Monday, 4 November 2024

ද්‍රෝහියෙකුගේ අභ්‍යන්තර කතාව - කීර්ති වැලිසරගේ


ද්‍රෝහියෙකුගේ අභ්‍යන්තර කතාව වනා හි කතුවරයා ගේ දෙවෙනි කෙටිකතා සංග්‍රහයයි. 1995 වසරේ පළමු වරට ප්‍රකාශ වූ මෙම සංග්‍රහයේ ද, 'ගස් කට්ටිය' සංග්‍රහයේ මෙන්, අද වන විට අපට හුරුපුරුදු ප්‍රාදේශීය වටපිටාවක්,  අදට පෙර යුගයක තිබුනු අයුරු කියවෙන  නිර්මාණ වලින් පෝෂිතය. කෙටිකතා නවයෙන් 3ක්, 1986-1987 කාලයේත්, අනෙක්වා 1993-94 කාලයේත් ලියැවී ඇති බව පෙරවදනේ කියවේ. එනුමුදු එම සියළු කෙටි කතා වලින් ඊට පෙර යුගයක් මූලික වශයෙන් ආභාෂයට ලක් ව ඇති බව පැහැදිලිය. 
 
මෙහි එන "ඇඳ කබල" කෙටිකතාවේ එන තලාහේන අසූව දශකයේ මැද හෝ අග තිබූ තලහේන විය යුතුය. අද වන විට බොහෝ සේ නාගරීකරණය වී, පිටතින් පැමිණි අය පදිංචි ව තිබුන ද, සමහර පෙදෙස් වල තවමත් මුල් පදිංචිකරුවන් දැකිය හැක. 2000 දශකයේ ද එහි කනත්තට ආසන්නව දර මඩුවක් තිබුනා පමණක් නොව කරත්තයකින් කොළඹ දෙසට දර රැගෙන යන ලදී. එම පරම්පරාවෙන් පසුව දර මඩුව වැසී ගියා විය යුතුය. මා මේ මීට වසර 35-40 ක පමණ ඈතක් ගැන කතා කලේ, ඒ හරහා අද නොතිබෙන, කොළඹට ආසන්න වුව තවමත් ග්‍රාමීය පරිසරය  තිබූ, පහළ මැද පාංතිකයින් තරමක් අපහසුතාවෙන් තම දිවි ගැට ගසා ගත් යුගයක් ගැන කතුවරයා ඉඟි කරනා හෙයිනි."ඇඳ කබල" කෙටිකතාවේ කතා නායක, උපාධිදාරි ගුරුවරයා ඇඹිලිපිටියටත් එහා රැකියවේ යෙදුනද, එක් සති අන්තියක දී තම තලාහේනේ බාගෙට නිමකල නිවෙසේ නවතින්නට එන අයෙකුගේ සැප පහසුව ගැන වද වෙන්නේ, ඔහුට ඇති සීමිත පහසුකම් නිසාය.

එලෙසෙම මෙහි එක් කෙටිකතාවක එන "බෙලෙක්" විසුවෙ මාදින්නාගොඩ ලෑලි පාලම ආසන්නයේය. මෙය අද ද පෙරේරා සහ පුත්‍රයෝ සමාගමේ ප්‍රධාන කාර්‍යාලය පවතින පාරේ ඇති, එක් වතාවකට එක් පැත්තකට පමණක් ගමනේ යා හැකි පටු පාලම යැයි සිතමි (එය දැන් ලෑලි පාලමක් නොවේ - නුමුදු තවම පටුය). වතාවක් දෙකක් 2000 දශකයේ මුල පමණ එම පෙදෙසට ගොස් තිබුන ද එතරම් මතකයක් නැත - දැන් දැන් එම මාර්ගය බහුල ලෙස භාවිත වන්නේ උදෑසන මාර්ග තදබදය නිසා කොස්වත්ත, බත්තරමුල්ල, ඇතුල්කෝට්ටේ මඟහැර රාජගිරියට ඒමටය. බෙලෙක් කෙටිකතාවේ සුළු රැකියාවක් සහිත තරුණයා වෙත මෙහි එන ගැහැණිය බලාපොරොත්තුවක් ඇති කර ගන්නේ තමන් සතු බරින් යම් පමණකින් හෝ නිදහස් වීමටය.

"ගැහැනිය දවසට රුපියල් අසූවක් සොයන තරුණයා දෙස බලා, බුලත් කසට බැඳි දත් දෑන්ද පා සිනාවක් නැඟුවා ය. එය ඉතා ළෙංගතු සිනාවකි. අවුරුදු දහ හතක දහ අටක දියණියක සිටිනා ඕනැ ම පැල්පත් වාසි අම්මා කෙනෙකුගේ මුවට ඒ ආකාරයේ ළෙංගතු සිනාවක් නැගීමේ අරුමයක් නැත" ( 57-58 පිටු)
කෘතියේ නමින් වූ කෙටිකතාවේ එන ගුණපාල අකුරු නොදත්තෙකි. ඔහු ට විප්ලවවාදීන්ගේ පෝස්ටරය අකුරු ඇහිඳ කීමට අවස්ථාවක් ගෙන දේ. යම් තරමක් අකුරු දත් සිය බිරිඳගෙන් එම පෝස්ටරය කියවීමට ය ඔහුගේ උත්සාහය. එය ය ඔහුගේ අභ්‍යන්තර කතාව - ඔහු ද්‍රෝහියෙකු යනු කවරෙක්දැයි නොදත්තෙකි. එවැනි අඳුරු යුගයක වූ අපරාද වල පසුබිම ගැන හොඳ කතිකාතවකට මුල පුරන්නකි, "ද්‍රෝහියෙකුගේ අභ්‍යන්තර කතාව".

කෙටි, කෙටි කතා අටක් මැද වූ එකම දීර්ඝ කෙටිකතාව වූ, පිටු 40ක් පුරා දිවෙන "වතුර", මෙහි එන තවත් රසවත් කෙටිකතාවකි. එහි ඉතා ස්වාභාවික ලෙස, තීරණ ගත හැකි තැන් වල සිටින අය ඇඟ බේරාගෙන සිටීමට හැසිරෙන සූක්ෂම අයුරු ගැන ලියැවී ඇති අපූරුව අනුව, එය එක්කෝ ඔහුගේ පෞද්ගලික අත්දැකීමක් යැයි සක කරමි - එසේ පෞද්ගලීක අත්දැකීමක් වුව, එහි සූක්ෂමතාව පාඨකයාගෙන් නොගිලිහෙන අයුරෙන් වචන වලට පෙරලා ඇති අපූරුව කතුවරයාගේ ලේඛක ශූරත්වය පිළිබඳ දෙස් තියයි.

මීට අමතරව, මුග්ධ ලෙස අප රට පහළ මධ්‍යම පාංතිකයාගේ පක්ෂ දේශපාලනයට ඇති අන්ධභක්තිය කියාපාන "වතාවත", තවත් පැල්පත් වාසී කතාවක් තුලින් ගැහැනියක් තවත් ගැහැනියක් වෙත සංවෙදී වෙන අවස්ථා ද ඇති බව පෙන්වා දෙන "දහමන්දරී", හෙමිංවේ ගේ හෝ චෙකොෆ් ගේ කෙටිකතාවක් මතකයට නගන "පිපාසය" ආදි කෙටිකතා ද, මෙම සංග්‍රහයේ සමස්ත සාර්ථකත්වයට හේතු වන රසවත් නිර්මාණයෝ ය.

"නැට්ටුක්කාරයා" මගින් තරමක අතිශයෝක්ති අසංවේදි බව දැනුන ද , ඉන් වහනය වන අසංවේදීත්වයේ අසෝබනත්වය ප්‍රතික්ෂේප කල නොහැක. කිමද එහි එන සමහර කොටස් සිතට වාවාගැනීම අපහසුය.

ගස් කට්ටිය මගින් පෙන්නුම් කල ශූර කෙටිකතාකරුවෙකුගේ බලාපොරොත්තුව සනාථ කරන කෙටිකතා සංග්‍රහයක් ලෙස ද්‍රෝහියෙකුගේ අභ්‍යන්තර කතාව හැඳින්විය හැක.

ශ්‍රෙණිය: ****


No comments:

Post a Comment