවූවෙකු වශයෙන් වැදගත් හෙළිදරවු වලින් ද සමන්විතය. "නූතන ඉසුරුමුණිය 'ලෙස හැඳින්වෙන විහාර නාමය ද එවැනි විකෘති හඳුනා ගැනීමක් වන අතර සැබෑ ඉසුරුමුණිය 'වෙස්සගිරිය' නමින් තවමත් සාවද්‍ය භාවිතයේ  පවති. කිසිදු මූලාශ්‍රයයක දක්නට නොලැබෙන 'ලංකාරාමය' නම් ස්ථූපයක් අද අපට උරුමව ඇත්තේ ද ඒ අහිංසක ගැමියන් විසින් දෙන ලද නව නාමකරණයක් හේතුවෙනි." (87 පිටුව ). මෙය මා මුලින් ම දැන ගත්තේ මේ කෘතිය කියවීමෙනි. ඊට කතුවරයා ට තුති.

 පුරාවිද්‍යාත්මක අංශයෙන් අනෙක් වැදගත් හෙළිදරව්ව වනුයේ මෑතක් වන තුරුම එළාර සොහොන යැයි සැලකුණු ගොඩල්ල, දුටුගැමුණු දවන ලද ස්ථානය බවට හැඟෙන සාධාරණ පුරාවිද්‍යාත්මක සාක්ෂි, ඉතා සමබරව ගෙනහැර දක්වා තිබීමයි. ඔහු යම් කිසි සැකයක ට ද ඉඩ ප්‍රස්ථා ඉතිරි කොට ඇත්තේ සැබෑ ශාස්ත්‍රවන්තෙකුට උචිත ලෙස ට ය. මේ කථිකාව පිළිබඳ එකඟ විය හැකි සහ නොහැකි යන දෙපාර්ශ්වයේ ම කරුණු ඉතා සාධාරණ ලෙස කතුවරයා ගෙනහැර දක්වා ඇත. ඔබේසේකර තම ලිපියේ කොතැනවත් මෙවන් සාධාරණ ශාස්ත්‍රීය බවක් පෙන්වා නැති බව පාඨකයා ට එත්තු යයි.

මේ කෘතිය ගැන තව වටිනා තැන් මතුකර දිය හැකි මුත්, ලිපිය දීර්ඝ වීම හා කියවීමට බලාපොරොත්තු වන පාඨකයන් ගේ උනන්දුව රකිනු වස් තව නව කරුණු ඉදිරිපත් නොකරමි. එහෙත් මෙය අප රට ශාස්ත්‍රීය කෘති වලට ලැබෙන සම්මාන වලට සුදුසු කෘතියක් ලෙස සිතමි ( මෙය පළමු වර නිකුත් වූයේ 2016 දී ය ). මා එසේ කියන්නේ, මල්සිරි මේ කෘතිය පුරාවට පෙන්වා ඇති ශාස්ත්‍රීය හික්මීම, අගතිගාමි නොවීම, සියළු දිශානති පෙන්වීම සහ ඒ ඔස්සේ ඔබේසේකරගේ වාංචනිකත්වය තහවුරු කිරීම හේතුවෙනි. මට පෞද්ගලිකව, මෙය ආදර්ශ ශාස්ත්‍රීය ලිපියක්,  ආදර්ශ ශාස්ත්‍රීය සංවාදයක් කෙසේ විය යුතු දැයි යන්නට නිදසුනක් සේ පෙනෙයි. රැඩිකල් මත නිසා ම විකල්ප මත හොබවන අතලොස්සක් කෙතෙරම් උඩ දමා පිම්බූ ව ද, එම රැඩිකල් මත ඇත්තෝ විටෙක කෙතෙරම් අසංඝත ද, ශාස්ත්‍රීයත්වයෙන් හීන ද යන්න, ඔබේසේකරගේ ලිපියේ ඌනතා හෙළිදරව්ව ඔස්සේ මල්සිරි අපට පෙන්වා දෙයි.

මල්සිරි කොතැනකවාත් ආගමික ලබ්ධියකට වහල් ව , අවිශ්වාසකරන්නවුනට පිලිතුරක් ලෙස කරුණු ගෙනහැර දක්වා නැත. ඔහු දුටුගැමුණු රජකරනා කලැ දේශපාලන අරමුණෙන් පමණක් තම තීරණ ගත් බවටත්, මරණ මංචකයෙදි, රජු වෙනුවට ගාමණි නම් මරණාසන්න මිනිසාගේ සිතුවිලි - එනම් යුධයෙදි සිදු වූ ඝාතන හෙතුවෙන් අපායගාමි වීමේ බිය - එය චර්යාධර්ම පිලිබඳ ප්‍රශ්ණයක් නොව - පෞද්ගලික බියකි - යන්න මතුකර, රජුට හුණුගසා නැති සුද්ධවන්තයෙකු ද නොකොට, නැති දුෂ්ටයෙකු ද නොකොට සාධාරණ ශාස්ත්‍රීය කටයුත්තක ම නිරත වී ඇත. ඔහුගේ බිය තමන් අපාගත වීම මිස, තමන් එළාරයන් ඝාතනය කිරීම පිළිබඳ පසුතැවිල්ල  නොවන වග ඉතා පැහැදිලිව පෙන්වා ඇත. එය ඔබේසේකරගේ පෙර මතයනට අනුව, ශාස්ත්‍රීය යැයි කියන ලිපි ලිවීමට සපුරා වෙනස් වූ වකි. මම මල්සිරි ට සිය අනාගත පුරාවිද්‍යා ගවේෂණ, හැදෑරීම උදෙසා සුබ පතන අතර, අනාගතයේදී තවතවත් මෙවන් අගනා රචනා ලිවීමට අවශ්‍ය ධෛර්‍යය, ශාස්ත්‍රීය කෞශල්‍යය ලැබේවා ප්‍රාර්ථනා කරමි. එහෙත්, මගේ අවංක අදහස නම් මේ කෘතිය පමණක් වුව අප වන් පුඟුලන්ට නම් ජීවිතය පුරා කෙරෙන ශාස්ත්‍රීය කටයුත්තක ට තරම් බවයි.


Monday, 8 August 2016

බගන්දරා - එරික් ඉලයප්ආරච්චි

එරික් ඉලයප්ආරච්චිගේ තුන්-ඈදුතු නවකථාවේ පළමු පොත, "බගන්දරා" නැවත කියවුවෙමි. ඒ වසර සතරක ට පසුව යි. එක්තරා දිනෙක පාන්දර නැගිට කුසුමාවති ඉස්කෝලේ හාමිනේ ළමුන්ගේ අභ්‍යාස පොත් බැලීම සහ , සිමියොන් උදයේ  තේ කඩේ බොයිලේරුව ට පොල් කටු අඟුරු දමන අවස්ථාවක සිට දිගැරෙන මේ නවකතාව, මේ කියනා වකවානුව එනම් හැටේ දශකයේ අග බාගයේ සිට, සැත්තෑව දශකයේ මුල් බාගය දක්වා පමණ වූ කාල පරාසය ට පාඨකයාව ගෙන යාමට සමත් වේ. නවකථාවේ ආඛ්‍යායනය එතරම් ම බලවත් ය. පිටු 380ක් පුරා දිගැරෙන ආඛ්‍යායන හදිසියෙන් තොරය. එහි ඉදිරියට ගලායාම කාල‍ය ට ඔබින ලෙසය ( මීට සාපේක්ෂව වේගවත් ආඛ්‍යායන ස්වරූපයකින් හෙබි මෙහි දෙවෙනි කොටස වන "විතණ්ඩ සමය", අසූව දශකයේ රටේ වෙනස්කම් සිදුවන වේගයට අනුගතව, වේගයෙන් ගලා යයි - සෙස්ස පසු දවසක ට ).

මවක් (කුසුමාවති ) සහ පියා (සිමියොන්) අතර ඇතිවන අඩදඹර, පියා ගේ අකර්මන්‍ය දිවි පෙවෙත සහ දේශපාලන පුරුෂාර්ථ වල සිර වී සිටීම, තම බිරියගේ පුරුෂාර්‍රථ සමඟ ඇති වන ගැටීම්, පිය පුතු ගැටීම්, රාජකාරිය ගැන පමණක් තකන, එක් දරුවකුට වෙසෙසින් සලකන අන් දරුවන්ට සිදුවිය යුතු යුතුකම් වගකීම් පැහර හරින මවක්, නිදැල්ලේ කාගෙන් හෝ සරණක් නොමැතිව හැදෙනා බාල දරුවන් - යන කූටූම්භ වටපිටාවක් මවා ගන්න. ඊට නාගරීකරණය නොවූ. එහෙත් නගරයට ආසන්න ගම්මානයක් ( මහිමගොඩැල්ල, මීගමුව ) මවා ගන්න. වෙනස්වීම ඉතා මන්දගාමී වූ යුගයක, මෙම දෙපළගේත්, ඔවුන්ගේ දරුවන්ගේත්, ළඟම ඥාතීන්ගේත් හැල හැප්පීම් ඇති ජීවිත, රටේ දේශපාලන අතීතය හා බද්ධ වැ ඉදිරියට ගිය අයුරකි, මෙම නව කථාවෙන් දිස්වන්නේ. මීගමුව ආශ්‍රිත අයෙක් නම් මේ කෘතිය වඩාත් රසවිඳිනු ඇත්තේ, මෙහි  එහි අතුරු ගම්මාන වල විස්තර වලින් සුපෝෂිත බැවිනි.

ඒ අතර සාම්ප්‍රදායික ජීවන රටා වලින් අලුත් පරම්පරාව ඈත්ව් වෙමින් ද තිබේ.

"කඩයට එන ගොවියන් කියන්නේ කුඹුරු වැපිරීමෙන් ලාභයක් නොලැබෙන බව ය. සමහරු කුලිකාඅරයින් නැති බව කියමින් කුඹුරු පුරන් කර දමති. ඇළ පාර දිගේ කුඹුරුවලට ලුණු වතුර ගලා එන කතාවක් ද ඇත. සිමියොන්ට අවබෝධ වූ ආකාරයට ඒ කතා සියල්ලට ම වඩා සත්‍යසම්පන්න කතාවක් තිබේ. එනම්, කුඹුරු හිමියන්ගෙන් බොහෝ දෙනෙකු දැන් මහලු ය. ඔවුන්ගේ දරුමුනුබුරෝ ගමේ නැත. වැඩි දෙනෙක් රැකිරක්ෂා කර්මාන්තාදියට කොළඹ යති. ගමෙන් පිට වී ගොස් මහරගම, පිළියන්දල, නාවින්න, කැලණිය, කිරිබත්ගොඩ යනා දී ප්‍රදේශවලින් පර්චස් තිහ හතලිහේ ඉඩම් කට්ටි මිලට ගෙන ගෙවල් තනා පදිංචි වී සිටින ඔවුන්ට ගමේ කුඹුරුවල වුවමනාවක් නැත."

මෙහි එන චරිත රැසකි. ඒ සියළු වරිතයනට පාහේ කතුවරයා සාධාරණයක් ඉටු කොට ඇත. තමන් හා විවාහ වූ පුරුෂයා ට ගරු නොකොට ඔහු පරාජිතයෙක් යැයි හංවඩු ගැසූ කුසුමාවති, කුසුමාවති සමඟ ඇති ගැටීම් සහ තම දේශපාලන අදහස් වලින් අකර්මන්‍ය කර ලූ සිමියොන්, මවගේ මග පෙන්වීම යටතේ පවුලෙන් ඈත් වී තම දියුණුව පමණක් පතා ඉහළට නෑගීමේ අරමුණෙන් පෙළුණු කුලසිරි සහ විශ්ව විද්‍යාල දේශාපාලනය ඔහුගේ ආකල්ප වෙනස් කර ලූ අයුරු, කිසිදිනෙක මවගේ ආදරයක් නොලත් මද්දුමි සහ බාලයා තනියෙන් තම දිවි තනා ගත් අයුරු, තම අක්කාගේ වචනය අභියෝගට ලක් නොකර තම දිවිය දිය කර ගත් ජයසේන පමණක් නොව, ගමේ අවශේෂ චරිත වූ සෙලෙස්තිනා ආදීන් පවා කතුවරයා ඉදිරිපත් කොට ඇත්තේ, පාඨක සිතේ ඔවුන් බොහෝ කලක් ජීවත් වන අයුරින් ය.

හැත්තෑ එකේ කැරැල්ල, අවධානය යොමු නොකරන දරුවන් තමන් වැඩෙන වටපිටාවෙන් අවසර ලැබෙන පරිදි කෙසේ හෝ වාරු නැති දෙපයින් හෝ නැගිටිනා අයුරු, ස්වභාවික මරණයක ට නියමිත වූ සමසමාජ පක්ෂය ආදි විවිධ අංශ ඔස්සේ කතුවරයා තම ගෙත්තම ගෙනයමින් මෑතකාලයේ නිර්මාණය වූ ඉතාම ඉහළ ම තලයේ නවකථාවක් රචනා කොට ඇත්තේ ය.

මෙය එක් අතකින්, මීගමුව ප්‍රදේශයේ බොදු-කිතුණු මිශ්‍ර සංස්කෘතියක දිවි පෙවෙත් පිළිබඳ විස්තරයක් ය. අනෙක් අතෙන් නාගරීකරණය නොවූ, එහෙත් නගරය අත ළඟ ඇති පෙදෙසක් ඒ නගරය හා සබඳතා තබා ගන්නා අතරම තවම සිය නොයිඳුල් ස්වභාවය රැක ගන්නා අයුරු විදහාපෑම මඟින්, අද වන විට කුමන ක්‍රමයකින් හෝ නවතා තැබිය නොහැකි නාගරීකරණය එ කල ක්‍රියාත්මක වීමේ අඩාලත්වය පෙන්නුම් කරන්නකි.


( මා මේ පොත ගැන මීට ඉහත ඉතා ලඝු සටහනක් කොට ඇත. එහිදී මේ කෘතියට තරු සතරක් දී ඇත. මට වැරදී ඇත. මෙය තරු පහේ පොතකි.)

*****
නවකතා
ගොඩගේ ප්‍රකාශනයකි ( පළමු මුද්‍රණය - 1998 )
  ( මා සතු දෙවෙනි මුද්‍රණය 2004 දී පළ වූවකි)