Friday 4 May 2018

මහිලාවංශය - කේ. කේ. සමන් කුමාර

  
"සෙල්ලම් ඉතිහාසයකට සෙල්ලම් නඩුවක් මිසක් මේ වගේ සෙල්ලම් උසවියක... කොහෙන්ද ඇත්ත නඩුවක්... ඒත් සහෝදරී ඒ සෙල්ලම් ඉතිහාසෙ ගලපු ලේ, ඇවිලිච්ච දුක්ගින්දර සෙල්ලමක් කියලද හිතන්නෙ?...අපි මේක විසඳලන්න ඕන අපේ පුතා ලව්ව යුක්තිය පසිඳලා අදම... මං ලෑස්ති ඇත්තටම හිරේ යන්න... ඕන දඬුවමක් විඳින්න...." (302 පිටුව )

 කේ. කේ. සමන් කුමාර විසින් රචිත, "මහිලාවංශය" මහත් වෑයමක් සහ කාලයක් වැය කොට කියවූවෙමි. ඒ 2016 ප්‍රකාශ වූ නවකතා කියවීමේ මගේ ව්‍යායාමයේ එකොළොස් වැන්න ලෙසට ය. මීට ඉහත ලේඛකයා ලියා පළ කල කෙටි කතා සංග්‍රහ දෙකක් පමණක් කියවා තිබුණෙමි. පිටු 425ක් පමණ දිගු නිර්මාණයක් වූ මෙය සියළු අතින් විවිධත්වයෙන් යුක්තය. කෘතියෙන් අඩකටත් වැඩි කොටස ඒකපාත්‍ර භාෂණයකි - ලේඛකයාගේම රූපණයක් ලෙස දැකිය හැකි කකසකු භාෂණයේ යෙදෙන්නේ කු හෙවත් කුවණ්ණා සමඟිනි. මෙහි කුවණ්ණා වරෙක ලංකාවේ ඓතිහාසික කාන්තාවයි; වරෙක ඇය විශාඛාවයි - ආදි වශයෙන්  නානාප්‍රකාර චරිත නිරූපනය කරන්නීය. ඒ අර්ථයෙන් මේ නවකතාව ඉතා පුළුල් පරාසයක් හරහා දිගු ගමනකි. මෙය විවිධ දාර්ශනික මත වලින් පෝෂිතය. එලෙසම වෙසෙසින් ඉහත කී ඒකපාත්‍ර භාෂණයන් හි හාස්‍ය රසය කියවන්නා ප්‍රමුදිත කරවයි. බොහෝ විට ඒ හාස්‍ය යම් "කාළ" ( dark humour යන අදහසින් ) බවක් නිරූපනය කරයි. තත්කාලීන කියමන්, අසැබි හාස්‍ය රසය, දේශපාලනික හාස්‍ය රසය ආදි වශයෙන් විවිධ හාස්‍ය රසයන්ගෙන් අනූනය. තැනෙක සාහිත්‍ය හා හාස්‍යය අතිනත ය.
"ඒක නෙමේ කූ මට කියාපන් උඹ වෙඩ්ඩා එක්කත් හැමනුනා නේද? තෝ අර ඌ පොටෝ ගහලා එෆ්බී එකේ දාන ගඟේ ඉවුරෙ නේද හැමනුනේ... වේසි මාත් දෙනවා තොට මහවැලි ගඟ අයිනෙ හරි, කැළණි ගඟ අයිනෙ හරි දාගෙන පරට්ටි.. යකෝ ඌ නාකියි... බලපිය දැන් ඉන්නෙත් මහලු මඩමක... ඌ නාකියි... ඊළඟට ඌ මහ විපරිතයා.. හරි හරි.. අපේ එවුන් තමයි පටන්ගත්තෙ... වීදුරු කඩන සිරිමලා... උගෙන් පස්සෙ මූ බැටන් එක ගත්තා.. මාරයාගෙන් පස්සෙ චින්තා වගේ... බලන්න කූ වෙඩ්ඩා එක්ක බොන්න පුළුවන්ද... බීලා පාරෙ යන්න පුළුවන්ද... ඕකා ගල් ගහනවා ගෙවල්වලට... මාත් ඔහොමයි ඉස්කෝලෙ සන්දියේ. කාර් ඉස්සරහට පනිනවා ධනපතියො කියලා... මූ තාම ඉස්කෝලෙ සන්දියෙ... ඊළඟට කූ ඕකා ඩයස්පෝරාකාරයා... ඒකයි ඔයාව දෙමළ කළේ... (72 පිටුව )

වෙඩිවර්ධන කුවේණි දෙමළ කරත්, සර්පයාගේ අරෝව අනෙකකි... මහා බඹා කෝලම රූපකයක් ලෙස ගෙන එමින් එක් මුහුණක් ගැමුණුගේ ද, අනෙක් මුහුණ එළාර ගේ ද වන් අයුරින් කෙරෙන නඩු විමසීමක දී දෙදෙනාම තමන් නිර්දෝෂයැයි පවසන්නෝ ය. ඔවුන් දෙදෙනා ම තමන් ජීවත් වූ වකවානුව හා අවස්තාවන්හි නිර්මාණ බවය හේ කියනුයෙ. ඇරත් ලේඛකයට කළු බණ්ඩාර සබැඳි ප්‍රවාදයක් ඇත. හේ එය කෘතිය පුරාවටම ඉදිරියට ගෙන එයි.

කතුවරයා බොහෝ තැන් වල සිතෙහි මවා ගැනීමට යමක් ඉතිරි නොවන අයුරින් හාස්‍ය මිශ්‍රිතව, ලිංගික හැඟීම් හා ආශාවන් කියා පායි. එය විටෙක ආන්තික ලෙස නිරූපිතයි. එය කෙතෙක් දැයි පිළිබඳ නිදර්ශනයට පහත උපුටනය ගෙන හැර දක්වමි.


"අඩේ අර ජංගිය උඩ යනවා නේද මළා... ෂිහ්... පින නෑ කූ... අතට හම්බවෙච්ච එක කටට දාගන්න පින නෑ... මං හිතන් හිටියෙ ඕක අහුල ගන්න... එතකොට මට ඔයා ගෙදර නැති වෙලේට, ඔයාට නින්ද ගිය වෙලාවට මට ඒකෙ සුවඳ බැලියැහැකි... සුවඳ බල බලා සරුංගල් අරියැහැකි... මං කැමති නෑ මුසාවාද කියන්න... මං ජංගි වලට ලව් කූ ඔයාට වගේම... ලව් නෙමෙයි, පෙරේතයි... ඔව් මං ජංගි පෙරේතයෙක් යකෝ" ( 223 පිටුව )

සමස්ත වශයෙන් පිටු හාරසීය තිස් ගණණ පුරා ලේඛක තෙමේ ඉදිරිපත් කර ඇත්තේ කුමක් ද ? ලිංගිකාශ්වාදය පිළිබඳ සහ ස්ත්‍රී ශරීරයේ යම් යම් කොටස් කෙරෙහි ඇති ග්‍රස්තියක්  බඳු ඇල්ම, රටේ ඉතිහාසයත් සමඟ ඇති විසංවාදය, විවිධ වූ සාහිත්‍යකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ වලින් ලේඛකයා ලබා ඇති ආභාෂය ආදිය මේ පොත සමස්තයක් බවට ඔසවා තබයි - රේඛීය, වක්‍ර හෝ තාරුකාවක් විලස විහිදෙන ඓන්ද්‍රීය කතාන්දරයක් මෙහි නැති තරම් ය. එහෙත්, ලේඛකයා පවසන පරිදි, මෙය ඔහු ගේ කොටස් හයකින් පිරි නිර්මාණ ආඛ්‍යයනයක පළමු කොටසයි. ඒ අනුව කතුවරයාට තම නිර්මාණය,  හැඩතලයට කාලය ඇති හෙයින්, පාඨකයන් ලෙස අප තරමක් විමසිල්ලෙන් නිගමන වෙත අවතීර්ණ විය යුතුය.


තව දුරටත් පවසන්නේ නම් මෙහි  ඇත්තේ දාර්ශනික සූක්ෂම විමසීම්,  පෙර සාහිත්‍ය කෘති සම්බන්ධ කර ගැනීම්, ඓතිහාසික කතා පිළිබඳ විවේචන, තමන් නො අදහන දේශපාලන මතවාද වලට පහර දීම් ආදියයි.  වෙසෙසින් දේශපාලන ගැලපීම් මගේ කියවීම් හැටියට නම් අවිචාරවත් ය. තැනෙක තමන් ගේ මතයට පටහැනි මත දරන්නන් ගැන ඇත්තේ මුසාවක් ය.
"ඒ අතර වූ තාපසයෙක්ව ඔහුට පෙනී ගියේ සාපේක්ෂණි අවසානයේ හමුවන තාපසයා මෙනි. ඔහු සමඟම අත්වැල් බැඳ උන්නේ ශ්‍රී නේරු ය. යුරෝපියානු ඇඳුමින් සැරසුනු තවෙකෙක් ජාක් ලකාන් බව ඔහු හඳුනා ගත්තේය. ඊළඟට බේබිට වැන්ද සිල්වා උන්නේය. කවය සම්පූර්ණ වුනේ යකඩ ගැහැණිය තැචර්ගෙනි." ( 347 පිටුව ).  ඊට පසු පිටුවේ ඇත්තේ ජාතිකත්වය පිළිබඳ විවේචනයන් ය. මා ඊට එකඟ නොවුනද එම විවේචන ඉදිරිපත් කිරීම මට ගැටළුවක් නැත. එහෙත් ලිඛිතව තමන් එසේ වන්දනාවක් නොකල බවත්, එය මෘදුකාංග වලින් කල වෙනස්කිරීමක් පමණක් බවත්, "බේබිට" තියා බේබිගේ පියාටවත් තමන් නොවඳින බව "එම පියා" බලයේ සිටිද්දී ම කීයා තිබියදී මෙසේ ලියා ඇත්තේ  බොරුවකට තවත් ආයු කාලයක් ලබා දීමට මෙනි

මා දැක්ක පරිදි නම් මෙහි එන දේශපාලනය ද එක් පාර්ශ්වයකට ලැදිය. බාලසිංහම්, සුගතපාල ද සිල්වා දැන සිටි නිසා සහ සුගතපාල මිය ගිය විට හඬා වැටුණා යැයි කියනා නිසා, ඔහු ගැන සඳහන ඒ හඬාවැටුම ගැන පමනක්ම ය. මහින්ද රීරි යකෙකු ලෙස ලේඛකයාට පෙනෙන්නේ එල්ටීටීඊය යුධමය වශයෙන් පරාජය කල හේතුවෙනි.

කාරවල්ලිකා වග්ග නම් වූ පටුනෙන් මෙපිට ට කූ සහ කකසකු දකිනා ස්වප්නයන් ආඛ්‍යායනයේ වැදගත් කොටසක් දරයි. එනුමුදු මින් ඔබ්බට කියවීම පෙර කොටස් තරම් පහසු නැත. රූපක බොහෝය. යම් තැනෙක් පාඨකයාට හසු වේ; අන් තැනෙක් එසේ නොවේ. රූපක වටහා ගැනීම යම් තරමින් හෝ ලේඛක මනස වටහා ගැනීම හා බැඳී තිබේ. ඉතින් මේ කොටස් කියවා තේරුම් ගැනීම තරමක් ව්‍යාකූලය.

සමස්ත වශයෙන්, ව්‍යායාමයක් දැරීමට සිත තර ගතහොත්, නා නා විද වූ විෂයන් ඔස්සේ කියවීමක් ගෙන දෙන කෘතියකි. ඉවසීමක් තිබිය යුතුම ය.

කෘතියේ අවසන් වාක්‍ය මෙසේ ය:
"කාලකණ්ණි රටකට, කාලකණ්ණි ජාතියකට තවත් කාලකණ්ණියෙක් උපන්නේය." ( 436 පිටුව )
ලේඛකයා දාර්ශනික අර්ථයෙන් හා පෞද්ගලිකාර්ථයෙන් එලෙස සිතනවා විය යුතුය. එහි සත්‍යයක් නැත්තේ ද නොවේ.  වෙසෙසින් අවසන් පිටු සියයය පමණ පුරාවට පාඨකයාට ද යම් තරමක කාලය කා දැමීම ගැන නොපහන් හැඟීමක් ඇති වුවහොත් එය පුදුමයක් නොවේ. ආයෝජනය කල කාලය ට සාපෙක්ෂව ප්‍රතිලාභ නොලැබුනු කෘතියකැයි සිතේ ඇති වුනු කුකුස යටපත් කර ගැනීමට මට හැකි නොවුනි. හෂිතයන්ගේ අට්ඨ කතා යම් තරමකට කෘතිය කියවීමට අත්වැලක් සපයයි. එහෙත් ඒ ඒ මාතෘකා හරහා දිව යන හුය පැහැදිලිව දැක ගැනීම පහසු නැත.



No comments:

Post a Comment