කලකින් තරමක් වෙනස් ආරක නවකතාවක් කියවීමි. එහෙත් එය සිතේ දෙගිඩියාවකින් ඇරඹි කියවීමකි. ඉසුරු ප්‍රසංග , වැඩිමනක් දේශපාලන නැඹුරුවක් ඇති මාධ්‍යවේදියකු සහ තීරු ලිපි ලියන්නෙකු ලෙස යම් අනන්‍යතාවක් ගොඩනගාගෙන ඇති අයෙකි. අපූරු නමක් ( ඒ යෝජනාව, සුනේත්‍රා රාජකරුණානායකගෙනි; පෙරවදනෙනි ) සහ ඊටත් අපූරු උද්‍යෝග පාඨයක් ( say it loud.. say it proud... I'm a Communist) ඇති මේ නවකතාව කියවීම ආරම්භ කලේ මදක් සැක සංකා සහිතවය. කිම ද නිර්මාණාත්මක සාහිත්‍යය කියවීමට ඇති සීමිත කාලය අයෙකුගේ දේශපාලන ප්‍රචාරයන් වෙනුවෙන් වැය කිරීමට අපට ඇවැසි නැත. ඉසුරු ප්‍රසංග පඨක අපට නිගා නොකර, මෑත ඉතිහාසයේ අප රට සමාජ දේශපාලනය අලලා විචිත්‍රවත් නවකතාවක් ලියා ඇත. කියවීමෙන් අනතුරුව, මට නම් හැඟුනේ ඔබ, අප, සැම මේ නවකතාව කියවිය යුතු ම එකක් ලෙසය. කිම ද "අධියථාර්තවාදය" පරයන අප අපූරු මව්බිමේ දෛනික සිදුවීම් වල සම්ප්‍රයුක්තය අපූරු නිර්මාණයකට බොහෝ වස්තු බීජ සපයයි.අප ලේඛක තෙමේ, තරමක් චරිත කතාවක ලක්ෂණ රැගත්, මෑත කාලීන් දේශපාලනෙයෙන් සුපොෂිත, දර්ශනයෙන් ඔප වැටුණු අපූරු නිර්මාණයක් අප ඉදිරියේ තබා ඇත.
අයාලේ යෑම (අ ) - බොහිමීයානු අයාලය
-----------------------------------------------------
මෙහි ප්‍රධාන චරිතය රවිඳු නමැත්තෙකි. හේ බොහීමියානුවෙකි; කථාව අවසන් වන විටත් අත්දැකීම් පමණක් රැස් කරගත්, ඒ අත්දැකීම් වෙනුවෙන් ම බොහෝ දේ නැති කරගත් අයෙකි; නූතන සමාජයේ මැනෙන මිම්මෙන්, තමනට වඩා සියළු අතින් පරිපූර්ණ ආදරවන්තියක් ද, රැකියා කිහිපයක් ද, තමන් වඩාත් ලැදිව ක්‍රියා කල දේශපාලන පක්ෂය ද, ඔහුගේ දේශපාලන සබඳතා ද, අධ්‍යාපනය ද මේ නැති කර ගොඩ ට අයත් ය.
කතානායකයාගේ පුද්ගල සබඳතා වල උභතෝකෝටිකය ඔහු ම වටහා ගෙන තිබුන ද එය වෙනස් කරලීමට හේ අසමත් ය.
"හුඟක් තැන්වල අයාලේ යාමේ සතුට එක්ක එක් නිශ්චිත තැනක් අහිමිවීමේ සාංකාව ගැබ්වෙලා තිබුණා. හුඟක් අය ඇසුරු කිරීමේ සතුට එක්ක තමන්ගේම කියන අය නැතිවීමේ වේදනාව එකට මුහුවුණා. තමන්ගේ වහලෙ යට ගුළි වුනාම අහස අහිමි වෙනවා. අහස ජයගන්න ගියාම තමන්ගේ වහලේ අහිමිම් වෙනවා. මේ අන්ත දෙකට අතරමද මාවතක් හොයාගන්න මට බැරිවෙලා තිබුණා. ( 318-319 පිටු )
තව මානයන් බොහෝමයකි. එක අතකින් මින් කොපමණ කොටසක් චරිත කථනයක් හා සමපාත වෙත්දැයි නොදනිමි; එහෙත් සැලකිය යුතු කොටසක් එසේ වෙතැයි සාධාරණ යැයි හැඟේ. මෙහි කිහිපතැනෙක ම පූර්ණ පුද්ගලික නිදහස ට එදිරි ව බැඳීමක් ඇති කරගැනීම යන්න තරාදිය දෙපැත්ත ට දමා කිරා මැණ ඇත. අයෙකු තවත් කෙනෙකුන් වෙනුවෙන් යම් ආරක කැපකිරීමකින් තොරව, ඒ අය ද තම දිවියෙන් යම් කොටසක් අනෙකා වෙනුවෙන් පුදන්නේ නැත. එය ද ගණුදෙනුවකි. ආදරය හා රාගය එම ගණුදෙනුව පහසු කරවයි. එහෙත් රාගයේ සෙල්ලක්කාර බව, අන් තැනෙක නැවත හිස ඔසවන්නේ තරදියේ එක් පැත්තකට බර වැදි කරමිනි.
ලෝකයේ පුද්ගලික සබඳතා, ආදර සබඳතා ආදිය ලිපි මගින් ප්‍රකාශ කල අවදිය පසු කොට සකර්බ'ර්ග්ගේ මුහුණුපොත හා චැට් වලට මාරු වූ යුගය , මේ පසුගිය වසර විසි-තිස් ගණණ ට අයත් ය. මෙහි එන රවිඳු තම කුඩා කල අප්‍රකාශිත පෙම, අවුරුදු විසි තුනකට පසුව ප්‍රකාශ කරලීමේ අවස්තාව උදාකරගන්නේ සකර්බ'ර්ග් ට පින්සිදුවන්නට ය. අප ජීවිත කාලයේ පසුගිය අවුරුදු දහයේ පමණක් සිදු වූ වෙනස්කම් කෙතෙක් ද? මේ වෙනස්වීම් ද මෙම ගෙත්තම අලංකාර කරයි.
"සකර්බර්ග් කරලා තියෙන්නේ වරදේ බැඳෙන්න අවශ්‍ය කල්, රහස් තැන්, සකස් කරලා දෙන එක. හැබැයි ගෑනුන්ට විතරක් නෙමේ දෙගොල්ලටම. ඇත්තටම හම්බවෙන ගෑනියෙකුට මිනිහෙකුට උනත් කතාබහකට මුල පුරන්න කොච්චර බාධා තියනවද ? ෆේස්බුක් එකේ ඒ කිසි බාධාවක් නතුව හායි කියලා කතාව පටන් අරන් මූණට කියන්න බැරි ඒවා හිටන් කොච්චර ලේසියෙන් ටයිප් කරලා යවන්න පුළුවන්ද?" ( 332 පිටුව )
නවකතාවේ පරාසය පුරා කරක්ගසා අවසන් වද්දි, රවිඳුට ඒත්තු යන්නෙ සමාජවාදය ට වඩා සාර්ථක පිළියමක් රටේ දැවෙන ප්‍රශ්ණ වලට නොමැති වගයි - එනුමුදු එය අප රට ක්‍රියාත්මක ආරේ එකක් ද, මුල් පොත් වලින් ගෙඩි පිටින් ගත යුත්තක් ද ආදි ප්‍රශ්ණ රැසකි; ඊට අදාළ සියුම් සමීකරණයක් අප විසින් ගොඩනගා ගතා යුතුය.
අයාලේ යෑම (ආ ) - පසුගිය විසිපස් වසරේ රටේ අයාලේ යෑම
----------------------------------------------------------------------------------
එහෙත් මේ බැඳීම් හා කඩාවැටීම්, සහ රවිඳු ගේ අයාලේ යාමෙහි යම් කලාත්මක ආකර්ශනයක් තිබුන ද මේ නවකතාව ඊට වඩා අගනේ හේ පාසැල් වියේ ජවිපෙ පංති පහට සහභාගි වූ දේශපාලන වෙසෙසින් සමාජවාදි උණෙන් පෙළෙන්නකු ලෙස, අවම වශයෙන් චන්ද්‍රිකාගේ යුගයෙන් මෙපිට සිදුවීම් සමඟ රවිඳු ගේ සබඳතා ය.
පංතියේ ගජමිතුරා වූ සුධීර පේරාදෙනියට ගොස් එහිදී මහ ශිෂ්‍ය සංගමයට සබැඳි ව දේශපාලනයට යොමු වෙයි. රවිඳු පක්ෂය ට ලැදි, ඒ වෙනුවෙන් ක්‍රියාකරනමුත්, නිල වශයෙන් එහි සාමජිකයෙකු නොවූ , විශ්ව විද්‍යාල වරම් ද නොලැබූ, පරිධියේ ක්‍රියාකාරිකයෙකු ලෙස කල් ගෙවයි. ස්ථිර රැකියාවක් ද නොකරන ඔහු, බොහිමියානු ජීවිතයට හුරු වෙන්නෙ අනේක ළඳුන්ගේ ඇසුරත්, දේශාපාලනයත් මුල් කරගෙනය.
පේරාදෙනියට යෑමෙන් අනතුරුව සුධීර ගේ විචාරය අප රට බොහෝ අය, විශ්ව විද්‍යාල ඇදුරන් පවා නොකියන තිත්ත ඇත්තකි.
"'... මේක තනිකර තලේබාන් කඳවුරක්, අතක් පයක් හොලවන්න වෙන්නෙත් කාගෙන් හරි කුණුහරුප අහන්න වෙයිද කියලා වයේ... දවස ගාණේ මීටින් තිය තිය තුට්ටු දෙකේ ප්‍රශ්නවලට පොඩි බබාලා වගේ රණ්ඩු වෙනවා..'
...ඉස්කෝලේ යන කාලේ සමාජවාදි ස්වර්ග රාජ්ජයක් විදිහට පෙනිච්ච පේරාදෙණිය... ඒ පුණ්‍ය භූමිය තලේබාන් කඳවුරක් බව පිළිගන්න සිදුව තිබීමේ දරුණු පරස්පරය මගේ මිත්‍රයාට දරාගන්න අමාරු වුණා" ( 100-101 පිටුව )
එනුමු සුධීර කාලයාගේ ඇවෑමෙන් අධ්‍යාපනය කඩාකප්පල් කරගනිමින් දේශපාලනයේ නියැලි, පසුව පක්ෂයේ දෙදැරීමත් සමඟ තවත් අන්තවාදි කඳවුරකට සීමා වන්නේ ඔහුට අන් විකල්පයක් නැති හෙයිනි. දිනෙක බීමතින් හේ රවිඳු ට මෙසේ පාපොච්චාරණය කරයි - ඒ ඔහු බෙදුම්වාදි දේශපාලන කඳවුරට නතුවීමට පෙර ය.
"නැති වුණ දේවල් ගැන දුක් නොවී ඉන්න තිබ්බා ඒකෙන් රටටවත් වැඩක් වුණා නම්, පක්ෂය දැන් සේරම කෙලවගෙන ඉවරයි, අධ්‍යාපන ප්‍රශ්න ගැන කරපු අරගලවලින් යම් යම් ජයග්‍රහන ටිකක් හම්බවුණ එක විතරයි එකම සතුටකට තියෙන්නේ, ඒත් අපි සීයක් කළා නම් ප්‍රතිඵලේ එකකටත් අඩු ගාණයි. ඒකට හේතු තිබුණා, පක්ෂෙට කවදාවත් ඒවා වෙනස් කරන්න ඕන වුණේ නෑ. අඩුගානේ විශ්වවිද්‍යාල වල තියෙන තිරිසන් සංස්කෘතිය වෙනස් කරන්න අපට පුළුවන් වුනා ද ? රටේ අධ්‍යාපනේ ඇත්ත ප්‍රශ්න ගැන කිසිම විදිහක වැදගත් මතයක්වත් රටට ඉදිරිපත් කරන්න අපට පුළුවන් වුණාද? විශ්වවිද්‍යාල දේශපාලනෙන් රටට වැඩක් තියෙන එක විචාරශීලි මිනිහෙක් හදන්න අපට පුළුවන් වුණාද ? හැබැයි කී දෙනෙක් උපාධි අතෑරියද ? අද ඒ හුඟ දෙනෙක් යන එන මං නැතුව අනාථ වෙලා..." ( 258-259 පිටු )
ජවිපෙ අභ්‍යන්තර අර්බුදයට ලක්වන්නේ එල්ටිටීඊ සමඟ වූ යුද්ධයේ අවසන් අගයේ ඔවුන් ගන්නා ස්ථාවරය සමගය. මේ කියන ජවිපෙ දෙකඩ වන කාලයේ අපූරු කියමනක්, රවිඳු ට "විමල්" පවසයි. මා මෙහි වටිනාකමක් දකිනුයේ මා හට ද මෙය කිහිපවිටක් දැනී තිබුණු බැවිනි.
"මොකද මැදමූලන මහින්ද කියන්නේ සෝබෝන් චන්ද්‍රිකා නෙමෙයි. ඔය ජාත්‍යන්තර ප්‍රජාව අරවා මේවා මිනිහ ගාණකට ගන්නේ නෑ. මැදමූලනේ ඉන්න හිත හොඳ චණ්ඩියා තමයි මෙතන වැඩ කරන්නේ. මහින්දට ඇඟපුරා මොළේ තිබ්බා නම් කවදාවත් යුද්ධෙ කෙරෙන්නේ නෑ. හැබයි දැන් වැඩේ යන විදිහට නිසැක වශයෙන්ම ගහනවා. කොටියා ඉවරයක් කරලා රටට හොඳක් වෙලා තමයි මේ යුද්ධෙ නතර වෙන්නේ." ( 240 පිටුව )
මේ වන විට මා තුල යම් බියක් ඇති වී තිබිණ. ඒ මේ පොතකින් අඩකට වඩා කියවා තිබිය දී, මින් මත්ත ට මෙය එක් දේශපාලන කඳවුරේ බංකොලොත්බාවය පෙන්වා අනෙක ට "කඩේ යාම ට ද" සැලසෙන්නේ කියා ය. මගේ වටිනා කාලය එවන් දේශපාලන "ප්‍රොජෙක්ට්" එකකට කා දැමීමක් වන්නේ නම් එය මට මහත් උදහසට කරුණක් වනු නියත ය. එහෙත් අප ලේඛකයා ට ඊට වඩා ආත්මගරුත්වයක් තිබේ. ඔහු මින් මත්තට අප රට ඇති වුණු දේශපාලන සිදුවීම හැකිතාක් මධ්‍යස්තව තම ගෙත්තම තුලට අවශෝෂණය කර තිබුණි. එවකට පැවති රජයේ, වෙසෙසින් දෙවෙනි වකවානුවේ මුළු මහත් ජනතාවගේ බොහෝ බලාපොරොත්තු බිඳ දැමූ අයුරු ලේඛකයා නොසඟවා එළි කොට ඇත.
"සමෘද්ධි නිලධාරියෝ තමන් විසින්ම තමන්ව ගස් බැඳගත්තා.. මන්ත්‍රිවරු ඉස්සරහ ගුරුවරියෝ ස්වේච්ඡාවෙන් දණගැහුවා. විශේෂ ගුවන්යානාවල නැගපු බල්ලෝ ස්වීස්ටර්ලන්තෙ ඉඳන් ලංකාවට ආවා. අමාත්‍යාංශ ලේකම්වරු මානසික සුවය සඳහා ගෙදර මාළු ටැංකිවල තඩි මෝරු ඇතිකළා...
ලෝකෙ බලවත්ම ත්‍රස්තවාදි සංවිධානය පරදද්පු නායකයන්ට තමන්ගේ ඇඟ ඇතුළේ ඉන්න පුංචි පුංචි සත්තු ටික පරද්ද ගන්න බැරිවුණ එකම කොයි තරම් අධියථාර්ථවත්ද ?...
මාකේස් කිව්වා වගේම ලංකාවට අදාළ අලුත් යථාර්ථයක් අපට හමුවෙමින් තිබුණා. කඩු උස්ස ගත්ත කෑදර වඳුරු සේනාවක් මහරජාගේ ඇඟේ වහන මැස්සෝ එළවන්න තුන් තිස් පැයේ රජා වටේ කැරකුණා. පින්මඳ පුතුන්ගේ මෝල් අමාරුවට, කාර් පදින තෙලේට, අසූචි ශුක්‍රාණුවලට අනුව රටේ රාජ්‍ය ව්‍යූහය පවා අලුතින් හැඩහුණා. කාර් රේස්වලට වැලි කොට්ට අදින්න බැරුව රණවිරුවන්ටැ හමුදාව තිත්ත වුණා." ( 335-337 පිටු )
මා මේ උදෘත මෙපමණක් මගින් පෙන්නුම් කලේ අප රට මෑත කාලීන් දේශපාලනය බොහෝ මධ්‍යස්ත ලෙස කතුවරයා තම නිර්මාණය උදෙසා භාවිත කොට ඇති බව ඒත්තු ගැන්වීමට ය. ඉන් කතුවරයා ට දේශපාලන මතයක් හෝ පක්ෂයක් නැති බවක් නොකියවේ; අප සියළු දෙනා දේශාපාලන සතුන් ය.එහෙත් මෙහි ඇත්තේ පක්ෂ දේශපාලනය පමණක් නොව; මෙහි උදෘත ව නොපෙන්වුව ද, රාජ්‍ය නොවන සංවිධාන වල කල්ක්‍රියාව ද මෙහි පෙන්වා ඇත.
ලුණු, ඇඹුල්, පහේ
------------------------
නවකතාවේ පරිපූර්ණත්වයට හේතුවන අන් කාරණා නම්, මෙහි තැනින් තැන එන හාස්‍ය රසයයි. රවිඳු අලුත් මිනිහෙකු වන්නට යත්න දරා, මිතුරෙකුගේ "ගොන් පාට්ටෙකක්" නිසා සුබ මොහොතින් රිමාන්ඩ කූඩුවේ රැය පහන් කිරීම එක් අවස්තාවකි ( අතුරු කතාව: මගේ හොඳම මිතුරා ද මගේ ඇස් පෙන්නීමට කාලය වෙන් කරලා තිබුනේ අනුරාධපුර හෘදවස්තු සම්බන්ධ වෙදෙකුට ය; මා අක්ෂි වෙදා ගාවට ගොසින් කිට්ටු වෙන්නවත් බැරුව ආපහු කොළඹ ආවේය - හොඳම මිතුරන් යනු එවන් අවිශ්වාසී සත්ව කොට්ඨාශයකි..) මහ දහවල් තමන් පෙර කල "සිප් උගත්" වෛශ්‍යාවකගෙන් "දෙකක් අහ ගැනීම: තවත් අවස්තාවකි. බීමතින් තම ප්‍රේමවන්තියගේ ඇමතුම විසන්දිය අමතකව, තම මිතුරන් ට අන් ස්ත්‍රියක් හා "හැමිණුණු" ආකාරය රස කර පවසා දිවි අරුත් සුන් වන අයුරින් ඇය නැති කරගන්න අයුරු ඛේදයක් රැගත් හාස්‍යජනක අවස්ථාවකි. ඉන් සියල්ලෙන් මෙහි එන මුඛ්‍ය චරිතයේ ස්වභාවය, අඩුපාඩු ආදිය එළි වේ. සමහර සිදුවීම් පාඨක අප ට සිදු වූ දෑ සමඟ සසඳා හාස්‍ය රසය මතු කරගත හැකිය.
තාවකාලික වීරයෝ
---------------------------
අයෙකු ට වීරයෙක් ලෙස තවෙකෙකු හැඟෙන්නේ කෙලෙස ද? අප ජීවිත කලයේ ම වීරයෝ කී දෙනෙක් කෙටි කලකින් එම ප්‍රතිමාතලයෙන් බැස, අපෙන් ම "කුණු බැණුම්" අසා ඇත් ද?
"අන්තිමේ දී ජීවිතේ අත්දැකීම් එක්ක මේ වීරයෝ එක එක්කෙනා පුංචි වෙන්න පටන් ගත්තා. වීරයන්ගේ වීරකම්වල සීමා මායිම් පේන්න පටන් ගත්තා. අපේ වීරයෝ කිසිම බලවේගය ඉස්සරහ පරාද වෙන්නී නෑ කියන, එතෙක් හිතේ තිබ්බ අතාර්කික නොපැහැදිලි හැඟීම දියවෙන්න ගත්තා. අන්තිමේදි මට තේරුණ දේ තමයි විශ්වවිද්යාල ශිෂ්යයෝ විතරක් නෙමෙයි ලෙනින්ලා, චේ ලා, ගාන්ධිලා වගේ වීරයොත් මේ මහා දැවැන්ත ලෝකය ඉස්සරහ කොච්චර පුංචි අයද කියන එක. ඒ හැමෝම වීරයෝ වුණේ තමන්ට අදාළ කිසියම් සන්දර්භයක් ඇතුළේ විතරයි. සදාතනික, සර්ව කාලීන සාර්ව භෞමික වීරයෝ නෑ. ඒක වීරයන්ගේ වරදක් නෙමෙයි. ඒක තාමයි ලෝක ස්වභාවය... " ( 368 පිටුව)
---------------------------
අයෙකු ට වීරයෙක් ලෙස තවෙකෙකු හැඟෙන්නේ කෙලෙස ද? අප ජීවිත කලයේ ම වීරයෝ කී දෙනෙක් කෙටි කලකින් එම ප්‍රතිමාතලයෙන් බැස, අපෙන් ම "කුණු බැණුම්" අසා ඇත් ද?
"අන්තිමේ දී ජීවිතේ අත්දැකීම් එක්ක මේ වීරයෝ එක එක්කෙනා පුංචි වෙන්න පටන් ගත්තා. වීරයන්ගේ වීරකම්වල සීමා මායිම් පේන්න පටන් ගත්තා. අපේ වීරයෝ කිසිම බලවේගය ඉස්සරහ පරාද වෙන්නී නෑ කියන, එතෙක් හිතේ තිබ්බ අතාර්කික නොපැහැදිලි හැඟීම දියවෙන්න ගත්තා. අන්තිමේදි මට තේරුණ දේ තමයි විශ්වවිද්යාල ශිෂ්යයෝ විතරක් නෙමෙයි ලෙනින්ලා, චේ ලා, ගාන්ධිලා වගේ වීරයොත් මේ මහා දැවැන්ත ලෝකය ඉස්සරහ කොච්චර පුංචි අයද කියන එක. ඒ හැමෝම වීරයෝ වුණේ තමන්ට අදාළ කිසියම් සන්දර්භයක් ඇතුළේ විතරයි. සදාතනික, සර්ව කාලීන සාර්ව භෞමික වීරයෝ නෑ. ඒක වීරයන්ගේ වරදක් නෙමෙයි. ඒක තාමයි ලෝක ස්වභාවය... " ( 368 පිටුව)
මෙහි වෙසෙස් ආකෘති හරඹ නැත; බස ද වෙසෙස් කාව්‍යමය ලක්ෂණයන්ගෙන් තොර වුව ද උක්ත යුගය ට වඩා යෝග්‍ය ය. තැනෙක නොසරුප් වදනින් කතාව ස්වභාවික බව ත්‍රීව කරයි. දොසක ට කිව හැක්කේ, සංස්කරණයක් කලා නම් පිටු පණහක් පමණ අඩු කල හැකි ව තිබූ බවකි; එහෙත් එම දොස ද ආයාලේ යෑම නිමිති කොට ගත් නවකතවකට නූචිත යැයි කීම නුසුදුසු ද ? යම් සැකයකින් කියවීම ඇරඹු නවකතාව, මගත් සේ රසවිඳ පැත්තකින් තැබුවේ "නොකියෙවා හිටිය නම් මහ අපරාදේ" යන හැඟීමෙනි.
No comments:
Post a Comment