=======================================
කෙටි කතා විස්සක් එක්කාසු කර ගනිමින් සංස්කරණය කොට ඇති මේ කෘතිය කියවීමෙන් මම මහත් වින්දනයක් ලබා ගත්තෙමි. ඊට මූලික හේතුව, මේ කෙටි කතා විස්ස අතර දුර්වල යැයි ඉවත ලා හැකි ආරේ එකුදු කෙටි කතාවක් හෝ නැති නිසා ය. මෙම රසවත් කෙටි කතා විස්ස අතරින් "කළු ගඟ මුමුණයි", "ස්ත්‍රී", "සුද්දෝ සහ කොයින් මැණිකේ", "ආදරයේ එක්තරා අවස්තාවක්", "සුදු කොඩි" සහ "සුදු මැලි සඬහ් එළිය" මා බෙහෙවින් සිත් ගත් කෙටි කතාය. මෙහි එන ස්ත්‍රී චිත්‍රපටියක් වශයෙන් ද, සෙක්කු ගෙදර ටෙලි නාට්‍යයක් වශයෙන් ද නිර්මාණය වී ඇත.
විමර්ශනයක යෙදෙන මහාචාර්‍ය විමල් දිසානායකයන් පවසන්නේ ( ලේඛකයාගේ කුසලතා රැසක් ගැන කීමෙන් අනතුරුව ), ප්‍රධාන දුර්වලතා දෙකක් ඇති බවයි. ඉන් එකක් ලෙස අර්ථය හා වැදගත්කම කුමක්දැයි යන්න පිළිබඳ ප්‍රශ්ණයක් ඇති වන බව පවසයි. දිසානායකයන් කියනා දෙයි නැත්තක් නැත්තේම නොවෙතත්, "වෛර නා රැජින", "මා සොයා එනු මැනවි" ආදිය අර්ථය වශයෙන් කුමන හේතුවක් සඳහා රචනා වී ඇතිදැයි සිතීම අපහසු නැත. බෞද්ධ ජාතක කථා වල කර්මඵල හා සමහර ජනවිශ්වාස වලට පදනම් වී ඒවා නිමවි ඇති බව වටහා ගැනීම අපහසු නැත.
නන්දිමිත්‍රගේ බොහෝ කෙටිකතා වල් අතීතය සිහිගැන්වීම් හෙවත් වර්තමානයේ සිට අතීතයට යෑම් ඇත. "වැස්සට තෙමෙන ලිපිකරුවා", "සුදුකොඩි", "සුද්දෝ සහ කොයින් මැණිකේ", "ගෙල සිඳීම", " කළු ගඟ මුමුණයි", "සිරි සහෝදරයා", "මා සොයා එනු මැනවි" ආදි බොහො කෙටි කතාවන් වල අඩු-වැඩි වශැයෙන් මෙම ලක්ෂණය ඇත. ඉන් කෙටිකතා වලට හානි සිදු වී ඇතැයි මින් ගම්‍ය නොවේ.
තවද වඩා මෑත කාලීන කෙටිකතා වල වඩාත් අත් හදා බැලීම් වලට ලේඛක තෙමේ යොමු වී ඇති බව පෙනේ. "දේවසේන", "අතුරුදන්වීම්", වෛර නා රජ" ආදිය ඊට නිදසුන් ය.
නන්දිමිත්‍රයන්ගේ කෙටිකතා හුදෙක් දාර්ශනික පරිකල්පනාවන් නොවේ. මිනිසුන් අතින් වැරදි සිදුවිය හැකි බව, රාගය, ඊර්ශ්‍යාව, වෛරය ආදි මනුෂ්‍ය ස්වභාවයන් තම නිර්මාණ වලට මූලික කොට ඇති බැව් පෙනේ. ගැහැණුන්ගේ සහ පිර්මින්ගේ චපලකම් හා ආදරය, වෛරය, ඊර්ෂ්‍යාව ආදි හැඟීම් රැසක් ඔස්සේ ඔහුගේ බොහෝ නිර්මාණ විහිදේ.
ඔහුගේ ම පෙරවදනේ ඔහු කියන් පරිද්දෙන් "මා වැනි සුළු පුද්ගලයෙකු වෙනුවෙන් සිය වටිනා කාලය වැය කරමින් මෙවන් විමර්ෂණයක් සපයාදීම අගය කරමි", යන්නෙන් ඔහු ඉතා සරල පුද්ගලයෙකු බැව් ඇඟවේ. ඔහු තව තැනෙක මෙසේ කියයි: "මා ඉපදී හැදී වැඩුණු පරිසරයත්, පවුලේ තත්ත්වයත්, ලබා ඇති සුළු අධ්‍යාපනයත් අනුව මා තුල ලේඛන කලාවට ඇල්මක් ඇති වූයේ කෙසේද යන්න සිතන විට වරෙක මවිතයක් ඇති වෙයි." මෙම කිසිදු මහන්තත්තයක් නැති සොඳුරු මිනිසා තම වටපිටාවෙන් බෙහෙවින් පෝෂ්‍ය වී ඇති පැහැදිලිය. ඒ හේතුවෙන් ම සමහර විට අපට වඩාත් ලංවිය හැකි ආරේ කෙටිකතා රචනා කර තිබෙනවා විය හැකිය.
No comments:
Post a Comment