Thursday, 30 July 2026

ඊස්ට්‍රජන් - සුරේඛා සමරසේන

2025 වසරේ හොඳම ස්වත්‍රන්ත්‍ර කෙටිකතා අත්පිටපත වෙනුවෙන් පිරිනැමෙන විදර්ශන සාහිත්‍ය ත්‍යාගය දිනූ ඊස්ට්‍රජන් කෙටිකතා සංග්‍රහය කියවීමි. මෙහි එන කෙටිකතා සියල්ල ම අඩු වැඩි වශයෙන්, අප රටේ ගැහැණුන් මුහුණ දෙන ගැහැට, ඉන් මිදීමට වරෙක ගැහැණියක් ගන්නා පියවරක්, ආදී සිද්ධීන් අලලා ලියවුණු රචනාය.

මෙහි එන පළමු කෙටිකතාව වන 'වැළි සිමෙන්ති' මගින් කාන්තාවකට, වෙසෙසින් තම බිරිඳට ගරු කිරීමට අප රට සමහර පිරිමි කොට්ඨාශයක් නොදන්නා ආකාරයත්, පිටස්තරයන් ඉදිරියේ හෝ ගරු සරු ඇතුව කතා කිරීමට තරම් කාරුණික නොවන අයුරුත් පෙන්වන්නකි. එම කෙටිකතාවේ අනෙක් මාතෘකාව වන්නේ මැද පාංතිකයින්ට නිවසක් නිමවා ගැනීම යනු සත්‍ය වශයෙන් ම කොන්ද කැඩීමක් බවත් සනාථ කිරීමය. අප රට සාමාන්‍ය කියමන වනුයේ 'සෙනසුරු අපලයක් තියෙනවා නම් ගෙයක් හදපන්' කියාය. සෙනසුරු ග්‍රහයා දුකට, මහන්සියට සහ කැපවීමට අධිපති යැයි ඇති විශ්වාසය නිසා, අප විසින්ම ස්වේච්ඡාවෙන් දුකක් සහ මහන්සියක් තෝරාගෙන නිවසක් සෑදීමට ධනය හා ශ්‍රමය කැප කරන විට සෙනසුරු අපලයේ දරුණු බලපෑම බොහෝ දුරට අඩු වන බවට විශ්වාසයක් වෙසෙසින් අපට පෙර පරම්පරාවේ අයට ඇත. 

මෙහි එන 'තොරණ' නම් වූ කෙටිකතාව, අප රට සමහර විවාහයන්හි කාන්තාවකට මුහුණ දීමට සිදු වන ලොකුම අසාධාරණයත්, එයට යම් විසඳුමක් සෙවීමේදී ඇති දුෂ්කරතාවත්, අන්තිමට තමා සොයාගත් විකල්ප විසඳුම කෙරෙහි වෙහෙසට පත්වීමත් ඉතා ඍජුව කතා කරනා කෙරෙන්නෙකි. මෙලෙස විවෘතව විවාහක කාන්තාවන් මුහුන දෙන ලිංගික අසාධාරණත්වය කතා කරනා අන් නිර්මාණයක් නැති තරම් විය හැක.

'පොට්ටු', අප රට එක්තරා ජනකොට්ඨාශයක වඩාත් සාම්ප්‍රදායික සිතුම් රටාවන් අභියෝගයට ලක්වුණු අවස්ථාවක, මෙහි එන කාන්තාව තම විමුක්තිය තෝරා ගන්නා තීරණය, තමන්ගේම කණ්නාඩිය සමඟ කෙරෙන නොනිත් දෙබසක් ඔස්සේ කෙරෙන අපූරු නිර්මාණයකි. මේ වන විට කෙටිකතා ත්‍රිත්වය ආකෘති තුනක් ඔස්සේ නැවුම් බවක්ද අපට ගෙනවිත් තිබිණි.


අයෙකුට මෙහි එන කෙටිකතා වල යම් යම් තරමක සුලභ උපක්‍රම සහ මාතෘකා භාවිතා වනවා යැයි චෝදනා කල හැක. එහි යම් සත්‍යයක් ඇත. එහෙත් ලේඛිකාව එම කෙටිකතා ගෙන හැර දක්වන කෙටි ආකාරය, සහ ඍජු ආකාරය හේතුවෙන් ය මෙහි ඇති ආකර්ශනය ඇත්තේ. මෑත දිනෙක ලේඛිකාව සහභාගි වූ සමුළුවකදී ඇය කීවෙ ඇගේ මුරණ්ඩුකම හේතුවෙන් අන් අය 'කෙලින් ම නොකියන දේ' ඇය කියනා බවකි ( ඒ වන විට ද මම මේ සංග්‍රහ්‍ය කියවා අවසන් ය). එවන් කෙටි කතා ද නැත්තේ නොවේ (නිදසුන් ලෙස තොරණ). එහෙත් ඊට එහා ගොහින් මතභේදාතමක නොවන වටපිටාවක දී ද ඇගේ ඉදිරිපත් කිරීම පාඨකයන් රඳවා ගන්නට සමත් ය. මෙහි එන බාලම්මා සහ ඩිමෙන්ෂියා රෝගය ගැන ලියවුණු  "අපි දෙන්නා" කෙටිකතාව එවැන්නකි. තනිකඩ කාන්තාවක වයසට යෑමේදී සමාජයට ඇය මගහැරීම සහ ළබැඳියන් නැති වීම නිසා ම ඇය ට ඇය අමතක වීම බොහෝ රටවල පවතින ප්‍රශ්ණයකි.

මේ දින වල මා කියවන එක් නවකතාවක් වන්නේ සැලී රූනි ගේ Intermezzo. එහි තමන්වත්, තම පස් හැවිරිදි සොහොයුරාවත් දමා අන් පුරුෂයෙකු හා යෑමට තීරණය කල මව සහ වැඩිමල් පුතු අතර අවුරුදු දහසයකට පමණ පසු ඇති වන දෙබසක, තිබූ සෝපාහසය මා සිත් ගත්තේය.

"I'm worried about him, Peter. His poor father is only dead a few weeks, you know.

His father, he repeats. Okay. He was also my father, I believe. Unless you have some surprising news for me.

Crackle of her breath. God help me she says. How did I raise such insolent children?

..... If it's any consolation, he says, you didn't really,

Noise of her laughter now, angry. Oh, here we go, she says. I suppose your father raised you both on his own, did he?

He did his best.

So did I.

....In a lowered voice he says into the phone: You left when Ivan was five years old, Christine.

Marriages break down, Peter. I know that's difficult for you to accept. But I didn't leave my children." 

මට මේ දෙබස මෙහි ඇතුලත් කිරීමට හේතු වූයේ, මෙම සංග්‍රහයේ එන "වංකගිරියක" නම් කෙටිකතාවේ වෙසෙසින් ලිංගික අසාධාරණය හමුවේ, ඊට එරෙහිව තීරණ ගත් කාන්තාවන් දැක දැකත්, තමන්ගේ නව යොවුන් වියේ දුටු එක්තරා සිද්ධියක් පදනම් කරගෙනෙ තීරණයක් ගැනීම නොතකා හරිනා කාන්තාවක් හමුවේය. තමන් ට වඩාත් ම වැදගත් කුමක් ද කියා තම සිතට අවංකව තීරණ ගැනීමත්, ඒ තීරණ හමුවේ පසුපසින් එන පළවිපාක වලට මුහුණදීමත් සිත ධෛර්‍යමත් කර ගැනීමත් එක සේ අපහසු ය. ඉහත උදෘතයේ එන ක්‍රිස්ටීන් නම් මව පුතුන්ගේ අවලාද වලට තවම හුරු වී නැති සැටිය. වංකගිරියේ එන නිර්නාමික කාන්තාව එම කාසියේ අනෙක් පැත්තය. කෙටිකතාවෙ නම් ඊට වඩාත් සුදුසුය.

නවයොවුන් වියේ පළමුවට සිත බැඳෙන කාන්තාව තරුණයෙකුට ගෙන එන්නේ දෛවය මගිනි. එහි සමාජයේ පිළිගත් සදාචාරයන් ට ලැබෙන්නෙ පසු විපරමකි. මීට වසර හැටකට පමණ පෙර ගුණදාස අමරසේකර  ශ්‍රේෂ්ඨ නවකතා ත්‍රිත්වයකින්  මෙම කාරණා ගැන ලීවේය. "කනදරාවේ කාන්ති" ගැන ඇති ප්‍රතිරූපය විනාශ කරගැනීමට ඇගේ බෑනා වන පුතෙකු අකමැතිය.

පිටු 64 ට සීමා වන මෙම කෙටිකතා සංග්‍රහය මා සිත් ගත්තේ, සෑම කතාවකම ඇති 'තිත්ත ඇත්ත' හි ඇති ආකර්ෂනයයි. අයෙකුට පෙර කීවාක් මෙන් මෙහි එන්නේ සුලභ නුමුත් පහසුවෙන් ම කියවන්නියගේ කුකුස වඩවන තත්වයන් යැයි කිව හැක. එලෙසම රචනා ශෛලිය අවශ්‍යම දෙබසකට සීමා වූ අවස්ථා බහුලය. මෙම කාරණා තරාදිය දෙපැත්තේ තබා මැන්නද, මෙම සං‍ග්‍රහය සාර්ථකයැයි කීමට මා කමතිය. එලෙසම, මෙම සංග්‍රහය අප රට ප්‍රමුඛතම සම්මානයකට නිර්දේශයට නොහැකි වීමේ නෛතික තත්වයන් විසඳාගැනීමට නොහැකි වීම අවාසනාවන්තය. 

ශ්‍රේණිය: ****

No comments:

Post a Comment