Monday 7 October 2024

සූදුරු අබා - අජිත් පැරකුම් ජයසිංහ

 මෙ වසරේ විදර්ශන අත්පිටපත් තරඟය ආරම්භ විය. එහි ජයග්‍රාහි කෙටිකතා සංග්‍රහය , අජිත් පැරකුම් ජයසිංහ ගේ 'සූදුරු අබා' ලෙස තේරිණ. කතුවරයාගේ නම මුහුණුපොතේ දැක පුරුදු මුත්, ඔහුගේ පෙර පළ වූ සාහිත්‍ය නිර්මාණ මා කියවා නැත. කේපොයින්ට් යන පොතක් ගැන අසා තිබුන ද, එය නවකතාවක් යැයි දැනගත්තෙ ද මේ කෘතියේ වූ 'කතෘ ගේ වෙනත් පොත්' සඳහනි නි.


මෙම කෙටිකතා සංග්‍රහහයේ එන සුවිශේෂි, සම්පූර්ණ, විශිෂ්ඨතම කෙටිකතාව, සංග්‍රහයට නම් දුන් 'සූදුරු අබා' මැයි. අසම්මත පෙමක් ගැනත්, ඉන් එක් පාර්ශවයක් සම්මත බැඳීමකට යොමු වූ පසු ඈත් වීමත්, පෙර කල ඔවුන් දෙදෙනාගේ බැඳිමේ තරම ඉඟිකර ඇති අයුරුත් ඉතා අපූරුය - නිර්මාණාත්මකය. සම්ප්‍රදායික එක්වීමක් ගැන පමණක් ම විශ්වාස කරන්නවුන් අතර, 'වඩා වෙනස් කෙනා' ඉවසිමෙන් තම දෛවය භාර ගන්නා උපේක්ෂාව පාඨක සිත සසල කිරීමට සමත් ය.
"ඔහු ඒවි ඔබ යාවි පතිනිය වී
ඔබෙ යෙහෙළි තනි වේවි මුකුලිත වී"
කලක් යන කල් මට අමතක නොවෙන කෙටි කතාවක් වනු ඇත. මෑත කල සිංහල සාහිත්‍යයේ බිහි වූ සුවිශේෂිම කෙටිකතා අතරට පාත්‍ර වීමට සාහිත්‍යමය වටිනාකමක් එහි දුටුවෙමි.

මෙම සංග්‍රහයේ එන කෙටි කතා නමයම විවිධාකාරය. 'සූදුරු අබා' මෙහි අග්‍රඵලය වුව, අන් නිර්මාණ කිහිපයක් ද සාර්ථක කෙටිකතා අතරට එක්කල හැක.

මෙහි එන 'පුංචි පැදුර' වෙසෙස් නිර්මාණයකි. කුඩාවෙකුගේ මනසින් රචිත මෙය මට මතකයට නැගුවේ හෙමිංවේ ගේ නික් ඇඩම්ගේ කුඩා කල විස්තරය. එපමනින් ම කුඩාවෙකු ගේ මනසේ අලංකාරය, අහිංසකත්වය, භීතිය, කුකුස පාඨකයාට සංවේදනය වේ. කතුවරයා මෙම නිර්මාණය ට යොදා ඇති සරල භාෂාත්මක විස්තරය, වෙලේ ජලයේ සිසිල, ඉහළින් පතිත දැඩි හිරු රැසේ රශ්මිය පමණක්, නොව මාළුවෙකුගේ කෙටීම ද පාඨකයාට දනවන සුළුය. ඒ සියල්ලට 'කටපොඩි සිරිතිලක මාමා' ගේ විස්තරය කෙටිකතාව ට ගම්වල ඇති ගුප්ත චරිත, අතුරු කතා එක්කාසු කොට, රසගුලාවක් තනයි. එය ලාංකීය නික් ඇඩම් චරිතයකට, වික්‍රමසිංහගේ 'අපේ ගමේ' චරිතයක් හමු වූවා සේ ය.

ලාංකීය ආගමික සංස්කෘතියේ විකෘතිය, අද වන විට සාමාන්යකරණය වී, එය ස්වාභාවික වී ඇති අයුරු අඟවන අපූරු කෙටිකතාවකි 'පිරිත් කියනවා, මිනිත් මරණවා'. පහත පරිච්ඡේදය බලන්න අප සාමාන්‍යයැයි පිළිගෙන ඇති විකෘතියේ තරම ඉන් කියැවේ.

"නෑබඩ සිල්වතා කතා නැතුව කට කපලා බ්‍රැන්ඩි වීදුරු දෙකක් ෂැන්ඩි නැතුවම දාගත්තා එක නිමේෂයකටවත් මුහුණෙ මාංසපේශි තිත්ත නිසා ඇඹරුණේ නැහැ. බයිට් එකට තිබුණු ගෝනමස් දිහා නෑබඩ සිල්වතා ඇස් ඇරලවත් බැලුවේ නැහැ.

'මං මස්, මාළු කන්නේ නැහැ. එළවළු විතරයි දැන් අවුරුදු දහයක විතර ඉඳන්'"

මෙහි එන 'අත් පොරොව' කෙටිකතාව ද, අප රට විකල්ප නැති, එහෙත් තමනට අවශ්‍ය දේ හොඳින් හෝ නරකින් හෝ ලබා ගැනීමට පසුබට නොවෙන ජනයාගේ දෘෂ්ඨියෙන් ලියැවී ඇති කෙටිකතාවකි.  අප රට වැඩි පිරිසක් සාම්ප්‍රදායික ජීවිත වලට, තම දිවියේ විඳීම් කැපකර විඳවති - එය විඳවන බවට වන සිතුවිල්ලකට පවා තමන්ගේ මනස විවෘත කර නොගනිති. අනෙක් අතට තම ජීවිතය තමනට ලැබී ඇති වටපිටාවෙන් රසවිඳින අයවළුන්, එහි දී තම උන්නතිය සඳහා ගන්නට පැකිලෙන අවදානමක් නැති තරම් ය. පාඨකයෙකුට භීතිය හඟවන නිර්මාණයකි.

මේ කෙටිකතා හතර මේ සංග්‍රහයේ එන සාර්ථකම කෙටිකතා හතරය. අනෙක් පහෙත් රසවිඳිය හැකි කෙටිකතා ඇත. 'හකුරු වෙහෙර' ඉහත කී හතර ආසන්නයටම හැකි තරමේ විභවයක් ඇති කෙටිකතාවකි. 'චිලා මෙට් විත් ඇන් ඇක්සිඩන්ට්' හි උපහාසය බුහුටිය, රසවත් ය. 'සමූල ඝාතනය' අපේ අධිපතිවාදි සමාජයට ටොක්කකි. ආගමික භක්තියයි, ප්‍රචන්ඩත්වයට පක්ෂ වීමයි අතර පෑහීම බෙදිම් රේඛා වලින් හඳුනා ගත නොහැකි තරම්‍ ය. වෙසෙසින් පාසැලේ ගේට්ටුව අසල ඇතිවන ඝෝෂාවේ වචන විකෘතිය පෙන්වා ඇති අයුටු අපූරුය.

මේ කෙටිකතා සංග්‍රහය ලබන වසරේ සම්මාන කෙටි ලයිස්තු අතරට ඒමේ සම්භාවිතාවය ඉහළිය. ඊට සුදුසු ඉහළ නිර්මාණත්වයක්, විවිධත්වයක්, සහ අප සමාජය කියවීමේ අවංකබවක් මෙහි ඇත. සිංහල කෙටිකතා කියවන් පාඨකයින්ට අනුමත කරලීමට නොපැකිලෙමි.

ශ්‍රේණිය: ****1/2


Saturday 5 October 2024

බන්දුජීවගේ ධූමලාවණ්‍යාගාරය

 මේ පොත බන්දුජීවගේ ධූමලාවණ්‍යාගාරය යි. මෙය 'ධුමය' මගින් 'හැඩගැන්වූ' කාව්‍යමය නවාතැනක් ද ? එය තිප්පොලක් ලෙස දැකීම පාඨක මගේ දොසක් ද ?


මේ ධූමලාවණ්‍යාගාරය තුල එතරම් පුහුණු නොකෙරුණු සාමාන්‍ය පාඨක කියවීමට අපට:

-  සුරාව භාවිතාවේ විනෝදය මතක් වින (සුරාසල් කවි)

'කළුබෝවිල පොල්වත්තේ රා පොළටත් ගියා
බෙල්ලන්විල මල්නයිදෙගෙ රා පොළටත් ගියා
තුම්බෝවිල රතුහාමිගේ රා පොළටත් ගියා
කොහෙවත් ගියෙ නැති විදිහට පිනා ගෙදර ගියා'
- සිසිෆස්ගේ සතුටවන් දර්ශනික ගැටළු (රූපකයක් විලස වලසුන්) සිහි ගැන්වින

'අපේ කඩිසරකමින් අලස වලසුන්ට මිස
ජනපදේ අපෙ උන්ට ලැබෙන මොකවත් නැත්ද
වලස් නිය පහරකින් ඇද වැටෙන්නට කලින්
කල්පනා කරමි මම "ඇත්තටම මුන් කවුද?"'

-  දේශපාලනේ ඒ පක්ෂෙන් මේ පක්ෂෙන් පැනීම් වැනි අපට පුරුදු දේ කාව්‍යමය ව්‍යංගර්ථයෙන් කියවීමි (මකුළුවා බැටළුවා කොටළුවා දළඹුවා සහ පිනිමුවා) 

'අලුත් ආණ්ඩුවෙ උයනේ
මයික්වල රොන් උරයි
පෙර පැවති ආණ්ඩුවේ ඇඟපතේ
පලු මැවූ දළඹුවා'

- වීරයන් බිහි කරන්නට, පිටියට තනියෙන් සටනට පැමිණ කැප වූ විල්සන් කරූ ව වෙනත් කෝණයකින් දිටිමි (යටත් වුණි වීරයන් රජයට )

'එක වීරයෙකුට දෙක ගාණෙවත්
දුෂ්ටයන් සිටිය යුතුම මොහොතක
හටන් කරනට නම් දැරූ
වරින් වර මට සිහිව ඒ
සටන් නළු විල්සන් කරූ'

- කිසිදු බලාපොරොත්තුවක් තැබිය නොහැකි මැතිවරණ වලදි අපේ කවියා  එක්  අහිංසක සිහිනයක් පමණක් හෝ මුදුන්පත්වේවා යි කියාය (මැතිවරණය දා මගේ කුඩා හිමිදිරිය)

'"කැනබීස් යෝධයා පැමිණ
පෙරදිග බන්ධනාගාරය සිඳ බිඳ
මුදාගෙන සිරකරුවන්
අම්බරයට විසි කරත්වා !" කියා
ඔව් - මං ප්‍රාර්ථනා කෙරුවා'

මේ අප විඳි අවස්ථා පහක් සැකෙවින් ය. සමහර කවි වල පිටුපස කතා ඇත (නෝනාගේ ඉලව් ගෙදර, මල් අල්මේදා පිළිබඳ, සුදෝ සුදු). ඒවයින් පාඨකයා විඳින්නේ අතීතයේ සිදුවිමක් වර්ණ අවපැහැව දකින්නාක් මෙන් හැඟීමකි -කිමද ඒ පසුබිම් කතා ගැන අපට පූර්ණ අවබෝධයක් නොලැබෙන හෙයිනි. කවිය තම පබැදුමෙන් එවන්නක් කරනවා කියන්නේ ම ඔහු ගේ සමත්කම ය. සමහර කවි පංති තුල එක් එක් මතෘකා පිළිබඳ රස වෑහෙන කවි තිබුනද, සමස්ත කවි පංතිය ම 'කුමක් හෝ පටලයකින් වැසී ඇත්තාක්' සේය ( තියෙනවා - තියෙනවා - තියෙනවා)

මේ සංග්‍රහය තුලින් කවියා මීට වසර එකොළහකට පෙර පළ කල 'මීළඟ මීවිත' ට වඩා පාඨකයාගෙන් යමක් බලාපොරොත්තු වෙයි. ඒ බලාපොරොත්තු වූ කාලය, වටහාගැනීම, (සහ සමහර විටෙක මෙය කියවන විට, මත්වීම ?), මා තුල තිබුනේ ද යන්න ද ගැටළුවකි. මේ සංග්‍රහය 'මීළඟ මීවිත' තරම් ඉක්මනින් ජනප්‍රියත්වයට පත් නොවෙන්න ට ද පුළුවන (ඔහු ගේ කීර්තිය නිසා එය හොඳින් අලෙවි වීම අනෙකකි ). එහෙත් මෙය 'තැපෑලෙන් වදින' මීවිතක් වීමට අවකාශ ඇත. කවියා වසර දහයක් ම ගත කරන්නට ඇත්තේ ඊට අවශ්‍ය පැසවීම ලබාදීමට විය යුතුය. ඒ අර්ථයෙන් නම් මේ අදහස් දැක්වීම ම, පොත කවරෙන් කවරෙට කියවා ලියූවද, අර්ධ කියවීමක් වීමේ අවකාශ බොහෝය.

ශ්‍රේණිය: ****
ජයග්‍රාහක - 2023 හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි විද්‍යෝදය සම්මානය,
නිර්දේශිත - 2023 හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි රජත සම්මානය