Sunday 7 October 2018

සුනෙත් කාන්තගේ ශෝකාන්තය - සුදර්ශන සමරවීර

2017 ප්‍රකාශ වු කෙටි කතා සංග්‍රහයන් කියවීමේ මගේ ව්‍යායාමයේ අටවැන්න ලෙස, සුදර්ශන සමරවීර ගේ උක්ත සංග්‍රහය කියවීමි.

[ මෙය කියවන යන කල, 2016 කෙටිකතා පොත් කියවාගෙන යාමේදී නැවුම් ම නැවුම් කියවීමක් ලෙස අත්දුටු මංජුල වෙඩිවර්ධනගේ "දුස්ටකමේ සෞන්දර්යය සහ රත්මලානේ තවත් කතා" මතක් විය. ඒ බස අතින් සහ අලලා ඇති අනුභූතීන් අතින් මෙහි ඇති නැවුම් බවත්, වෙඩිවර්ධනගේ පොතේ තිබූ නැවුම් බවත්, බස හැසිරවීමේ ඇති තරමක රැඩිකල්, නූතන සහ ස්වභාවික ආර හේතුවෙනි. වෙනත් වචන වලින් කිවහොත් 2016 රැඩිකල්  අසු වෙඩිවර්ධන නම්, 2017 රැඩිකල් කළු අසු සමරවීර ය.  2016 වෙඩිවර්ධන අන් බොහෝ නිර්මාණ ඉක්මවා ගියේ ය. පෞද්ගලික ව, මට හැඟුණු පරිද්දෙන්, ඔහු ට කෙටි දුරක් ඉදීයෙන් සිටියේ ඉලයප්පආරච්චිගේ "බැග්ඩෑඩ්" පමණි. 2017 සමරවීර ද අප රට ප්‍රධාන සම්මාන ත්‍රිත්වය ට ම නිර්දේශ විය. පෞද්ගලිකව, ඉලයප්පආරච්චි ( ලේ විල සහ ඩාන්ටේ ), අමරකීර්ති ( අළු පැහැති ආරංචි ) සහ රාජකරුණානායක ( ආලන්දර ) සමඟ සමරවීර හොඳ තරඟයක් දෙන නිර්මාණ හයක් මෙම සංග්‍රහයේ ගොණු කොට ඇත. ]

ඉතින් කෙටි කතා හය කෙසේ ද යත්;

 කෘතිය ට නම දුන් "සුනෙත් කාන්තගේ ශෝකාන්තය" තරමක් දිගු කෙටි කතාවකි. එහි යම් ආඛ්‍යායන ස්ථර භාවිතාවක් කොට තිබෙන මුත්, මුඛ්‍ය කාරණාව අප "සුන්දර ගම්" කෙතෙරම් දුරට පිටස්තර ලෝකයෙන් දුරස්ත ද, හොඳ දෙයක් ඇවිත් කකුලේ හැපුනත් පයින් ගැසීමේ නියත ස්ථාවරයෙන් පසු වන පිරිසකගේ අතින් අද හෙට මිදීමේ සම්භාවිතාවක් නැති වීමත් ය. විවිධ වූ කාව්‍ය කිහිපයක් ගෙන හැර දක්වන ගුරුවරයෙකු හේතුවෙන් වරෙක කෙටිකතාව කියවීම වඩ රසවත් වන අතර, වරෙක එය කියවීම අභියොගාත්මක වන්නේ  නාට්‍ය පිටපතක් තුල සැරිසරද්දී ය. කෙටිකතාවට පැහැදිලි අවසනක් නැති මුත්, පාඨකයා ට සමාප්තයන් කිහිපයක් සිතා ගත හැකි ය. ඒ සියළු ස්ථර අතර ප්‍රධාන කාරණාව අප බොහෝ තැනක සම්ප්‍රදාය අපගේ උවමනාව ට භාවිතා කරනා උපායක් විනා අන් කිසිවක් නොවීම යි.

මෙම සංග්‍රහයේ එක් විශේෂත්වයක් වනුයේ බොහෝ විට කෙටිකතාවෙන් කෙටිකතාවට වෙනස් වන බස ය. නිදසුනක් ලෙස "මරිකාර පේමේ පුත්තලං ලුණු විලේ" සලකන සඳ, එහි එන ගැටපද පාසුව නොමැති නම් කෙටි කතාවේ නියම රසය විඳ ගනු නොහැකි වනු ඇත. කැළෑ ගම්මණ්ඩියක භාවිත යැයි සිතිය හැකි වදන් වලින් සුසැඳි, වරෙක උත්ප්‍රාසයත් අවසන සෝකාන්තයකුත් ගෙන දෙන අපූරු නිර්මාණයකි. වල් මීමුන් හීලෑ කර ගනු වස්  කැළෑ වැදුනු පිරිස ගේ විස්තරය ඉතා රසවත් ය.

අද සමාජය වනා හි වෙළඳපොළ මත දිවවෙන්නකි. තමන්ගේ පසුබිම කුමක් වුව, මේ මොහොතේ වෙළඳපොළට ඇවැසි දේ දිය හැකි නම් ඔබට දිදුළන දිවියක් හිමි කර ගත හැක. එනුමුදු අප සැම ට පෙට්ටගම ක සැඟවුණු පුරුදුගති ඇත - ඒවා අයුතුතැන් වල මතු වුව හොත් අධික මිලක් ගෙවීමට සිදු වේ. නැවත වතාවක් තරමක වෙනස් අත්දැකීම් පාඨකයා අභිමුඛව තබන "කාල යන්ත්‍රය" රස විඳිය හැකි නිර්මාණයකි.

සිපිරි ගෙයි අත්දැකීම් අලලා ලියැවී ඇති "මායාවි", රසවත් අවස්ථා ඔස්සේ ඇදී ගිය ද, සමස්ත වශයෙන් විශ්වාසනීයත්වයෙන් එතරම් මා සිත දිනූ නිර්මාණයක් නොවේය, .

තරමක ගුප්ත බවක් ද, කාන්තාවක එක් සිද්ධියක් හේතුවෙන් කෙතෙරම් සාමාන්‍ය මිනිසෙකු වූ  තම සැමියා රජෙකු ලෙස දැකිය හැකි යැයි ඉඟිකරනා ආරක නිර්මාණයකි "පොළොං පෙම්බර අහස් සවාරිය".  නැවතත් තරමක ව්‍යාකූල අවසානයක් රැගත් කෙටි කතාවකි.

යතාර්තවාදී සීමාවන් තරමක් පසු කරන "සමීගේ ගේම", අන්තර්ජාල - සමාජ ජාල යුගයේ ඊට අනුගත වූ විකෘති මුත් ස්වභාවික බසකින් නිර්මාණයකි. ඒ බස මට සුන්දර නොවූව ද, එය අද අප රට පොළොවේ යථාර්තයක් බව මට සිහි කරමින්, කතුවරයා නිර්මාණාත්මකව එම බස භාවිත කොට ඇත.

මේ කෙටි කතා සංග්‍රහය තරමක් දිගු කාලයක් ගෙන හෙමිහිට කියවූවකි - කිම ද මෙය තරමක කාලයක්  ඇවැසි කෘතියක් හෙයිනි. තැනෙක අභියෝගාත්මක ආඛ්‍යාන රටාවක් ද, තැනෙක වේගයෙන් කියවීම ට රුකුල් දෙන්නා වූ ද, බස් වහර බොහෝ විට කෙටි කතාවෙන් කෙටි කතාවට වෙනස් වන සුළු වූ ද, කෘතියකි.  පෙර කීවා ක් සේ 2017 කෙටි කතා සංග්‍රහයන් අතර අභියෝගාත්මක කළු අසු පිට රවුමක් යාම  කෙටි කතාවට ප්‍රිය කියවන්නියක් අත පසු නොකල යුතු ය.


No comments:

Post a Comment