Saturday 15 April 2017

පේරාදෙනියෙ ඉස්ටේසම ටිකැට් දෙන - සේන තෝරදෙනිය




   මෙහි ඇත්තේ 1961 සිට 1994 දක්වා ලියැවුණු කෙටිකතා පහළොවකි. ග්‍රන්ථයක් ලෙස එළි දැක්වෙන්නේ 1997 දී ය. කොළඹ මහජන පුස්තකාලයෙන් ලැබුණු මේ පිටපත, මා හෙමිහෙමිහිට කියෙව්වේ සුදත් විල මහා සුභද්‍රාවෝ සහ බණ්ඩර මැරූ උන් යන විශිෂ්ඨ නවකතා දෙක කියවීමෙන් ලද වින්දනයත්,  කතුවරයා කෙරෙහි ලත් පැහැදීමත් හේතු කොට ගෙනය;  ඔහුගේ මුල් කාලීන නිර්මාණ තුලින් ඔහු මහත් සේ ආලය කරන දුම්බර පෙදෙසත්, කෘතියේ නමෙන් ම ඇඟවෙන පේරාදෙනිය ආශ්‍රිත ප්‍රදේශයත් පිළිබඳ රසවත් වත හොත ලැබෙතැයි යන සිතුවිල්ලත් මුල් කරගෙනය.

1961 තරම් අතීතයක් ඇති "දරු රුවන්/" කෙටි කතාව, පේරාදෙනිය "වළේ" සිංහබාහු නරඹන තරුණ පියෙක්, නාට්‍යය ඔස්සේ තම දිවියේ අත්තිතාවර්ජනයක යෙදීමකි.

"මගේ තල ටික දියෝ !", මෙහි එන රසවත් කෙටි කතාවකි. කැළෑ ආරක්ෂකයෙකු, තම බලය අයුතු ලෙස භාවිත කරන අයුරුත්, ඉන් කැළෑව ආශ්‍රීතව දිවි ගෙවන ගැමියන් මහත් සේ පීඩනයට ලක් කරන අයුරුත්, ගැමියන් ඔහුට විරුද්ධව නැගී සිටින අයුරුත් කියැවේ. එහි භාවිත බසින් ගැමියන් විඳින දුක මෙන්ම, දිවියේ කර්කෂ බව ද ඉඟි කරයි.
"හේන සරු වෙලා අස්සැන්න ගත්තහම අපි නොම්මර පහක් විතර එව්ව කරේ තියාන පොළට යනවාය. පොළේ ඉන්නේ ඈත පළාත්වලින් ආව වෙළෙන්දන්ය. මිනී කාක්කෝය. හුඟ දෙනෙක් කල්මුණේ, මඩකලපුව පැත්තෙන් ආව අයයි. උන් ඔක්කොම එක කතාවය. එකෙක් තුට්ටු දෙකට ඉල්ලල බෑ කිව්වොත් අනික ඉල්ලන්නේ තුට්ටුවටකටය. අපි ඉතින් තුට්ටු දෙකට දෙනවාය. මාස ගාණක් තිස්සේ කැළෑ කොටලා, පුස්සලා, වැට කඬුළු බැඳලා, සත්තුන්ගෙන් බේරගෙන ගත්තු මහන්සිය මහ ගඟේ දියත් එක්ක දියවෙලා යනවාය. අපි කරෝල කෑල්ලයි, හාල් සේරු දෙක තුනකුයි, තුන පහේ ටිකකුයි, චීත්ත කෑල්ලකුයි ඇරගෙන ආපහු ගමට එනවාය. අපිට එව්ව විකුණන්නෙත් මිනී කාක්කෝය. සමහර ගොවියො වට්ටක්කා, පිපිඤ්ඤා ගොඩ ගොඩවල් කපල කපල දාලා ලාඹුතෙල් ඉහළ ගිනි තියනාඅ අපි කොතෙකුත් දැක තියෙනවා ය." (10 පිටුව )
තැනෙක ඔවුන්ගේ  දුක එක්තැන් වුණු කවෙකි:
"යායේ කුරක්කන් දෙහි ගෙඩි විතර      ඇති
මගේ කුරක්කන් කන් ඇඳි විතර            ඇති
කපා කපා ඉස්සරහට යන්ට                 නැති
නවම් මහේ තද අව්වෙන් අප             දැවෙති"  (13 පිටුව )
1968 ලියැවී ඇති මෙවන් කෙටිකතා නිසා මේ එකතුවට අගයක් ලැබේ.

1972 දී ලියැවී ඇති "බන්ධනය", තම පියා මැරූ අලියා බැලීමට අණ කරන නිළමේ ට එකඟ නොවෙන පුතෙකුගේ කථාවයි. ඒ පුතු තමනට අබාග්ගයකට මූණ දෙන්න වෙන බැව් දැන ගන්නේ හීකොණ්ඩයාගේ කෑගෑමෙන් ය.
"හරකා බානත් තොට බාරයි. ගෙයාත් දොරාත් තොට බාරයි. හීකොණ්ඩය ෂියෝ" ( 15 පිටුව )
මෙහි පුතු නිළමේගේ අණ ට විරුද්ධ වන අයුරු අපූරුය.
"'මං හිතල ඉවරයි ආයිබොවන්ට. මගෙ තාත්ත මරල දැම්ම සතා මට බලා ගන්ට බෑ. තාත්ත සතා බලා ගත්තෙ උන්දැගෙ පුතෙක් වයෙ. තාත්ත ඒවයෙ මං බලා ගත්තද කියල මං දන්නෙ නෑ. මාත් සතාට ආදරේ කෙරුව තමයි.' සුන්දරා කීවේ අලියාට 'ඌ' යයි නොකීමට පරිස්සම් වෙමිනි. බලවතෙකුගේ තිරිසෙනුකට වුවද 'ඌ' යයි කිව නොහැකි හෙයිනි."(25 පිටුව )

සමහර දරුවන් පවුලට, ඔවුන්ගේ ජන්මයට පෙර නොතිබූ එළියක් එකතු කරයි. අනාගතය කෙරෙහි ඔවුන්ගේ ජන්මයට පෙර නොතිබූ බලාපොරොත්තුවක් දෙමාපිය සිතේ උපද්දවයි. "සොබනි" (1973)  එවැන්නියකි. එවන් දැරිවියක්, ගමේ බලවතුකෙගේ කීමට ඔහුගේ නෑ ගෙයක අත් උදවුවට යවන්නේ, තම පියා ඒ පිළිබඳ කෙතෙරම් සිතින් මැරි මැරී ඉපදෙන්නේ දැයි අපට පෙන්වාදීමෙන් අනතුරුවය. පියා වන බිළිඳාගේ මායියා වන කළු, සොබනි පාතදුම්බරට යවන සිත්තැවුල මෙසේ දන්වයි:
"පැපොල් ගහට පස් දැම්මේ         එරෙන්ටද
අමු පතනට ගිනි දුන්නේ             නොදන්ටද
කැකුළු බතට හොදි දැමුවේ      නොකන්ටද
මීමුර ගමට මම දුන්නේ                   මරන්ටද" (42 පිටුව )

තම නිළ බලයෙන් අනුන් පීඩනයට ලක් කරන, කුලවාදයෙන් හා ජාතිවාදයෙන් හිස පුරවාගත් සිවලිංගම් නම් මිනින්දෝරුවාට විරුද්ධ ව ඔහුගේ ගෘහ සේවකයා වන සෝමසිරිගේ නැගී සිටීම "හරි-ජනයා" (1973 ) කෙටිකථාවෙන් කියැවේ.

මෙහි එන "සන්තන්තෝනි" (1972) කෙටිකථාව වෙනස් ම ආරක එකකි. එහි ප්‍රධාන චරිතයෝ නොමැත. ඇත්තේ සිත් ඇදගන්නා සුළු පරිසර වර්ණණාවක් සහ ධීවර ජනයා සමූහ දුක් කම්කොටළු ය. සිත් ඇදගන්නා සුළු රචනාවකි.

සැමියා තමන් කෙරෙහි ඇති ආත්ම අවිශ්වාසය ආදිය, පවුළේ ඇති වන සාමාන්‍ය ගැටළු ආදියත් අලලා අඹුසැමියන් විවාහ සංවත්සර පවත්වන ආකාරය පිළිඹිබු කොට ඇති "විවාහ සංවත්සරය" (1987) කෙටි කථාව ද සිත්ගත් කෙටි කථාවකි.

මහළු විය පොදුවේ කාටත් අපහසු ය. මවු වරුන් දියණිවරුන් සමඟ කෙසේ හෝ කල් ගෙවුවද, පියවරුන්, තම බිරිඳෑවරුන් නොමැතිව මහළු දිවි ගත කරයි ද, එය සාපේක්ෂව අපහසු තත්ත්වයකි. මේ තත්ත්වය අලලා ලියැවුන්නකි "මහල්ලෙකුගේ අළුත් අවුරුද්ද" (1988). මා රස විඳි කථාවකි.

"රිය ගැටුම" (1993) හි වචනාර්ථයෙන් රිය ගැටුමක් නැත. රිය මගින් නිරූපිත තත්ත්වයන් හි ගැටුමක් ඇත. පෙරකල පේරාදෙනිය සිප් සැදෑරු කිහිපදෙනෙකු අද ගෙවන තත්ත්වයන් මත නිර්මාණය වූවකි.

"ගුරුපියමාතා" ( 1994 ) , මට බණ්ඩර මැරූ උන් මතකයට නැංවීය. සමහර ගුරුවරුන් දෙවිවරුන් මෙනි. එවන් අය බොහෝ විට හිස් අතින් විශ්‍රාම ගන්නෝය. එවන් ගුරු පියෙකුගේ භාර්‍යාවක්, තම පුරුෂයා හැකි අවස්ථාවේ මුදල් හම්බ නොකිරීම ගැන දෙස් තියන්නේ ඒ අවස්ථාවේ තම සිත්සෑල්ලුවට මිස, සිය සැමියාගේ පිළිවෙත තමන් ද අනුමත නොකරන නිසා නොවේ.

වන්දනාකාරයෝ ( 1994 ) , මීට බොහෝ පෙර කලෙක අප ජනයා අටමස්ථාන වන්දනාමානය ට ගැල් බැඳ ගිය අයුරු ද, ඒ කර්තව්‍යයේ දි මුහුණ පාන්න්නට සිදු වූ නොසිතූ විරු ආරක ඛේදජානක සිද්ධියක් ද අලලා ලියවුන්නකි.
පවුලේ බලාපොරොත්තුව වූ තම බෑණවුන්ගේ ඇවෑම ඉදිරියේ මාමණ්ඩියගේ හඬාවැටුම ලියැවී ඇති අයුරු අපූරුය.
"මයෙ පුතේ... මයෙ යෝදයා... මයෙ පරපුරේ යෝදයා... යෝද බල.... යෝද දහිරිය තිබිච්චි උඹට මොකද මේ උණේ? මයෙ යෝදයා... මයෙ කඩොල් ඇතා...  ඇයි මේකව ඉතුරු කරල මට දඬුවම් නොකෙරෙව්වේ? " (111 පිටුව )

අප රට ඇති වූ '71 සහ '94 කැරැලි සිදූ වූ අයුතුකම් බොහොය. අවස්ථාව උදා වූ විට අවස්ථාවාදිව කටයුතු කලෝ බොහෝ වූවෝය. මාතලෙන් එපිට පල්ලේගම, හෙට්ටිපොළ ආදි දුර බැහැර පෙදෙස් වල ණය හිමියන් දිනකට දෙකකට ණයගත් අයගේ බිරිඳ හෝ පවු කන ඇත්තිය බාරෙ තබා ගන්නා සිරිතක් ගැන කන වැකෙන්නේ මේ කෙටි කතාව ඔස්සේ ය. ඒ පළමුවරට ය. ( අඹුණය -1994 )

මෙතෙක් ලියැවුණු කෙටිකථා වලට වෙනස් ආරක් ගෙන පුහුණුවීමකට ජපානයට පැමිණි, වියට්නාම සහ කැම්බෝඩියානු  තරුණියකු සහ තරුණයකු අලලා ලියැවුණු කෙටිකථාවකි. ලක්ෂ ගණන් දිවි පුදා අමරිකානුවන් පරාජය කල පරම්පාරවකින් පැවතෙන්නන්ගේ ඊළඟ පරම්පරාව නූතන ජීවන රටාව ඉදිරියේ මුදල ට කෙතෙරම් ගිජු ව ඇත්දැයි පෙන්නුම් කරන කෙටි කථාවකි. මේ දින වල මා කියවන ගිය වසරේ පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලත් "The Sympathizer " නවකථාව මේ වියට්නාම අත්දැකීම් අලලා ලියැවූවක් නිසා මේ කෙටි කථාව වඩාත් මා සිත් ගත්තේ ය. ( සුං හා කිම් - 1994 )

මා වඩාත් බලාපොරොත්තු ඇතිව කියවීමට වූ කෙටි කතාව, සංග්‍රහයට නම දුන් "පේරාදෙනියෙ ඉස්ටේසමෙ ටිකැට් දෙන"(1994 ) ය. බලාපොරොත්තු තබා ගත් පරිද්දෙන් ම එය සාර්ථක නොවූව ද, හෙළිදරවු වලින් හෙබි කෙටිකතාවකි. එක් ගණයක් පමණක් වූ "බහිරවයෝ" නම් වූ, නේවාසිකාගාර වල නවාතැන් නොලැබ වටපිට ගම්මාන වල සිට අධ්‍යාපනයේ යෙදුණු  අය ගැන විශේෂ සඳහනක් මෙහි ඇත.  මා මෑතක මිලට ගත් "සප්ත අපධාන කථා වස්තුව" උඩින් පල්ලෙන් පෙරලද්දී ද මේ "බහිරවයන්" ගැන සඳහනක් දිටිමි. කතුවරයාගේ තර්කය, එකල ද පේරදෙනියේ ස්වර්ණැමය යුගයැයි කී කල ද "බහිරවයන්" අලලා මේ දෙබෙදුම තිබුණු බවකි.
එකල පේරාදෙනියේ එකට සිප් සැදෑරු දෙදෙනෙකු දශක ගණණාවකට පසුව හමු වී, මධුවිතක් ඔස්සේ අතීතාවර්ජනය, මේ කෙටිකථාවේ ගලා යාමයි. මේ ඔවුන්ගේ පිළිසඳරේ සමහර රසවත් කොටස් ය.
"මේක තමා සරසවි පද්ධතිය ඇතුළේ ශිෂ්‍ය කොට්ඨාශ දෙකක් අතර ඇති වෙච්චි පළමුවෙනි විභේදනය. දැන් බලන්ට අද එකම විභාගෙ කරල සුළු ලකුණු ගාණක වෙනසක් ඇති එන්.ඩී.ටී. කාරයොයි, ඉංජිනේරුකාරයොයි එක එකාගෙ බෙලි මිරික ගන්නවා." (135 පිටුව )
"අමරසේකර ගුරාට පිටුපෑමෙන් පේරාදෙනි ගුරුකුලයේ අර්බුද ඇතිවී ගුරුකුලය බිඳවැටුණා. අද එබඳු ගුරුකුලයක් තිබුනේ නැතැයි කියන්නේ හරි වැටහීමකින් නොවේ"
 ( 148 පිටුව )
"ඔව්, සයිකෝ, ෆ්‍රස්ට්‍රේෂන් වැනි වචනයක්, අමරසේකර වාගෙ පරාජිතයන්ගේ හුදකලාවාදයක් තමා තිබුණේ. ඒවාට ආදර්ශ චරිත පේරාදින් සාහිත්‍ය ගල් අච්චුවේම වක්කරලා තිබුණා." ( 154 පිටුව )
"'ඉතින් පේරාදෙනිය තාවකාලික නවාතැන්පොළක් පමණයි. ඒක ඉස්ටේසමක් ටිකට් දෙන' උදේනි කීවේය.
'ඒක සුරංගනා ලෝකයක්. ඒක ජීවිතයක ස්වර්ණමය යුගය කියලා කියන්නේ බොරුවට නොවේ.'
'විශ්ව විද්‍යාලේ ස්වර්ණමය යුගය පිරිහීමට පටන් ගත්තේ ඒ කාලෙ කියලා කියනවා'" (162 පිටුව )
මේ කෙටි කතාවේ වටිනාකම නම්, සමකාලීන් වෙත් නම්, මෙහි නම් නොකියා සඳහන් කර ඇති බොහෝ චරිත කවුදෝ යැයි ඔවුනට හඳුනාගැනීමට ඉඩ තිබීමයි. ඔවුන් පසු කලෙක රටේ නමගිය පුරවැසියන් වූවෝය.

මේ කෙටි කතා සංග්‍රහයේ, ඉතා ඉහළ ගණ‍යේ නිර්මාණ නොතිබෙන්නට පිලිවන. අනෙක් අතට සේන තෝරදෙනිය නම් නිර්මාණකරුව හැඳිනගැනීමට ද මින් පිටුවහලක් වෙතැයි විශ්වාස කරමි. අප රට මෑත කාලීන ඉතිහාසයේ සැලකිය යුතු පැතිකඩක් මෙහි ඇත. එනයින් මට මෙහි පිටපතක් දුටුවහොත්, මා මිලදී ගැනීම ට නො පැකිලෙමි.


No comments:

Post a Comment