Monday 30 January 2023

අන්ධයා සහ සුරුට්ටු න්‍යාය - විරාජිනී තෙන්නකෝන්


කතුවරියගේ දෙවෙනි කෙටිකතා එකතුවයි. සාර්ථක කෙටිකතා එකතුවක්, සහ අතිසාර්ථක ස්ම්මානනීය නවකතාවකින් පසුව, කතුවරිය පාඨක ප්‍රජාවගේ බලාපොරොත්තු පිළිබඳව ද, තමන් විසින් ම තම නිර්මාණ කර්තව්‍ය තවත් තලයකට ගෙන යාමේ නොනිත් උවමනාව ද, යන කාරණා දෙකම ඇය සිත් හි වූ බවට සැකයක් නැත. එවන් වටපිටාවක, මෙවර කතුවරිය එක් දේශයකට, පරිසරයකට සීමා නොවූ කතා ද,  යම් දාර්ශනික අදහස් ද තම නිර්මාණ තුලට ග්‍රහණය කර ගැනීමට තැත් කොට ඇත. එහි යම් සාර්ථක අවස්ථා ද වෙත්. 

කෘතීම කවුළු කෙටිකතාවේ කතිකයා බෝනික්කෙකි. ඇගේ අයිතිකාර තරුණිය ට තම පැවැත්මට අත්‍යවශ්‍ය කාරණා ලැබුනද තමන්ට අහිමි වන නිදහස ගැන ශෝක වන්නීය.  අන් සියල්ලට වඩා වැදගත් බව ඒත්තු ගන්වනාකාර නිර්මාණයකි - කෙටිකතාවක් ලෙස වරදක් නැත.

මෙහි එන වඩා සම්පූර්ණ සහ මවිතය ම මුල් කොට ගත් නිර්මාණයකි, අන්ධයා සහ සුරුට්ටු න්‍යායය. ජාති අන්ධ බව, සහ රැවටිලිසහගත ලෙස ඇස් හොඳින් පෙනෙන අයව අන්ධකරවනාකාරය  හැරවුම් රැසක් භාවිත කොට පෙන්වන රසවත් කෙටිකතාවකි. 

සාර්වත්‍ර පරිසරයක, රජයේ රැකියා කරන්නන් හමු වී කෙරෙන කතාබහක් මුල් කොට ගත් නිර්මාණයකි, "කර්තෘ අඥාතයි". එහි එන දෙබස් ආකාරය කෙටිකතාවකට වඩා කියවන්නියගේ සිතේ මවන්නේ වේදිකා නාට්‍යයකි. එක්තරා මට්ටමකින්, මෙහි එන සියළු කෙටිකතාවනට පොදු වූ ලක්ෂණයක් ද කිව හැකි, මෙම නාටකීය බව - කිමද ඒ සියළු කෙටිකතා පාහේ, එහි එන සාර්වත්‍ර පරිසරය - එය ගෙනෙන වියුක්ත බව, එක්තරා ආකාරයක නාටකීය දෙබස් මෙම ලක්ෂණය මෙම නිර්මාණ වලට  ඒමට හේතු වේ.

මා මෙම නිර්මාණ ගොන්නේ වඩාත් රසවිඳි නිර්මාණය "මී කූඩු නම් කොතෙකුත් ඇත" වියුතුය. එය ද අර පෙර කී වියුක්ත, නාටකිය ලක්ෂණ සහිත නිර්මාණයක් වුව, එහි එන නීතියට දේශපාලඥ්ඥයින් "ඇඟිල්ල පෙන්වන" ආකාරය ඉතා සාර්ථක ලෙස කතුවරිය ගලපා ඇතැයි සිතේ.  මෙහි එන අන් බොහෝ නිර්මාණ වලදී කතුවරිය මෙතරම් සාර්ථක ලෙස තම නිර්මාණ අරමුණු ක්ෂාත් ක්ෂාත් කරගත්තාදැයි නැවත සිතා බැලිය යුතුය.

"දැවීම සහ දැල්වීම" නම් වූ කෙටි කතාවේ එන කාන්තාවන් දෙදෙනාට මෙම කෘතියේ පිදුම යොමු කොට ඇත. මෙම නිර්මාණයේ ඇත්තෙන්ම වැදගත් පණිවුඩයක් ඇත්තාක් මෙන්ම, මා මනසේ ඇදී ගියේ කැළණී පාලම රඟ දැක්වූවා සේ, මේ කතුන් දෙදෙනා ද වේදිකා නට්‍යයක "පාලමක්" උඩ මෙහි එන දෙබස් හුවමාරුව අභිනයන් හුවා දක්වමින් සිදුවූවා නම් වඩාත් කෙතෙරම් අපූරු ද යන අදහසයි.

යම් ආකාරයක සරදමක් ද, යල් පැනගිය පරම්පරා මානය ගැන පුරාජේරුවද හුවා දැක්වෙන නිර්මාණයකි, "නොනවතින ඔරලෝසු". නොනවතින ඔරලෝසු හමුවේ, අයෙකුගේ මනසේ පවතින මහන්තත්තකම් ද, අනෙකා පාගාගෙන ජීවත්වීමේ අසාධාරණ ආකාරයද වෙනස්වෙමින් පවතින බව පෙන්වන නිර්මාණයකි. රසවත් කෙටිකතාවකි. 

කතුවරිය මෙම නිර්මාණ තුලින් දාර්ශනික අදහස් ද මතු කරන්නේ ඉතා සීරුවටය. එය වඩාත් හොඳින් පෙන්වන කෙටිකතාවකි, "අර කාලකන්නි කැස්ස". එම කාලකන්නි කැස්ස සිරකරුවනට උරුමවූවකි. එනම්, එළියේ සිටිනා අපි ද අපේ ලෝක වල හිරකරුවන්ද ?

මෙම නිර්මාණ හරහා අප දකින්නේ කතුවරිය තමන් ට අභියෝග කරගනිමින්, අලුත් කෙටිකතා ආරක් සොයා පාදාගැනීමට කෙරෙනා ප්‍රයත්නයකි. ඒ අනුවය මෙම සියලු නිර්මාණ ඔස්සේ අපට යම් සාර්වත්‍ර පරිසරයක්, සහ නාටකීය බවක් පසක් වෙන්නේ. පෞද්ගලිකව, අදටත් ඇගේ අච්චාරු සහ තවත් කතා කෙටිකතා සංග්‍රහයට, මා කියවූ අනෙක් නිර්මාණ දෙකට වඩා කැමති වූවත්, කතුවරිය ගේ මෙම අභියෝගාත්මක නිර්මාණකරණ නැඹුරුවට ගරු කරමි. කතුවරිය, මෙම පොත එළිදක්වන මොහොත වන විට, අප සාහිත්‍ය ක්ෂේත්‍රයේ යම් පිළිගැනීමක් ඉතා කෙටිකලකින් ලබා ගැනීමට සමත් වී තිබිණි. අප රට සමහර සාහිත්‍ය කරුවන් කරන්නාක් මෙන්, "පාඨක ඉල්ලන්නේ තවත් අර පරිසරයේ පොතක් - මේ ආකාරයේ පොතක්" යන පහසු නිදහසට කරුණ ට සීමා නොවී, තම සාහිත්‍ය ගමන ට තමන් ම අභියෝග කරගැනීමට ඇති නිර්භීතබව පැසසිය යුත්තකි. එම ගමනේදී තාවකාලික ලෙස පාඨක පිරිස එහේ මෙහේ වීම ගැන කතුවරිය එතරම් හදිසි විය යුතු නැති බවකි, මගේ හැඟීම. 

ශ්‍රේණිය: ***1/2
ප්‍රකාශණය: සරසවි (2022)
කෙටිකතා



No comments:

Post a Comment