Saturday 23 March 2019

කහපාට උවැසියෝ - චම්පා වෛද්‍යතිලක

මේ ලේඛිකාව මහත් කථාබහට ලක් වූයේ ඇගේ "ඇදහිය නොහැකි නිහඬතාව" නම් වූ කෘතිය හේතුවෙනි. එය ස්වර්ණ පුස්තකයට නිර්දේශ වූවා පමණක් නොව, ගොඩගේ සම්මනායෙන් ද පිදුම් ලත් හ. ඒ සියළු ගෞරවයන් යුක්තියුක්ත ය. බාහිර ලොව සිදුවීම්, කථා නායිකාවගේ මනෝ ලෝකයේ සිදුවීම් හා  මුසුව ආඛ්‍යායනයේ යෙදී ඇත්තේ ඇතැම් විට සිමා හඳුනා ගත නොහැකි අයුරිනි. එය එම කෘතිය ට බොහෝ සේ ගැලපුණි. ඇගේ දෙවෙනි නවකථාව වන, උක්ත කෘතිය කියවනා කල් හි පෙනී යන්නේ, එය ඇගේ ම අනන්‍ය ආඛ්‍යාන ශෛලිය හා බැඳී ඇති බවෙකි. එනම් මේ කෘතියේ ප්‍රධාන තුන් චරිතයෝ - මධුරා, සුධිරා හා චංචලා - තම කතාවන් හි, පියවි බාහිර ලොව හා මනෝ ලොව එකට බැඳ මේ කෘතිය පුරාවට ම ප්‍රකාශ කරති. මෙය, කෘතිය මුල, අපූරත්වයකින් පාඨකයා බැඳ ගත්ත ද, සිදුවීම් වල මන්දගාමීත්වය, ඒවා හි තිව්‍රතාවන්ගේ දුර්වල බව,
සහ කථාවස්තුවේ දුර්වල බව හේතුවෙන්, කෘතියේ මගක් යන විට තරමක් ආයාසකාරි කියවීමක ට හේතු වේ. නවකථාවේ ඉදිරිගමනක්, ප්‍රගමනයක් ඇත්තේම නැති තරම් ය.

ඓතිහාසික කථාවක් නොවී, ඓතිහාසික චරිත තුලින් වර්තමානික චරිත වර්ණ ගැන්වීමේ අපූරු රසයක් ඇත. කතුවරිය මේ ශෛලීය සූර ලෙස භාවිත කරයි. අතීත හා වර්තමානික කලාපීය දේශපාලනය සහ, මිනිසුන් සතුව එකිනෙකා කෙරෙහි ඇති, එක් එක් ජනවර්ග කෙරෙහි ඇති අවිශ්වාසය, පසුබිම් සංගීතයක් මෙන් හොල්මන් කරයි. එය ඉදිරිපත් කර තිබෙන ආකාරය පිළිබඳ මගේ එතරම් පැහැදීමක් නැත.  



මේ සියල්ල මධ්‍යයේ වුව, පාඨකයා කෘතියේ මැද පමණ කියවාගෙන යන විට තරමක් වෙහෙසට පත් වීමත් , කියවීමේ උනන්දුව අඩු වීමත්, නොසලකා හල නොහැක.  ඒ ඇගේ ආඛ්‍යාන ශෛලිය, කථා වස්තුව ට ඉසිලීමට නොහැකි ලෙස බර වැඩි වීම හේතුවෙනි. කථා වස්තුව  සරල හෝ කෙටි හෝ වන,  එහෙත් අත්දැකීමේ තීව්‍රතාව මත සාර්ථක වන කෘතීන් බොහෝ ඇත. අත්දැකීම්, සහ ඒ පිළිබඳ මනෝ විශ්ලේෂණය නවකතාව තුලට සාර්ථක ව ගොණු කිරීම ආදියෙන් රසවත් වූ නිර්මාණයෝ ඇත. එහෙත් මෙහි ඒ සංයෝජන මාත්‍රාවන්ගේ යම් අඩුවක් ඇත.

කෘතියේ අවසන් පිටු තිහ පමණ වන විට දිගැරුණු සියළු නූල් පන්දු වන් කථා - එනම් මධුරා ගේ අවිනිශ්චිතතාවය, සචිත්‍ර ගේ රැවටීම, සුධීරා ගේ අචල ආගමික විශ්වාසය සහ එහි පළුදු වීම - විසඳීමට කතුවරිය හදිසියෙන් මෙන් යත්න දරන්නීය. මට මේ නවකථාවේ එන එක් සාර්ථක ව ගොඩ නැගූ චරිතයක් වේ නම් ඒ චංචලා ගේ චරිතයයි. ඇය ඒ හරහා, අප රට ඓතිහාසික රැවටිමක ට ලක් වීමත්, වර්තමානයේ බලාපොරොත්තු රහිත ව වෙසෙන ආකරයත් පෙන්නුම් කර ඇති අයුරු අපූරුය.  මා චංචලා ගේ චරිතය ගොඩ නැගීමට ලේඛිකාවට බොහෝ ලකුණු දුන්න ද , අන් චරිත තුලින් ඒ සාර්ථකත්වය නොදැක්කෙ මි. වකුගොඩ රෝගය හා සබැඳි කථාවේ දි ආසනික්  මතුකරලීමට අමතරව ( එය මතු කරලීමේ කිසිදු දොසක් නැත ), ඉඟි කොට ඇති ජන වාර්ගික සැකය  මා සිත් නොගත්තේ ය. මගේ පෞද්ගලික අදහස නම් එය නොකල යුත්තක් ව තිබූ බවයි.
මා හට පෙනි ගියේ මේ කෘතිය, බොහෝ දේ කීමට උත්සාහ දැරූ අපේක්ෂා රැසක් මුල් කරගෙන ලියවුන්නක් බවයි.  යක්ෂ මූලය සහ අතීත-වර්තමාන චරිත ආදි ගැලපීම් ඉතා සාර්ථක ය. වෙසෙසින් මෙහි එන පත්තිණි දේව ඇදහිල්ල ප්‍රශ්ණයට මතු කර ඇති ආකරය මා වඩාත් සිත් ගත්තේය. එපමණක් නොව  කිහිප විටෙක කියවෙන ආටානාටිය සුත්‍රය ගැන ද, ගැහැණිය අයිති කර ගත යුතු වස්තුවක් නොවේ ය යන්න ත් ( එහෙත් ආදරය කල යුතු මනුස්ස දුවක් පමණක බවත් ) මා බෙහෙවින් සිත් ගත් අදහස් ය. අනාගතයේ දිනෙක මේ අයිතිය පිළිබඳ අද තිබෙන අදහස් යල් පැන ගිය කලෙක, අද අපි විශ්වාස කරනා දේ ඉතා පටු ලෙස දැකිය හැකි බව සිතුණු අවස්ථා, මේ කෘතිය කියවීමේ කාල පරාසයට පමණක් සීමා නොවේ.

එහෙත් සමහර චරිත  නවකතාවට සම්බන්ධ වී ඇති අයුරේ 'මතුපිටමය' ස්වභාවය, දේශපාලන කාරණා ඉදීරිපත් කොට ඇති ආකරය , අවසන් පිටු 30 පමණ වන තෙක් මන්දගාමී, මනෝ ආඛ්‍යායනයකට මුල් තැන දීම, නවකථාවේ  සාර්ථකත්වය හීන කිරීමට හේතු බවකි මට නම් හැඟුණේ. ඒ අනුව පාඨකයා ට සිතෙනුයේ, මේ නම් අපූරු ලේඛන ශෛලියක් ඇති ලේඛිකාවකගේ, එතරම් සාර්ථක නොවන කෘතියක් බවකි.

2 comments:

  1. මේ පොත ගැන ඇහුවෙත් මේක කියවලා. බොහෝ දේ කීමට යාමෙන් පොත නීරස වීම මේ දවස් වල සුලබ කාරණයක්.

    ReplyDelete
    Replies
    1. කාරණය, චම්පා ගේ ලිවීමේ ආර ඉතා ම අනන්‍ය යි. ඇගේ ලිවීම ඉතා රසවත්. ඇය මතවාද නිසා අපැහැදිලි මතර කාරණා වල ට නතු වීම අපරාදේ.

      Delete