
එහෙත් ඉන් සමස්ත කවි සංග්‍රහය ම මා රස නොවින්ද බවක් නොකියවේ.
තැනෙක ලක්ෂාන්තගේ සුපුරුදු සියුම් කවි මග අඳුන ගත හැකිය;
"යමි ඔබ හා ළවන පෙතේ ළපෙන් තීර දිග
කවදා හෝ එදෙස එසේ නොගිය අයෙකු ලෙස
හුස්ම සුවඳ සුළඟේ සුළි තබා කැකුළු මත
කිලිපෙළුමෙන් ගැස්සෙමි මුල් වර ආවෙකු මෙන"
(පිය මනින විට වන පෙතක ආයෙත්)
කවියා මෙහි උපමා භාවිතාවෙන්, තම රහසක් කොඳුරන ආරෙන් තම නිර්මාණය ගෙන හැර දක්වයි. කවියා භාවිත කරන බස, මේ රහස තුලින් වරදකාරි හැඟුමක ට වඩා, ඔහු ට ද, පාලනය කල නොහැකි අත්දැකීමක්, තම අතීතය වසන් කරන සෙයියාවකින් කවි බසට පෙරළා ඇති අයුරු මා මහත් රස වින්දෙමි.
මෙහි එන "අළු කොබෙයියෙක් ඇවිල්ලා" කවි පංතිය ද වියෝවේ වේදනාකාරි හැඟීම් සමඟ බලාපොරොත්තුවක පෙනෙන නොපෙනෙන සේයාවක් ඉඟි කරන, අපූරු නිර්මාණයකි. පසුගිය වේදනාබර සමය නිසාදෝ, ඒ කවේ සෝබර රසවත් කවීත්වයක් දුටුවෙමි; වින්දෙමි.
"අළු කොබෙයියෙක් ඇවිල්ලා ආයෙත්
එබී බීරළු කවුළු විවරෙන්
සාලයේ ඇති සිනාවක් දෙස
බලනවා පුදුමෙන්
...
පැහැය අමතක මල් බඳුන්වල
කොයි වෙලේ ඇදලා ද තිර පට
මකුළුවන් ඇවිදින්
වියෝ වී ගිය බැවින් තෙතමන
මිදුල මිරිකා රැඳුණ අඹ කොළ
තිගැස්සෙනවා විටෙක වා රළකින්"
මෙය ඇත්තෙන් ම ඉතා අපූරු රූපක භාවිතාවකි. කවියා අප ට කියන්නේ තෙතමනයක් තවත් ඉතිරි වී නැති නිසා, වියළි අඹ පත් මිදුලේ රඳී ඇති බවත්, වියෝ දුකින් ඒ කල්පනාවේ ඉන්නෙකු යම් හදිසි දෙයකින් යථා ලෝකයට එන්නාක් මෙන්, සුළඟකින් දෝ අඹ පත් තිගැස්සෙන බවකි. ඒ සෝබර අත්දැකීම් පෙන්වීමට භාවිත කොට ඇති පද තුනේ කෙටි කවි, යම් කම්පනයක් ද ධ්වනි රසයක් ද එක්කාසු කරයි. මා පුරුදු ලක්ෂාන්ත ගේ මෙවන් අපූරු කවි යෙදුම් වලත ය.
හේ කවිය අවසන් කරන ඉතා සියුම් බලාපොරොත්තුව බලන්න;
"හිස හෙළෑ කල්පනාවක හිඳ
සිහි වුණා මෙන් යමක් එකවර
අළු කොබෙයියා නික්ම යනවා
අව් කැරළි අතරින්"
"ස්පාඤ්ඤ සංඥා", කවි පංතියේ ද, අයෙකු රටින් බැහැරව වෙසෙන කලෙක, මධු විතෙන් සහ සුන්දර ලලනාවකගේ පෙළඹෙන සුළු හැසිරීමෙන් සිතුවිලි අවදිව, ඒවා ආරක්ෂා කොට ගෙන සුන්දර රහස් සේ තම සිතුවිලි සන්තානයේ සැම දා ට ම ගබඩා කරලීමක් ගැන කියවේ;
"වටේ නටන සලඹකට නිතඹකට
මගේ ඇස් නොවට්ටා සොඳුරේ
ඔතාගන්න මායා බැල්මේ උතුරු සළුවේ
ඔය හිනා රේඛාව
ලංකාවට ගෙනිහින් රහසේ
තියාගන්නම් මගේ මනෝ මාළිගාවේ
සිහින කුටියේ"
අනෙක් මා රස විඳි කවි පංති කිහිපයකි, චිත්ත පිච්චිලි, ගංගාවක් පටන් ගත යුතුයි, වනපස සෙනෙහසක්, සුදු වෙසක් කූඩුව. එහෙත් මට හැඟුණු දෙයක් නම් මේ සංග්‍රහයේ මීට පෙර සංග්‍රහයන් ට සාපෙක්ෂ ව වඩා වැඩි ප්‍රමාණයක් සාපෙක්ෂ වශයෙන් වියුක්ත මාතෘකා හෝ තරමක් වියුක්ත ආරක් ලක්ෂාන්ත භාවිත කොට ඇති අයුරකි - විටෙක මට එරික් ඉලයප්ආරච්චි කවියා ද මතක් විය. ("චිම්නි පොකුණ" ඊට නිදසුනකි )
ඉතින් ඒ කවි මගේ රස විඳීමට තරමක් දුරස් ය. එය හුදෙක් ම පෞද්ගලික රුචිකත්වයේ ගැටළුවක් විය හැකිය. එක්තරා සිත්තරෙක් කවි පංතිය ගතහොත් එහ් ස්වභාව ධර්මය ද සිත්තරෙකු ලෙස නිරූපනය කිරීමට තැත් කරයි. දාර්ශනිකත්වයක් පෙන්නුම් කරනා ඒ කව මට තරමක් සිතුවිලි වලින් දුරස් ය. "කූඹි ඉරේ සංචාරය" කවි පංතිය ද බොහෝ දේ ඉඟි කිරීමට යත්න දැරූ ප්‍රයත්නයකි. එය සාර්ථක ද යන්න මට ගැටළුවකි. මෙහි එන "අහස් යාත්‍රාවක කතාන්දරය" කවි පංතියේ අපට මේ අලුත් කවේ හා පැරණි කවේ මුසුවක් දැකිය හැකි යැයි සිතමි. එය ද තරමක සාර්ථකත්වයක් පෙන්නයි. මේ පද පේළි බලන්න;
"සිත නැතුව අත ගගා
සෝකාත්මානුකම්පාරම්මණයක
ඇමිණි වුණැත් කොහොම හරි
එදා මං ගෙදර ඇවිදින් !"
මෙහි සිත යනු ඔහුට නැති වූ පෙම්වතියයි. ඒ යෙදුමේ යම් නුපුරුදු බවක් තිබුණද ඒ ඔස්සේ සිතුවොත් එහි අපූරුත්වයක් නැත්තේ යැයි කිව නොහේ. දීර්ඝ පද හතරක සන්ධි කිරීම ද කවිය ට වෙසෙස් අලංකාරයක් ගෙන දෙන බවක් නොපෙනේ. එහෙත් ඒ කවේ ම මේ පද පේළි බලන්න;
"ජීවිතාසා හෙවනැලි කීතු කර
ළතොව නග්න කළ
ඊළඟ මූසල අරැණැල්ල
තෙතැස් පටල දිගේ හිතිසව්වට ගල ගලා
බද්ධ වී ඇලුණා"
මෙහි සන්ධි භාවිතාවේ එතරම අස්ව්හාභාවික බවක් නැත.
නිර්මාණ කරුවෙකු තම නිර්මාණ දිවියේ මං විවර පාදා ගැනීමේ දි, අලුත් දෑ කිරීමට උත්සාහ දැරිය යුතුම ය. මට වැටහෙන පරිද්දෙන් ලක්ෂානතයන් ද ඒ උත්සාහයේ යෙදෙන්නේ, අපි ඔහුට සුබ පතමින්, තම නිර්මාණ කාර්‍යය වඩා පරිපූර්ණත්වයටත්, නව කව්කම් සොයා පාදා ගැනීමටත් හැකි වනු වස් දිරි ගැන්විය යුතුය.
No comments:
Post a Comment