Friday 27 October 2017

අම්මයි තාත්තයි වහල උඩ - වෙනුර සනත් කුමාර


  පසුගිය වසරේ ප්‍රකාශිතව, මේ වසරේ සම්මාන නිර්දේශයට වූ කෙටි කතා සංග්‍රහයකි, වෙනුර සනත් කුමාරගේ "අම්මයි තාත්තයි වහල උඩ". එහි එකිනෙක වෙනස් ම ආකාර කෙටි කතා එකොළහකි.

ඒ කෙටි කතා මෙසේ ය:

ගැන්සියේ කොල්ලෙක් - වර්තමාන ලාංකීක දේශපාලනය රඟපෑම් මාලාවකි. ඊට සමාන්‍ය ජනයා ගොදුරු වන්නේ ඔවුන්ගේ අසරණකමත්, තම දැවෙන ගැටළු මේ අවස්තාවාදීන්ගේ උදව්වෙන් තොරව විසඳාගත නොහැකි තරමට ඔවුන්ට විකල්ප නොමැති හේතුවෙනි. එකම සිදුවීම, කිහිප ආකාරයෙන් "විය හැකි සිදුවීම් පෙළක්" ලෙස ගෙනහැර දැක්වීමෙන්  අද වන විට මහජනතාව ට කිසිම සිදුවීමක් පිළිබඳ යථා තත්ත්වය දැන ගැනීමේ නොහැකිතාව පිළිඹිබු කරයි.

චාජ් බල්ලා: ස්ථර කිහිපයක කියවීමක් ඇති කතාවකි. පිළිගැනීම - නොපිළිගැනීම යනු කුමක් ද? අද හාස්‍යයට ලක් වන කාරනාව හෙට වන විට කුමන තත්ත්වයකට පත් වනු ඇති ද ? (සමලිංගිකත්වය, කුල පීඩනය,  සුළු ජාතීන්, ආගම් ඇදහීම ). එහෙත් මේ සියළු නූතන සංකල්ප, ලිබරල් අදහස් දරන්නන් තුල අර පැරණි ම්ලේච්ඡයා නැත්තේ නොවේ.

අන්දරේ එනකල්: මේ කෙටිකතාව කියවූ කල මට මතක් උනේ "අපේ ගම" පොතේ එන එක කතාවකි. දේශපාලඤ්ඤයින්ගේ ලකුණු දමා ගැනීමට ඇති කැමැත්තතෙන්, "ගොඩ යන" කෛරාටිකයින් ස්ථරයක් අද වන විට අප වන් රට වල බිහි වී ඇත.

ධනවාදය: මෙහි එන ඉතා අපූරුතම නිර්මාණයකි. ඊට යොදා ඇති නම් ඊටත් අපූරුය. ඇති නැති පරතරය තේරුම් ගන්න නොහැකි දරුවෙකුට, එක්තරා සිදුවීමක ආවේගය ඔස්සේ ක්‍රියාත්මක වීමත්, එහි ප්‍රතිවිපාකත් මගින්, මේ පරතරයේ යථාරූපි බව සාර්ථකව කෙටි කතාව තුල නිරූපිතය..

ගවුම: මෙහි එන අනුවේදනීය කතාවකි. තම සාර්ථකත්වය ලඟා කර ගත් දුෂ්කර මාර්ගය, අන් අය කෙරෙහි ඔහුගේ හිතෛෂී බව වැනි රැවටිලි කතා මගින් තරුණ දැරිවියන් තම උගුලට නතුකර ගන්නා "ටියුෂන්" ගුරුවරුන් පිළිබඳ අප අසන්නේ පාසැල් ගිය වියේ සිට ය. අද තත්ත්වයත් එලෙසම ද ?

ඉන්ද්‍රකුමාර: කළු චරිතයක ට, යම් සිදුවීමක් අතර තුර අළු පැහැ වී, පසුව සුදු චරිතයක් බවට පත් විය නොහැකි ද? එහෙත් ඔහු ට අර "කළු" තත්ත්වයෙන් ඈත් වීමට සමාජය කෙදිනක හෝ ඉඩ දේවී ද?
"ආයෙත් මුලට යන්න බෑ අම්මේ... මට ජොබ් එකක් දෙන්න කවුරුවත් කැමති නෑ කියලා අම්මා දන්නවා. කුලියක්, මලියක් කරගෙන ජීවත් මම කී පාරක් උත්සාහ කරා ද? පොලිසීයෙන් මම නොකරපු දේවල්වලටත් මාව අරගෙන යනවා. මං පොලිසි කූඩුවල කොච්චර නම් ලැගලා තියෙනවද ?" (58 පිටුව ) මෙහි එන තවත් අපූරු කෙටි කතාවකි.

කෝච්චිය සහ කළුවර තරුවක් !: "ඇයි ටීචර් කිවුවෙ අද පන්තියට කෝච්චි ටිකට් එකක් ගෙනාපු ළමයට තරුවක් දෙනව කියලා. මං බොහොම අමාරුවෙන් මේක ගත්තේ ටීචර්. අම්මට යි, තාත්තට යි දෙන්නට ම මං ඊයේ කිවුවම එයාලා ගණන් ගත්තේ නෑ. අනේ ටීචර්.. පරක්කු වුණාට මම මේක හොයා ගත්ත නේ. තරුවක් දෙන්නකෝ. එතකොට මගෙ ළඟ තරු හතරක්ම තියෙනවා." ( 70 පිටුව )
දරුවන්ගේ අහිංසක ලෝකය සහ දෙමව්පියන්ගේ සර්වපිත්තල ලෝකය අතර පරතරය නැති කල හැක්කක් ද?


මල් ගහක් යට: අද සෑම දෙයක් ම තව දෙයකට අවස්තාවකි. තමනට වැළඳෙන බරපතල රෝගී තත්ත්වයක් පවා. එපමණක් නොවේ - එය තවත් අයෙකුට ද අවස්තාවකි.
"බොස් කියනවා ඔයා කැමතිනම් මේක දිගටම උනත් අපිට කරන්න පුළුවන්ලු. වෛද්‍ය සහතික, ග්‍රාම නිලධාරි සහතික තියෙන නිසා වැඩේ ගැස්සෙන් නෑලු. අනික කවුරුත් දන්නෑ නෙ අපිට ඔපරේෂන් එකට සල්ලි මදිද කියලා..." (79 පිටුව )


පොඩ්ඩාත් ලොකු වුණා...: මෙහි ඉතා අපූරු රූපකයක් භාවිත වේ. ඒ සත්‍ය පුද්ගලයා සහ හැඳුනුම්පතේ සිටිනා නාම මාත්‍රික  පුද්ගලයා  අතර ගැටුමයි. හැඳුනුම්පතේ ඇති පුද්ගලයා ට ඔහුගේ අයිතිකරු එපා වන තරම් ඔහු පිරිහුණු පුද්ගලයෙක් නම් ? ඔහු ව ඔහුගේ පවුලේ අය ට අප්‍රසන්න නම් ?

වැලන්ටයින් මැරුණු ප්‍රේමය! - ගිරා රංචුවක කතා පුවතක් ආදේශයෙන් බල ලෝභය, බල අරගලය කියා පානා අපූරු කෙටි කතාවකි. ලේඛකයාගේ සිත් රූ හි නිර්මාණාත්වය අපූරුය.

අම්මයි තාත්තයි වහල උඩ: කුඩා කල සිට ජීවිතය තරඟයක් කොට ගත්තෙකු වීම නිසා යම් මානසික වික්ෂිප්ත තත්ත්වයකට පත් වූ බිරිඳක් අලලා කෙරුණු නිර්මාණයකි.


මෙහි එන කෙටිකතා එකොළහම වර්තමාන සමාජයේ, ඔබ අප සැම ජීවත්වන රෝගී සමාජය අලලා ලියැවුණු ඒවාය. එහි දේශපාලනය ඇත - එහෙත් ඒ අප රට රෝගි කරනා දේශපාලනය විනා "අපේ කට්ටියට" නොරිදෙන්න, අන් අය පළු අරින දේශපාලනයක් නොවේ; දරුවන් ට මුහුණ දෙන්නට සිදු ව ඇති තරඟකාරී සමාජය පිළිබඳ අපූරු නිර්මාණ ඇත. දෙමව්පියන්ගේ දුර්වලතාවන් මුල්කොට ගත් නිර්මාණ ඇත. හොර ජාවාරම් ගැන ඇත.  මෙහි එන කතා එකොළහ තුල අපූරු වෙනස්කම් ඇත. නිර්මාණශීලිත්වය ඇත. ආකෘතිමය පර්යේෂණ ඇත. ඒ සියල්ල තුල පාඨකයා අපූරු වින්දනයක් ලබයි. එක් සම්මාන උළෙලක මේ කෘතිය වෙසෙස් ඇගයීමකට පාත්‍ර විය-එය සුදුසු ඇගයුමකි.

ලේඛකයාගේ මීළඟ නිර්මාණය එළිදැක්වෙන තුරු බලා ඉඳිමි.



No comments:

Post a Comment