Thursday 15 November 2018

තාත්තාගේ මළගම - ජයතිලක කම්මැල්ලවීර

කම්මැල්ලවීරයන්ගේ "මිනිස්සු යක්කු සහ දෙවියෝ" (1986) සහ "තවත් කමලාවියක්" (1990) යන කෙටි කතා සංග්‍රහයන් දෙක, එක පොතක් බවට පත් කොට පළමුව පළ ව ඇත්තේ 1999 දී "තාත්තාගේ මළගම" ලෙසට ය. අද වන විට මේ කෘති තුන ම වෙළඳපොළේ නැති මුත්, කොළඹ මහජන පුස්තකාලය නම් වූ ඒ ක්ෂේම භූමියෙන් මෙවන් "දුලබ පොතක්" මට හොයා ගත හැකි වූ කී වෙනි වතාව දැයි මට අමතක ය.

මේ ව්‍යායාමය කම්මැල්ලවීරයන්ගේ කෙටි කතා සංග්‍රහයන් එකිනෙක කියවීමේ එක් අදියරයක් බැවින්, ඉහත කී කෙටි කතා සංග්‍රහයන් දෙක වෙන වෙන ම සලකමි.

(මිනිස්සු යක්කු සහ දෙවියෝ  - ****1/2)

මිනිස්සු යක්කු සහ දෙවියෝ - අප රට සිදු වූ 1983 "ජාතියාල කෝලාහාල" අලලා ලියැවුණු හොඳම නිර්මාණය අනුලා විජේරත්න මැණිකේ ගේ වඩබාගින්න යැයි සිතමි. එය නවකතාවකි. එම අවාසනාවන්ත සිදුවීම් අලලා අද වන තෙක් ලියැවී ඇති හොඳම කෙටිකතාව මෙය විය යුතුය. මනුස්‍යත්වයේ උසස් බවත්, එහි සීමාවත්, අප සැම තුල ජීවත් වන ආශාවේ යක්ෂයා හිස එසවීම ට කලක් වේලාවක් ගත නොවන බවත්, එසේ තම යක්ෂයා ගැන දන්නා මිනිසෙකුට දෙවියෙකු ට වන් සැලකුම් ලැබීම හ්‍රද සාක්ෂි ඇත්තෙකුට බාර ගත නොහැකි බවත් නිදර්ශනය කෙරෙන කෘතහස්ත නිර්මාණයකි.

අපෙ අම්මා කිරට ගියා - අසූව දශකය! විවෘත ආර්ථිකය අප රට සමාජ ගත  වීම! අසූ එකේ වැඩ වර්ජනය නිසා එදා වේල සොයා ගත නොහැකි ව අසරණ වූ මිනිසුන් ! ආර්ථික ප්‍රශ්ණ වලට පිලිතුරක් ලෙස මැදපෙරදිග රැකියා වලට ගිය අපේ ගෘහණියන් ! මේ ඒ දශකයේ ප්‍රශ්ණය; සිදුවීම් ය; මේ තමන ට අත් වූ ඉරණම් තමනට හැකි අයුරින් විසඳාලීමට තැත් කල අඹු සැමියන් යුවලක්, තම පරිසරයෙන් ඇති වූ පීඩනයක් හේතුවෙන් සිත් බිඳ ගත් අයුරු අපූරුවට පෙන්නුම් කරන කෙටිකතාවකි.

රජ්ජුරුවෝ - වෙසෙසින් රාජ්‍ය සේවයේ නියැලෙන්නන්ට දේශපාලනය ඔවුන්ගේ රැකියාවේ උන්නතිය ට මෙන්ම අවනතිය ට ද එක සේ හේතු විය හැක. එලෙස ම එසේ වෙසෙස් වර්ධනයක් නොලත් අයෙකුට එසේ නොලැබීම ට නිදහස ට කාරණායක් උදෙසා ද එය කදිම තත්ත්වයකි.

වෙස් මුහුණ - අසූව දශකය මුල "ක්‍රියාත්මක වූවන් ට" එහි මැදක් වන විට "යමක් කමක්" තිබිණ. අපේ රට එතෙක් තිබූ සම්ප්‍රදායන්ට විරුද්ධව ක්‍රියාත්මක වූ ඒ අය, වරෙක අප සම්ප්‍රදායික නැටුමක් ගැයුමක් ඇගයීම ඇත්තෙන්ම උත්ප්‍රාසජනක දෙයක් ලෙස කතුවරයා දැක ඇත. මෙහි නව යොවුන් වියේ ප්‍රේමයක සේවායවකට අමතරව, වෙස් මුහුණ ඇත්තේ කොහෙ ද, කා ළඟ ද යන්නත්, වටිනාකම ඇත්තේ කොහෙද යන්නත් සිතා බලන්නට යොමු කරවන අපූරු නිර්මාණයකි.

තාත්තාගේ මළගම - අසූවේ දශකය වන විට ගම සහ නගරය අතර පරතරය පැහැදිලි ලෙස පැවතුණි. ඒ පරතරය කෙතෙක් ද කිවහොත් එකල වැඩිහිටි වියේ පසුවූ මුළු දිවිය තම ගමේ ජීවත් වූ දෙමව්පියන් ට කොළඹ ජීවිතය ට අනුගත වීම අපහසු විය . අද වන විට එම පරතරය අඩු නිසා ඒ ප්‍රශ්ණය ඒ තීර්වතාවෙන් මතුනොවේ. එහෙත් පිටරටක ට දෙමව්පියන් ගෙන්වා ගන්නා දරුවන් ට වැඩි කල් නොගොස් ම ඒ දෙමව්පියන්ගෙන් මැසිවිලි අසා ගැනිමට සිදු වේ. එයත් තව පරම්පරා කිහිපයක් වන විට මැකී  යා හැකිය.
මේ කතාව ලි‍යවී ඇත්තේ ඒ නගරය සහ ගම අතර පරතරය උපරිමව තිබූ අසූව යුගයේ ය. පර්චස් විස්ස - තිහේ ( අද වන විට පර්චස් 8-9-10 ) තාප්ප්ප වලින් වෙන් කෙරුණු නාගරික ජීවිතය සහ, දෙමව්පියන් සහ ගම අතර දුර පමණක් නොව, ගමේ වෙසෙන තම සහෝදර සහෝදරියන් අතර පරතරය ගැන ද විමසුම් ඇසක් යොමු කරන මේ කෙටිකතාව, ඒ යුගය ගැන ලියැවුණු උසස්ම කෙටිකතාවක් විය යුතුය.

පරතරය - බොහෝ සේ උක්ත යුගයේ සමාජයේ වෙනස්වීම් හැල හැප්පීම් පිළිබඳ ව ලියැවුණු රචනා ගොන්නක් අතර, හදිසියේ බැඳුණ ආල නුරාවක් ගැන ත්, පිරිමින් හා ගැහැණුන් වරද ට යොමු වීම ට එතරම් වෙලාවක් සහ හේතුවක් අනවශ්‍ය බවත් කියාපාන රචනාවකි. ලියැවුණු යුගය හා සසඳද්දි විශ්වාසනීයත්වය ගැන සැක මතු විය හැකි මුත්, කිසි ලෙසකින් "එවන් දේ සිදු නොවේ" යැයි කීමට නම් නොහැක.

ඉතින් සමස්ත ලෙස ගතහොත් මේ කෙටි කතා සයෙන් රජ්ජුරුවෝ හැර අන් සියල්ල ම පාහේ ඉතා සාර්ථක නිර්මාණය. කළු සපත්තු මගින් සිංහල කෙටි කතා කියවන්නන් හමු ව ඔවුන්ගේ විශ්වාසය දිනා ගත් කතුවරයා, එම විශ්වාසය තහවුරු කරලමින් ශක්තිමත් වූ අවදියකි. ඒ සංග්‍රහයත් මෙයත් අතර කාල පරාසය අවුරුද්දක් පමණකි. ඇත්තෙන්ම මේ කෙටි කතා හය "කළු සපත්තු" හි දෙවෙනි කොටසක් වන තරමට ඒකාත්මික වේ - සම යුග වේ - සම මැයන් උක්ත කර ගත්තෝ වේ - ඒ තරම්ම රසවත් වේ.

(තවත් කමලාවියක්  - ***1/2 )

 මිනිස්සු යක්කු සහ දෙවියෝ පළ වී අවුරුදු හතරක් ඇවෑමෙන් ප්‍රකාශ වුවත්, මාතෘකා වල එතරම් පරාස පුළුල් වීමක් සිදු ව නැත. පෙර කී මාතෘකා ඔස්සේ ම මේ කෙටිකතා රචනා වී ඇති මුත්, පෙර ට වඩා සුක්ෂම ව පෙර සමාජ සිදුවීම් දෙස කතුවරයා තම දෑස් යොමු කොට ඇත්තාක් සේය. ඒ නිසා අප ඒ ඒ චරිත වල සමීප දසුන් දකින්නෝ ය. එහෙත් රස ජනනය සැලකීමේ දී, ඒ පෙර සංග්‍රහයන් දෙක තරම් සාර්ථක ද යන්න ගැටළුවකි. ශාස්ත්‍රීය අතින් තරමක් පෙර ට වඩා ඉහළ තලයක ට කතුවරයා සිතා හෝ නොසිතා හෝ යොමු ව ඇති සේ ය.

අමරබන්දු - වත්මන වන විට හාස්‍ය රසයක් ගෙන දෙන නාමයක් වුව ද, මේ කෙටිකතාවේ අපට හමුවන අමරබන්දු ද යම් සිදුවීමක් ඉදිරියේ කෙසේ හැසිරේවිදැයි සිතිය නොහැකි ආරේ අමුතු පුද්ගකයයෙකි. එහෙත් සමානකම් එතකින් නිම වේ. මෙහි එන පුද්ගලයා කාත් කවුරුවත් නැත්තෙකි; ආත්ම අනුකම්පාව සොයන්නෙකි. කතුවරයා පසුවදනේ පවසන්නේ මෙවන් පුද්ගලයකු ඇත්තෙන්ම තමන් දැන ඇඳින සිටි බවකි. පුළුල් වශයෙන් බැලුවහොත් රැකියාව ට වඩා වෘත්තීය සටන් ගැන මහන්සි වූ යුගයෙක හරස් කඩකි.

පීරිස් සහෝදයා - අප රට දිය වෙමින් තිබූ වාමාංශික පක්ෂයක් හා සබැඳි එහි සහෝදරවරුන් හා ඔවුන්ගේ නිවෙස් වල කාලය කා දමමින් ආත්මාර්ථකාමි හැසිරීම් රටාවක් පෙන්නුම් කල පුද්ගලයෙකු අලලා ලියැවූන්නකි. නැවතත් ඒ යුගයේ අද ට වඩා බහුල ව සිටි චරිතයක් විය යුතුය. අද වන විට මොවුන් දුලබ සත්ව විශේෂයක් විය යුතුය.

කවුළු ප්‍රහේලිකාව - මේ කෙටි කතාව මට "කළු සපත්තු" කෙටි කතාව මතක් කලේය. තැනකට කොටු වී රැකියාවක නිරත වීම යනු මහා කරදරයක්, අපායට කොටු වීමක් ලෙස ලේඛක සන්තානයේ අදහසක් වූ බැව් මට සිතේ. ඒ ගැන නිගමන වලට ඒමට හදිසි නොවන්නේ සැමදා එකම දේ සිදු කරන රැකියාවක් කරන අයෙකුගේ සිතුම් පැතුම් වටහා ගැනීම ට මා නුසුදුසු බැවිනි. අද වන විට ඇත්තේ නිරන්තර ආතතිය ගෙනදෙන, නිරන්තර අරමුණු ඔස්සේ හැල්මේ දුවයන රැකියා වල බහුලත්වයකි. ඉන් සෞඛ්‍යමය ගැටළු මතු වීම අනෙකකි -එහෙත් "මා මේ කරන්නේ මොන මඟුලක් ද?" යැයි ඈණුම් අරිමින් සිතන්න විවේකයක් නොලැබේ. ඒ පෙර කී යුගයේ රැකියාව යනු යම් තරමකින් හෝ "මරණවා" වැනි හැඟීමක් වන්න ට ඇත. අද වන විට මෙය  "මැරෙනවා" දක්වා වෙනස් වී ඇත - ඒත් මැරෙනකම් ම දන්නේ ද නැත.

කලගෙඩි පිස්සා - මේත් යුග පෙරලියක් ගැන ඇඟවෙන කෙටිකතාවකි. වසර 15ට පමණ පෙර පෙරහරක කල ගෙඩි රන්ගනයක් පෙන්වූ මන්දමානසිකයෙකු, අද කරාතේ ශිල්පයේ අයුරු දක්වා තම පැවැත්ම ට කීයක් හෝ හොයා ගනී.

තවත් කමලාවියක් - නිදහස් ආර්ථිකයත් සමඟ කාන්තාවක ට තමන්ගේ නිර්භීත කම ඔස්සේ පිරිමියෙකුගේ අණසකට යටත්ව විසීම අනිවාර්ය වීමක් නොව, තේරීමක් බවට පත් විය. හොඳ-නරක, සංවර-අසංවර ආදී කෘතීම බාධා යම් තරමකින් අභියෝගයට ලක් කල හැකි විය. ජීවිතය තමනට බෙදා දුන් "බත් පිඟාන" කා ඉඳීම නොඉවසූ නිර්භීත කාන්තාවක් සියල්ල පරදුවට තබා තම දිවිය සිත්සේ ගත කිරීමට ගත් වෑයමක් ගැන අපූරු රචනයකි.

වෙනස - සැමදා කුකුළු මස් බුදින්නා ට කෙතෙරම් කුණු ගඳ වුව ද කරවල කෑල්ලක් දුටුව කල දොළක්  ඉපදීමේ සම්භාවිතාවක් තිබිය හැක. තම සැප පාසුවට සිටින බිරිඳ වෙනුවට තමනටත් හොරා කය වෙහෙසා වැඩ කරනා කතක් කෙරේ සිතක් බැඳෙනා පිරිමියෙකු ගැන කතාවයි. රසවත් නිර්මාණයකි.

කතුවරයා යම් ආරක තම නිර්මාණ වෙනසක් කිරීමට උත්සාහ ගත් යුගයක, නැතිනම් තම පරිකල්පනයේ සූක්ෂමත්වයක් ඇතිවෙමින් තිබූ යුගයක නිර්මාණය වූවක් විය යුතුය. එහෙත් ඔහුට ඇති මාතෘකා වල මහත් වෙනසක් සිදුව නැත. එක් අතකින් "කළු සපත්තු - තුන්වෙනි අදියර" ක් වෙනුවට මේ තරමක් ළඟ දසුන්, මෙම යුගයේ සිංහල කෙටිකතා පාඨකයා ට ලබා දීම අනූව දශකයේ  දී කම්මැල්ලවීරයන්ගේ නැවුම් නිර්මාණ ආරක් කෙරෙහි බලාපොරොත්තු තබා ගැනීමට හේතු වන්න ට  ඇත.


No comments:

Post a Comment