Thursday 26 March 2020

කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි - සනත් බාලසූරිය

මේ සංග්‍රහය ගැන මා මුලින් ම ඇසුවේ, මාගේ පොත් කියවන මිතුරෙකු වන පැතුම් පුංචිහේවා ගේ මුවිනි. පසුව සම්මානයනට නිර්දේශ වුවද, පැතුම් ආරේ පොත් කියවන මිතුරන් ගේ නිර්දේශයන් තැකීම මෙතෙක් වැරදී නැති තරම් ය. 

"හිතග්ගිස්සේ නැතක් මොට්ටු", "තෙමි තෙමි ම මම", "මා මිනිසෙක් ඔබ ගඟක් නිසා" ආදි, මාතෘකා හා ආකෘති අතින් යම් විවිධත්වයක් පෙන්වුවද, 'සැමදා කියවිය හැකි කවි පොත්' කිහිපයට  මා මෙය එක්කාසු කර ගැනීමට නො පැකිලෙමි. කවි කිහිපයක් ආශ්‍රයෙන් මෙහි මා ලත් ආස්වාදය ඔබ වෙත ඉඟි කරලීමට මාගේ සුපුරුදු, අවියත් මුත් ඍජු වෑයම දරමි.

(අවතාර නගරය)
"රන් සොයා ආ සෙනඟ/
රන් පතා කොල්ල කා/ අනුන් ගේ මහපොළොව/
රන් ගරා පොදි බැඳන්/ ගිය පසුව
රන්වනින්/ දැවී යන මුඩුබිමක/
රන් සුණක් හෝ නැතිව/ අතහැරුණු
'අවතාර/ නගරය'යි අවමාන/ නාමය ද පටබැඳුණු/
හුදෙකලා නගරයයි/"

කැලිෆෝර්නියාවේ බෝඩි අවතාර නගරය අලලා ලියැවී ඇති කවි පංතියේ පළමු පද පේළි, බෝඩි ගේ කාලයේ රන් උකහාගැනිමට තිබූ දඩිබිඩිය (rush) හැඟෙනාකාරයෙන් නිමැවී ඇත. එකම වචන ගෙනෙන ශබ්දාලංකාරයත් (alliteration),  මාත්‍රා දහයෙන් දහයට පද බෙදෙන අතර, එය ලියැවී ඇති පද පන්නා ඇති  බෙදීම හේතුවෙන්  ('/' මගින් නිරූපිතයි ) පද පේලියට ගෙනෙන "හදිසියත්", එම නගරයේ ඇවෑමත් හෙළි කරයි. මෙය අපූරු කවි කමකි. කවිය හමාර වන්නේ සංචාරකයෙකු ට පමණක්, සහ සංවේදී කවියෙකුට පමණක් ඇති විය හැකි පැණයන් කිහිපයකට ඉඩ දෙමිණී.

"එසේ නැතිනම්
ජම්මයෝ සොහොන් පල්ලෙන් නැගිට
කොල්ල කෑ උරුමය ම සොය සොයා ඇවිදිත් ද?
අදත් උන් පොළු ගැසී වැනසෙත් ද?

බලන්නට එන අයට
එ වැනි දේ නැරඹීම නො හොබීද?"

(අහා කොලරාඩෝව...!)
"උහු ද නො දකිති
වසර මිලියන ගණන් වෙහෙසී
මේ මහා කැටයම නිමාකොට
ගැඹුරු පතුලක වැදී නිදනා නුඹ.
කැපූ කෙනෙකුන් නැතැයි සිතනා
මහා කැටයම මිස"

මහා කැනියමේ ගැඹුරු අලංකෘත කැපුමේ නිර්මාතෘ වූ සැංගී ගලනා කොලරාඩෝ නදියේ වික්‍රමයන් දකිනුයේ කවි ඇසක් මුහු වූ සංචාරක සිතක් විසිනි. ඉන් නිමැවෙන කවි පංතිය, මහා කැනියම කිසිදා පියෙවි නෙතින් නොදුටු අප වැන්නන් හට ද රූපවාහීනියේ පාරිසරික සහ භූගෝලීය නාලිකා වල දසුන් අප නෙත් ඉදිරියේ මවයි.

(කළු වනය මැද සිදුහත් සිරිත)
හර්මන් හෙසගේ ජන්ම නගරය වන කල්ව් හි සිට සිදුහත් චරිතය කෙසේ මැවුනේදැ යි විමසන්නේ,  නාගෝල්ඩ් ගඟ  ඉවුර සිටය.

"ඉදින් හිඳගමි ඇතිරි ගල් මත/
ඔබේ ලෝකඩ දෙපා සවිවුණ/
රැයේ සුළඟට, අන්දකාරෙට/,
නදී ගීයට සවන් යොමුකර/

සියුම් සසැලුම්
සුළං දහරකි/
ඔතාගෙන
අප
ලිහී විසිරෙන/

ලිහී යයි
ඒ සුළං දහරෙ ම/
අඳුර
කැටි වී තිබුණු
අප'තර/.."

කවියා මෙහි සඳහන් දෙවෙනි සහ තෙවෙනි පද්‍ය  වල මාත්‍රා 14 න් පද පේළි බෙදීම සුළඟක් අඟවන ආකාරයෙන් විසුරුවයි.

මරණයේ කම්හල, සිඟිති මිරිවැඩි ආදී නාසි ජර්මන් සමයේ  මහා අපරාධ සිදු වූ ස්ථාන සිට කවියා ප'බැඳින කාව්‍යයෝ අඳුරුය - මරණයේ අඳුර හා සොව ඒ තරමක් දීර්ඝ කාව්‍යයන් තුලින් වහනය වෙති.

"සෙමෙන් පියමැන පිටවෙනා විට
මරණයේ ෆැක්ටේරි දොරටුව
ඔය ඔබ ඉදිරියේ ඇත්තේ
නාඳුනන මළවුන්ගෙ සොහොන ය"
             ("මරණයේ කම්හල )


මා මෙහි එන බහුතරයක් කවි පංති රස වින්දෙමි.බොහෝ කවි පංති වලට අත්වැලක් සැපයෙන්නේ, කාව්‍යයෙන් මැවෙනා රූපපෙළේ තීව‍්‍රතාව වැඩිකරලමිනි. ඇත්තෙන්ම මෙහි එන සෑම කවියක් පාසාම, කවියාගේ මනෝභාවය නම් පෙරහනය හරහා දකිනා දසුන් පෙළක් සේය.

කිසිදු පැකිලීමකින් තොරව කවිය රස විඳිනා ඔබ සැමට නිර්දේශ කරමි.

No comments:

Post a Comment