Friday, 14 July 2017

සප්තපර්ණී - සුසන්ත මහඋල්පත



***1/2

  අතීතයේ  නාගදීපය ඇතුළු උතුරු පස ආශ්‍රිතව විසුවා යැයි විශ්වාස කරන නාග ගෝත්‍රිකයින් හා දකුණු පස අනුරාජපුරය අතර තිබූ සබඳතාවන් කෙසේ වන්නට ඇත් ද? අතීතයේ එහි බුදුන් සරණ ගිය සැදැහවතුන් ගේ සිතුම් පැතුම් කෙසේ වන්නට ඇත් ද ? තම වැසියනට පමණක් නොව, ගහට කොළට සතා සීපාව ට පවා වෙදකම් කල බුදුදස් රජ දවස, මේ නාග ගෝත්‍රිකයින් හා අනුරාජ පුර ආශ්‍රිත අතර තුබූ බැඳීම් කෙසේ වන්නට අත් ද ? එළාර ගේ හමුදාවේ සිට පැවතිවූවෝ උතුරුකරයේ කෙසේ වසන්නට ඇත් ද? ඔවුන් තුල සුළු හෝ ද්වේශයක් වී ද ? යුධය ඇවෑමෙන් උතුරේ සංචාරය කලා වූත්, කලාත්මක ඇසකින්, නිර්මාණාත්මක මනසකින් නාගදීපය, කදුරුගොඩ, කීරමලෛයි, නීලවරෛයි හි පතුලක් නැති ලිඳ දුටු නැසීගිය මහඋල්පත මහැදුරු ගේ සිතේ ඉහත සඳහන් කල පැණයන් මතු විණි ද ? ඒ ඔස්සේ හේ නිර්මාණාත්මක ප්‍රවේශයකට පිවිස මේ කෘතිය බිහි කලේ ද ? ඊට පිලිතුරු අප බොහෝ විට කිසි දා ක නොදනි නු ඇත. එතුමා ජීවත් ව සිටියා නම්, ඔහු ගේ මේ නිර්මාණයට පාදක වූ කරුණු කාරණා සම්මුඛ සාකච්ඡාවකදී පවසෙනු ඇත. එතුමන් නැති සඳ ඔහු නිර්මාණයේ බීජ අවස්ථා ගැන අප මෙලෙස අනුමාන කරමු. එතුමා උතුරේ සංචාරයක යෙදුනේ ද නැති ද යන්න ද අපි නොදනි මු !

මහඋල්පතයන් ලියූ අවසන් නවකථාව මෙවර ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයට නිර්දේශ වී ඇත. මීට කලින් වතාවක, පර්ජන්‍යා ද, රන් කොතළය ද,  ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයට තේරී පත් විය. ඒ කෘති දෙකටම ඉන් ඔබ්බට ගමනක් නොවීය. සප්තපර්ණී ද අවසන් වටයට තේරෙවි යැයි මම නොසිතමි. ඒ සධාරණ ලෙස වසරේ හොඳම පොත් පහ අතරට මේ කෘති ත්‍රිත්වය ම  ඔබින්නේ යැයි නොසිත න නිසා ය. නුමුත් ඔහු ගේ අග්‍රඵලය වූ ත්, එ වසරේ ගොඩගේ සම්මානය දනා ගත්තා වූ ත්, ආෂාඪ පුෂ්පය අවසන් පූර්ව වටයට හෝ  නොතේරිණි. රන් කොතළය හැර කතුවරයාගේ අනෙක් නවකථා ත්‍රිත්වය ම ඓතිහාසික වකවානුවක් සබැඳි නවකථා ය. පර්ජන්‍යා සහ සප්තපර්ණි, මෙරට බුද්ධ ශාසනයේ ඉතිහාසය හා ඉගැන්වීම් හා බැඳී ඇත. පර්ජන්‍යා නිකුත් වූ වසරේ එක් මහැදුරෙක් කීවේ පර්ජන්‍යා නවකථාවක් නොව බණ පොතක් බව ය. සප්තපර්ණි ගැන ද අයෙකු ට එලෙස කිව හැක. එය විකෘතිමත් අර්ථකථනයක් වුව, මේ කෘති තුල බුදු දහමේ ආභාෂය කිසි සේත් නොසැලකීමට නුපුළුවන.  එහි කථා වස්තුව සිහින් ය. ඓතිහාසික සිද්ධීන්ගෙන් පෝෂිතය. සිත්ගන්නා සුළු වියත් බසින් අති පොහොසත් ය. නවකථාව ගලා යාමේදි ස්පර්ශකයක් ඔස්සේ අන් ඓථිහාසික කථාවක් හෝ බෞද්ධ ඉතිහාස කථාවක් ඔස්සේ හෝ ප්‍රස්තූතයෙන් පිට වැ, මනරම් සංචාරයක ගෙනයාමට සැදී පැහැදී සිටියි. ඉතින් එලෙස යැ, අප ගැමුණු රජුගේ වියෝව පිළිබඳ ව කියවනුයේ;  සිරිසඟබෝ දුගියාට ඉස දන් දූ අයුරු කියවනුයේ; සේරිවාණිජ කට්ඨපූජ ගැන කියවනුයේ. නවකථාවේ ප්‍රධාන ධාරාවේ මෙරට අහිගුන්ඨික ප්‍රජාවේ පිළිවෙත් ගැන ත්, බුදුදස් රජු ඓථිහාසික ව ප්‍රසිද්ධ සර්ප වෙද කම ගැන ත් කියවේ. ඉතින් මේ මනරම් සවිස්තරාත්මක දිගු ගමන විචිත්‍රවත් ය. කථා වස්තුවේ සිහින් බව නොදැනි නොතිබුනත්, පාඨක සිතේ යම් සතුටක් ඇති කරනුයේ පිටු තුන්සියකට වැඩි ගණනක් පුරා දිගැරෙන මේ විචිත්‍ර ඓතිහාසික චාරිකාවත්, එය ලියැවී ඇති මනරම් බසත්, තැනින් තැන ලේඛක තෙමේ පාඨක අපව ස්පර්ශකයක් ඔස්සේ ගෙන යන විචිත්‍රවත් උප-චාරිකාවන් ආදියෙන් කෘතිය සුපෝෂිත හෙයිනි. තැනෙක අප රට තිබුණා යැයි කියන වෙද කම ගැන විස්තර  ය. තැනෙක විස වෙද මාලයෙන් කොටස් ය:

"එළකිරි තනකිරි පොල්කිරි      වත්කර
තැඹිලි වතුර හා රසදිය එක්කර
එළ මුත්තර හා නර මුත්තර සමකර
පස් තෙල් සම සමව ද ගෙන වත්කර

විසෙන් මරී පැය ගණනක් ගිය තැන
විදුරඹ නස්නය කරවව් විගසින
හිස ඉහළට ගෙන කඳ ඔරවට ලන
විසෙන් මැරුණු කඳ තුළ පණ පිබිදෙන..."
නවකථාවේ සංක්ෂිප්තය ගතහොත්, මෙලෙස ලඝු කොට දැක්විය හැකි ය; ඒ නවකථාවේ කියවෙන උදෘතයකින් ම ය:

"ආත්මගත වෛරයක් සංසාරෙ දිගින් දිගට ම අරං යන එක බොහොම භයානකයි. පුළුවන් විදිහට මේ ආත්මෙ දි ම ඒක ඉවරයක් කරලා දාන්න ඕනෑ."




ගහක් ගලක් ගානේ රැඩිකල් වීමට යත්න දරණ, නිදහස් මතධාරි වීම මෝස්තරයක් වූ යුගයක, මහඋල්පතයන්, එක් අතකින් රැල්ලට විරුද්ධව ගියා වූත්, අනෙක් අතින් අප රට ඉතිහාසයේ පිහිටා නව සාහිතමය නිර්මාණයනට යොමු විය. අයෙකුට එය සාම්ප්‍රදායික කර්තව්‍යයක් ලෙස දිටිය හැකිය. එහෙත්, තමන් පරාජය කරවන අන්ධ භක්තියක් හෝ අන්ධ ජාතිකත්වයක් හෝ මත නොපිහිටා තම ඉතිහාසයෙන්, උරුමයෙන් ආභාෂය ලැබ, ඉතා පරෙස්සමින් ලියූ නවකථාවකි, සප්තපණි.

එතුමන්ගේ අකල් වියෝවෙන්, මේ ආරේ නව නිර්මාණ අපට නැවත කියවීමට  ලැබේ දෝ යන්න සැක සහිතය.


No comments:

Post a Comment